දකුණු සිරිලක වැඩි ඉගෙනීමක් නොමැති පින් බලයෙන් විශාල ධනයක් රැස්කර ගත් වෙළෙඳ ව්‍යාපාරිකයෙක් සිටියේය. මොහුට ඉඩකඩම් ගෙවල් දොරවල් බොහෝ තිබුණි. ඒ කාලයේ හැටියටත්, මොහුගේ කල්පනාවේ හැටියටත් අඩුව තිබුණේ නම්බුනාමයක් පමණි. මෙය ලබාගැනීමට ඔහු බොහෝ කල්පනා කොට ඔහුගේ හිත මිත්‍රයෙකු වූ නොතාරිස් රාළහාමි කෙනකු හමුවී මේ ගැන සාකච්ඡා කළේය. මේ රාළහාමි ඉංග්‍රීසි උගත් ක්‍රියාශූර, කූට පුද්ගලයෙක් විය. රටේ ලොකු ලොක්කන් ආශ්‍රය කළ අනුන්ගෙන් ලාභ ප්‍රයෝජන ගැනීමට දක්ෂ අයෙකි. වෙළෙන්දා නම්බුනාමයක් ලබා ගැනීමට වැඩපිළිවෙළක් සලස්වන ලෙස රාළහාමිට පැවරීය. රාළහාමි පුරසාරම් දොඩමින්, ඒජන්ත උන්නාන්සේ සමඟ ඇති මිත්‍රකමත්, හොරගොල්ලේ මහ මුදලිතුමා පවා හඳුනන බවත් කියමින්, මුදලාලිගේ හිතට තව තවත් ධෛර්යය දී බොහෝ තෑගි බෝගද වරින් වර ලබාගත්තේය.
නම්බුනාම ප්‍රදානය කිරීම කෙරුණේ රාජෝත්පත්ති දිනයේදීය. මීට ටික දිනකට පෙර රාළහාමිගේ උපදෙස් පරිදි වෙළෙන්දා විසින්, තමාගේ පැරුණි අශ්ව රථය විකුණා, අලුත් රථයක් මිලයට ගන්නා ලදී. වෙළෙන්දා ඒජන්තතුමාට පෙන්වීම අවශ්‍ය බව කියා අලුත් අශ්ව රථයෙන් ඒජන්ත බංගලාවට යාමට දිනයක් නියමකර ගත්තේය. හොඳට ඇඳ පැළඳගත් මුදලාලි තෑගිබෝග ද රාශියක් ගෙන රාළහාමිත් සමඟ ඒජන්ත බංගලාවට යාමට පිටත්විය. වෙළෙන්දා ඒජන්ත උන්නාන්සේ පෞද්ගලිකව නොහඳුනන නිසාත් ඉංග්‍රීසි නොදන්නා නිසාත්, කෙළින්ම බංගලාවට යාම හොඳ නැති බවත් රාළහාමි පමණක් ඒජන්ත උන්නාන්සේ හමුවී මේ ගැන වැඩිදුරටත් කතාබස් කරගෙන අශ්ව රථය ළඟට පැමිණෙන බවත් එවිට ඒජන්ත උන්නාන්සේ ආරාධනය කළ හොත් රථයෙන් බැස එන ලෙසත් කීවේය.
රථය ඒජන්ත බංගලාවේ ගේට්ටුව අසල නවතා රාළහාමි ඒජන්ත තුමා හමුවී ගෙනගිය තෑගිබෝග ඔහු ගෙනා ඒවා හැටියට පිළිගන්වා, තමා අලුතෙන් අශ්ව රථයක් මිලයට ගත් බවද පැවසීය. ස්වල්ප වේලාවකට පසු ඒජන්තතුමා රාළහාමිත් සමඟ අශ්ව රථය බැලීමට පැමිණියේය. ඔහු හිස ඒ මේ අත හරවමින් රථය හා අශ්වයා දෙසත් හොඳට බැලුවා පමණක් නොව එහි වාඩිවී සිටි මුදලාලි දෙස ද බැලුවේය. මුලාලිත් කබාය හරිගස්සා “මගේ වැඩේ හරි තමයි.” සිතා ඉංගිරිසිකාර ඒජන්ත උන්නාන්සේට පෙනෙන්නට හොඳට ඔළුවද පහත්කර අත්දෙක එක්කාසුකර වැඳ නමස්කාර කළේය.
වෙළෙන්දා විසින් නම්බුනාම කල්ලිය මතක් කරනලද වේලේ පටන් රාළහාමිගේ සිතේ කැරකුණේ අනුන්ට නම්බුනාම ලබාදීම නොව තමාට නම්බුනාමයක් ලබා ගැනීමටය. ආපසු එද්දී එතෙක් කටයුතු ගැන සතුටට පත්ව සිටි මුදලාලි “ඒජන්ත උන්නාන්සේ මම ගැන මොකද කිව්වේ? හැබැයි මම දිහා නම් හොඳට හිනාවෙලා බැලුවා.” යි මහත් සතුටින් පැවසීය. “හා! ඒවා ඔක්කොම හරි. කඳ ගොහිල්ලා දැන් වල්ගෙ විතරයි තියෙන්නේ. ඔන්න රුපියල් පන්දාහෙන් මම වැඩේ ඉවර කරගත්තා.!” රාළහාමි පිළිවදන් දුනි. “කීයක් ගියක් කමක් නැහැ දැන් ඉතින් මගේ හිත හොඳයි.” කිවු වෙළෙන්දා ස්වකීය රථයෙන්ම ගොස් රාළහාමි ගෙදරටම හැරලුවේය.
නම්බුනාම දිනය ආසන්න විය. අපේ මුදලාලි නම්බුනාමය ලබාගැනීමට යන්ට කොයි වෙලාවේ ලියමනක් ඒදැයි පුලපුලා බලා සිටියේය. රාළහාමි නම් තමාට නම්බුනාමය ලැබෙන බව ස්ථිරවම දැන සිටියේය. ටික දිනකට පසු දකුණු පළාතේ නම්බුනාම ලැබීමට සුදුසු අයට ලියුම් යවද්දී රාළහාමිට ද එකක් ලැබුණි. එහි සඳහන් වී තිබුණේ මුදලි නම්බුනාමයක් ප්‍රදානය කිරීමට ලංකාණ්ඩුකාර උතුමාණන් වහන්සේ විසින් රාළහාමිද තෝරාගෙන තිබෙන බවත්, එය ලබාගැනීම පිණිස මුදලි කෙනකුට නියමිත කඩු කස්තාන ආදියෙන් සැරසී රජ වාසලට වර්ෂ 19... ක්වූ ජුනි මස 3 දින පූර්ව භාග 11ට පැමිණිය යුතු බවය. රාළහාමිට දැන් මුදලින්ද හිඟයක් නැත. අපේ වෙළෙන්දාට පින්සිද්ධ වෙන්ට දුන් රුපියල් 5000 වියදමට තිබේ. ඔහු ලියුමේ කියා තිබූ අන්දමට යාමට ලකලෑස්ති විය.
මේ අතර වෙළෙන්දා කලබල වී ඔහුට නම්බුනාමයක් නොලැබීමට හේතුව විමසුවේය. නම්බුනාම ලැයිස්තුවට ඒජන්ත උන්නාන්සේ විසින් අපි දෙදෙනාගේම නම් ලියා ඇරිය බවත්, මුදලාලිගේ නම සුළු ප්‍රමාදදෝෂයකින් කොළඹදී ලැයිස්තුවට ඇතුළත් වී නැති බවත්, එය ඉතා පහසුවෙන්ම මේ කලබල ඉවර වූ පසු කරගතහැකි බවත්, තමාට මුදලිකම ලැබුණාම වඩාත් පහසු බවත් කියා මුදලාලි තවදුරටත් වෙළෙන්දා රැවටුවේය. මෙයින් තෘප්තියට පැමිණි වෙළෙන්දා රාළහාමිගේ උත්සවය පැවැත්වීමට හිඟපාඩු කී විට රුපියල්ද දාහක් දුන්නේය.
නම්බුනාමය ලැබෙන තුරු මාස ගණනක් බලාසිටි වෙළෙන්දා ඒ ගැන සංකාවෙන්දෝ අකාලයේ මිය ගියේය.
නම්බුනාම නිසා මෙවැනි අතවරවලට වැටුණු අය මේ රටේ බොහෝ ඇතුවාට සැක නැත. අගමැති බණ්ඩාරනායක මහතා මෙය නැති කර දැමීමෙන් කළේ රටට කොපමණ සේවයක් ද යනු ඔබට දැන් වැටහෙනවා ඇත. දැන් යමෙකු පාඨශාලාවක්, රෝහලක් සෑදීම හෝ වෙන යම් සේවයක් කරනවා නම් කරන්නේ ලෞකික සැපසම්පත්, නම්බුනාම වැනිදේට නොව ලෝකෝත්තර සුවයක් පතාය.
(හෙන්රි අබේවික්‍රම මහතා විසින් රචිත 1971 වසරේ ප්‍රකාශයට පත් කෙරුණු “බණ්ඩාරනායක පරිවර්තන යුගය” කෘතියෙන් උපුටා ගැනිණි.)
► ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා