1961 අංක 29 දරන මහජන බැංකු පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීම සඳහා පසුගිය 4 දා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබූ විවාදය 19 වැනිදා දක්වා සති දෙකකින් කල් දැමීමට තීරණය කර තිබේ. මෙම පනත් සංශෝධනය පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය අගෝස්තු 22 දා පස්වරුවේ ආරම්භ කළ අතර තවදුරටත් විවාද කිරීම සැප්තැම්බර් 4 දිනට කල්දමා තිබිණ. එදින විවාද කර සවස් වරුවේ ඡනද විමසීම පැවැත්වීමේ සැලසුමක් ද විය. කෙසේ නමුත් මේ පිළිබඳ ඉදිරි විවාද කටයුතු 19 දා සිදුවනු ඇත.
මෙලෙස වැඩිදුර විවාදය කල්දැමීමට සිදුව ඇත්තේ මෙම සංශෝධන පිළිබඳ වෘත්තිය සමිතිවලින් සහ සිවිල් සංවිධාන හා ජනතාවගෙන් ඉදිරිපත් වූ විරෝධතා හේතුවෙනි. කෙසේ වුවද මෙම ප්‍රමාද කිරීම තාවකාලික වන අතර ආණ්ඩුවේ බලාපොරොත්තුව වන්නේ සැප්තැම්බර් මාසය තුළ සංශෝධන නීතිගත කිරීම බව දැනගන්නට තිබේ.
මෙම පනත පිළිබඳ 4 දාට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය කල්දමන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කතානායකවරයාගෙන් ඉල්ලා තිබුණි. සංශෝධන පිළිබඳ බැංකු සේවකයන් අතර විවාදාත්මක තත්ත්වයක් ඇතිව ඇති අතර මෙමගින් මහජන බැංකුවේ ස්ථාවරභාවයට ද හානියක් සිදුවීමට ඉඩ ඇති බව විපක්ෂ නායක පෙන්වා දී තිබුණි. තවදුරටත් මේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු අතර, ඇතුළත් කළ යුතු සංශෝධන පිළිබඳ ප්‍රබල ලෙස කතිකාවක් ගොඩනැගිය යුතු බවද විපක්ෂ නායක කතා නායකයාගෙන් කළ ඉල්ලීමේ දක්වා තිබුණි. කෙසේ වුවද ආණ්ඩුව 4 වනදාට නියමිතව තිබූ විවාදය කල්දැමීම අගය කළ යුතු අතර මෙමගින් තවදුරටත් සංශෝධන පිළිබඳ සාකච්ඡා කිරීමට සේවකයන්ට සහ මහජනතාවට අවස්ථාව සැලසී තිබෙන බව කිවයුතුය.
කෙසේ වුවද රජය මේ පිළිබඳව ප්‍රකාශ කර තිබුණේ 1961 අංක 29 දරන පනතේ 13 වැනි වගන්තිය සංශෝධනය කිරීමක් කිසිවිටෙකත් සිදු නොවන නිසා එමගින් බැංකුවේ ස්ථාවරභාවයට හානියක් නොවන බවය. එසේම කිසිම අවස්ථාවක පෞද්ගලීකරණය නොකරන බවට ද සහතික වී තිබිණ. සංශෝධනය කිරීමට අපේක්ෂා කරනුයේ පනතේ 12, 20, 21 හා 43 වගන්ති පමණක් වන බවද මෙයින් මහංන බැංකුවේ බලය ලත් ප්‍රාග්ධන සීමාව බිලියන 1 සිට 50 දක්වා වැඩි කිරීම පමණක් අපේක්ෂා කරන බවද දක්වා තිබේ.
එසේ වුවද වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ ආණ්ඩුව මොනවා පැවසුව ද මහජන බැංකුවේ ස්ථාවරභාවය දුර්වල කිරීමට මෙම සංශෝධන හේතුවිය හැකි බවය.
මෙම විරෝධතාවලට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යංශය හා විවාදයට නියමිතව තිබූ සැප්තැම්බර් 4 වැනිදා මාධ්‍යවලට නිවේදනයක් නිකුත් කර තිබිණි. ජනමාධ්‍ය මගින්ද මහජන බැංකු කොටස් පෞද්ගලික අංශයට අලෙවි නොකරන බවද දැන්වීම් මගින් පුනපුනා ප්‍රචාරය විය.
ආණ්ඩුව මගින් නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් විය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මහජන බැංකු සංශෝධන පනත් කෙටුම්පත හරහා බැංකු පෞද්ගලීකරණයට ලක්කරන බවට ගෙන යන දේශපාලන ප්‍රචාරණ මුළුමනින්ම පදනම් විරහිත ඒවා යැයි මුදල් අමාත්‍යංශය අවධාරණය කරයි.
මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්. අලි හසන්ගේ අත්සනින් මෙම ප්‍රවෘත්ති නිවේදනය නිකුත් කර තිබුණි.
මහජන බැංකුවේ බලය ලත් ප්‍රාග්ධන සීමාව වැඩිකර ගැනීම සහ භාණ්ඩාගාර ඇපකරයක් නොමැතිව ණයකර නිකුත් කිරීමේ හැකියාව ඇතිකර ගැනීමේ අරමුණෙන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති මහජන බැංකු පනත සංශෝධන කෙටුම්පත හරහා මහජන බැංකුව කිසිදු අයුරිකින් පෞද්ගලිකරණය නොවන බව ආණ්ඩුව අවධාරණය කරයි.
1961 අංක 29 දරන මහජන බැංකු පනතේ 13 වැනි වගන්තිය ප්‍රකාරව මහජන බැංකුවේ පරම අයිතිය ශ්‍රී ලංකා රජය සතුවේ. එහි වගකීම පැවරෙනුයේ මහා භාණ්ඩාගාරයේ ලේකම් වෙතය. මහජන බැංකුවේ කොටස් සමූපකාර සමිති වෙත හෝ මහා භාණ්ඩාගාරයේ ලේකම් වෙත හැර අන් කිසිවකුට අලෙවි කළ නොහැකි බව එම පනතේ පැහැදිලිව දැක්වේ.
මේ සතියේ විවාදයට හා ඡන්ද විමසීමට නියමිත මහජන බැංකු පනතේ සංශෝධන කෙටුම්පතෙහි ඉහත සඳහන් 13 වැනි වගන්තිය සංශෝධනය නොකරන බැවින් මහජන බැංකුව පෞද්ගලීකරණය වීම යනුවෙන් ප්‍රකාශ කිරීම සම්පූර්ණ අසත්‍යයකි. යෝජිත සංශෝධන මගින් සිදු කෙරෙනුයේ පනතේ ඇතුළත් වගන්ති 12, 20, 21 හා 43 පමණක් සංශෝධනය කිරීමයි.
මෙම සංශෝධනනයට ලක්වන වගන්ති හතරේ ප්‍රධාන අරමුණ වන්නේ මහජන බැංකුවේ බලය ලත් ප්‍රාග්ධන සීමාව රු. බිලියන 50 දක්වා වැඩිකිරීමත් ඇතුළත් රාජ්‍ය බැංකු සිදුකරන ආකාරයටම භාණ්ඩාගාර ඇපකරයක් නොමැතිව ණයකර නිකුත් කිරීමේ හැකියාවක් මහජන බැංකුවට අත්කර දීමත්ය.
ලංකා බැංකුව ඇතුළු අනෙකුත් රාජ්‍ය බැංකු පනත්වලට අනුකූලව එම බැංකුවල භාණ්ඩාගාරයේ ඇපකරයක් නොමැතිව තම නියාමන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණයකර නිකුත් කිරීමේ හැකියාවක් සහ ක්‍රියාවලියන් අදට ද පවතී. එසේ නමුදු එම බැංකු පෞද්ගලීකරණයට ලක්වන බවට කිසිවකුත් චෝදනා එල්ල නොකරයි.
ඇතැම් දේශපාලන නායකයන් මෙම අවස්ථාවේදී සිදුකරන ප්‍රකාශ ජනතාව නොමග යවා පටු දේශපාලන වාසි ලබා ගැනීමට දරන ප්‍රයත්නයක් මිස එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව අවධාරණය කෙරේ.
කෙසේ වුවද ඒ සමගම අනාවරණය වී ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලය රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය පවතින ණය සීමාව ඉක්මවා ගොස් ඇති නිසා බැංකුවලින් ලබාගත හැකි ණය සීමාව රුපියල් කෝටි 10,000 දක්වා ඉහළ දැමීමට ඇමැති මණ්ඩලය අනුමත කර ඇති වගකි. විදුලි බල මණ්ඩලය රාජ්‍ය බැංකු තුනකින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය මේ වනවිට රුපියල් කෝටි 9600ක් වී තිබේ. මෙම ණයවලින් වැඩිම ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ මහජන බැංකුවෙන් වන අර එය රුපියල් කෝටි 6600කි. මේ හැර ලංකා බැංකුවෙන් කෝටි 1500ක් ද, ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් කෝටි 440ක්ද වශයෙන් ලබාගෙන තිබේ. මේ අනුව පෙනී යන්නේ බැංකුවල ණය නොලැබුණේනම් අත්‍යවශ්‍ය සේවාවක් සපයන ලංකා විදුලි බල මණ්ඩලයට එම සේවය ඉටු නොකර ජනතාව කළුවරේ තබන්නට සිදුවන බවය. අපේ රාජ්‍ය බැංකුවලින් ජනතාව සිදුවන සේවය අගයීමට මෙම කරැණම ප්‍රමාණවත් වනවා ඇත. එවැනි රාජ්‍ය බැංකුවල ශක්තිමත්භාවය ඉදිරියට ගෙනයාමට යෝජිත පනත් සංශෝධන තුළින් හානියක් සිදුවේ නම් ඒ පිළිබඳ විරෝධතා දැක්වීමේ යම් සාධාරණත්වයක් ඇති බවද පැවසිය යුතුය. ඒ නිසා ආණ්ඩුව මේ අවස්ථාවේ කළ යුතු වන්නේ කඩිමුඩියේ මෙම කටයුතු සිදු නොකර ජනතාවට සාකච්ඡා කර සැකබිය දුරු කර ගැනීමට අවස්ථාවක් දීම බව පැවසිය යුතුය.
එසේම පසුගිය දා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) දී අනාවරණය වූයේ විෂය භාර ඇමැතිගේ පෞද්ගලික ලේකම්ගේ ලැයිස්තුවකට 2017 සිට 2019 දක්වා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට සේවකයන් 1707 දෙනකු අවිධිමත් ලෙස බඳවාගෙන ඇති බවය. බැංකුවේ උසස් නිලධාරීන් කෝප් කමිටුවේදී පෙන්වා දී තිබුණේ බැංකුවේ අභ්‍යන්තර වංචා නිසා මේ වනවිට රුපියල් කෝටි 11ක් අහිමි වී ඇති අතර වංචාවලට සම්බන්ධ උසස් නිලධාරියකු ද මේ වනවිට රිමාන්ඩ් භාරයට පත්කර ඇති බවය. අපේ බැංකු පද්ධතියට දේශපාලනඥයන්ගෙන් සිදුවන වින්නැහිය මෙමගින් අනාවරණය වේ. මෙවැනි පරිසරයක් තුළ පවතින නීතිවල යම් වෙනසක් කරන්නේනම් ඒ පිලිබඳ සුපරික්ෂාකාරී වීම වැදගත් බව මැදහත් විශ්ලේෂකයෝ පවසති.
පනතේ වගන්ති සංශෝධනය පිළිබඳ අදහස් දක්වන ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මෙසේ අදහස් ප්‍රකාශ කරයි.
“අපි මේ සංශෝධනවලට විරුද්ධ වන්නේ අපේ රටේ දේශපාලනඥයන් කරන ඇතැම් සටකපට දේවල් පිළිබඳ අවබෝධයක් ඇති නිසයි. නොයෙක් විට බැංකුවේ උසස් නිලධාරීන් ප්‍රකාශ කරන හැටියට මෙලෙස ගෙන ඒමට අදහස් කරන සංශෝධනවලින් ප්‍රාග්ධනය ඉහළ නංවා ගැනීම යහපත් අපේක්ෂාවක්. එහෙත් එම ප්‍රතිපාදනවලින් රිංගා ගොස් මහජන බැංකු කොටස් ප්‍රාග්ධන වෙළෙඳපොළට දැමීමෙන් කොයි ආකාරයකින් හෝ බැංකුව දුර්වල වෙනවා නම් අපි එයට විරුද්ධයි.
විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ජනතාවගේ අත්‍යවශ්‍ය ආයතන මේ වනවිට පවත්වාගෙන යන්නේ රාජ්‍ය බැංකුවල මුදල්වලිනි. මෙම මුදල් එම ආයතනවලට බැංකු සපයන්නේ රජය නියම කරන ඉතාම අඩු පොලියකට. එහෙම නැතිනම් මේ මුදල් වෙනත් ආයෝජනයකට යොදලා විශාල ආදායමක් ලබාගන්න බැංකුවලට පුළුවන්. දැනට දී ඇති ණය උපරිම සීමාව ද ඉක්මවා යන නිසා කෝටි 10,000 දක්වා වැඩිකිරීමට ආණ්ඩුව කටයුතු කරමින් යනවා.
දැනට රුපියල් කෝටි 9600ක ණය ලෙස මෙම ආයතන අරන් ඇත්තේ බැංකුවල ඇති මහජනතාවගේ මුදල්. මේ අන්දමට මුදල් ගන්නේ නැතිනම් රජයේ අත්‍යවශ්‍ය කටයුතු කරන්න බැරිවෙනවා. විදුලි බල මණ්ඩලයට හා ඛණිජ තෙල් සංස්ථාවට මුදල් අවශ්‍යනම් ඒ බව බැංකු පිට නොපටවා ඇයි මහා භාණ්ඩාගාරයට දෙන්න බැරි? ශ්‍රී ලංකන් එයා ලයින්ස් මිහින් ලංකා වගේ දිගටම පාඩු ලඉන ආයතනවලට මහා භාණ්ඩාගාරය මුදල් යොදවනවා නම් ජනතාවට අත්‍යවශ්‍ය සේවාවලට දෙන්න බැරි ඇයිද? ආණ්ඩුව බැංකුවලට උපදෙස් දෙන්නේ ණයකර අලෙවි කරලා මුදල් ලබාගන්න කියලා. එය එක්තරා විදිහකට ගැලවෙන්න හදන උපායක්.
බැංකුවල ණය ගන්නා ණයකර වර්ග දෙකක් තියෙනවා. T1 හා T2 වශයෙන්. T1 යටතේ ප්‍රාග්ධන අවශ්‍යතාවලට බැංකුවලට ණයකර අලෙවිකරලා මුදල් ලබාගන්න පුළුවන්. T2 අනුව BASAL 3 යන ජාත්‍යන්තර නියාමනයන්ට අනුව ප්‍රාග්ධන අවශ්‍යතාවලට ණයකර නිකුත් කළ හැකියි. එහෙත් එහෙම නිකුත් කරන ණයකර විශේෂ අවස්ථාවලදී කොටස් බවට පත්වෙනවා. දැනට ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ ප්‍රාග්ධන හිමිකම් ඇත්තේ භාණ්ඩාගාරයේ ලේකම්වරයාටයි. එහෙත් ගෙනෙන සංශෝධන අනුව එම තත්ත්වය වෙනස් වන නිසා ණයකර කොටස් බවට පත්වුණොත් ඒවා පෞද්ගලික ආයෝජකයන් ළඟට යාමේ අවදානමක් ඇතිවිය හැකියි. ඒ නිසා අපි කියන්නේ මහජන බැංකු පනත සංශෝධනය කරනවා නම් T2 යටතේ අලෙවි වන ණයකර කොටස්වලට පරිවර්තනය කිරීමේදී ඒවා පෞද්ගලික අංශයට අලෙවි කරන්නේ නැත යනුවෙන් සංශෝධනයක් ගෙනා යුතුයි කියලයි. අපි මෙවර සටන් කරන්නේ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩිකර ගැනීම වගේ පෞද්ගලික වාසි තකා නෙවෙයි. රටේ සමස්ත ජනතාව වෙනුවෙන්. රටේ ආර්ථිකය වෙනුවෙන්. ඒ බව තේරුම් ගැනීම අවශ්‍යයි.
රාජ්‍ය බැංකුවල ව්‍යූහාත්මක වෙනස්කම් කිරීමට මෙයට පෙර ආණ්ඩුත් විවිධ අවස්ථාවල උත්සාහ කළා. එහෙත් වෘත්තිය සමිතිවල ක්‍රියාකාරීත්වය හමුවේ ඔවුන්ට පසුබාන්නට සිදුවුණා. ඒ අනුව මෙවරත් මේ සංශෝධන ගැන නිවැරදිව තෝරා බේරාගන්නා තුරු ප්‍රමාද කරන්නට අපට හැකිවුණා. ආණ්ඩුව මෙවර ද මේ ගෙනෙන්නට සූදානම් වන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල ව්‍යූහය සංශෝධනය තුළින් එහි මුලින් තිබූ ස්වාධීන බලය අවම කරන්නට උත්සාහ කරනවා. බැංකුවල ප්‍රාග්ධනයට අදාළ තීරණ ගැනීමත් මෙම මුදල් මණ්ඩලයෙන් සිදුකෙරෙනවා. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට මුදල් මණ්ඩලයේ තිබූ ඡන්දය දීමේ අයිතිය අහෝසි කරලා ඔහු නිරීක්ෂණ මට්ටමේ තබාගැනීමේ උත්සාහයක යෙදෙනවා. මෙයින් අපේක්ෂා කරනු ඇත්තේ බැංකු ප්‍රාග්ධනයට ආණ්ඩුව ඇඟිලි ගහනවා නම් එයට එරෙහි වීමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ඇති බලය නැති කිරීම ද විය හැකියි. ඒ නිසා අප ඉල්ලා සිටින්නේ මුදල් මණ්ඩලයේ මුලින් තිබූ තත්ත්වයේ කිසිදු වෙනස් කිරීමක් නොකළ යුතු බවයි. එවැනි කොන්දේසිවලට ආණ්ඩුව එකඟ වනවා නම් මේ සංශෝධන සම්මත කරගත්තට අපි විරුද්ධ වෙන්නේ නැහැ”
- යසවර්ධන රුද්රිගු