අපේ රටේ ඉන්ධන මිල පිළිබඳ යළිත් වරක් කතාබහක් ඇතිවන්නේ පසුගිය සතියේ ඉන්ධන මිල නැවතත් ඉහළ නැංවීම නිසාය. ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල ඉහළ දැමූ බව රජය ප්‍රකාශ කළද ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ වැටී ඇති අවස්ථාවක අපේ මිල ඉහළ යාම අසාධාරණ බව බොහෝ දෙනෙක් ප්‍රකාශ කරති. එසේම මේ වනවිට තිරිගු පිටි සඳහාද මිල සූත්‍රයක් තනා ඇති අතර ගෑස් සඳහාද මිල සූත්‍රයක් තැනීමට රජය කටයුතු කරමින් සිටී.
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන බැරලයක මිල, අපේ මිල වැඩි කරන අවස්ථාව වනවිට ඩොලර් 55ක මට්ටමේ පැවතුණි. එයට පෙර සතිය හා සැසඳූ විට ඩොලර් 0.75කින් මිල පහළ ගොස් තිබිණ. එසේ වුවද මිල සූත්‍රය අනුව යැයි කියමින් පසුගිය 13දා මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරය රැපියල් 2කින්ද 95 ලීටරය රුපියල් 4කින් ඉහළ නංවා තිබිණ. සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ ගියේය. සාමාන්‍ය ඩීසල් මිලද මේ අනුව ඉහළ නැංවිය යුතු නමුත් එසේ නොකළේ ඒ හේතුවෙන් බස්ගාස්තු හා ප්‍රවාහන ගාස්තුද බලශක්ති මිලද ඉහළ යාමෙන් විශාල ආර්ථික අවුලක් ඇතිවීමට ඉඩ තිබූ නිසා යැයි පැවසේ.
2018 මැයි මස සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සූත්‍රය අනුව 2018 වසරේදී 9 වරක් මිල සංශෝධනය වූ අතර 2019 මේ දක්වා 8 වරක් ඉන්ධන මිල ඉහළ පහළ ගොස් තිබේ. 2017 වසර අවසන් වනවිට ඔක්ටේන් 92 පැට්‍රල් ලීටරයක මිල රුපියල් 117ක්ව පැවැති අතර 2018 වසර අවසන් වනවිට රුපියල් 125 දක්වා ඉහළ ගොස් තිබිණ. ඩීසල් ලීටරයක මිල 2017 අවසානයේදී පැවතියේ රු.95ක මට්ටමේ වන අතර 2018 අවසන් වනවිට රුපියල් 101ක් වී තිබුණි. මේ වනවිට 92 පෙට්‍රල් ලීටරය රුපියල් 135ක්ද ඔක්ටේන් 95 ලීටරය රැපියල් 163 ද වී තිබේ. සුපර් ඩීසල් ලීටරය රුපියල් 134ක්ව ඇති අතර ඔටෝ ඩීසල්වල මිල වැඩි නොවූ නිසා එය 104ක්ව ඇත.
ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දීමට ප්‍රධාන හේතුව ලෙස බලධරයන් පැවසුවේ ලෝක වෙළෙඳපොළේ මිල අඩු වනවිට එහි වාසිය පාරිභෝගිකයාට ලබාදීම බවය. එහෙත් මිල සූත්‍රය හඳුන්වා දුන් පසු මිල අඩුවීම සිදුවූයේ දෙතුන් වරක් පමණක් වන අතර අනිත් සැමවිටම සිදුවූයේ මිල වැඩිවීමකි. මේ නිසා ජනතාව පවසන්නේ මෙම ඊනියා මිල සූත්‍රය පාරිභෝගිකයා රැවටීමට ගොඩනැගූ උප්පරවැට්ටියක් බවය.
ඉන්ධන මිල සූත්‍රයේ ව්‍යුහය ගැන සලකා බලන විට එය M1, M2, M3 හා M4 යනුවෙන් සංකේත හතරක් පාදක කරගෙන සකස් කර ඇති බව පෙනී යයි. මෙය පිළිවෙළින් ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය, පරිපාලන වියදම් සහ නාස්තිය හා අපතේ යාම් ලෙස දැක්වේ. මේ අනුව ආණ්ඩුව තර්ක කරන්නේ ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල අඩුවුවද රුපියලේ අගය හා සෙසු සාධක අනුව ලෝක වෙළෙඳ පොළේ මිලට ඉන්ධන අලෙවි කළ නොහැකි බවය. උදාහරණයක් ලෙස පැවසුවහොත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සියයට 10ක් ඉහළ යනවිට අපේ මිල සියයට 12ක් ඉහළ යන්නේ ඒ නිසාය.
එසේ වුවද මැදහත් විචාරකයන් පවසන්නේ ලෝක වෙළෙඳ පොළේ මිල පාලනය කිරීමට රජයට නොහැකි බව සත්‍යයක් නමුත් සෙසු සාධක පාලනය කිරීම රජයේ වගකීම බවයි. ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ රජය එම සාධක පාලනය නොකර එහි බර ජනතාව පිට පැටවීම ජනතාවට කරන අසාධාරණයක් බවයි. එම සාධක පාලනය කිරීමට උත්සාහ නොකර ඒවා හේතු ලෙස පෙන්වමින් දිගටම මිල අඩුවීමේ සහනය ජනතාවට නොදීම අසාධාරණ බව ඔහු කියයි. ඒ නිසා දැනට පවතින මිල සූත්‍රය විකෘති වූ එකක් බවට ඔහු චෝදනා කරයි.
“සංවර්ධිත රටවලට මිල සූත්‍රයක් හොඳ නමුත් දියුණු වෙමින් පවතින අපේ රටට මිල සූත්‍රය සුදුසු නැහැ. රුපියල අවප්‍රමාණ වීම නවත්වා ගන්න තවත් බැරිවෙලා තියෙනවා. රුපියල ශක්තිමත් නොකර මිල සූත්‍රය දැමීම වැරදියි. එසේම මිල සූත්‍රයේ විනිවිද භාවයක් නැහැ. එහි සාධක වැඩිවීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම රජයේ වගකීමක්. එහෙත් සියල්ල සිදුවන්නේ විනිවිද භාවයකින් තොරව රහසේ වගෙයි. තොරතුරු දැනගැනීමේ පනත අනුව ජනතාවට පුළුවන් මේ පිළිබඳ විස්තර විමසා සිටින්න.”
මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන්නේ අපේ රටේ ඉන්ධන මිල වෙන රටවල් හා සංසන්දනය කළ විට අඩු බවයි. “ඉන්දියාවේ ඉන්ධන මිල අපට වඩා වැඩියි. අනිත් අතට ඉන්දියාවේ ඉන්ධන මිල දිනපතා වෙනස් වෙනවා. ඒ නිසා ජනතාවට දැනෙන්නේ නැහැ. අපේ රටේ මාසයක් ගිහිල්ල ඉන්ධන මිල ඉහළ ගියාම ජනතාව කෑගහනවා. සෑම බඩුවකම මිල වෙළෙඳ පොළේ දිනපතා ඉහළ පහළ යනවා. උදාහරණ ලෙස සහල්, එළවළු, මස්, මාළු ආදිය ගන්න පුළුවන්. එසේ නම් ඉන්ධන මිල පමණක් එක මට්ටමකට ඔබා තියන්නේ ඇයිද? එවිට එය කෘත්‍රිම මිලක් වෙනවා. ඒ නිසා මිල සූත්‍රවලින් තද කරන් ඉන්නෙ නැතුව එදිනෙදා පවතින මිලට ඉන්ධන අලෙවි කළහොත් රටේ ආර්ථික හා සමාජ ගැටලු ඇති නොවන බවයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා අද පවතින තත්ත්වය වෙනස් කිරීමට සූදානම් විය යුතුයි.” ඔහු පවසන්නේ දැනට ලංකාවේ බෙදාහරින්නේ කුමන වර්ෂයේ ගෙනා තෙල්ද යන්න හරිහැටි නොදැන මිල සූත්‍රයේ හරි වැරැද්ද පැවසීමට තමාට නොහැකි බවයි. අද වනවිට අඩු වූ මිලේ වාසිය ජනතාවට වහාම දිය නොහැකිය යන්න ඔහුගේ අදහසයි.
ඉන්ධන අලෙවි නිසා සංස්ථාව ලබන අලාභය ඉන්ධන මිල සූත්‍රයෙන් මිල වෙනස් කිරීමෙන් ආවරණය කරගත නොහැකි බව පෙනී යයි. මිල සූත්‍රය ඇතත් නැතත් ඛණිජ තෙල් සංස්ථාව මේ වනවිට දිගටම ලබන්නේ පාඩුවකි. එයට විකල්ප නොසොයා ජනතාවට බැර පැටවීම වැරදිය.
2018 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව 2018 වර්ෂයේ ඛණිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 104ක අලාභයක් ලබා ඇත. මෙයින් රුපියල අවප්‍රමාණ වීම නිසා පමණක් ලබා ඇති අලාභය බිලියන 82.7කි. 2017 වසරේදී රුපියල් බිලියන 3.4 ලාභ ලැබූ සංස්ථාව 2018 වනවිට සුවිශාල අලාභයක් ලබන්නේ ජනතාවට අඩු මිලට ඉන්ධන අලෙවි කර නොවේ. රුපියල අවප්‍රමාණය වීම අඩු කිරීමට රජය කටයුතු නොකිරීමේ පාප කර්මය නිසායි.
එසේම මහ බැංකු වාර්තාව අනුව පෙනී යන්නේ 2017 සිට 2018 වනවිට බොරතෙල් ආනයනය සියයට 5.2කින් වර්ධනය වී ඇති බවයි. 2017 වසරේ ආනයනය කළ බොරතෙල් මෙට්‍රික් ටොන් 1,591,000ක් සඳහා රුපියල් මිලියන 107,395ක් වැයකර ඇත. 2018 දී ආනයනය කර ඇති බොරතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,674,000 කි. ඒ සඳහා වැයවූ මුදල රුපියල් මිලියන 160,024ක් වේ. මේ අනුව පෙනී යන්නේ වඩා විශාල ලෙස වැයවීමට රුපියලේ අවප්‍රමාණය ප්‍රධාන වශයෙන් බලපා ඇති බවය. මෙම තත්ත්වයේ වෙනසක් වනතුරු ජනතාවට සිදුවන අසාධාරණය හා රටේ ආර්ථිකයට සිදුවන හානිය අවම කළ නොහැකිය.
ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල තවදුරටත් අඩු වන ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර වෙළෙඳ ආරංචි මාර්ග පවසයි. දශක ගණනාවකට පෙර ඔපෙක් හෙවත් තෙල් නිපදවන රටවල සංවිධානය ලොව තෙල් මිල පාලනය කළේය. නිෂ්පාදනය කරන බොරතෙල් ප්‍රමාණය, අලෙවියට දමන ප්‍රමාණය හා මිල තීරණය කිරීම ආදී සියල්ල කරන ලද්දේ ඔවුන් විසිනි. තෙල් පිළිබඳ රටවලට තිබූ ඒකාධිකාරී බලය දැන් ගිලිහී ගොස් ඇත. ලොව බලවත් ජාතීන් විකල්ප බලශක්ති ප්‍රබේද කරා යොමුවෙමින් තිබේ. තෙල් පාවිච්චිය සීමාකර ඇත. සවුදිය, ඩුබායි, අබුඩාබි ආදී අරාබි රටවල් තෙල්වලින් පමණක් නොයැපී වෙනත් ආදායම් ලබන මාර්ගවලට අවතීර්ණ වෙමින් සිටී.
මේ අතර ලෝක බලවතා වන අමෙරිකාවද එරට තුළ බොරතෙල් නිධියක් සොයාගෙන ඇත. එසේම තෙල් ළිං කැනීමද අරඹා තිබේ. ලොව තෙල් නිෂ්පාදනයෙන් අඩක් පමණ පරිභෝජනය කරනුයේ අමෙරිකාවය. ඒ අය මේ වනවිට තම අවශ්‍යතාවයෙන් අඩක් තම රටෙන්ම සපුරා ගැනීම ආරම්භ කර ඇති නිසා ඔපෙක් රටවල් මත යැපීමට ඔවුන්ට අවශ්‍යතාවක් නැත. අමෙරිකාව ස්වකීය නිෂ්පාදන මේ වනවිට සියයට 50කින් වැඩිකර තිබේ. මේ තත්ත්වය ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල පහළ යාමට විශේෂයෙන් බලපා තිබේ. චීනය හා යුරෝපා රටවල් විදුලි උත්පාදනයට සූර්ය බලශක්තිය යොදාගැනීමට පටන්ගෙන ඇත.
එසේම අමෙරිකාවට තෙල් සැපයූ සවුදිය, නයිජීරියාව, ඇල්ජීරියාව ආදී රටවල් තම නිෂ්පාදන ආසියානු වෙළෙඳපොළට යොමු කිරීමේ ප්‍රවණතාවයක් මේ වනවිට ඇති වී තිබේ. රුසියාවද තෙල් නිපදවා අලෙවි කිරීමේ සූදානමක පවතී. මේ පරිසරය තුළ ඉන්ධන ඉල්ලුමට වඩා සැපයුම වැඩිවී තිබීම හේතුවෙන් තෙල් මිල තවත් පහළ බැසීමේ තත්ත්වයක් උද්ගතව තිබේ.
2014 – 2015 කාලය තුළ ජාත්‍යන්තර තෙල් මිල සියයට 60කින් පහළ ගොස් තිබෙන අතර අවුරුදු 14ත් තුළ පහළම මිල එය විය. පසුගිය වසරේ අප්‍රේල් වල බැරලය අමෙරිකානු ඩොලර් 75.6ක් වූ අතර 2019 අප්‍රේල් වනවිට ඩොලර් 60 දක්වා පහළ බැස තිබේ. එසේම අගෝස්තු වනවිට ඩොලර් 55 ක අවම මට්ටමේ ඇත. තෙල් ව්‍යාපාරය කඩා වැටීම නිසා මේ වනවිට ලොව තෙල් සමාගම්වල සේවය කළ ලක්ෂ 2½කට රැකියා අහිමි වී ඇති බව ජාත්‍යන්තර වාර්තා කියයි.
තෙල් පරිභෝජනය අඩුවීම හා නිෂ්පාදනය වැඩිවීමෙන් මිල පහළ යාම තෙල් නිපදවන රටවලට අභාග්‍යයක් වුවද එය තෙල් පරිභෝජනය කරන රටවලට භාග්‍යයක් වී ඇත. එහෙත් එලෙස පහළ වැටෙන තෙල් මිලේ වාසිය අපේ පාරිභෝගිකයාට නොලැබීම විශාල අවාසනාවකි. මිල පහළ වැටෙන සැමවිටම අපේ ආණ්ඩුව කරන්නේ බදු වැඩිකර මිල අඩුවීමේ වාසිය භාණ්ඩාගාරයට අත්කර දීමයි. එහෙත් ඇත්තවශයෙන්ම මෙහි හිමිකාරයා වන්නේ ජනතාවයි. මිල ඉහළ යනවිට මිල වැඩිකරන ආණ්ඩුව පහළ යනවිට ඒ වාසිය ජනතාවට නොදී මිල සූත්‍රයක් පෙන්වමින් ඔවුන් ගසාකෑමට පටන්ගෙන ඇත.
මෙරටට ගෙන්වන තෙල්වලින් සියයට 60ක් පමණ පාවිච්චි වෙන්නේ ප්‍රවාහනය සඳහාය. මහ බැංකු වාර්තාව පවසන පරිදි දේශීය වෙළෙඳ පොළේ පෙට්‍රල් අලෙවිය 2017 වසරට සාපේක්ෂව සියයට 6.9කින් 2018 දී ඉහළ නැග තිබේ. එයට හේතුව වාහන ආනයනය ඉහළ යාම බව වාර්තාව කියයි. ගුවන් සේවා සඳහා කරන ඛණිජ තෙල් අලෙවිය 2017 හා 2018 දී පිළිවෙළින් සියයට 1.8 හා 9.3කින් වර්ධනය වී තිබේ.
තෙල් මිල පහළ හෙලීම වෙනුවෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ගතයුතු පියවර 2018 ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවෙන් මෙලෙස නිර්දේශ කර තිබේ.
“පුද්ගලික අංශයේ ආයෝජනවල සහය ඇතිව ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදු ධාරිතාව වැඩිදියුණු කිරීම මගින් පිරිපහදු කළ දේශීය ඛණිජ තෙල් නිෂ්පාදන සැපයුම ඉහළ නැංවීමට හැකිවනු ඇත. එබැවින් සපුගස්කන්ද පිරිපහදුවේ ධාරිතාව හා විසර්ජක නල පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීම මෙන්ම අඩු ප්‍රමිතියෙන් යුතු බොරතෙල් මගින් උසස් තත්ත්වයේ ඛනිජ තෙල් නිෂ්පාදන පිරිපහදු කිරීමට අවශ්‍ය ආයෝජන සිදුකිරීම, රටේ බලශක්ති ආරක්ෂණයට අවශ්‍ය වන අතරම විදේශීය මිල විචලනවල බලපෑම සහ ලං.ඛ.නී.සං. අලාභය යම්තාක් දුරට අවම කිරීමටද උපකාරී වේ. තවද දේශීය ඛණිජ තෙල් මිල සංශෝධන ඵලදායී ලෙස සිදුකිරීම සහ පුනර්ජනනීය විදුලිබල උත්පාදනය ඉහළ නැංවීම තුළින් ඛණිජ තෙල් මත වූ රඳා පැවැත්ම අඩුකිරීම වැනි ක්‍රියාමාර්ග ලං.ඛ.නී.සං. මූල්‍ය තත්ත්වය ඉහළ නැංවීමට දායක වනු ඇත. (93 පිට)
මෙම උපදෙස් අනුව කටයුතු කරනු විනා මිල සූත්‍රයක් පෙන්වා ජනතාව සූරා කෑම සුදුසු නොවන බව බලධරයන් තේරුම් ගත යුතුය. එසේ නැතිව මහ බැංකු නිරීක්ෂණ වාර්තාවට පමණක් සීමා කිරීම සුදුසු නොවන බවද පෙන්වා දෙමු.
► යසවර්ධන රුද්රිගු