2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ලිහී ලිහී ගැටගැහෙන එජාප අපේක්ෂක අවුල

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 170

රනිල් සජිත් සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය ඉරිදා (8) දිනයේදීය. එහෙත් එම සාකච්ඡා අඟහරුවාදා දිනයට කල් ගියේය. සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යබහුලත්වය නිසා මෙම සාකච්ඡාව කල්දැමූ බව හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍යයට පවසා තිබිණි. කෙසේ වෙතත් මේ වනවිට එජාපය අර්බුදයට පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා සෘජුව මැදිහත් සිටියේය. ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබුණේ අග‍්‍රාමාත්‍යවරයාද ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සූදානම් වී සිටින බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සමග පැවති හමුවේදී පැවසූ බවයි. මේ අතර ජ්‍යෙෂ්ඨ ඇමැති හමුව පිළිබඳ විවිධ ආරංචි පැතිර යමින් තිබිණි.

සඳුදා දිනය වනවිට සාකච්ඡා පිළිබඳ ඇති බලාපොරොත්තු පෙනෙන ප්‍රකාශ කිහිපයක්ම අසන්නට ලැබුණේය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 71 දෙනෙකුගෙන් 51 දෙනකු අත්සන් කළ ලිපියක් අග්‍රාමාත්‍යවරයා වෙත බාරදීමට නැවත සජිත් හිතවාදීහු කටයුතු කරමින් සිටියහ. ඒ මීට පෙර ද භාරදුන් මෙවන් ලිපිවලට නායකත්වයෙන් යහපත් ප්‍රතිචාරයක් නොවුණු පසුබිමකය. මේ සම්බන්ධ මාධ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගෙන් විමසා තිබිණි. අගමැතිවරයා යම් සාධාරණ තීරණයක් ගනීතැයි බලාපොරොත්තු වන බවත් පක්ෂයේ සාමාජිකයන්ගේ මතය කුමක්ද කියා පැහැදිලිව පෙන්නා දී ඇති බවත් ඔහු මෙහිදී කියා සිටියේය. නමුත් සාකච්ඡා පැවත්වීමට දිනයකට පෙරද අග්‍රාමාත්‍යවරයා හිතවත් පාර්ශ්ව කියා සිටියේ අවසන් තීරණය ගත හැක්කේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට බවයි. නමුත් කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන දිනයක් ඒ දක්වා නිශ්චිතව ප්‍රකාශ වී නොතිබිණි.

පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර තීරණාත්මක සාකච්ඡාව පැවති අඟහරුවාදා දිනය එළඹියේය. එම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණෙනු ඇති බොහෝදෙනා විශ්වාස කළහ. නමුත් හරින් ප්‍රනාන්දු වැනි සජිත්වාදී කඳවුරේ පිරිස ප්‍රේමදාස මහතාහට අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් දෙවැනි පියවරක් සඳහා සැලසුම් සකස් කර ඇති බව නැවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ අවසන් මොහොතේදීය. සජිත් රනිල් සාකච්ඡා තනි තනිව සිදුවෙනු ඇතැයි බොහෝදෙනා අපේක්ෂා කළ නමුත් හිටි හැටියේම තවත් පිරිසකට ඊට ආරාධනා ලැබුණි.

අවසානයේ කවුරුත් බලාසිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡා පැවතියේ අඟහරැවාදා රාත්‍රී 10.00ට පමණය. එම සාකච්ජාව සඳහා රංජිත් මද්දුමබණ්ඩාර, මලික් සමරවික්‍රම, කබීර් හෂිම් සහ රාජිත සේනාරත්න ආදී අමාත්‍යවරු ද එක්වූහ. සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ අද පැවති සාකච්ජාව බොහොම සුහදව පැවති බවය. ඉදිරි දින කිහිපයේදී හොඳ ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයිද ඔහු පැවසීය.

මෙම සාකච්ජාවේදී එක්සත් ජාතික පෙරමුණ සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රියා මාර්ගයන් සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබිණි. දෙපාර්ශ්වයම සුභවාදී ආකල්පවල එළඹ සිටියේය. එහෙත් බොහෝදෙනා බලාපොරොත්තු වූ ක්ෂණික ප්‍රතිඵලය එහි නොවීය. ඉදිරියේදී තවත් සාකච්ජා වට කිහිපයක්ම පැවැත්වෙනු ඇති ප්‍රකාශ විය. කෙසේ නමුත් මෙතෙක් පාරට වැටී තිබූ අර්බුදය නැවත් ගෙට වැදී ඇතැයි පෙනී ගියේය. මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහාය දක්වන පාර්ශ්වයේ අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට ලබාදීමට මෙහිදී එකඟතාවකට පැමිණි බව කියා තිබුණි. ඊට විරුද්ධව යමක් කියන්නට අග්‍රාමාත්‍යවරයාට හිතවාදී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉදිරිපත් නොවීම විශේෂිත විය.

ඉන්පසු එළඹියේ සාමකාමී දවස්ය. එහෙත් අප පෙරකී පරිදි අළු යට වූ ගිනි පුපුරැ ඉඳහිට මතුවිය. සහෝදරයන් ලෙස එකට එක්වනවාද, නැතිනම් මෝඩයන් සේ වෙන්ව විනාශ වනවාදැයි දැන් තීරණය කළ යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසුවේ හිටපු කතානායක එම්.ඒ. බාකීර් මාකර් මහතාගේ ගුණසමරු උළලේ ප‍්‍රධාන දේශනය පවත්වමිනි. සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට නම් එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂවල එකඟතාවය ලබාගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන් බව එජාපයේ පිරිසක් ප්‍රකාශ කළේ මේ අතරය. එය තහවුරු කරමින් සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර නිල මට්ටමේ සාකච්ජා සිකුරාදාට පෙර පවත්වනු ඇතැයි අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පැවසීය.

අභ්‍යන්තර සාකච්ඡා පැවතියද මාතලේ, මොණරාගල සහ රත්නපුර ආදී ප්‍රදේශවල තවත් රැලි කිහිපයක් පවත්වන්නට සූදානම් වී ඇති බවට වාර්තා සති අන්තය වනවිට පළවිය. එම රැලි සාකච්ඡා සඳහා බාධවක් නොවන බවද සජිත් පාර්ශ්ව නිවේදනය කොට තිබිණි.

එජාප සන්ධානය පිහිටුවීම තව තවත් කල් දැමීම සුදුසු නොවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල බ්‍රහස්පතින්දා (12)  ප්‍රකාශ කිරීම තරමක් විශේෂිත විය. කවුරු අපේක්ෂකයා කිව්වද සන්ධානයක් හදා ජයග්‍රහණය කළ යුතු බවද ඒක කල්දැමීම අනුවණ ක්‍රියාවක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණි. නායකතුමා කියනුයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අපේක්ෂකයා ප්‍රකාශකිරීම සුදුසු බව යැයිද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

මේ වනවිට එජාප අර්බුදය යම් සාමකාමී මාවතකට පිවිස ඇති බවට මේ සියල්ල හරහා පෙනී යයි. ගැඹුරු රැවටීමක් නොවේ නම් සජිත් ජනපති අපේක්ෂකයා වේයැයි අදහස් පළ වෙමින් තිබේ. කෙසේ නමුත් මේ සති අන්තයේ සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා වෙන වෙනම එජාපයට සහාය පළකරන පාර්ශ්ව හමුවීමට නියමිතව ඇත. එයද තීරණාත්මක හමුවක් වීමට ඉඩ තිබේ. කෙසේ නමුත් එජාපය ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්ෂා තේරීම් බලය කෘත්‍යාධිකාරී මණ්ඩලය සතු බව අමතක කළයුතු නැත. එහි බහුතර බලය ඇත්තේ වික්‍රමසිංහ මහතාටය.

► චමිඳු නිසල්

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05