හංවැල්ල පහත්ගම පාරේ රෝමානු කතෝලික පාසල පාරේ පිහිටි පස් ව්‍යාපාරික විජිත ප්‍රේමලාල් හෙවත් සුබෝධගේ නිවසට පසුගිය 25 දින රාත්‍රි 9.30ට පමණ නාඳුනන පුද්ගලයෝ දෙදෙනෙක් ෆුල්ෆේස් හෙල්මට් දමාගෙන යතුරුපැදියක පැමිණියහ. ඔවුන් අත ස්වයංක්‍රීය ටී. 56 තුවක්කුවක් සහ පිස්තෝලයක් ද විය. ඒ අවස්ථාවේ නිවසේ සිටියේ විජිතගේ බිරියත්, මව, සහෝදරයා සහ තවත් කෙනෙකි. පැමිණි දෙදෙනා නිවසේ සිටි අයට තර්ජනය කළහ. “එකෙක්වත් හෙල්ලෙන්න එපා. පණට ආදරයක් ඇත්නම් ඔහොම දණ ගහපල්ලා.” යැයි පැවසූ දාමරිකයන්ගෙන් අයෙක් තම ස්මාට් ජංගම දුරකතනයෙන් දරණගස්වා සිටි හතර දෙනාගේ ඡායාරූප ගත්තේය.
ඊට පසු එම ඡායාරූප වයිබර් තාක්ෂණය ඔස්සේ වෙනත් අයෙකුගේ ජංගම දුරකතනයට යැව්වේය. “ම්හු.. ඔය පිරිසේ අපට අවශ්‍ය චරිතය නැහැ.” ඔවුන්ට පිළිතුරු ලැබුණි. ඊට පසු ඔහු කළේ නිවසේ සාලයේ තිබූ මංගල ඡායාරූපයක් දුරකතනයක් ඡායාරූපයට නගන එය වයිබර් කිරීමයි. “හරි ඔය ඉන්න මනමාලයා තමයි අපට අවශ්‍ය” උපදෙස් ලැබුණි. මෙම කටයුතු අතරතුර නිවසේ පිරිස මර බියෙන් කල්ගත කළහ. එය තවත් ත්‍රාසජනක චිත්‍රපටයක් මෙන් විය.
වෙඩි තබා ඝාතනය කළ යුතු පුද්ගලයා නිශ්චිතව හඳුනාගත් ඝාතකයන් ඔහු ගෙන්වා ගැනීමට විජිතගේ බිරිඳට පිස්තෝලය පෙන්වා තර්ජනය කළෝය. ළමයෙකුට අසනීපයි කියලා කෝල් එකක් දීපන්.” එම ඇමතුම ලැබුණු පසු විනාඩි 10ක් ඇතුළත විජිත නිවසට පැමිණියේ තම රියැදුරුත් සමඟ යතුරු පැදියකිනි. ඒ අතර එක් පුද්ගලයකු නිවසේ පිරිසට මී.මී. 9 වර්ගයේ පිස්තෝලයක් එල්ල කරගෙන සිටි අතර, අනෙක් පුද්ගලයා T 56 ගිනි අවියෙන් විජිතට සහ රියැදුරන්ට වෙඩි වරුසාවක් එල්ල කළේය. ඊට පසු පැමිණි යතුරු පැදියෙන්ම පලා ගියහ.
ඝාතකයන්ගේ ඉලක්ක සාර්ථක විය. නිවැසියන් වෙඩි තැබූ දෙදෙනා අසලට එනවිටත් ඔවුන් මෙලොව හැරගොස් හමාරය. එසේ ඝාතනයට ලක්වූයේ වාද්දුවගේ විජිත ප්‍රේමලාල් හෙවත් සුබෝධ (43) නම් පස් ව්‍යාපාරිකයා සහ ඔහුගේ රියැදුරු ලෙස සේවය කළ පාදුක්ක ගලගෙදර පදිංචි මුරුත්තෙට්ටුව ගමආරච්චිගේ රවිඳු (32)ය. ඒ සමඟම මෙම ඝාතනය වයිබර් තාක්ෂණයෙන් මරණකරු හඳුනාගෙන කළ ප්‍රථම ඝාතනය ලෙසට ද පොලිස් පොතට එක්විය.
පසුව පොලිසිය පැමිණ අවිස්සාවේල්ල රෝහලට සුබෝධ සහ රවිඳු රැගෙන ගියත් ඔවුන් බේරාගැනීමට අවස්ථාවක් නොතිබුණි. සුබෝධ මහා පරිමාණයෙන් පස් සපයන පුද්ගලයෙකි. පෑලියගොඩ අලුතින් ඉදිකරන වෙළෙඳ සංකීර්ණයකට පස් සැපයීම බාරගෙන තිබුණේද ඔහුය.
පොලිසිය පවසන්නේ ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා මීට වසර එකහමාරකට පෙර ඔහු යටතේ ලිපිකරුවකු ලෙස සේවය කළ පුද්ගලයකු ඝාතනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ සිට රක්ෂිත බන්ධනාගාරගතව සිටි අයෙක් බවයි. එයට සම්බන්ධ නඩුව අධිකරණයේ විභාගවෙමින් පවතින බවද පොලිසිය සඳහන් කරයි.
මෙම ඝාතනය පාතාලයට ලබාදුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි. ඝාතකයන් වයිබර් ඔස්සේ පින්තූර යවා විමසා ඇත්තේ ඒ පුද්ගලයාගෙන් බව පෙනීයන බවද පොලිසිය සඳහන් කරයි.
මේ අතර මෙම ඝාතනය මෙහෙයවා ඇත්තේ දැනට විදේශගතව සිටින පාතාල නායක අංගොඩ ලොක්කා විසින් බවට සැක කෙරෙන බව ද වාර්තාවේ. ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු ද මේ වනවිට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඝාතකයන්ගේ දුරකතනවලට සිම්පත් මිලදීගෙන ඇත්තේ ඔවුන් විසින් බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ. පස් ආරාවුලක් මත මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවට විමර්ශන කණ්ඩායම් සැක කරයි.
ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට හංවැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වන අතර ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති එම්.ආර්. ලතීෆ් මහතාගේ උපදෙස් මත එම බලකා නිලධාරින් කණ්ඩායමක්ද එක්ව සිටිති.
දැන් වයිබර් තාක්ෂණය මිනිස් ඝාතනවලට යොදාගැනීමට තරම් ශ්‍රී ලංකාව දියුණුය. පසුගිය ජුනි මාසයේ වාර්තා වූයේ ස්විට්සර්ලන්තයේ සිටි සැමියකු ලංකාවේ තම බිරිය මැරීමට රුපියල් ලක්ෂ තිහකට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් ගැනය. එහිදී කොන්ත්‍රාත්තුව ලබාගත් සැකකරු හා කාන්තාවන් විසින් අදාළ කාන්තාව මාගල්ල ප්‍රදේශයට රැගෙන ගොස් ඇගේ ඡායාරූප ගෙන ඒවා ස්විට්සර්ලන්තයේ සිටි සැමියාට වයිබර් මගින් යවා තිබේ. පිටරට සිටින සැමියා ඒ ඡායාරූපය දුටුවිට වැඩේ හරියයි සිතා සැකකරුවන්ගේ ගිණුමට මුදල් බැර කර ඇත.
කිහිප වරක්ම විභාග වංචා සඳහා වයිබර් තාක්ෂණය යොදා ගැනීමේ සිද්ධි අප රටෙන් වාර්තා විය. 2017 දී අනුරාධපුරයේ ප්‍රධාන පෙළේ පාසලක අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයකු වයිබර් තාක්ෂණයෙන් විභාග වංචාවක නිරත වනවිට පරීක්ෂකවරුන්ට අසුවිය. ඊට පෙර අ.පො.ස. උසස් පෙළ විභාගයේදී ප්‍රශ්න වයිබර් ඔස්සේ යවා පිළිතුරැ ලබාගැනීමක් ගැන වාර්තා විය.
වර්ෂ 2010 දී වයිබර් සමාජ ජාලය ටත්මන් මැකෝ සහ ඉයෝ මැගසනික් ආරම්භ කළේ පෞද්ගලික සන්නිවේදනය කඩිනම් කිරීමට පෙර මිනිස් ඝාතන, වංචාවලට නොවේ. නමුත් එය අපේ රටේ අපරාධ පහසු කරගැනීමට භාවිත කිරීම නම් කනගාටුදායකය.
සයිබර් ලෝකයට සීමාමායිම් නැත. එම තාක්ෂණය හොඳ නරක හඳුනන්නේද නැත. මේ නිසා වඳුරාට දැලිපිහිය අසු වුණානේ තත්ත්වයක් අප රටේ පැන නැගී තිබේ. ලෝකයම එක්වී 2015 සැප්තැම්බර් මාසයේ සයිබර් අපරාධ මැඩලීම සඳහා ගිවිසුමක් අත්සන් කළේද ඒ නිසාය. එය බුඩාපෙස්ට් සයිබර් අපරාධ මැඩලීමේ සම්මුතිය නම් වේ. එයට අත්සන් තැබූ පළමු දකුණු ආසියාතික රට ශ්‍රී ලංකාවය.
කුසුම්සිරි