මම දිනක් වේයන්ගොඩ සිට නිට්ටඹුවට පැමිණ අත්තනගල්ල ඌරාපොළින් ඇති අතුරු මාර්ගය හරහා ගමන් කළේ රදාවානට කෙටි මාර්ගයක් ඇති නිසාය. යළිත් මට හමුවුයේ වේයන්ගොඩය. පාර වැරදිලාවත්ද? විමසා බැලුවිට ඒ තවත් වේයන්ගොඩකි. එලෙසම බස්නාහිර පළාතේ දෙල්ගොඩ ජීවත් වන මා හට කලවානට ගියවිට දෙල්ගොඩ ටවුම මෙන්ම දෙල්ගොඩ ගඟද හමුවේ. රඹුක්කන පින්නවල අලි අනාථාගාරය ලෝක ප්‍රකටය. එලෙසම පින්නවල බොල්තුඹේ දේවාලය (බලන්ගොඩ) ද ඉතා ප්‍රකට පුදබිමකි. බලන්ගොඩට නුදුරින් ගලාබස්නා බෙලිහුල් ඔය වලවේ නදිය පෝෂණය කරයි. එලෙසම හඟුරන්කෙත බෙලිහුල් ඔය එකතු වෙන්නේ මහවැලි ගඟටය. පොල්ගස්ඕවිටට ගියවිටත් තවත් අම්බලන්ගොඩත් හරහා ගමන් කළ හැකිය.
මෙලෙස එක සමානව පවතින ග්‍රාම නාම, ස්ථාන නාම අලකලංචිය දැන් ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. විශේෂයෙන් අන්තර්ජාලයේ සෙවුම් යන්ත්‍රය හරහා ස්ථාන නාම සොයායද්දී පරිගණකවලට එක සමඟ නාම වෙන්කර හඳුනාගැනීමට අපහසු අවස්ථා උදාවේ.
ජාතික හා අන්තර්ජාතික මට්ටමේ කටයුතුවලදී මෙන්ම රාජකාරීමය, පරිපාලනය, විද්‍යාත්මක, නීතිමය, අධ්‍යාපන විද්‍යානුකූල හා මුද්‍රිත මාධ්‍ය ආදී කටයුතු රාශියකට භූගෝලීය ස්ථාන නාම භාවිතා කෙරේ. මේ අවස්ථාවලදී එකම ස්ථානයකට නිල වශයෙන් පිළිගත් එකම ස්ථාන නාමයක් භාවිතා කිරීමෙන් ගැටලු අවම කරගැනීමට අවස්ථාව උදාවේ. ඒ අනුව මේ වනවිට ලෝකයේ බොහෝ රටවල ප්‍රමිතිකරණය කරන ලද භූගෝලීය ස්ථාන නාම නිල වශයෙන් භාවිතා කිරීම අරඹා තිබේ. ශ්‍රී ලංකාවේදී නම් ගම් අවුල ලිහීමට මිනින්දෝරැ දෙපාර්තමේන්තුව මගින් භූගෝලීය නාම ප්‍රමිතිකරණය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
මිනුම්පති එස්.පී.ටී. සංගක්කාර පවසන්නේ එකම නමින් හඳුන්වන නගර, ගම්මාන, මාර්ග, මංසන්ධි ඇතුළු භූගෝලීය පිහිටීම් මේ යටතේ නියාමනය කෙරෙන බවය. භූගෝලීය නාම ප්‍රමිතිකරණයේදී සිදු කෙරෙන්නේ දැනට තිබෙන දත්ත පද්ධතිය අනුව අදාළ ස්ථානවලට කිවයුතු නම් තීන්දු කරන අතර ඒ සම්බන්ධ අවසන් තීරණය ප්‍රමිතිකරණ මණ්ඩලය මගින් ගැනීමට නියමිතය. පරස්පරතාවයක් ඇති නොවන පරිදි ලංකාවේ සිතියම සකස් කිරීම මෙහි මූලික අරමුණ වේ. එකම නමින් හඳුන්වන ගම්මාන ඇතුළු ස්ථාන නාම ලක්ෂ 5ක් පමණ ලැයිස්තු ගත කර අන්තර්ජාලයට එක්කර ඇති අතර (www.geonames.govolk) ඒවා නිගමනය කරමින් වඩාත් නිවැරදි ස්ථාන නාමය හඳුනාගැනීමට නියමිතය. ඒ පිළිබඳ මහජන අදහස් ද ඉහත වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශ කිරීමට පුළුවන.
මෙලෙස භූගෝලීය නාම දත්ත පද්ධතියට ඇතුළත් කිරීම 2018 අවසන් වනවිට ග්‍රාමසේවා නිලධාරී වසම් 8275ක් ආවරණය වන පරිදි අවසන් කෙරුණි. කැබිනට් මණ්ඩලයෙන් අනුමත වූ භූගෝලීය නියාමන මණ්ඩලය නම් කමිටුව මගින් මේ ස්ථාන නාම නියාමනය කෙරේ.
මෙම කමිටුවට මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඉඩම් අමාත්‍යාංශය, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවලින් නියෝජිතයන් සහ සිංහල, දෙමළ භාෂා විශේෂඥයන් ද ඇතුළත් වෙති.
පැරණි අඟලේ සිතියම්වල තිබෙන ස්ථාන නාම, අලුත් සිතියම්වල සඳහන් ස්ථාන නාම ආදී නම් සියල්ලම විශ්ලේෂණය කරගෙන ඇති නාම ලැයිස්තුව තවදුරටත් නියාමනය කිරීම ඉහත කමිටුවට අයත් කාර්යයකි.
මේ යටතේ ග්‍රාම නාම, පරිපාලන ඒකක නාම, ස්ථාන නාම, මාර්ග නාම, මංසන්ධිවල නාම, පුරාවිද්‍යා ස්ථාන නාම, පන්සල්, පල්ලි, කෝවිල් නාම, ඇළදොල, ගංඟා, කලපු, වරාය, වේලි, දූපත්, ආදියේ නාම, ගල්ගුහා, තැන්න, සානුව යනාදී ස්වභාවික නාම, පාසල් හා වෙනත් විශේෂිත ස්ථාන නාම ඇතුළත් නාම ලක්ෂ පහක් පමණ ප්‍රමිතිකරණයට ගොනුකර තිබේ.
මෙම වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. පළමු අදියර යටතේ නාම රැස් කරන්නේ පවතින දත්ත (පැරණි අඟලේ සිතියම්, ඡන්ද හිමි නාම ලේඛන, සංගණන වාර්තා, සම්පත් පැතිකඩ) පදනම් කරගෙනය. ග්‍රාම නිලධාරිවරු මාර්ගයෙන් ද දත්ත රැස්කර ගැනේ. දත්ත රැස්කිරීමේදී සිංහල හා දෙමළ භාෂාවකින් පමණක් භූගෝලීය නාමය පවතින විට එය අනෙක් භාෂාවට පරිවර්තනය කිරීම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් සිදුකෙරේ.
දෙවැනි අදියරේ දී යෝජනා කරන ලද නාමය සම්බන්ධව පළාත් පාලන ආයතනවල, මහජනතාවගේ සහ මේ සම්බන්ධව උනන්දුවක් දක්වන සියලු පාර්ශවල අදහස් ලබාගැනීමට නියමිතය. ඒ සඳහා geomames.gov.lk වෙබ් අඩවිය මගින් පහසුකම් සලසා තිබේ. යෝජිත නාමයන් පිළිබඳ අදහස් දැක්වීමට අමතරව ඇතුළත් නොවූ තවත් නාම යෝජනා කිරීමට ද මෙහිදී ඉඩ ලැබේ.
එලෙස අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට යම් කාලයක් ලබාදෙන අතර ඒ අනුව ලැබෙන අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන අවසාන වශයෙන් ප්‍රමිතිකරණ නාමයන් සකස් කෙරේ. ඊට පසුව නිසි අනුමැතිය ලබාගත් නාම සිංහල හා දෙමළ යන භාෂාවලින් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කිරීමට නියමිතය.
► කුසුම්සිරි විජයවර්ධන