ලංකාවේ හතළිස් වසරක පැරෂුට් වංශ කතාවේ ත්‍රාසජනක හා බිහිසුණුම “බේස් ජම්ප්” පිම්ම පනිමින් වාර්තා සටහන් කළේ ගෝල්ෆේස් පිටියේ පැවති නිදහස් උත්සව සැමරුමේදීය. ඒ ෂැන්ග්‍රිලා හෝටලයේ ඉහළ මාලයක පියස්සේ සිට අහසට පැන අතිදක්ෂ ලෙස පොළවට ළඟා වීමෙනි. මේ අභීත පෙළහර පෑමට සමත්ව සිටියේ යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් නලින් කුලතුංග එම රෙජිමේන්තුවේම මාණ්ඩලික සැරයන් අජිත් ප්‍රේමලාල් සහ යුද හමුදා විශේෂ බලකායේ බලලත් නිලධාරී චම්පික කුමාරසිරි යන විරුවන් තිදෙනාය.
ජාතික නිදහස් දින උළෙලේ එදා බිහිසුණු පැරෂුට් පිම්ම දුටුවන් භීතියටත් අවසානයේ අමන්දානන්දයටත් පත්කළ අභීත විරැවන් අතර බලලත් නිලධාරී චම්පික කුමාරසිරි විරුවා මේ සටහන තබන මොහොත වනවිට මෙලොවින් සමුගෙන හමාරය. අම්පාර උහන ගුවන් හමුදා කඳවුරට ඉහළ අහසේ පැරෂුට් සරඹ පුහුණුවක නිරතව සිටින අතරතුරදී වූ අතපසුවීමකින් පැරශුට් ශූර කුමාරසිරි ජීවිතක්ෂයට පත්වීම අවාසනාවන්ත සිදුවීමකි.
ශ්‍රී ලංකා යුද හමුදාව වාර්ෂිකව සංවිධානය කරන දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසය මේ වසරේත් පැවැත්වීමට නියමිතය. ඊට පෙරාතුව විශේෂ බලකාය හා කමාන්ඩෝ පැරෂුට් සෙබලු එක්ව විශේෂ සරඹ පුහුණුවක නිරතව සිටියහ. අඩි 10,000ක ඉහළ අහසේ සිදුකළ පුහුණුවේදී පැරෂුට් සෙබළුන් කිහිපදෙනකු පඩිපෙළක ආකාරයට සිටින ලෙසින් පාවී පොළවට එන අයුරු පුහුණුවේ දී සිදුවිය.
මේ පිළිබඳ අදහස් දක්වන බලලත් නිලධාරී චම්පික කුමාරසිරි සමඟ ළඟින්ම ආශ්‍රය කළ නිතර එකට පුහුණුවේ යෙදුණු මේජර් නලින් කුලතුංග.
“දියකාවා අභ්‍යාසයට සූදානම් වන පුහුණුවක චම්පික ඇතුළු පිරිස නිරතව සිටියා. එම පුහුණුවට CRW කියලයි කියන්නේ. මේ සඳහා චම්පික කුමාරසිරි සමඟ තවත් අයෙක් සහභාගී වුණා. චම්පික පුහුණුකරු වශයෙන් සිටියේ. ඔහුට අවුරුදු 12ක පැරෂුට් පිළිබඳ පළපුරුද්දක් තිබෙනවා. මෙයා අනිත් කෙනා ට්‍රේනින් කරන්නයි එක්ක ගියේ. උහන ප්‍රදේශයේදී අඩි 10,000ක් ඉහළ අහසේ පුහුණුව සිදුකළා. මුලින් පුහුණුවන පැරෂුට් සෙබළා ගුවන්යානයෙන් පැනිය යුතුයි. තත්ත්පර කිහිපයකින් පුහුණුකරු වන චම්පික පනිනවා. පස්සෙ දෙන්නා එකතු වෙලා පුහුණුව ලබමින් බිමට එනවා.
අනතුර වෙලා තිබුණේ 20 වැනිදා උදේ 8ට විතර. මුලින් පැනපු පුහුණු වන සෙබළාට පස්සේ පුහුණුකරු පැනලා තියෙනවා. ඒ මොහොතේ පුහුණුකරු අනිත් කෙනාගේ පැරෂූටය අතරින් වැටිලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මේ වෙලාවේ චම්පිකගේ පැරෂූටයේ ලයින් දෙකක් අනිත් කෙනාගේ බෙල්ලේ පැටලිලා. ඒ වෙලාවේ පුහුණු සෙබළා ඒ ගැන කියලා තිබෙනවා එතනදී චම්පික කලබල වෙන්න එපා. අපි හෙමින් ලිහාගමු කියලා. ඒත් මේ වගේ වෙලාවක අනිත් කෙනාගේ පැරෂුටයේ ලයින් ඔහුගේ බෙල්ලේ පැටලීමේ අවදානමක් තියෙනවා. එවැනි ලයින් 18ක් තිබෙනවා. 2ක් පුහුණු සෙබළාගේ පැටළුණාම ඉතිරි 16 හෝ කිහිපයක් චම්පිකගේ බෙල්ලේ පැටලී තිබෙනවා. ඒ මොහොතේ පුහුණු සෙබළාගේ පැරෂූටය දිගහැරීම නිසා ඉහළට ඇදෙනවා. චම්පිකගේ පැරෂූටය දිග නොහැරීම නිසා චම්පික පහළට බරවෙනවා. එතැනදී චම්පිකගේ බෙල්ල ඉතාම තද වෙනවා. එය මරණයෙන් කෙළවර වෙන්න තරම් අවදානමක්”
මේ අවදානම අතරමැද පුහුණු සෙබළා පුහුණුකරු අමතා ඇතත් දෙවැනි හෝ තෙවැනි වරට කිසිදු පිළිතුරක් චම්පිකගෙන් ලැබී නැත. එහිදී ක්‍රියාත්මක වූ පුහුණු සෙබළා ආරක්ෂිත පියවර අනුගමනය කරමින් තමා සතු පිහියෙන් ලයින් කපා දමා නිදහස් වී ආරක්ෂිතව ගොඩට පැමිණ තිබුණි. ඒ අවස්ථාවේ පැරෂූටය සමඟ විසි වී ගිය චම්පික උහන ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයට නුදුරු හිස් ඉඩමකට වැටී ඇත. එහෙත් ඔහුට කිසිදු බාහිර තුවාලයක් සිදුව නොතිබිණි. දකින්නට ලැබුණේ ඔහුගේ පැරෂූටය අඩක් පමණක් විවෘත වී ඇති බවය.
“බලලත් නිලධාරී චම්පික අති දක්ෂ පුහුණුකරුවෙක්. ඔහුට තත්ත්පර කිහිපයක් හෝ ලැබුණානම් මේ අනතුරෙන් ගැලවෙනවා. ඒක මට විශ්වාසයි. නමුත් ඔහුට කිසිම අවස්ථාවක් ලැබිලා නෑ. නැතිනම් ඔහුගේ අමතර පැරෂූටය භාවිත කිරීමට අවස්ථාව තිබුණා. චම්පික, ප්‍රේමලාල් සහ මම එකට පුහුණුවීම් කළේ. කෑම බීම ගත්තේ එකට. දුක සැප බෙදාගත්තේ එකට. චම්පිකගේ හදිසි වියෝ වීම මගේ අත කැඩුණා වගේ”
එසේ කීවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් නලින් කුලතුංගය.
චම්පික කුමාරසිරි මෙම මිතුරන් දෙදෙනා සමඟ ඕස්ට්‍රේලියාව, ක්‍රෝඑෂියාව, ඉතාලිය හා ජර්මනිය ඇතුළු රටවල් පහකදී විශේෂ පැරෂුට් පුහුණුව ලබා තිබුණි. මියයන විට 42 වැනි වියේ පසුවූ කුමාරසිරි මහතා දියණියකගේ (7) සහ පුතකුගේ (5) පියෙකි. මාස 6ක ගැබිණියක වන ඔහුගේ බිරිය ගෘහණියකි. 1977 වසරේ කඹුරුපිටිය, හක්මන, කිරින්ද, ඕවිටිගම උපන් මොහුට සහෝදරයන් දෙදෙනෙක් හා සහෝදරියක් ද වෙති.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධ සමයේ අභීතව සටන් වැදුණු සෙබළෙක් වූ කුමරසිරි වීරවික්‍රම විභූෂණ, රණවික්‍රම හා රණශූර ඇතුළු පදක්කම් රාශියක් දිනාගත්තෙකි. සතුරු බලකොටු තුළට රිංගා නැවත පැමිණ මර උගුල් ගණනකින් දිවි බේරා ගත් බලලත් නිලධාරී චම්පික කුමාරසිරි උඩු ගුවනේදී මරු වසඟයට යාම සිහිනයක් බඳුය.
සමන්ත ප්‍රදීප් විල්තෙර