ඉඳුරන් දැමුණු ගාන්ධර්වයෙකුගේ පෙනුමැති සාවධාන මිනිසා කිසි කඩිමුඩියකින් තොරව වේදිකාව වෙත පියනගයි. සුදු පැහැති කබායකින් සැරසීගත් මධ්‍යස්ථ ප්‍රමාණයෙන් යුතු පැහැපත් ඡවි වර්ණයෙන් යුතු මේ මහාචාර්යවරයා පළමු වසර සිසුන්ගේ සිත් බැඳගෙන තිබුණේ ඔවුන් පාසල් වියේ සිටියදීමය. ඔහුගේ විප්ලවීය ප්‍රකාශන, සුලලිත හඬින් කැරෙන ගීත ගායනාවක් බඳු හිත නිවන අදහස් දැක්වීම් මැදියම් රෑ ගුවන් විදුලියෙන් විකාශය වන විශ්වය හා කලාව ගැන සංවාද වැඩසටහන, පුවත්පත් පිටු සැරුසූ ඡායාරූප ඔවුන්ගේ හිත් තුළට කාවැදී තිබුණි. අතේ රුගෙන ආ ෆයිල් මිටිය මේසය මත තබා තමන්ට සුපුරුදු සුමට නිර්මල වදන් ධාරාව ගලායන්නට මහාචාර්යතුමා සලස්වද්දී එයින් දැහැන්ගත වූවන් අතර එවක නවක වෛද්‍ය සිසුවකු වූ අනිල් සමරනායකයන්ද විය. සිංහල බසේ අපූර්වත්වය මේ, යැයි කියන්නට මෙන් කිරා මැන බලා නිසි පමණට යොදාගත් වාග්මාලාව සිසුන් සමාධිගත කර තිබුණි. අනිල් සමරනායකයන් ඇතුළු සිසුන්ට දැණුනේ තමන් සොක්‍රටීස්, ඇරිස්ටෝටල් හෝ ප්ලේටෝ වැනි ඉපැරුණි චින්තකයෙකුහට සවන්දෙන අයුරුය.
ඒ අතරේ මැද පෙළ අසුනකින් සුදෝසුදු අතක් එසැවේ. “Excuse me Sir....., I can’t understand your Language. I am a Foreign Student....” සුමුදු නිසල ජල තලයකට ගලක් ඇද වැටුණාක් සේ මහාචාර්යවරයා, වසරේ එකම එක වතාවක් පමණක් සිංහලයෙන් පවත්වන පිළිගැනීමේ කතාව එක් නිමේෂයකට නැවැතිණි. “Oh, I am Sorry!” ඔහු මුවින් පිටවිනි. ඊළඟ මොහොතේ “Augusts Assembly” ශාලාව පුරා රිද්මය නොබිඳ ලාලිතව මුදුසරින් ගලායන්නට වූයේ නිර්මල ඉංග්‍රීසි බසින් කෙරෙන චතුර දේශකයාගේ ව්‍යාක්ත හඬයි. ඔහු සිය ආකර්ෂණීය මුදු කතා විලාශයෙන් සැවොම වසඟ කළ විශ්වකර්මයෙකි. ඔහු, මහාචාර්ය කාලෝ ෆොන්සේකාය.
විද්‍යාවත් කලාවත් යාදෙක නොරත රත ලෙස වටහාගත් සමාජයකට ඔහු සිය සොඳුරු පරිකල්පනයේ විචිත්‍ර සංකල්පනාවන් මගින් උත්පාදනය කළ අපූර්ව කාව්‍යාත්මක භාෂා විලාසයකින් මේ පුළුල් විෂය ධාරා දෙකෙහි අපූර්ව තර්කාන්විත අර්ථාන්විත සුසංයෝගයක් ප්‍රතිදානය කළේය. උපතින්ම දේවවාදී වූ නමුදු අදේවවාදී, හේතුවාදියකු ලෙස අවසන් හුස්ම හෙලන තෙක්ම හේතුඵලවාදය සරු දහමක්ය යන්න පසක් කරමින් එය ලෝකයා වෙතද පසක් කර දෙන්නට දායාර්දා වූ හදවතකින් ප්‍රඥා ප්‍රදීපය දැල්වූ මුනිවරයෙකි. ඔහු, මහාචාර්ය කාලෝ ෆොන්සේකාය.
කාලෝ යනු උපේක්ෂාසහගතව ජීවිතය පිරිසිඳ දුටු තැනැත්තෙකි. තමන් උගත් දැනුම ලෝකයට බෙදාදෙන්නට නොනිමි ආසාවකින් යුතුවූ තැනැත්තෙකි. ලෝකයට යමක් කරන්නට අරමුණු සහගතව ක්‍රියාකළ ඒ අරමුණ වෙනුවෙන් අවසන් මොහොත වනතුරැම පෙනී සිටි අයෙකි.
මහාචාර්යතුමාගේ සමීපතම ගෝලයෙකු වූ වෛද්‍ය අනිල් සමරනායක මතක් කර දෙන්නේ මහාචාර්යතුමා සිදුකළ ආන්දෝලනාත්මක කටයුතු ගැනය. ඔවුන් වෛද්‍ය සිසුන් ලෙස සිටි කාලයේ කායික විද්‍යා මහාචාර්ය ලෙස කටයුතු කළ කාලෝ ලංකාවේ වර්ධනය අඩාල වූ දරුවන් එම තත්ත්වයෙන් මුදාගන්නට ප්‍රතිකර්ම සොයා සිදුකළ සාර්ථක පාර්යේෂණයක් ගැන ඔහු මතකයට නංවයි. උස අඩු දරුවන් ගණනාවකට ඒ කරදරයෙන් මිදෙන්නට මහාචාර්යතුමාගේ පර්යේෂණය ආධාරකාරී වී තිබුණි. මහාචාර්ය කාලෝ මියගිය අයගේ මොළයේ පිටියුටරි ග්‍රන්ථිය ලබාගන එයින් වර්ධන හෝර්මෝන නිෂ්පාදනය කරවා සිය කැමැත්තෙන් ඉදිරිපත්වන දරුවන්ට එන්නත් කරමින් රට තුළ මහා විප්ලවීය හඳුන්වාදීමක් සිදුකළේය. ඒ කාලයේ එතුමන් වෛද්‍ය විද්‍යාලයේම කොටසක සිය දෛනික රාජකාරි අතර ඉඩකඩ ලබාගෙන දිනකට 25-30ත් අතර රෝගීන් සංඛ්‍යාවකට නොමිලේම වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් ආකාරය වෛද්‍ය අනිල් සමරනායක ගුරු බැතියෙන් යුතුව සිහිපත් කළේය.
පසුකාලීනව මේ ගුරු-ගෝල සුසංයෝගය දුම්කොළ සහ මධ්‍යසාර අධිකාරියේ එකට එක්ව කටයුතු කළ අතර ඒ කාලයේ ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීමට තහනම ගෙන එන්නට මහාචාර්ය කාලෝ කැපවී ක්‍රියා කළ හැටි ඔහු මතකයට නැංවීය. එසේම තමන් තුළ වූ රසවතා අවදි කරවන්නට මහාචාර්යතුමන් හා කළ රස කතාබහ බලපෑ බව ඔහු සිහිපත් කළේය.
මිත්‍යාව විද්‍යාවෙන් දුරු කරලන්නට කැපවූ මහාචාර්ය කාලෝ ඒ සඳහා ඒබ්‍රහම් ටී. කොවුර් සමග එක්ව කටයුතු කළ ආකාරය රටම දන්නා කාරණයකි. කතරගම ගොස් ගිනි පෑගීමේ පවා යෙදුණු අතර ඒ හා සමාන සිද්ධියක් නැවත 82 තරම් මෑත කාලයේද සිදුවිය. වෛද්‍ය අනිල් සමරනායක එහි සාක්කිකාර උදව්කාරයෙකි. ඒ වෛද්‍ය පීඨයට සියවසක් සැමරීම හේතුවෙන් පැවැති උත්සවය දා සංවිධානය කළ ගිනි පෑගීමේ සංදර්ශනයයි. “වෛද්‍ය පීඨයේ හිටපු ජයවර්ධන කියන මහාචාර්ය කාලෝගේ සහායක මහත්මයා අපට මුල් කාලේ කතරගම ගිනි පෑගීමේ යෙදුණු හැටි ගැන නිතර කියා තියෙනවා. ඒ වැඩේට ආචාර්ය කොවුර් වගේම, ආතර් සී. ක්ලාක් වගේ විශිෂ්ට අයත් ඇවිත් තිබුණා. මහාචාර්යතුමා කලිසම් කකුල් නවාගෙන ලහිලහියේ ඇවිදලා ගිය ආකාරය ඔහු කියනවා. ඒ මතකයත් එක්ක තමා 82 දීත් ගිනිපෑගීමක් සංවිධානය කෙරුණේ.”
එසේ වුවද මහාචාර්ය කාලෝ හිතුවක්කාර හේතුවාදියකු නොවේ. සැබැවින්ම ඔහු පසුකාලීනව හේතුඵලවාදියකු හැටියට ක්‍රියාකළ බව සනාථ වෙයි. තමන් මුල් කාලයේ මාක්ස්වාදය අනුව සියල්ල කිරා මැන බැලුවත් පසුව වඩා විද්‍යාත්මක වූ හේතුඵල දහමට නැඹුරු වූ බව ඔහුම කියා තිබේ. තවත් ළඟම හිතවතෙකු වූ වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි සමග මහාචාර්ය කාලෝ කදිම අතීත අවස්ථාවක් විස්තර කර ඇත. ඒ මහාචාර්ය කාලෝ සහ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් අතර හටගත් මහා වාදයක් ගැනය.
එදා ප්‍රසිද්ධියේ මේ විද්වතුන් දෙපල නිර්මාංශ භක්ෂණය ගැන මහා විවාදයක පැටලී තිබුණි. කාලෝ මාංශ භක්ෂණයේ පෝෂණ වැදගත්කම විද්‍යාත්මකව දක්වමින් එදා වාදය ජයගත් සෙයක් දිස්විණි. නමුත් එදා ඔහු අභ්‍යන්තරයේ එදා විශාල පෙරළියක් සිදුව තිබේ. කාලෝ නිර්මාංශ ආහාර ගරුකරන තැනැත්තෙකු බවට පත්වීමෙනි. ඇත්ත පිරිසිඳ දැක වහා ඒ අනුගමනයට අනුගත වීමේ හැකියාවක් ඔහුට තිබුණි. ඒ මහාචාර්ය කාලෝය.
අවසන් කාලයේදී හෘදය රෝගයත්, පෙනහළු ආශ්‍රිත රෝගයත්, පුරස්ථ ග්‍රන්ථි ආශ්‍රිත රෝගාබාධ සහිතව ගතකළ මහාචාර්යතුමා ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්නට මැලිවූයේ නැත. තමන් පෙලෙන රෝගය බොන බෙහෙත් තොගය ගැන කියමින් එතුමන් උපේක්ෂාසහගත අයුරින් සිනහා නැගූ අයුරු වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මතකයට නංවයි. “විශේෂඥයෝ මේක “වෙන්ටික්‍යුලර් ඔබ්ස්ට්‍රක්ටිව්” වාගේ ලොකු නමකින් හඳුන්වනවා වුණාට අපි දන්නවානේ මේ කියන්නේ හදවත ලෙඩ වෙලා කියලා. මං ඉන්නේ හදවතේ සියයට 25ක ආධාරයෙන්. ඒකනේ ඇත්ත” මහාචාර්ය කාලෝ සිනාමුසුව කියා ඇත්තේ එසේය.
මහාචාර්ය කාලෝගේ අවසන් උපන්දින සමරුව පැවැත්වුණේද අහඹු ආකාරයටය. එතුමන්ගේ සිසුවකු විප්ලවීය සගයෙක් මෙන්ම පසුකාලීනව පවුලේ කිට්ටු හිතවතෙක් බවටද පත්වූ වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි ඒ අහඹු අවස්ථාව ලද තැනැත්තාය. වෛද්‍ය හෙට්ටිආරච්චි විසින් මෑතකදී රචනා කරන ලද ග්‍රන්ථ කිහිපයක් දොරට වැඩීමේ උළෙලක් සංවිධානය කර තිබුණි. ප්‍රධාන ආරාධිතයා මහාචාර්ය කාලෝය. අසනීප මැද නමුත් මහාචාර්යවරයා එහි ආවේය. ඒ ඔහුගේ හැටිය. නමුත් කවුරුත් නොදැන සිටි රහසක් හදිසියේම උත්සවය අතරදී එළිදරව් විය. ඒ එදා මේ විශිෂ්ට විද්වතාගේ උපන්දිනය යෙදී ඇති බවයි. ඒ හා සමග එදා එතැනදී උත්සව දෙකක් ක්ෂණිකව පැවැත්විණි. මහාචාර්ය කාලෝගේ 86 වැනි උපන්දින උළෙල හා එතුමන්ගේ සිසුවකු වන වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චිගේ නව ග්‍රන්ථ දොරට වැඩීමේ උළෙලයි. එය අපූර්ව අහම්බකාරක සන්නිපතිතයකි. මහාචාර්ය කාලෝ මේ සිද්ධියෙන් හොඳටම සතුටු විය. ඒ ගැන කිහිපවතාවක්ම ස්තූති කළේය.
වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මෙන්ම වෛද්‍ය අනිල් සමරනායක දෙදෙනාම අප හා කී කාරණාවක් වූයේ මහැදුරුතුමන්ගේ විශිෂ්ට මතකයයි. අලුත්ම පොතපත ගෙන්වා නිතර කියැවූ මහාචාර්යතුමා අලුත් දැනුමෙන් සන්නද්ධ විය. නිතර නිතර අවස්ථාවට ඉතා උචිත වන අන්දමින් විවිධ විද්වතුන්ගේ වැදගත් ප්‍රකාශ උපුටා දක්වන්නට මහාචාර්ය කාලෝ රුසියෙක් වූ බව වෛද්‍ය සමරනායක කියයි. මේ වසරේ මුල මහාචාර්යතුමා බලන්නට ගිය විටෙක එතුමා පාසල් කාලයේ කියැවූ ජී.බී. සේනානායකයන්ගේ කවි පන්ති කට පාඩමින් කියූ ආකාරය වෛද්‍ය හෙට්ටිආරච්චි මතකයට නැංවීය. ඒ මතකය දිගු අතීත පුරුද්දක ප්‍රතිඵලයකි.
වසර 1933දී කාලෝ ඉපැදුණේ සීදූව ප්‍රදේශයේදීය. ඔහුගෙන් පසු පිට පිටම අවුරුදු තුනක් පවුලට පිරිමි දරුවන් එක්විය. ඒ වනවිට කාලෝගේ මවගේ වැඩිමල් සොයුරිය විවාහකව එහෙත් දරුවන් නොමැතිව උන්නාය. මේ නිසා කාලෝ හැදී වැඩුණේ ඈ ළඟය. ඇයට කීවේ “සීදූවේ අම්මා” කියාය. සීදූවේ අම්මාගේ බාල සහෝදරයා රිචඩ් ප්‍රනාන්දුගේ පුරුද්දක් වූයේ සිංහල නවකතා ප්‍රමුඛව අනෙකුත් පතපොත මිලට ගැනීමය. සීදූවේ අම්මා මේ පතපොත ඔහුගෙන් සිය නිවසට ද රැගෙන ආවාය. එතැනදී ඒවා පුංචි කාලෝගේ අතට පත්විය. “ජයතිස්ස සහ රොසලින්”, හිඟන කොල්ලා, කැලෑ හඳ වැනි පොත් කාලෝ රසවතෙකු බවට පත් කළේය. කුතුහලය නිසා දවසක් ඔහු අමුතු ප්‍රශ්නයක් “සීදූවේ අම්මාට” ඉදිරිපත් කළේය. ඒ පොතක තිබූ වාක්‍යයක් හේතුවෙනි. එහි වූයේ “ඇය කම්සැපතද විඳ නිදාගත්තාය” කියාය. දැන් කාලෝට ගැටලුව වූයේ මේ “කම් සැපත” යනු කුමක්ද කියාය. ඔහු ඒ ගැන සීදූවේ අම්මාගෙන් ඇසූ කළ ඇගේ නියෝගය වූයේ “ඔය පොත් කියවන්න එපා! මොනාද ඔය; ලොකු වෙනකම් ඕවා කියවන්න එපා!” කියාය. නමුත් ඒ තහනම කාලෝ පොත් වෙතට තවත් ළං කළේය. වැඩිහිටියන්ගේ පොත් තහනම තමන් පොත්ගුල්ලෙකු කරන්නට සමත් වූ ආකාරයට තවත් නිදසුනක් ඔහුගේ ජීවිතයෙන් උපුටා ගත හැකිය.
ඒ වසර 1949යි. ඒ කාලයේ කාලෝ මුල් කාලයේ උගත් මාරිස්ටෙලාවෙන් ඉවත්ව මරදාන ශාන්ත ජෝශප් විදුහලට එක්ව සිටියේය. ඔවුන්ට පෙළ පොතක් ලෙස ජී.බී. සේනානායකයන්ගේ ‘පළිගැනීම’ නියම වී තිබුණි. නමුත් මාස 3-4ක් යනවිට ආණ්ඩුව මේ පොත තහනම් කළේය. එසේ වුවද කලින්ම පොත මිලදී ගෙන තිබූ කාලෝ ඇතුළු පිරිස මේ පොත රහසේ කිහිපවතාවක්ම කියැවූහ. ඒ මතකය තවමත් ඔහු සතුය. වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චිට මහාචාර්ය කාලෝ කී කතාවක් නම් ජී.බී.ගේ අවසන් දිනවල ඔහු බලන්නට රෝහලට ගිය ආකාරයයි. එසේ මීගමු රෝහලට ගිය මහාචාර්යතුමා ජී.බී.ගේ ඇඳ ළඟ හිඳගෙන කතාපොත්, කවි කටපාඩමින් කියන්නට වූ කළ ජී.බී. සතුටු කඳුළු වගුරන්නට වූ බව ඔහු කියා තිබිණි.
කුඩා කළ අත්දැකීම සිහිපත් කළ මහාචාර්යතුමා පසුකලෙක කී කතාවක් වූයේ ළමයින් කියැවීමට පෙළඹවීමට නම් එය ඔවුන්ට තහනම් කටයුත්තක් කිරීම උචිත බවය. පොත් හා ඔහු අතර බැඳීම, ජීවිතයේ අගභාගය වනතෙක් අඛණ්ඩව පැවැතිණි. ඉංග්‍රීසි භාෂාවෙන් වැඩිදුර කියැවීමට කැමැති වූ කාලෝ වඩාත් ප්‍රියකළේ බර්ට්‍රම් ඩී රසල් කියැවීමටය. පළමු පන්තියට ඇතුළත් වූ දා මුලින්ම පොතක් තෑගි ලද දින සිට කියැවීමට වහවැටුණු කාලෝහට උසස් පෙළ සමත් වීමත් සමග මවගෙන් රුපියල් 25ක තෑග්ගක් ලැබුණේ කැමැති දෙයක් මිලට ගන්නටය. කාලෝ වහාම ගියේ ලේක්හවුස් පොත් සාප්පුවටය. රැපියල් 18ක්ම ගෙවා ඔහු උජාරුවෙන් කිහිලි ගන්නාගෙන ආවේ ‘බටහිර දර්ශනය පිළිබඳ ඉතිහාසය’ නැමැති බර්ට්‍රම් රසල්ගේ මාහැඟි ග්‍රන්ථයයි.
අටවැනි පන්තියේදී ශේක්ෂ්පියර් කියැවීම ඇරුඹූ කාලෝගේ ගුරුවරයා වූ ජස්ටින් පෙරේරා පියතුමා රෝමියෝ ජුලියට් රසකර කියා දුන්නේය. ආදරය පිළිබඳ පාසල් කාලයේදීම එලෙස නිසි මගපෙන්වීමක් ලද ඔහු ජීවිතයේ අගභාගය වනතුරුද ආදරයේ නිර්මලත්වය අමතක නොකළේය. එතුමන්ගේ බොහෝ ගීතවලට ආදරයේ විවිධ පැතිකඩ අරමුණු වී ඇත්තේ එහෙයිනි.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා දක්ෂ ගේය පද රචකයෙකි. සංගීතය කෙරේ අපූරු නිසඟ දක්ෂතාවයක් රැගත් සොඳුරු ගාන්ධර්වයෙකි. එතුමාගේ නිර්මාණවලට විවිධ ක්ෂේත්‍ර ගණනාවක්ම වස්තුබීජ බවට පත්ව තිබුණි. විද්‍යාව සහ කලාව සුසංයෝග කළ හැකි අපූර්ව ප්‍රතිභාවක් සතු තැනැත්තෙකි. වෛද්‍ය අනිල් සමරනායක අපට මතක්කර දුන්නේ කාලෝ ෆොන්සේකා මහැදුරුතුමන් සිය භෞතිකවාදී දර්ශනය තුළින් කළ අපූරු නිර්මාණයක රසපද පෙළය.
“පදාර්ථයට පණ කවා - කුසේ සඟවලා
හෙමින් හෙමින් මා අඹා - ලොවට බිහිකළා”
මව්පදවිය ලැබීම පිළිබඳව වූ අසිරිමත් අවස්ථාව විද්‍යාත්මකව පැහැදිලි කෙරෙන සුලලිත වදන් රැසකින් විචිත්‍රවත් වූ එම ගීතය ප්‍රවීන ශිල්පි එඩ්වඩ් ජයකොඩිගේ මියුරු හඬින් ගැයෙන්නකි. එය විද්‍යාත්මක සංකල්පයක්, මව් සෙනෙහස, මවුගුණ ගායනය යන මේ සියල්ල කැටිකරගත් අපූරු රචනයකි. එවැන්නක් කළ හැක්කේ මහාචාර්ය කාලෝ වැනි සංවේදී සොඳුරු සිතැත්තෙකුටම පමණි.
එතුමා සිය බිරිය හා ගෙව්වේ ඉතාමත් ප්‍රේමණීය වූ ජීවිතයකි. මේ යුවළ දැඩිව එකිනෙකා හා බැඳුණු යුවළක් බව වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි කියයි. මහාචාර්ය කාලෝ සිය පිය බිරිය වෙත වූ නොමියෙන සෙනෙහස, බැඳීම ලෝකයටම කීවේ අපූරු ගී පදවැලක් මගිනි.
“කොයිද කියා මන්ද කියා
නොදැන ආවේමි....
දිවි ගමනේ මගේ යෙහෙළි
සොඳුර ඔබ විනී....
පෙමෙහි රසත් රහි පලයත්
ඔබෙන් උගතිමී....
දිවිහිමියෙන් හදබැතියෙන්
ඔබට පින්දෙමී....
නොතිර ලොවේ විරහ දුකේ අඳුර හිමිවිනි
මරු කතරේ සුළඟ ලෙසින් තනිව පිටවෙමි....
විශාරද අමරසිරි පීරිස්ගේ හඬින් ලයාන්විතව ගැයෙන මේ ගිය සිය ජීවිතයේ සොඳුරු යෙහෙළිය වෙනුවෙන් ඔහු කළ මියුරු තිළිණයකි.
වෛද්‍ය අනිල් සමරනායක සිය ගුරුවරයාගේ අතින් ලියැවුණු තවත් එබඳු ප්‍රේමණීය ගීතයක අපූරු පදවැල් සිහිපත් කළේය. එය මේ වනවිට ජනකාන්ත මියුරාවලියකි.
රුදුරු තුරු වදුලේ - තියුණු කටු අතරේ
දිලෙන සියුමැලියේ - ඔබයි ජීවන සුවඳ දෙන්නේ
රෝස කුසුම මගේ.....
මේ ගීතයේ උපතද එහි පදවැල සේම අමුතුය. අපූරුය. මහාචාර්ය කාලෝ වරෙක එහි උපත ගැන මතක ප්‍රසිද්ධියේ කැඳවා තිබුණි.
“ඔය මම ලියපු රුදුරු තුරු වදුලේ ගීතය ලිව්වේ කවුරු සඳහා කියලාද මේ අය හිතන්නේ? ඒක මම මුලින්ම ලීවේ එච්.ආර්. ජෝතිපාලයන්ට. අවාසනාවකට එය පටිගත කිරීමට කලින් ඔහු අපට අහිමි වුණා. පස්සේ මම ඒක සුනිල් එදිරිසිංහ මහතාට ගයන්න දුන්නා. මේක මුලින්ම ලියැවුණේ ජෝතිපාලයන්ට නිසා ඔහුගේ ආරයටයි ලියැවී තිබුණේ. පස්සේ මම ඒක සුනිල්ට හරියන විදියට වචන වෙනස් කළා...”
ඔහු සතුව තිබුණේ එවන් සෞන්දර්යාත්මක හැකියාවකි. මහාචාර්ය කාලෝ දුම්වැටි සහ මතට එරෙහි ව්‍යාපෘතියට නව පණක් දුන්නේද සිය සෞන්දර්යාත්මක හැකියාව උපයෝගී කරගනිමිනි. එතුමා අක්‍රිය දුම්පානයේ ආදීනව ගැන කියන්නට ජිංගල් එකක් ලිව්වේය. එවකට සුපර්ස්ටාර්ස් කෙනෙක් ලෙස ජනකාන්ත ප්‍රතිරෑපයක් දිනාගත් දොස්තර ප්‍රදීප් රංගන ලවා එය ගායනා කරවූයේය. එහි ප්‍රතිඵල විශිෂ්ට විය. අද හිතූ හිතූ තැන දුම්බීමෙන් වළකින්නට තරම් සමාජ ශික්ෂණයක් ඇති කරන්නට මහැදුරුතුමන්ට හැකිවිය.
මෑතකදී හටගත් සයිටම් විරෝධය බඳු රාගම විශ්වවිද්‍යාල ගැටලුවේදී සිසුන් හා කරටකර විරෝධයට එක්වූ මහාචාර්යතුමා කැලණිය වෛද්‍ය පීඨයේ ආරම්භක පීඨාධිපති ලෙස කටයුතු කළේය. එහිදී සරසවි ගීතය රචනා වූයේ එතුමන් අතිනි.
“සරසවියෙන් ඉපැරුණි කැලණියේ
වෙද වරමක් අපටයි ලැබෙනුයේ”
සිය අතින් තේමා ගීතය ලියැවුණු කැලණිය වෛද්‍ය විද්‍යා පීඨයටම සිය සිරුරද පරිත්‍යාග කිරීමට අන්තිමේදී එතුමන් තීන්දු කර තිබුණි. උපන්ගෙයි සමාජවාදියකු හේතුවාදියකු මෙන්ම හේතුඵලවාදියකු ලෙස සොඳුරැ ලෝකය විද්‍යාත්මකව දකින්නකු වූ එතුමා රතු කමිසයක් සුදු කලිසමක් සිය අවසන් ගමනට නියම කර තිබුණේ සිය විප්ලවීය ජීවන ගමනේ මතකය සනිටුහන් කරන්නටය.
සමර්සෙට් මෝම්ගේ කතාවක එන ‘ලැරී’ නමැති චරිතයට තමන් සමාන කිරීමට මහාචාර්ය කාලෝ කැමැති විය. තමන් සතු සියල්ල පුදදුන් චරිතය කී ලැරී, ඇත්තෙන්ම මහාචාර්ය කාලෝද තමන් සතු සියලුදේ අනුන් වෙත පුදකළ මුනිවර චරිතයකි. ඔහු කිසිවක් පෙරළා බලාපොරොත්තු නොවීය. අඩු තරමේ අපට සුපුරුදු ආටෝපකාරී රාජ්‍ය ගෞරව සහිත අවසානයවත් එතුමන් බලාපොරොත්තු නොවීය. ඒ තමා ඔහු සතු ශ්‍රේෂ්ඨත්වය. ඒ තමා මහාචාර්ය කාලෝ!
සුගත් පී. කුලතුංගආරච්චි