“විස ඝෝර සර්පයා දැක නාරු මෝඩයා” යැයි අපේ පැරැණි කියමනක් තිබේ. ලංකාව තුළ වසරකට සිදුවන සර්ප දෂ්ඨන ප්‍රමාණය සහ ඒ හේතුකොට සිදුවෙන මරණ පිළිබඳ සංඛ්‍යාලේඛන සලකා බලද්දී ඒ අකාරැණික අවවාදය ඉස්මුදුනින්ම පිළිගැනීම ඉතා සුදුසු යැයි සිතීමත් වැරුදි නැත. දැන් ලොකු ආන්දෝලනාත්මක කතාබහකට මුල්ව ඇති අලි - මිනිස් ගැටුම නිසා වසරකට මියයන සංඛ්‍යාවට වඩා අතිශය ඉහළ සංඛ්‍යාවක් මරණ රටපුරා සෑම පළාතකින්ම වාර්තාගත වන්නෙ “සර්ප - මිනිස් ගැටුම” නිසා බව සමීක්ෂණ මගින් තහවුරු කර හමාරය. අලුත්ම වාර්තා අනුව වසරකට සර්ප දෂ්ඨන 80,000ක් පමණ වාර්තා වෙයි. ඒ හේතුවෙන් වෛද්‍ය විද්‍යාව මේ තරම් දියුණු කාලයේත් අපේ රටේ මිනිස්සු 400ක් පමණ මියයති. තවත් වාර්තාවක ගණිත ක්‍රමය අනුව ශ්‍රී ලංකාවේ සෑම මිනිසුන් ලක්‌ෂයකින්ම මිනිසුන් 398ක් වාර්ෂිකව සර්ප දෂ්ඨනවලට ලක්‌වෙති. ඉතින් මේ සංඛ්‍යා දත්ත අනුව ශ්‍රී ලංකාව, ලොව ජනගහන අනුපාතය අනුව සර්ප දෂ්ඨන බහුලවම සිදුවන රටක් බවට නරක නාමයක් තහවුරැ වී හමාරය.
දැනට ලැබී ඇති සංඛ්‍යාලේඛන අනුව වසරකට ලොවපුරා සර්ප දෂ්ට කිරීම් පනස් ලක්ෂයක් පමණ වාර්තා වන අතර එමගින් සිදුවන මරණ සංඛ්‍යාව 138,000 ක් පමණ වෙයි. ඊට අමතරව සර්ප විෂට ගොදුරැ වූවන්ගේ අත් පා කපා ඉවත් කිරීම් සහ ජීවිත කාලය පුරා ආබාධිත තත්ත්වයන්ට පත්වීම් හාර ලක්ෂයක් පමණ වාර්තා වෙයි. මේ අන්දමට ලොව පුරා මාරක සර්ප දෂ්ට කිරීම් සම්බන්ධයෙන් ලැබෙන වාර්තාවලින් 70%ක්ම ලැබී ඇත්තේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය සහ පාකිස්තානයෙන්ය. මේ කියන දත්ත අනුව නම් ලංකාවත් මාරක සර්ප විශේෂ අතිබහුල රටක් විය යුතුය. එහෙත් සත්ත්ව විද්‍යාඥයන් කියන්නෙ වෙන කතාවකි.
කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ මහාචාර්ය නිහාල් දයාවංශට අනුව ලංකාව තුළ දැනට වාර්තා වී ඇත්තේ සර්ප විශේෂ 105ක් පමණි. ඉන් 50කට වැඩි ප්‍රමාණයක් අපටම ආවේණිකය. මේ අතරින් 70ක්ම විෂ රහිතය. මරණීය විෂ සහිත විශේෂ හැටියට දැන් හඳුනාගෙන ඇත්තේ පොළොන් විශේෂ2ක්, කරවලයන් විශේෂ 2ක් සහ නාගයන්ය. මොවුන් තිත්පොළඟා හෙවත් දාර පොළඟා (Russell’s viper, Daboiarusselii), වැලි පොළඟා (Saw-scaled viper/ Echiscarinatus), මුදු කරවලා හෙවත් පොළොන් කරවලා Ceylon Krait (Bungarusceylonicus), තෙල් කරවලා හෙවත් මගමරුවා (Indian krait/Common krait, Bungaruscaeruleus) සහ නාගයා (Common cobra, Najanaja) ලෙස හඳුනාගත හැකිය. මේ සතුන් අතරට වැඩිම සර්ප දෂ්ඨන ප්‍රමාණයකට වගකිව යුතු කුණකටුවා හෙවත් පොළොන් තෙලිස්සාද Merrem’s hump-nosed Viper (Hypnalehypnale) දැන් අයත් වේ. කුණකටුවා බහුලව වාර්තාවෙන සර්ප විශේෂය වන අතර මොවුන් දෂ්ඨ කළ විට හටගන්නා දැඩි වේදනාව ඉදිමුම ආදිය නිසා රෝහල් කරා යාමට නිසැකවම යොමු වෙයි.
උරග හා උභයජීවී විශේෂඥයකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ, ලංකාවේ මුහුදු සර්පයන් 15ක් පමණ ඇති බව කියයි. ඔවුන් සියල්ල විෂ සහිතය. මුහුදු නයි හෝ වාලක්කඩි (sea snakes) නමැති මොවුන් දැල්වල පැටලීමෙන් ඇතැම්විට ධීවරයන්ට හමුවෙන නමුත්, එම සතුන් බොහෝ වෙලාවක් දැල් සපාකෑම නිසා ධීවරයා සමඟ ගැටෙන විට විෂ අඩුවී ඇති හෙයින් විශාල තර්ජනයක් නොමැති බවත් ඔහු පවසයි.
මේ පැහැදිලි කිරීම් අනුව නම් සර්ප දෂ්ඨනය ලංකාව තුළ බරපතළ වීමේ අවස්ථාව අල්පය. එසේ නම් පැයක් හමාරක් ගතවෙද්දී රෝහලක් කරා යාමේ හැකියාව සහිත රටේ මේ නිසා සිදුවන මරණවලට බොහෝ දුරට හේතුව නොදැනුවත්කම, නොසැලකිල්ල, ගොඩ වෙදහෙදකම් සහ දැනට භාවිත ප්‍රති සර්ප විෂ එන්නතේ ඇති අඩුපාඩුය.
ලංකාවේ රෝහල්වල භාවිත කරන ප්‍රති සර්ප විෂ එන්නත ඉන්දියාවෙන් ලබාගන්නා එකකි. වසරකට ඩොලර් මිලියනයක් පමණ වැයකර ගෙන්වන මේ එන්නත ලංකාවේ සර්ප විෂ නැසීමට අධික ප්‍රමාණවලින් ලබාදිය යුතු වූ අතර එහි අසාත්මිකතා ලක්ෂණ බහුලවිය. මේ නිසා සර්ප දෂ්ඨ හේතුවෙන් සිදුවන මරණවලට වගකිවයුත්තා ලෙස කැපී පෙනුණේ මේ එන්නතයි. ඉන්දියානු එන්නත එරට සර්පයන්ගේ විෂ ලබාගෙන එමගින් නිපදවූවකි. එකම කලාපයේ ඇති ලංකාවේ සර්ප විෂ සඳහා එය වෙනස් ප්‍රතික්‍රියා දැක්වීම අමුත්තකි. එහෙත් මහාචාර්ය සරත් කොටගම පෙන්වා දී තිබුණේ එකම විශේෂයට අයත් වුවත් ලංකාවේ සහ ඉන්දියාවේ සර්පයන් තුළ ඇති විෂ විවිධත්වයක් පෙන්විය හැකි බවය. සර්පයා වෙසෙන සුවිශේෂ පරිසරය හා ගන්නා ආහාරත් එමගින් සිරැරට ලැබෙන සංඝටකවල විවිධත්වයත් අනුව සිරුර තුළ තැනෙන විෂ සංයෝගයේ ස්වභාවයද වෙනස් විය හැකි බව මහාචාර්ය සරත් කොටගම පැහැදිලි කර තිබේ. අපේ රටේ සර්පයන් සඳහා අනන්‍ය වූ එන්නතක අවශ්‍යතාව ඔහු අවධාරණය කර තිබුණි. ප්‍රමුඛ සර්පවේදියකු වන ආචාර්ය ඇන්සලම් ද සිල්වා මේ ගැන අදහස් ඉදිරිපත් කළ විද්වතුන් අතර ප්‍රමුඛය. අපේ රටේ සර්පයන්ගේ විෂ ලබාගෙන ඒ සඳහා ප්‍රතිශක්තිය ලබාදෙන එන්නතක අවශ්‍යතාව ඔහුද අවධාරණය කළේය. ඒ අනුව ලංකාවටම අනන්‍ය එන්නතක් නිපදවීමේ ව්‍යාපෘතිය ඇරුඹිණි. මුලින්ම සජීව සර්ප නිදර්ශක රුස් කරනා ලංකාවේ මුල්ම සර්පාගාරය දඹුල්ලේ ඇරුඹිණි. අමෙරිකාවේ සත්ත්ව විෂ පර් යේෂණ ආයතනය, කොස්ටරිකාවේ අයි.සී.පී. ආයතනය, ලංකාවේ පේරාදෙණිය සරසවිය යන ආයතන එකතුවෙන් සහ ජාතික පර් යේෂණ සභාවේ ආධාර මත මුල්ම එන්නත නිපදවීමට කටයුතු යෙදුනේ ඉන්පසුවය. එය මෙරට රෝගීන් අරභයා හොඳින් ක්‍රියාත්මක වී තිබේ. දැන් මේ එන්නත සාර්ථක වී හමාරය. මේ නිසා ඉදිරියේදී සර්ප දෂ්ඨ මරණ බහුල රටක් ලෙස ලැබූ නරක නාමය ඉවත්කර ගන්නට අපට හැකිවනු ඇත. එහිදී විෂ ඝෝර සපුන් දුටුවත් නොදැක්කා සේ යන්නට හරින්නට අපට හැකිවේවි!
ලංකාවේ විසකුරු සර්පයෝ
තිත් පොළඟා
(Russell’s viper, Daboiarusselii)
වෛද්‍ය විද්‍යාත්මකව බලන කල ලංකාවේ සිටින ඉතාම වැදගත් සර්ප විශේෂයයි. ලංකාවේ පුළුල්ම ව්‍යාප්තියක් පෙන්වන විෂ සහිත සර්ප විශේෂයද මෙයයි. තවද ලංකාවේ රෝහල්වලට වසරකට වාර්තා වෙන 37,000 පමණ වන මුළු සර්ප දෂ්ඨනවලින් 30%ක් පමණ සංඛ්‍යාවකට හේතුවන්නේ තිත් පොළඟාය. වියළි කලාපයේ සර්ප දෂ්ඨනවලින් හරි අඩකට පමණද මේ විශේෂය හේතුවෙයි. දෂ්ඨනවලින් 60%ක් පමණ පිරිසකට සංස්‌ථානික විෂ බලපෑම් සිදුවෙයි. දෂ්ඨ කිරීම්වලින් 85%කටත් වඩා සිදුවන්නේ පාදයේ වළලුකරින් පහළ කොටසටය. ස්‌ථානීය පටක කුණුවීම් බහුලව වාර්තා නොවේ. රුධිර කැටි ගැසීම අකර්මණ්‍යවීම හේතුවෙන් ඉබේ සිදුවන අභ්‍යන්තර හා බාහිර රැධිර වහන සහ වකුගඩු අකර්මණ්‍ය වීම තිත් පොළොන් දෂ්ඨ කිරීම් මගින් බහුලව ඇතිවන තදබල සංස්‌ථානික විෂ බලපෑම්ය. මේවාට අමතරව, ශ්‍රී ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ වෙසෙන තිත් පොළඟුන් ගහණයන්ට සුවිශේෂ වන ස්‌නායු ධූලක නිසා බොහෝවිට තදබල නොවන, මාංශ පේශි අකර්මණ්‍ය වීම්ද බහුලව දැකිය හැකිය. ඉන්දියාවේ නිෂ්පාදිත ප්‍රති විෂ ඖෂධ මගින් තිත් පොළොන් විෂ ආවරණය වුවද, ශ්‍රී ලංකාවේ තිත් පොළොන් විෂ සඳහා එම ඖෂධවල කාර්යක්‌ෂමතාව (Efficacy) උසස් මට්‌ටමක නොපවතින බවට විද්‍යාත්මකව සනාථ වී ඇත.
තෙල් කරවලා /මග මරුවා
(Indian krait/Common krait, Bungaruscaeruleus)
වියළි සහ අතරමැදි කලාපයේ සර්ප දෂ්ඨ කිරීම්වලින් 5-10% අතර ප්‍රමාණයකට හේතු වන්නේ මේ සර්ප විශේෂයයි. රාත්‍රී කාලයේ ගොදුරු සොයා අර්ධ වශයෙන් නිමවූ නිවාස, පැල්පත් සහ කූඩාරම් තුළට එන මේ සර්පයන්ගේ දෂ්ඨ කිරීම්වලට බහුලවම ගොදුරැ වන්නේ බිම නිදාගන්නා අයයි. එම නිසාම ශරීරයේ ඕනෑම ස්‌ථානයක් දෂ්ඨනයට ලක්‌විය හැකිය. ස්‌ථානීය විෂ බලපෑම් නොමැති තරම් වුවද, විෂ ශරීරගත වීමත් සමඟ ක්‍රමිකව පැතිරී යන ස්‌නායු-පේශි අකර්මණ්‍ය වීම මගින්, දෂ්ඨනයට ලක් වූ රෝගීන් අඩකගේ පමණ ශ්වසන පේශි අඩපණ වී මාරාන්තික තත්ත්වයක් ඇතිවෙයි. ස්‌නායු පේශි අකර්මණ්‍ය වීම ස්‌ථාපිත වූ පසු ප්‍රතිවිෂ ඖෂධවල සඵලතාව ඉතාම අල්ප වන අතර රෝගී ජීවිත බේරාගැනීමට බොහෝ පිටිවහලක් වන්නේ කෘත්‍රිම ශ්වසන ආධාරක යන්ත්‍රයයි.
මුදු කරවලා
Ceylon Krait (Bungarusceylonicus)
ලංකාවට ආවේණික සර්පයෙකි. තෙත් කලාපයේ සුලභව ව්‍යාප්ත වී සිටී. සිරැර තද දම්, කළු පැහැති වන අතර හරස් අතට පළල් තනි, සුදු පැහැති (මුදු වැනි) ඉරි දක්නට ලැබේ. දිග අඩි 3ක් පමණ වේ. මුදු කරවලා දෂ්ඨ කිරීම නිසා මිනිස් ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමෙන් මරණයට පත් වේ. වරකට 25mm ප්‍රමාණයේ බිත්තර 5ක් පමණ දමයි.
නාගයා
(Common cobra, Najanaja)
ශ්‍රී ලංකාව තුළ පුළුල් ව්‍යාප්තියක් පෙන්වන නාගයන් මනුෂ්‍ය වාසස්‌ථාන ආශ්‍රිතව බහුලව හමුවෙයි. දෂ්ඨ කිරීම් බොහොමයක් පාදයේ දණහිසින් පහළ කොටසට සහ අත්වලට සිදුවෙයි. දෂ්ඨනයට ලක්‌වන ස්‌ථානවල දරැණු ආකාරයේ ස්‌ථානීය විෂ බලපෑම් බහුලව සිදුවන අතර පටක කුණුවීම නිසා සමහරවිට දෂ්ඨනයට ලක් වූ අත් සහ පාද ශල්‍යකර්ම මගින් ඉවත් කිරීමට සිදුවෙයි. රෝගීන් ගෙන් 20%කට පමණ දෂ්ඨනයෙන් පසු ඉක්‌මනින් පැතිර යන ස්‌නායු-පේශි අකර්මණ්‍ය වීම නිසා ජීවිතයට අන්තරාදායක මට්‌ටමට ශ්වසන පේශි අකර්මණ්‍ය වීම් සිදුවිය හැකිය. ඉන්දියානු ප්‍රති විෂ ඖෂධ මගින් මේ විශේෂය ආවරණය කළද එහි කාර්යක්‌ෂමතාව පිළිබඳ ගැටලු පවතී.
වැලි පොළඟා
(Saw-scaled viper/ Echiscarinatus)
ශ්‍රී ලංකාවේ උතුරු කලාපයට සීමා වී ඇති වැලි පොළඟුන් එම විශේෂයේම ආසියාවේ අනෙකුත් ප්‍රදේශවලින් වාර්තා වන වැලි පොළඟුන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා බවක් පෙන්වයි. දෂ්ඨන බහුලවම වාර්තා වී ඇත්තේ දිවා කාලයේදී ගෙවතු ආශ්‍රිතවය. දෂ්ටනවලින් 70%කට වඩා සිදුවන්නේ අත්වල ඇඟිලිවලට සහ පාදවලටය. වැලි පොළඟා බවට තහවුරැ කළ දෂ්ඨන අනුව, වැලි පොළඟා දෂ්ඨ කළ රෝගීන් 90%කට වඩා රැධිරය කැටිගැසීමේ අකර්මණ්‍යතා ඇති වෙයි. එසේම දෂ්ඨ කළ ස්‌ථානයේ මඳ ස්‌ථානීය විෂ බලපෑම්ද බහුලව වාර්තා වෙයි. එසේම වකුගඩු අකර්මණ්‍ය වීම්ද කලාතුරකින් දැකිය හැකිය. ඉන්දියානු ප්‍රති විෂ ඖෂධය මගින් මේ විශේෂය ආවරණය කළද එහි කාර්යක්‌ෂමතාව සතුටුදායක මට්‌ටමක නොමැත.
කුණකටුවා
(මෙරේම්ගේ පොළොන් තෙලිස්‌සා (Merrem’s hump-nosed pit viper, H. hypnale)
ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ඨනවලින් වැඩිම ප්‍රමාණයකට හේතුවන්නේ (මෙරේම් ගේ) පොළොන් තෙලිස්‌සාය. ලංකාව තුළ පුළුල් ව්‍යාප්තියක් පෙන්වන මේ විශේෂය තෙතමනය සහිත ගෙවතු සහ වගාබිම් ආශ්‍රිතව සුලබව හමුවෙයි. දෂ්ඨ කිරීම් බහුවම සිදුවන්නේ අත් සහ පාදවලට වන අතර රෝගීන් ගෙන් 16%ක ගේ එම ස්‌ථානවල දරුණු පටක කුණුවීම් දක්‌නට ලැබේ. එසේම, (මෙරේම් ගේ) පොළොන් තෙලිස්‌සා දෂ්ඨනයෙන් කලාතුරකින් රැධිර කැටි ගැසීම අකර්මණ්‍ය වීම සහ වකුගඩු අකර්මණ්‍ය වීම සිදුවිය හැකිය. දැනට මේ සර්පයන් දෂ්ටනය සඳහා ප්‍රති විෂ ඖෂධයක් නොමැත.
ලංකාවේ සර්ප එන්නත: සායනික ප්‍රතිඵල ඉතා සාර්ථකයි
මහාචාර්ය ඉන්දික බණ්ඩාර ගවරම්මන
ලංකාවේ සර්පයන් සඳහාම නිපදවූ අලුත් ප්‍රති විෂ එන්නත ක්‍රියාකාරීත්වය අතින් ඉතා සාර්ථක බව පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඉන්දික බණ්ඩාර ගවරම්මන අප කළ විමසුමකදී තහවුරු කළේය. ලංකාවේ වාර්තාගත උග්‍රම විෂ සහිත සර්පයන් 5දෙනා සඳහාම සියයට සියයක් ලාංකීය මෙම එන්නත හොඳින් ප්‍රතිචාර දක්වා තිබේ. මෙම එන්නත සායනික මට්ටමින් මිනිසුන් සඳහා අත්හදා බැලීමේ පර් යේෂණ කටයුතු සිදු කෙරැණේ මහාචාර්ය ඉන්දික බණ්ඩාර ගවරම්මනගේ මූලිකත්වයෙනි.
“ඉන්දියානු එන්නත ලංකාවේ සාර්ථක වුණේ නෑ. එය අසාත්මිකතා ගැටලු ප්‍රමුඛව ක්‍රියාකාරීත්වය ඉතා දුර්වල මට්ටමකයි තිබුණේ. මේ නිසා තමා ලංකාවටම අනන්‍ය එන්නතක් නිපදවන්න කටයුතු ඇරඹුණේ. මේ වනවිට ඒ අන්දමට නිපදවූ නව එන්නත රෝගීන් අරභයා ඉතාමත් හොඳින් ක්‍රියාකරලා සුබවාදී ප්‍රතිඵල පෙන්වා තියෙනවා. ඇත්තෙන්ම මේ එන්නත ලංකාවේ විෂ සහිත සර්පයන් සියල්ලන්ගේම විෂට එරෙහිව හොඳින්ම ක්‍රියාත්මක බව තහවුරු වුණා. ඒ වගේම එහි ක්‍රියාකාරීත්වය සහ බලපෑම හරි ඉක්මන්. කාර්යක්‌ෂමතාව (Efficacy) උසස් මට්‌ටමකයි ඇත්තේ. ඉහළ මට්ටමේ සාර්ථකත්වයක් දකින්න මේ එන්නතින් අවශ්‍ය වන්නේ ඉතා ස්වල්ප ප්‍රමාණයයි. නිදසුනක් හැටියට කලින් එන්නත් 20ක් පමණ අවශ්‍ය වුණා එක් රෝගියකුට. නමුත් අලුත් එන්නත සර්පයාගේ විස අනුව අවශ්‍ය වෙන්නෙ එකක් හෝ දෙකක් පමණයි. කලාතුරකින් ඕනෑනම් උපරිම 5ක් විතර දෙන්න වේවි. ඉතින් මේ වනවිට සායනික අත්හදා බැලීම් සාර්ථකයි. දැන් අවධානය යොමු වෙලා තියෙන්නෙ එන්නත අපේ රටේම නිෂ්පාදනයට අවශ්‍ය පියවර ගැනීමටයි. ඒ සඳහා මූලික කටයුතු අරඹා ගම්පොල පැත්තෙ ඉඩකඩ ලබාගන්නත් කටයුතු කර හමාරයි. ඉන්දියානු එන්නතට වඩා ඉතා සුළු ප්‍රමාණයක් භාවිතාවෙන් නිරෝගී බව ලබාදෙන නිසා අලුත් එන්නත් සඳහා වැයවෙන මුදල අවම වේවි කියලා හිතනවා.
සුගත් පී. කුලතුංග ආරච්චි