ලංකාවේ ගොවිපොළවල හෝ ගමගෙදර ගාලේ එළදෙනුන්ගෙන් දොවන නැවුම් එළකිරි නොබී සම්පූර්ණ යොදය සහිත විදේශයෙන් ගෙන්වන කිරිපිටි සොයන ජනතාව සිටිති. නවසීලන්තයෙන් ගෙන්වන කිරිපිටිවල ප්‍රමිතිය පිළිබඳව ගැටලු මතභේද ගොඩනැගුණේද අදක ඊයෙක නොවේ. එක් නියෝජ්‍ය අමාත්‍යවරයකු පාර්ලිමේන්තුවේදී කිරිපිටි ගැන කළ ප්‍රකාශයක් නිසා මාස කිහිපයකට ඉහතදී පාර්ලිමේන්තුව මෙන්ම රටත් උණුසුම් විය. එහි ඵලයක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස් පිටිකිරි පානය අත්හැර දමනු ලැබීය.
එදා සමාජගත වූ කිරිපිටිවල ඌරුතෙල් අඩංගු කතාවේ අලුත්ම විස්තරය දැන් අසන්නට ලැබේ. පාර්ලිමේන්තුව උණුසුම් කරමින් නැගුණු කිරිපිටි පිළිබඳ චෝදනාව විමර්ශනයට මෙරට වෙළෙඳපොළේ අලෙවි කරන සම්පූර්ණ යොදය සහිත යැයි කියන කිරිපිටි යුරෝපයේදී තත්ත්ව පරික්ෂාවට ලක්කර ඇත. ඒ අනුව වාර්තාව පදනම්ව විද්වත් මණ්ඩලයක් විසින් ක්‍රමවත්ව සකසන ලද වාර්තාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි. පාර්ලිමේන්තු ආරංචිමාර්ග වාර්තා කරන්නේ ඒ පිළිබඳව විවාදයක් ඉදිරි දිනෙකදී පැවැත්වීමට සූදානම් බවය.
නවසීලන්තයෙන් ගෙන්වන සම්පූර්ණ යොදය සහිත කිරිපිටි බව කියන ඒවායෙන් සාම්පල රැස්කර ලබාගත් විද්‍යාත්මක වාර්තාව පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන් 225 දෙනා වෙත වෙනම යොමු කර ඇතැයිද එම වාර්තාව පිටු සිය ගණනකින් යුතු බවද වාර්තා විය. අදාළ පරික්ෂාව සඳහා කිරිපිටි සාම්පල යොමුකර තිබුණේ යුරෝපයේ රසායනාගාරයක් වෙතය. එහිදී කිරිපිටිවල සත්ව තෙල් අඩංගු දැයි පරික්ෂා කොට ඇති අතර ඒ සඳහා රැපියල් ලක්ෂ හතක මුදලක් වැයවී ඇතැයිද දැනගන්නට තිබේ.
එසේ ලබාගන්නා ලද වාර්තාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වෛද්‍යවරැ, පෝෂණවේදීන්, මහාචාර්යවරු, සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් සහ ප්‍රමිති ආයතන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සැකසූ පෙර කී වාර්තාව පාර්ලිමේන්තුවට යොමුකර ඇති බව වාර්තා විය.
විශේෂඥ වාර්තාව පදනම් කොට අවධාරණය කරන්නේ දේශීය වෙළෙඳපොළේ අඩු මිලට කිරිපිටි අලෙවි කිරීම සඳහා පාම් ඔයිල් මිශ්‍ර කරන බවකි. ඒ අනුව වාර්තාව දක්වා ඇත්තේ කිරිපිටි ඉතාමත් අවදානම් කාණ්ඩයකට අයත්ව ඇති බවය. කිරිපිටි සඳහා පාම් ඔයිල් කලවම් කිරීම හේතුවෙන් මිනිස් ශරීරයේ කොලෙස්ටෙරෝල් ප්‍රතිශතය ඉහළ යාම සිදුවන බවත් එම හේතුවෙන් හෘද රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇතිවන බවත් දක්වා ඇත.
ඇසුරුම් කොට අලෙවි කරන ඕනෑම ආහාර ද්‍රව්‍යයක පිටකවරයේ ආහාර නිෂ්පාදනය හා කල්තබා ගැනීම සඳහා අඩංගු කරන ද්‍රව්‍ය සඳහන් කළ යුතුය. නමුත් ශ්‍රී ලංකාවට නවසීලන්තයෙන් ගෙන්වා අලෙවි කරන කිරිපිටිවල පාම් ඔයිල් අඩංගු බව දක්වා නැත. එහි විශේෂය වන්නේ නියම කිරිපිටිවල සම්පූර්ණ යොදය ඉවත්කොට පාම් ඔයිල් මිශ්‍ර කිරීමය. මෙම කරුණු අනාවරණය වීමත් සමඟ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ පාරිභෝගික කටයුතු අධිකාරිය ආණ්ඩුවට කිරිපිටි පිළිබඳ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් නිර්දේශ හා යෝජනා රුසක් ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වේ.
කිරිපිටිවල මෙලමයින් අන්තර්ගතව ඇතැයි කතිකාවක් නැගුණේ 2008/ 2009 වර්ෂවලදීය. එමෙන්ම ආනයනික කිරිපිටිවල ඌරැතෙල් ලැක්ටෝස් අඩංගු බවට චෝදනා නැගිණි. හෙළිව ඇති තොරතුරැ අනුව කිරිපිටිවල මෙලමයින්වලට අමතරව වෙනත් සංඝටක ද අඩංගුව ඇත. කිසිදු කරුණක් මාධ්‍ය ඔස්සේ හෝ සමාජගත නොවුණු පසුබිමක නවසීලන්තයෙන් ගෙන්වන ප්‍රසිද්ධ වෙළෙඳනාම යටතේ අලෙවි කරන කිරිපිටි පිළිබඳව ජනතාවට ප්‍රශ්න මතුවිය. එවැනි අවස්ථාවන්හිදී පෙරමුණ ගන්නා අදාළ වෙළෙඳ සමාගම් විවිධ ඉසව් ඔස්සේ සිය වෙළෙඳ ප්‍රචාර කටයුතු සිදුකරමින් තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගෙන තිබුණි.
නවසීලන්තය කිරිපිටි නිෂ්පාදනය පිළිබඳ ප්රමුඛ රටක් වශයෙන් විවිධ ව්‍යාපාරික ආයතන විසින් හඳුන්වා දෙයි. මේ අතර ලෝකයේ විශාලම පාම් ඔයිල් ආනයනකරු වශයෙන් නවසීලන්තය පෙනී සිටී. නවසීලන්තය විසින් වසරකට මෙට්‍රික්ටොන් 2300 පමණ පාම් ඔයිල් තොගයක් ආනයන කරන බවට වාර්තා පවතී. එය තහවුරු කරන්නේ අමෙරිකානු රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉකුත් 2018 වසරේ ඉදිරිපත් කළ වාර්තාවක් අනුවය. නවසීලන්ත කිරිපිටිවලට එරෙහිව විදෙස් රටවල් නොයෙක් චෝදනා ඉදිරිපත් කළද එරට රජය ලැක්ටෝස් පාම් ඔයිල් පිළිබඳ චෝදනාව කිසිම අවස්ථාවක ප්‍රතික්ෂේප කළ බවක් දැනගන්නට නැත. කෙසේ වෙතත් නවසීලන්ත රජයේ තොරතුරුවලට අනුව වාර්තාවන්නේ දියුණු වෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටවල් සඳහා යවන කිරිපිටි සම්පූර්ණ යොදය සහිත බවය. ඒ සමඟ පැහැදිලි වන්නේත් පෙර කී වාර්තාව අනාවරණය කරන්නේත් ලංකාව වැනි රටවලට නවසීලන්තයෙන් ලැබෙන කිරිපිටි පෝෂ්‍යදායී නොවන හා සෞඛ්‍යයට අහිතකර බව පමණය.
අදාළ කරැණු පිළිබඳව විමසීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක අසේල බණ්ඩාර මහතා දුරකථනයෙන් සම්බන්ධ කොට ගත්තද ඔහු ප්‍රකාශ කර සිටියේ අදාළ වාර්තා පාර්ලිමේන්තුවට ලබාදී ඇති නිසා ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවත් පාර්ලිමේන්තුවේ විවාදයක් සිදු කිරීමට සූදානම්ව ඇති බවත්ය.
සමන්ත ප්‍රදීප් විල්තෙර