කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ රූපලාවණ්‍යාගාරයකි. එය රටේ නම ගිය රූපලාවණ්‍ය ශිල්පිනියකට අයත් ශාඛා ජාලයක එකකි. එහි කළමනාකරු වශයෙන් කටයුතු කොට තිබුණේ පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගිය සතියේ කොම්පඤ්ඤවීදිය මුත්තයියා පාර අසලදී පිරිසකගේ පහරදීමකට ලක්ව ඝාතනය වී තිබුණේ මෙම රෑපලාවණ්‍යාගාරයේ කළමනාකරු වූ නිමල් අනගිඅත්තගේ මහතාය.
ඝාතනය සිදුකර පලා යමින් සිටි සැකකරුවන් මිනිත්තු කිහිපයකි ඉක්ම යන්නට මත්තෙන් ගුවන් හමුදාව හා කොම්පඤ්ඤවීදිය පොලීසියේ රාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ වැළලී යාමට තිබූ සැක සහිත ඝාතනයක තොරතුරු සියල්ල හෙළිකර ගනිමිනි.
ඝාතනයට සැකපිට සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. ඔවුන් අතරින් තිදෙනකු මහනුවර හා කොළඹ ප්‍රසිද්ධ පාසල්වල ඉගෙනුම ලබන එළැඹෙන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වීම විශේෂය. මේ අතර සියලුම සැකකරුවන් වයස අවුරුදු 17 – 24 අතර පසුවන්නෝ වෙති.
රූපලාවණ්‍යාගාරයේ කළමනාකාරවරයා හා හිතවත් කාන්තාවකි. ඇය කලකට පෙර ඔහු යටතේ එම රූපලාවණ්‍යාගාරයේ සේවය කළ තැනැත්තියකි. ඇය ආයතනයෙන් ඉවත්ව ගියද දෙදෙනා අතර වූ සබඳතාවය දිගටම පවත්වාගෙන ගොස් ඇත. බටහිර සමාජ සංස්කෘතිය අගය කරමින් ඊට අනුගතව හැසිරීමට ප්‍රිය කළ මොවුහු රැකියාවෙන් නිදහස් වන ඕනෑම මොහොතක් විනෝදයෙන් කල් ගෙවීමට යොදාගත්හ. ඒ අනුව දෙදෙනාට නිදහසේ විනෝද වීම සඳහා වැඩි වේලාවක් ලැබී තිබුණේ පසුගිය 11 වැනි ඉරිදා දිනයයි. ගාලු මුවදොර පිහිටි Breez Baracuda අවන්හල වෙත ගිය යුවල රිසි සේ විනෝද වී මත්පැන් පානය කොට රාත්‍රී ආහාරය භුක්ති විඳීමෙන් අනතුරුව කුලී ගමන් යන ත්‍රිරෝද රථයකින් කළමනාකාරවරයා සේවයේ නිරත රූපලාවණ්‍යාගාරය අසලට පැමිණ තිබුණි. පළමුව රථයෙන් බිමට බැස ගත් කළමනාකාරවරයා කුලී මුදල ගෙවීමට කටයුතු කරමින් සිටියදී අසලට පැමිණි තරුණයන් පිරිසක් කළමනාකාරවරයා සමඟ සිටි තරුණ කාන්තාවට උසුළුවිසුලු කළ බවත් එහිදී දෙපිරිස අතර බහින්බස් වීමක් ඇති වී දුරදිග යාමත් සමඟ තරුණයන් පිරිස නිමල් අනගිඅත්තගේ නැමැත්තාට හා තමාට පහර දුන් බවත් එහිදී නිමල් බිම ඇදවැටුණු බවත් 25 හැවිරිදි කාන්තාව පොලීසියට ප්‍රකාශ කර ඇත.
ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ නිමල්ගේ මුහුණට එල්ල වූ ප්‍රහාරයත් සමඟ ඔහු බිම ඇද වැටීමෙන් පසුව සිහිසුන් තත්ත්වයේ සිටි බවකි. වහාම ක්‍රියාත්මක වී ඔහුව කුලී රථයකින් කොල්ලුපිටිය පෞද්ගලික රෝහලක් වෙත රැගෙන ගිය බවත් එහි ඇතුළු කරන අවස්ථාවේදීම රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඔහු මියගොස් ඇතැයි කී බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
ඇයගේ ප්‍රකාශය එසේ නමුත් සැකකාර පාර්ශවයේ තරුණයන් විසින් පොලීසියට තවත් ප්‍රකාශයක් ලබා දී ඇත. ඒ අනුව මහනුවර කටුගස්තොට ආසන්නයේ පදිංචි 17 හැවිරිදි සිසුවෙකි. ඔහු පාසල් නිවාඩුව නිසා සිය මිතුරෙක් සමඟ කොළඹ කොම්පඤ්ඤවීදිය ඥාති නිවසකට පැමිණ ඇත. සම වයසේ මිතුරා සමඟ මහනුවර සිට සීඝ්‍රගාමී දුම්රියෙන් කොළඹට ගිය දෙන්නා ඥාති නිවසට ගොස් තිබුණේ සවස 7ට පමණය. එහිදී ඥාති සොහොයුරන් තිදෙනකු හා සොයුරියක සමඟ ගාලු මුවදොර පිටිය වෙත ගොස් තිබුණේ නිවසේ වැඩි වෙලාවක් රැඳී නොසිටය. ටික වෙලාවක් ගාලු මුවදොර සැරිසැරූ ඔවුන් සොයුරියගේ ඉල්ලීම අනුව නැවත නිවසට පැමිණ සොයුරිය ගෙදරට ඇරලවා යළිත් පිටත්ව ගොස් තිබුණේ කලම්බු සිටි සෙන්ටර් වෙළෙඳ සංකීර්ණය වෙතය. පිරිස යුනියන් පෙදෙස හරහා පාගමනින් ගොස් ඇති අතර ස්ටෙපල් වීදිය දිගේ ගමන් කිරීමට සූදානම්ව ඇත. ඒ අවස්ථාවේ එම මාර්ගය ආරම්භ වන නුග ගහ මංසන්ධිය ආසන්නයේ සුනඛයන් රංචුවක් සිටි බවත් තරුණයන් ඔවුන්ට උසුළුවිසුලු කරමින් පළවා හැරි බවත් කියා ඇත. ඒ අතරතුර සුනඛ රංචුව තරුණ පිරිසට බුරමින් ස්ටෙපල් වීදිය දිගේ මුත්තයියා පාර දෙසට ගිය බවත් විනෝදයට පත් පිරිස සුනඛයන් පසුපස එළවා දිවගිය බවද ප්‍රකාශ කර ඇත.
තරුණ පිරිස මුත්තයියා පාර අසලට යනවිට එහි ආපන ශාලාවක් ඉදිරිපිට මාර්ගයේ ත්‍රිරෝද රථයක් නවත්වා තිබූ බවත් එතැන සිටි පිරිමි අයකු සුනඛයන්ට විහිළු කරමින් ගිය තරුණයන් හා වාදයට පැමිණ බහින්බස් වීමක් වූ බවත් අනතුරුව පහරදීමක් සිදු වූ බවත් කියා ඇත. පහරදීමත් සමඟ තමන් ගිය ගමන නවත්වා නිවෙස් වෙත දිව යාමට ගිය බවද මොවුන් පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
පහර දීම සිදුව ඇත්තේ ඉරිදා මධ්‍යම රාත්‍රියේ 12.30ට පමණය. පහර දී තරුණයන් දිවයන අවස්ථාවේ අසල සිටි තරුණිය කෑගසා ඇත්තේ කාගෙන් හෝ උදවු ඉල්ලමිනි. ඒ මොහොතේ ජංගම සංචාරයේ නිරතව සිටි ගුවන් හමුදා නිලධාරී කණ්ඩායමක් එතැනට පැමිණ තිබුණි. තොරතුරු විමසා වහාම ක්‍රියාත්මක වී සැකකරුවන් ගිය දෙසට ගොස් පරික්ෂා කිරීමේදී සැකකරුවන් පස්දෙනා ස්ටේපල් වීදිය කෙළවරින් ගමන් කරමින් සිට ඇත. එහිදී රඳවාගත් තරුණයන් ජංගම සංචාරයේ නිරත පොලීසිය වෙත බාර කර ඇත. ඒ අතරතුර පෙර කී කාන්තාව විසින් පහර කෑ නිමල් නැමැත්තා රෝහල්ගත කිරීමට කටයුතු කළාය. එසේ කටයුතු කළ ඇය දෙහිවල පදිංචි 25 හැවිරිදි තරුණියකි.
තරුණ පිරිස මුත්තයියා පාර අසලට යනවිට එහි ආපන ශාලාවක් ඉදිරිපිට මාර්ගයේ ත්‍රිරෝද රථයක් නවත්වා ඇති බවත් එතැන පිරිමි අයකු සිට සුනඛයන්ට විහිළු කරමින් ගිය අය හා වාදයට පැමිණ බහින්බස් වීමක් වූ බවත් අනතුරැව පහර දීමක් සිදුවූ බවත් කියා ඇත. පහරදීමත් සමඟ ගිය ගමන නවත්වා පිරිස නිවෙස් වෙත දිව යාමට ගිය බවද මොවුන් පොලීසිය හමුවේ ප්‍රකාශ කළේය.
ඝාතනය වූ නිමල් නැමැත්තා පයාගල පදිංචි 45 හැවිරිදි විවාහකයෙක් වන දරු තිදෙනකුගේ පියෙකි. අත්අඩංගුවට ගත් පිරිසෙන් තරුණයන් දෙදෙනෙක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය. එක් අයෙක් ගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි අයෙකි.
ඝාතනයට ලක්වූ අය සම්බන්ධයෙන් පැවති මරණ පරීක්ෂණයේදී එය පහර දීමකින් වූ ඝාතනයක් බවට අනාවරණය වී තිබේ. සැකකරැවන් කොටුව අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ සඳහා සැකකරුවන් පිරිස ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කෙරිණි.
කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී උදය හේමන්ත සහ කොළඹ මධ්‍යම කොට්ඨාසය බාර පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහත්වරුන්ගේ උපදෙස් මත කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කලුආරච්චි මහතාගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් සැරයන් නිමල් (32188), පොලිස් කොස්තාපල්වරුන් වන දිසානායක (39858), අනුර (45803), රත්නායක (84244) සහ ජයසිංහ (63375) යන අය වැඩිදුර විමර්ශන සිදු කරති.
සමන්ත ප්‍රදීප් විල්තෙර