2019 ජුලි 27 වන සෙනසුරාදා

අල්ලාගන්නා කුඩුවලට වෙන්නේ මොකක්ද?

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 140

මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රබල විරෝධතාවයක් දියත් කළේය. එහි වැරදිකරුවන් පෝරකයට යැවීමේ තීන්දුව ද ගත්තේය. ලබන ඔක්තෝබර් මස 30 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදෙන ලද තීන්දුවක් හේතුවෙන් එල්ලුම් ගස් යැවීම දැනට ක්‍රියාත්මක නැත.

ජනපතිගේ මෙම මත්ද්‍රව්‍ය විරෝධී ක්‍රියා පිළිවෙත හේතුවෙන් එකී ජාවාරමට මරු පහරක් වැදී තිබේ. කෙසේ වුවද “The Sunday Times” පුවත්පත සිදු කළ විමර්ශනයකදී හෙළි වූ තොරතුරු අනුව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයට ලක් විය යුතු කරුණු ගණනාවක් පිළිබඳ දැනගැනීමට හැකිවිය.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගවලට සිදුවන්නේ කුමක්ද? ඒවා යළිත් මෙම ජාවාරම්කරැවන් හරහාම නැවතත් වෙළෙඳපොළට එකතු වන්නේද යන්න විශාල ගැටලුවකි. මේ හේතුවෙන් මත්ලෝලීන් අඩුවීමට නොව වැඩිවීමට ඉඩක් ඇත. අත්අඩංගුවට ගන්නා මත්කුඩුවල ඉරණම සම්බන්ධයෙන් පවතින විනිවිදභාවය අඩුකම හේතුවෙන් ඒවාට සිදුවන්නේ කුමක්ද? යන්න පිළිබඳව අපට පැහැදිලිව සොයාගත නොහැකි විය.

පසුගිය වසරේ පමණක් හෙරොයින් කිලෝ හත්සීයකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබීය. එයට පෙර වසර දෙක තුළදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මඟින් හෙරොයින් කිලෝ පන්සීයක් පමණ අත්අඩංගුවට ගෙන තිබුණි. අවස්ථා දෙකකදී විශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් සිදු කළ උත්සව දෙකකදී කොකේන් ටොන් 1.5ක තොගයක් විනාශ කෙරැණි. ඒවා දුමාරය බවට පත්වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපිටදීමය.

හෙරොයින් තොග විනාශ කිරීම සඳහා මෙතරම් දීර්ඝ කාලයක් ගතවන්නේ ඇයිදැයි විස්තර කිරීමට කිසිදු නිලධාරියකුට හැකියාවක් නොතිබුණි. “The Sunday Times” පුවත්පතට දැනගන්නට හැකි වූ පරිදි අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ප්‍රමාණයෙන් රජයේ රස පරීක්ෂකයා වෙත අදාළ පරීක්ෂණය සිදුකිරීම සඳහා යැවිය යුත්තේ සුළු ප්‍රමාණයක් පමණි.

“මේ ගැටලුව සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කෙරෙනවා. මේ සම්බන්ධව පාරදෘෂ්‍යභාවයක් තිබීම අත්‍යවශ්‍යයි.” මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ (ADIC) විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර සඳහන් කරයි.

සිවිල් සමාජය හා අනෙකුත් ඒ සම්බන්ධ සමාගම් සමඟ මෙම කාර්යය සම්බන්ධ උපදෙස් පැතීමක් සිදුනොවන බව ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ද මේ බව සනාථ කළේය.

“අප සංගමය සමඟ රජය කිසිදු සංවාදයක් මේ සම්බන්ධයෙන් පවත්වා නැහැ. රජය අප වෙත යොමු වෙනවානම් මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපිට උදවු කළ හැකියි” ඔහු කියයි.

අත්අඩංගුවට පත්වන මත්ද්‍රව්‍යයන්ට සිදුවන්නේ කුමක්දැයි පැහැදිලිව නොපෙනීම නිසාත්, මත්ද්‍රව්‍ය විනාශ කිරීම්වල සිදුවන ප්‍රමාදයන් නිසාත් රටේ මහජනතාව තුළ, සිවිල් සමාගම් ක්‍රියාකාරීන් තුළද ගැටලු පැන නැගී තිබේ. ඇතැමුන් සැක කරනු ලබන්නේ මෙසේ අත්අඩංගුවට ගන්නා කුඩු විශාල ප්‍රමාණයක් නැවතත් වීදිවලටම පැමිණෙන බවය.

මෙම වසර මුලදී මත්ද්‍රව්‍ය මර්දන පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් සමඟ සමීපව කටයුතු කරමින් අත්අඩංගුවට ගත් කුඩු තොග සම්බන්ධ පරීක්ෂණ කටයුතු ඉක්මන් කිරීමට ක්‍රියා කළේය.

නඩු විභාගය සඳහා අවශ්‍ය වෝහාරික වාර්තා ලබාදීමට සිදුවන ප්‍රමාදය මෙම ක්‍රියාදාමයට  එක් මූලික හේතුවක් ලෙස හඳුනාගෙන ඇත. දැනට වසරකටත් වැඩි කාලයක් ගතවන එවැනි වාර්තා සැකසීම සඳහා ගතවන කාලය මාස තුනක් දක්වා අඩු කිරීම එහි ඉලක්කයයි.

රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව නඩු කටයුතු සඳහා අවශ්‍ය වාර්තා සැපයීමේ විශාල ගණනාවක් මේ වනවිටත් ඉතිරිව තිබේ. ඒ පරීක්ෂණ කටයුතු ඉක්මන් කිරීමට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති බව ද නම සඳහන් කිරීමට අකමැති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් The Sunday Times පුවත්පතට සඳහන් කළේය.

“ඉදිරි මාස කිහිපය තුළදී විද්‍යාඥයන් විසිහතරකට වැඩි පිරිසක් බඳවා තබාගනිමින් කාර්ය මණ්ඩලය වැඩි කිරීමට අපි සැලසුම් කරනවා. එමෙන්ම රසායනාගාර පහසුකම් වැඩිකිරීම සඳහා ඉදිකිරීම්වලට සහය දක්වන්නැයි අපි ඉල්ලීම් කර තිබෙනවා” යැයි ඔහු පෙන්වා දෙයි.

පසුගිය අප්‍රේල් මාසයේදී කොකේන් කිලෝ හත්සිය හැට නවයක ප්‍රමාණයක් විනාශ කිරීම සිදුවූයේ දීර්ඝ නීතිමය වැඩපිළිවෙළකින් පසුවය.

දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය වන්නේ අදාළ නඩු ඉහළ අධිකරණයට යොමුවනතුරු අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සාක්ෂි වශයෙන් රඳවා තබා ගැනීමය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ප්‍රධාන නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත පෙන්වා දෙන පරිදි මෑතකදී හෙරොයින් අත්අඩංගුවට ගැනීම ඉහළ ගොස් තිබේ. 2015 වසරේදී කිලෝ හතළිස් හයක් වූ එම ප්‍රමාණය 2016 වසරේදී කිලෝ දෙසීය වී තිබිණි. මේ වසර තුළ මේ දක්වා කිලෝ ග්‍රෑම් අටසීයකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙන අතර පොලිස් කාර්යාල මඟින් ද මෙතෙක් ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් හාරසීයක් පමණ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමේ සිට නීතිමය ක්‍රියාදාමය දක්වා ක්‍රමවේදය නියෝජ්‍ය පොලිස්පති මැදවත්ත විස්තර කරයි. ඒ අනුව අල්ලාගත් ප්‍රමාණය ග්‍රෑම් දෙකකට වඩා වැඩි වූවේනම් එය රජය රජ පරීක්ෂක දෙපාර්තමේන්තුවට අල්ලා ගත් ආයතන විසින් යොමු කළ යුතු වෙයි. පොලිස් කාර්යංශය මඟින් රජය රස පරීක්ෂකට යවන මත්ද්‍රව්‍ය එහි ගබඩා කෙරේ. අල්ලාගන්නා මත්ද්‍රව්‍ය කිසිවක් තමන් සන්තකයේ තබානොගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති පවසයි.

රජයේ රස පරීක්ෂක වාර්තා ලබාදීමට ප්‍රමාද වන්නේ මීට අමතරව අවි, පුපුරණ ද්‍රව්‍ය, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ සහ අනෙකුත් අපරාධ සම්බන්ධ වෛද්‍ය වාර්තා සැපයීමට තිබෙන බැවින් යැයි ද නියෝජ්‍ය පොලිස්පති මැදවත්ත සඳහන් කරයි.

නීතිමය අවශ්‍යතා හේතුවෙන් අත්අඩංගුවට ගන්නා මත්කුඩු විශාල තොගයක් සාක්ෂි වශයෙන් ගබඩා කර ඇති බවද The Sunday Times පුවත්පතට දැනගැනීමට හැකිවිය. අත්අඩංගුවට ගන්නා සුළු පරිමාණ මත්කුඩු මහේස්ත්‍රාත්වරැන් හා පොලිස් නිලධාරීන් ඉදිරිපිට විනාශ කර දැමූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ක්‍රියා පිළිවෙළ බොහෝ කාලයක් සිට සිදු කෙරැණු බව පෙනුණත් එය මහජනතාවට දක්නට නොලැබෙන දෙයකි.

The Sunday Times පුවත්පතට දැනගැනීමට ඇති අන්දමට වසවිස, ගංජා සහ භයානක මත්ද්‍රව්‍ය වලට අදාළ පනත සංශෝධනය කිරීම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හරහා සිදු කෙරෙමින් පවතී. මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාපිළිවෙළ වඩාත් විධිමත් සහ විනිවිදභාවයකින් යුතුව අප්‍රමාදව සිදු කිරීමටත් අවශ්‍ය නීති ඒ අනුව සැකසෙනු ඇත.

The Sunday Times පුවත්පත ඇසුරෙනි
 දිශානි ජයමාලි කරැණාරත්න