2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

හූනෝ සහ වීරයෝ රට පැටලූ සොයාගැනීම

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 396

හූනෝ සහ වීරයෝ ගැන ලොකු ආන්දෝලනයක් පසුගිය සතිය පුරා පැතිර ගියේය. අපේ තරුණ විද්‍යාඥයන් කණ්ඩායමක් අලුතෙන් සොයා ගත් හූනන් හය දෙනෙක් රටේ නම ගිය ජාතික වීරයන් 6කගේ නමින් හැඳින්වීම හේතුවෙනි. සමහරු තර්ක කළේ මෙය හිතා මතා සිදු කළ කුමන්ත්‍රණකාරී වැඩක් ලෙස දක්වමිනි. සමාජ මාධ්‍යජාල ඇතුළු සමහර මාධ්‍ය මගින් ඉදිරිපත් කළ කරැණු නිසා මේ චෝදනාසහගත දෝෂාරෝපණ ඉහළ ගියේය. නමුත් සැබෑවටම සිදුව තිබුණේ රට ගැන හැඟීමක් ඇති පිරිසක් කෘතගුණ සැලකීමේ අභිලාෂයෙන් නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව කටයුතු කර තිබීමය.

අලුත් ජීව වීශේෂයක් රටකින් සොයාගැනීම ඒ රටට කීර්තියකි. මුළු ලෝකයේම අවධානය දිනා ගන්නා වැඩකි. විද්‍යාත්මක ක්ෂේත්‍රයේ අයට මෙය ලෝක කුසලානය දිනාගත්තා හා සමානය. අලුත් විශේෂයක් සොයා එය තහවුරු කිරීම ඒ තරම්ම භාර දූර කටයුත්තකි. ඒ සඳහා නමක් යොදා ගැනීමද ඒ හා සමාන දුෂ්කර කටයුත්තකි. කිසියම් විශේෂයක් අලුතෙන් සොයා ගන්නා අය ඒ වර්ගයේ දැනට ලොව හඳුනාගෙන ඇති සියලු ජීවින් ගැන දත යුතු සියල්ල පිරිසිද දත යුතුය. නව ජීවියා සතු වෙනස්කම් හඳුනාගත යුතුය. රූප විද්‍යාත්මකව පමණක් නොව ජාන විද්‍යාත්මකව ද ඇති වෙනස්කම් සහ එම ජීවියාට අනන්‍ය  සුවිශේෂී ලක්ෂණ ද හඳුනාගත යුතුය. ඒ සියල්ල කැටිකර ගත් වාර්තාව ඒ සඳහා වූ ලෝක කමිටුවේ විද්වතුන් පරික්ෂා කර තහවුරු කළ යුතුය. මෙවන් ජීවියකුට හිතුමතයේ නමක් යෙදීමට ද නොහැකිය. ඒ සඳහා තෝරාගන්නා අය යම් විශිෂ්ටත්වයක් දරන අය විය යුතුය. උපහාස හෝ අපහාස පරමාර්ථ කරගෙන නම් තැබීම ඒ සඳහා වූ කමිටුව මගින්ම වළක්වා තිබේ. මේ නිසා ජාතික වීරයන් හෑල්ලුවට ලක් කරන්නට ඉහත නම් තැබුවාමය යන තර්කය විද්‍යාත්මක ප්‍රජාව අතරදී පුස්සක් බවට පත් වෙයි.

සාමාන්‍යයෙන් ගෞරව කිරිමේ අභිලාෂයෙන් විශිෂ්ට පුද්ගල නාම යොදාගත් අවස්ථා අප රටේ ද බහුලය. මහාචාර්ය සරත් කොටගම, පරිසරවේදී ජගත් ගුණවර්ධන, සිංහරාජයේ මාටින් විජේසිංහ, වෛද්‍ය සංජීව රංවැල්ල මෙලෙස තම නම ජගත් කීර්තියට පත් කළ උදවියය. වැඩිම උරගයන් සංඛ්‍යාවක් සොයාගන්නට කැපවූ සත්ත්ව විද්‍යාඥ මෙන්ඩිස් වික්‍රමසිංහ කියන්නේ තමන් ද අලුතෙන් සොයාගත් ජීවින් දෙදෙනෙක් ජාතික වැදගත්කමක් ඇති පුද්ගලයන් නමින් නම්කර ඇති බවයි. ඉන් එක් සත්වයෙක් සර්පයෙකි. මේ සර්පයා ඔහු නම්කර ඇත්තේ රාවනා රජුගේ නමිනි. මෙහිදී තමන්ට අවශ්‍ය වූයේ රයිට් සහෝදරයන්ටත් පෙර අහසින් ගුවන් යානා තනා ගිය රාවනා රජු ගැන තමන් තුළ වූ ගෞරවය සදාකාලිකව අලුත් වන මතක සටහනක් ලෙස ලෝකයා ඉදිරියේ තැබීම බව ඔහු කියයි. සර්පයාගේ විද්‍යාත්මක නාමය අසන අය එයින් හැඳින්වෙන පුද්ගලයා ගැන ද සොයා බලන්නට පෙළඹෙන අතර ඒ මගින් අදාළ තැනැත්තා ලෝක සම්භාවනාවට ලක්වේ. කතාබහට ලක්වේ. යොවුන් විද්‍යාඥ සමීර කල්පනා කර තිබුණේ ද ඒ ආකාරයටමය. මාධ්‍ය මගින් රට පටලා කළ එළිදරව්වෙන් පසු පොටපටලාගත් උදවිය මතු කළ අලකලංචියෙන් තමන් ඇතුළු පර් යේෂක පිරිස ගැන වැරදි අවබෝධයක් සමාජ ගත වීම ගැන සමීර සුරංජන් අප හා කතා කළේ කණස්සල්ලෙනි.

“මං කළේ සුද්දෝ හින්දා ජිවිතය නැතිවුණ, ඉතිහාසයෙන් අකාමකා දැම්ම, සමහරැ වුවමනාවෙන්ම අමතක කර දමන්නට හදන අපේ වීරවරයන්ගේ නම් සුද්දාගේම ක්‍රමය භාවිතා කරලා සුද්දන්ගේ අතරට ගෙන ගිහින් අමරණීය තත්ත්වයක් ලබාදීමට සදාචාර සම්පන්න ගෞරවනීය ආකාරයට නිත්‍යනුකූලව කටයුතු කිරීමයි. නමුත් කොරහෙත්  කිඹුලන් දකින අපේ සමහර අය මේක අල්ලාගත්තේ වැරදි තැනකිනුයි. ඒක අර්ථකතනය කළේ වැරදි ආකාරයටයි”. 

මේ පරීක්ෂණ කටයුතු සඳහා මූලිකත්වය ගත්තේ සමීර සුරංජන් කරුණාරත්නය. ඔහු දැනට මොරටුවේ සොයිසාපුර පදිංචි තරැණ විද්‍යාඥයෙකි. කුඩා කල සිට තරැණ සත්ත්වවේදී සංගමයේ ක්‍රියාකාරිකයෙකි. සිය පියාගේ ගම ඌව වෙල්ලස්සේ බිබිල නිසා ජාතික වීරයන් ගැන දැන් මේ කිඹුල් කඳුළු හෙලන කාටවත් නැති ඇම්මක් කැක්කුමක් උරැමයක් ඔහුට උපතින්ම හිමිය. නිල්ගල වන පෙත කුඩා කල සිටම ඔහු සිත් බැඳ ගත් ස්වභාව අධ්‍යයනාගාරයයි.

“මම ක්ෂේත්‍රයේ පර් යේ්ෂණ කටයුතුවලට යොමු වෙලා අවුරැදු 20කට වැඩියි. හැමෝම  ලොකු සත්තු ගැන අධ්‍යයනය කරන නිසා මම හිතුවා ඒ හා සමාන ඉහළ වැදගත්කමක් දරන, සරැ ජෛව විවිධත්වයකින් යුතු උරගයන් උභයජීවීන් ගැන හොයන්න. විනාශ වී යාමේ තර්ජනයට දැඩිව මුහුණ දෙන මේ සතුන් ගැන අධ්‍යයනය අසීරැ ක්‍රියාවක්, දුෂ්කර ක්‍රියාවක්. ඒ නිසාම බොහෝ දෙනා මේ අංශය මග හරිනවා. ඒ නිසාම මම උනන්දු වුණා. ඒ අංශයේ ඕනෑ තරම් අලුත් විශේෂ සොයාගන්න ඇති අවස්ථාව ඉහළයි. කටුස්සන්, හූනන්, ගෙම්බන් තමා මම උනන්දුවෙන් හදාරණ සත්ත්ව වර්ග. ඇත්තෙන්ම හූනන් ගැන ගැඹුරෙන් අධ්‍යයනය ඇරඹුවේ 2018 අවුරුද්දේ ජූලිවල ඉඳලා. ඒතරම් කෙටි කාලෙකදි තමා මේ සතුන් අලුතෙන් හොයා ගත්තේ. අපේ රටේ ජීවින් කොච්චරනම් ඉන්නවද? අපි ජෛව විවිධත්වය අතින් කෙතරම් පොහොසත්ද කියන එක තමා මෙයින් තහවුරැ වෙන්නෙ.”

අලුත් විශේෂ සොයා ගනු ලැබුණේ හුදකලා කඳු ගැට කිහිපයක් ඇසුරෙනි. පදියතලාව, නුවරඑළිය, වලපනේ, රත්නපුර බඹරබොටුව, මහනුවර - කඩුගන්නාව, අම්පාර - කුඩුම්බිගල, ප්‍රදේශවලින් සොයාගත් මේ සතුන් හට ජාතික වීරයන්ගේ නම් යෙදීමට තීරණය කර තිබුණේ සමස්ත පර් යේෂක කණ්ඩායමේ අදහස් අනුවය.

මම තව අලුත් ජීව විශේෂ, කටුස්සන්, හූනන් සහ ගෙම්බන් 20ක් විතර සොයාගෙන තියෙනවා. මගේ හිතමිතුරු අපේ පර්යේෂක කණ්ඩායම තවත් 100කට වැඩි ජීවින් හොයාගෙන තියනවා. ඒ අනුව තවත් අලුත් අය 150ක් විතර ඉන්නවා. තවම මේ අයට නම් දීලා නැ.

මේ කටයුත්තේදී සමීර සමඟ එක්ව පර් යේෂණයේ යෙදුනේ රජරට සරසවියේ ආචාර්ය කනිෂ්ක උකුවෙල, මජින්ත මඩවල, දිනේෂ් ගබඩාගේ සහ මාධව බොතේජු යන උරග විද්‍යාඥයන්ය. ආචාර්ය ඇන්සලම් සිල්වා මෙන්ම මෙන්ඩිස් වික්‍රමසිංහ යන ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයන්ගේ මග පෙන්වීම ද ලැබිණි. විදේශ තාක්ෂණ සහාය සහ මග පෙන්වීම ලැබුණේ ලෝක ප්‍රකට ජීව විද්‍යාඥයන් වන මොස්කව් රාජ්‍ය සරසවියේ මහාචාර්යවරැන් වන නිකලෝයි පොයෙර්කො සහ වැල්ද් ගෝරින් ද විලානෝවා සරසවියේ මහාචාර්ය එරන් බවර් සහ රිච්වෝටර් සරසවියේ මහාචාර්ය තිළිණ සූරසිංහ යන අයගෙනි.

 සුගත් පී. කුලතුංග ආරච්චි