2019 ජුලි 27 වන සෙනසුරාදා

සුද්දන්ගේ කුණු මෙට්ට ලංකාෙව් අපට මොටද?

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 192

කැළිකසළ ගැටලුව ශ්‍රී ලංකාවේ සදාතනික ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ප්‍රධාන නගර ආශ්‍රිතව පමණක් නොව ග්‍රාමීය මට්ටමින්ද මේ වනවිට එය දැඩි අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය කර තිබේ. කොළඹ නගරයේ එකතුවන කැළිකසළ වෙනත් ප්‍රදේශවලට බැහැර කිරීමට යාමෙන්  විරෝධතා මතුවීම නිසා නීතිය ඉදිරියට යාමට සිදු වූ අවස්ථාද බහුලය. කොළඹ මීතොටමුල්ල කුණු කන්ද නිසා ජීවිත රුසක් අහිමි වූයේ මින් වසර තුනකට පමණ ඉහතය. අපේ කැළිකසළ හරිහැටි කළමනාකරණය කර ගැනීමට නොහැකිව තිබියදී විදේශවලින්ද කැළිකසළ මෙරටට පැමිණෙමින් තිබේ.

විදේශවලින් මෙරටට එන කැළිකසළ සහ අපද්‍රව්‍ය පිළිබඳව අනාවරණ වූයේ සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ලේකම් ජේ.ඒ. ගුණතිලක සහ සභාපති ඇන්ටන් ප්‍රියශාන්ත යන මහත්වරැන් විසින් කරන ලද හෙළිදරව්ව අනුවය. එංගලන්තයෙන් බැහැරකරන ලද රෝහල් අපද්‍රව්‍ය සහ වෙනත් කැළිකසළ සහිත බහාලුම් 102ක් කොළඹ වරායේ රඳවා ගෙන ඇතැයි ඔවුහු සඳහන් කළහ. දැනට සී.අයි.ඩී.ටී. අංගනයේ ගොඩබා කර ඇති මෙම බහාලුම් මෙරටට පැමිණ ඇත්තේ 2017 වසරේය. එලෙස රුගෙන එන ලද තවත් බහාලුම් 120ක් පමණ වරායෙන් පිටතට ගෙන ගොස් ඇතැයිද ඒවා කටුනායක ප්‍රදේශයේ නිදහස් වෙළෙඳ කලාපයේ එක්තරා ස්ථානයක ගොඩගසා ඇතැයිද ඔවුහු අනාවරණ කළහ.

මෙම අනාවරණය ඔස්සේ ක්‍රියාත්මක වූ මධ්‍යම පරිසර අධිකාරිය කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ගොඩගසා තිබූ අපද්‍රව්‍ය තොගය සොයාගැනීමට සමත් විය. එංගලන්තයේ රෝහල්වලින් බැහැර කරන ලද මෙට්ට, කුෂන් කැබලි, පාපිසි ඇතුළු මෙට්‍රික් ටොන් 27,685ක් පමණ වන විවිධ අපද්‍රව්‍ය එම ස්ථානයේ ගොඩගසා තිබිණි. 2017 ඔක්තෝබරයේ සිට 2018 ජනවාරි අතර අවස්ථා 12කදී එංගලන්තයේ වෙන්ගාඩ්ස් ලිමිටඩ් නමැති ආයතනයකින් මෙම අපද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය.

මෙම අපද්‍රව්‍ය සහිත බහාලුම් මෙරටට ආනයනය කරන ලද්දේ හේලීස් ෆ්‍රී සෝන් සමාගම විසිනැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කළේය. එම ආයතනය 2014 සිට ඒකාබද්ධ බාහිර සේවා මධ්‍යස්ථානයක් ලෙස කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ අන්තර් වෙළෙඳ කටයුතුවල නිරත වන බවත් ආයෝජන මණ්ඩලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය වාර්තාවකින් පැවසිණි. 2017 වසරේ ඔක්තෝබර් මාසයේ එම සමාගම ප්‍රතිඅපනයනය සඳහා භාවිත කරන ලද මෙට්ට සහ බුමුතුරුණු ඇතුළත් බහාලුම් 130ක් එංගලන්තයෙන් මෙරටට ගෙන එන ලද අතර ඉන් බහාලුම් 29ක් මේ වනවිට ප්‍රතිඅපනයනය කර තිබේ. නිදහස් වෙළෙඳ කලාපයේ ගොඩගසා ඇත්තේ ඉතිරි අපද්‍රව්‍ය තොගයයි. මෙම අපද්‍රව්‍ය කඩිනමින් ප්‍රතිඅපනයනය කරන ලෙසට  ආයෝජන මණ්ඩලය එම සමාගමට අවවාද කළ නමුදු එම සමාගම එයට විවිධ හේතු දක්වමින් එම කාර්ය ප්‍රමාද කරමින් සිටින හෙයින් ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ආයෝජන මණ්ඩලය පියවර ගන්නා ලදැයි එම මාධ්‍ය නිවේදනයේ සඳහන් විය.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත අනුව කිසියම් කාර්මික ක්‍රියාවලියක් සිදුවන්නේ නම් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගත යුතුය. එහෙත් හේලීස් ෆ්‍රී සෝන් සමාගම ඒ සඳහා බලපත්‍රයක් ලබාගෙන නැතැයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර තිබේ. අපද්‍රව්‍ය බහාලුම් 102ක් කොළඹ වරායට සහ කටුනායකට ගෙනවිත් ඇති බවට ලද තොරතුරු මත එම ස්ථාන පරීක්ෂා කිරීමේදී කොළඹ වරායේ ඇති කන්ටේනර් තුළ රෝහල්වලින් ඉවත ලූ පාපිසි, මෙට්ට කැබලි වැනි අපද්‍රව්‍ය රුසක් හමු වූ බවත් ශ්‍රී ලංකා පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය කළමනාකරන අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා සඳහන් කර තිබේ. එම අපද්‍රව්‍ය වලින් දැඩි දුර්ගන්ධයක් හමන හෙයින් එය දැඩි පාරිසරික ගැටලු ඇති කරවන බවද ඔහු කියා තිබේ. කෙසේ වුවද මෙම අපද්‍රව්‍ය මෙරටට ගෙන්වන ලද ආයතනය ලවා ඒවා යළි ප්‍රතිඅපනයනය කිරීමට එම ආයතනය වෙත දැනුම් දී ඇතැයි ද ඔහු පැවසීය. මේවා මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් වරාය අධිකාරිය සහ පරිසර අධිකාරිය වෙනම පරීක්ෂණ ආරම්භ කළේය.

අපද්‍රව්‍ය සහිත බහාලුම් මෙලෙස මෙරටට පැමිණීමට හේතු වූයේ පසුගිය රජය මගින් වෙනස් කරන ලද ඇතැම් නීති රීති  හේතුවෙන් යැයි සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ලේකම් ජේ.ඒ. ගුණතිලක මහතා සඳහන් කරයි. 2012 වසරේ අග භාගයේ ‘හබ් ඔපරේෂන්’ නමින් නව ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබීය. එය 2013 ජුලි 11 දින අංක 1818/30 යටතේ නිකුත් කරන ලද ගැසට් පත්‍රය මගින් නීතිගත කරන ලදී. ඒ අනුව මෙම හබ් ඔපරේෂන් ක්‍රමය  යටතේ භාණ්ඩ මෙරටට ගෙන්වා යළි ප්‍රතිඅපනයනය සඳහා පහසුකම් සැලසිණි. නව නීති සංග්‍රහයේ 14 වැනි වගන්තියේ සිට 18 වැනි වගන්තිය දක්වා අන්තර්ගත වන්නේ හබ් ඔපරේෂන් සඳහා වන නීති රීතිය. එහෙත් නව නීතිය මගින් එලෙස ප්‍රතිඅපනයනය සඳහා ගෙන එන භාණ්ඩ සියල්ල රේගු නීති රීතිවලින්, ආනයන අපනයන නීතිවලින් සහ විනිමය නීතිවලින් නිදහස් කරනු ලැබීය. ඒ අනුව එම භාණ්ඩ රේගු පරීක්ෂාවට ලක්කළ නොහැකිය. ‘අපට මෙම භාණ්ඩ කිසිවක් පරීක්ෂා කළ නොහැකියි. රේගුවට බලය ඇත්තේ මෙම කන්ටේනර්වල ඇති සීල් එක පරීක්ෂා කිරීමට පමණයි. මෙම කන්ටේනර්වල ඇති අපද්‍රව්‍යවල මොන මොන වර්ගයේ විෂබීජ තිබේදැයි කියන්න බැහැ. ඒවායින් ලංකාවේ විවිධ රෝගකාරක පැතිර යන්න පුළුවන් යැයි සමස්ත ලංකා රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඇන්ටන් ප්‍රියශාන්ත මහතා සඳහන් කළේය. 

දැනට වරායේ ගොඩගසා ඇති බහාලුම් මෙතෙක් ඉන් පිටතට ගෙනයෑමට නොහැකි වී ඇත්තේ රේගු නිලධාරීන් විසින් විවිධ ක්‍රමවලින් එයට බාධා පැමිණවීම නිසාය. රේගු සේවා සංගමය සඳහන් කරන අයුරින් කලින් බැහැරට ගෙන යන ලද අපද්‍රව්‍යවලින් කොටසක්  රටේ විවිධ ස්ථානවලට බැහැර කරන්නට ඇතැයි සැක කළ හැකිය. හබ් ඔපරේෂන් යටතේ නීති රීති වෙනස් කිරීමේදී රේගුවට ඇති බලතල ඉවත් නොකරන ලද්දේ නම් මෙවැනි ව්‍යසනකාරී ක්‍රියා සිදු නොවන බවද මේ සඳහා හිටපු පාලකයන් සහ වර්තමාන පාලකයන්ද වගකිවයුතු බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

මෙම හබ් ඔපරේෂන් ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා ගත හැකි වුවද එම නීතිරීතිවලට යටත්ව විවිධ කූඨ ව්‍යාපාරිකයෝ අනර්ථ ක්‍රියාවලද නිරත වූහ. වියට්නාමයෙන් බාල ගම්මිරිස් ගෙන්වා ශ්‍රී ලංකා ගම්මිරිස් ලෙස ප්‍රති අපනයනය කිරීම හේතුවෙන් මෙරට ගම්මිරිස් අපනයනය සහමුලින්ම කඩා වැටිණි. කිලෝව රුපියල් 1400  පමණ මිලකට පැවැති ගම්මිරිස් මිල රැපියල් 400 පමණ ප්‍රමාණයකට පහත වැටිණි. මෙම කැළි කසළ හා අපද්‍රව්‍ය මෙරටට ළඟා වූයේද එවැනි ව්‍යාපාරිකයන් නිසාය. 

දියුණු රටවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය සඳහා දැඩි නීති රීති පවතී. ඔවුන් තම රටවල පරිසරයට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා අතර තම රටවල අපද්‍රව්‍ය තුන්වැනි ලෝකයේ රටවලට යැවීම බොහෝ කලක පටන් සිදු කරන්නකි. ඒ සඳහා මොවුන් තෝරා ගෙන ඇත්තේ දිළිඳු රටවල්ය. විශේෂයෙන් අප්‍රිකානු රටවල් මේ සඳහා යොදාගත් අතර එම රටවල් මේ වන විට සෞඛ්‍ය ගැටලු රුසකට මුහුණ පා සිටී. බාසල් සම්මුතිය යටතේ එක් රටක අපද්‍රව්‍ය වෙනත් රටකට බැහැර කළ නොහැකිය. කලකට ඉහත ස්විට්සර්ලන්තයේ බාසල් නුවරදී මෙම ගිවිසුමට ලොව රටවල් රැසක් අත්සන් කර තිබේ. එංගලන්තය තම අපද්‍රව්‍ය වෙනත් රටවලට බැහැර කිරීම බාසල් සම්මුතිය උල්ලංඝනය කිරීමකි. ශ්‍රී ලංකාවට මෙම අපද්‍රව්‍ය සහිත බහාලුම් ගෙන එන ලද පුද්ගලයන් ඒ සඳහා විශාල මුදලක් ලබා ගෙන ඇතැයි පැවසේ. දියුණු රටවල් තම අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ඕනෑම මුදලක් වැය කිරීමට සූදානම්ය. රේගු සේවා සංගමයේ ලේකම් ජේ.ඒ. ගුණතිලක මහතා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් සඳහන් කළේ මෙම අපද්‍රව්‍ය ගෙන එන ලද පුද්ගලයාට හෝ ආයතනයට එක බහාලුමක් සඳහා පවුම් ලක්ෂ 3ක් පමණ ලැබී ඇති බවයි.

මෙම බහාලුම් මෙරටට ගෙන ලද්දේ හේලීස් ෆ්‍රී සෝන් සමාගම විසින්යැයි ප්‍රකාශ විය. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ එම සමාගම සඳහන් කළේ තමන් එම බහාලුම් ආනයනය නොකළ බවයි., ඔවුන් සඳහන් කරන ආකාරයට කොළඹ වරායේ රඳවා ඇති අදාළ කන්ටේනර් සම්බන්ධයෙන් එම සමාගමේ කිසිදු සබඳතාවක් නොමැත. තමන් ගෝලීයව අනෙකුත් වෙළෙඳ කලාප තුළ සිදු කෙරෙන ප්‍රති අපනයන සඳහා අගය එකතු කළ සේවා සැපයීමේ විශේෂ අරමුණු පෙරදැරිව ආනයනකරුවන්ට හා අපනයනකරැවන්ට ප්‍රවර්ධන සේවා සැලසීම සඳහා ස්ථාපනය කරන ලද නිත්‍යනුකූල ආයතනයක් යැයි ද දැනට කොළඹ වරායේ රඳවා ඇති අපද්‍රව්‍ය කන්ටේනර් සමඟ තම ආයතනයට කිසිදු සම්බන්ධයක් නැතැයි ද කියා සිටියේය. එම නැව් බඩු තොගය ආනයනකරැ විසින් තම ආයතනය වෙත යොමු කරන ලද්දේ පිරි සැකසීම සහ ප්‍රති අපනයනය සඳහා බවත් එම භාණ්ඩවලින් කොටසක් මේ වන විටත් පිරි සැකසුම් කොට ප්‍රතිඅපනයනය කර අවසන් බවත්  එම බහාලුම් තුළ අපද්‍රව්‍ය කිසිවක් නොවූ බවත් ඔවුන් එම මාධ්‍ය නිවේදනය මගින් ප්‍රකාශ කර තිබිණි.එහෙත් ඔවුන් තමන්ට එම භාණ්ඩ ලබා දුන් ආනයනකරැ කවුදැයි අනාවරණ කළේ නැත.

ඒ අනුව මෙරටට අපද්‍රව්‍ය බහාලුම් ගෙන ලද්දේ කවුරුන්දැයි යන්න ගැටලු සහගත විය. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය මහතාද මේ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව සඳහන් කර තිබිණි. පසුගිය 22 දින මාධ්‍ය හමුවක් කැඳවූ හේලීස් ෆ්‍රී සෝන් සමාගම මෙම මෙට්ට සහිත බහාලුම්වල සැබෑ හිමිකරු ඒ.ටී.එල්. කලම්බො නම් සමාගම යැයි ප්‍රකාශ කළේය. නැව් භාණ්ඩ ප්‍රවාහනයේ නිරත එම සමාගම සිලෝන් මෙටල් කෝපරේෂන් සමාගමට අයත් භාවිත කරන ලද මෙට්ට තොගයක් යළි සකසා ප්‍රති අපනයනය කිරීම සඳහා හේලීස් ෆ්‍රී සෝන් සමාගමට භාරදුන් බවට හේලීස් ෆ්‍රී සෝන් සමාගමේ අධ්‍යක්ෂ අසංක රත්නායක සඳහන් කළේය. බහාලුම් 130ක් තම අංගනයේ ගබඩා කළ බවත් ඒවායේ කිසිදු අපද්‍රව්‍යයක් අන්තර්ගත නොවූ බවත් සඳහන් කළ ඒ මහතා  දැනට කොළඹ වරායේ ඇති බහාලුම් 102 පිළිබඳව තම ආයතනයට සම්බන්ධයක් නැතැයිද ප්‍රකාශ කළේය.

කසළ සහිත බහාලුම් 241ක් මෙරටට ගෙනවිත් ඇති බවත් ඉන් 130ක් හේලීස් ෆ්‍රී සෝන් සමාගම මගින් නිදහස් කරගෙන ගිය බවත් අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් හා රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පසුගිය 22 දින මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය. කොළඹ වරායේ බහාලුම් 111ක් ඇති බවද මෙම බහාලුම්වල සැබෑ හිමිකරැවන් වන්නේ ඒ.ටී.එල් කලම්බු සමාගම සහ සිලෝන් මෙටල් ප්‍රොසෙසින් සමාගම බවට රේගු විමර්ශනවලින් අනාවරණ වී ඇතැයිද ඔහු සඳහන් කළේය. මහකොළඹ ආර්ථික කොමිසමේ ලියාපදිංචි ආයතනයක් වන හේලීස් ෆ්‍රී සෝන් සමාගම ඉහත කී සමාගම් දෙක සමග ගිවිසුමකට එළැඹ එම ගිවිසුම යටතේ එම බහාලුම් මෙරටට ගෙන්වා ඇතැයි කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් වැරදිකරැවන් වන ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් දැනට වරායේ රඳවාගෙන ඇති බහාලුම් 111 ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගන්නා බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර මෙම බහාලුම්වල මිනිස් සිරුරු කොටස් ඇතැයි ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රකාශ කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගන්නා බව බ්‍රිතාන්‍යයේ ද ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය සඳහන් කර තිබේ. මෙම බහාලුම්වලින් නිකුත් වන දැඩි දුර්ඝන්ධය හේතුවෙන් මිනිස් සිරුරු කොටස් එහි අඩංගුවී ඇතැයි රේගු බලධාරීන් අනුමාන කර තිබේ. එහෙයින් එක්සත් රාජධානියේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නොහොත් ‍ඩෙෆ්රා ආයතනය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් හා සාකච්ඡා කිරීමට සූදානමින් සිටී. අප දෙපාර්තමේන්තුව අනවසර අපද්‍රව්‍ය අපනයනය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වෙනවා. මෙලෙස අපද්‍රව්‍ය වෙනත් රටවලට යවන පුද්ගලයන්හට අති විශාල දඩයක් හා දෙවසරක සිරදඬුවම් නියම කළ හැකියි. කැළි කසල අඩංගු බහාලුම් නැවත ගෙන්වා ගන්නා ලෙස දන්වමින් මෙතෙක් කිසිදු නිල ඉල්ලීමක් ශ්‍රී ලංකා බලධාරීන් වෙතින් අපට මෙතෙක් ලැබී නැහැ. නීත්‍යානුකූල ලෙස එවැනි ඉල්ලීමක් ලදොත් මේ සම්බන්ධයෙන් සෘජුව සම්බන්ධ වී තොරතුරැ ලබා ගැනීමට අපේක්ෂා කරනවා* යැයි ඩෙෆ්රා දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක ප්‍රකාශ කර තිබේ. 

බ්‍රිතාන්‍යයේ රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය බැහැර කිරීම පසුගිය කාලයේ විශාල ගැටලුවක් බවට පත්ව තිබිණි. මිනිස් ශරීර කොටස් බ්‍රිතාන්‍යයෙන් පිට කිරීම නීති විරෝධි හෙයින් ප්‍රතිචක්‍රීකරණ භාණ්ඩ ලෙස මේවා පිට කිරීමට උත්සාහ කරන්නට ඇතැයි සිතිය හැකිය. බ්‍රිතාන්‍යයේ අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ විශේෂඥයකු සඳහන් කරන ආකාරයට ප්‍රතිචක්‍රීකරණ ද්‍රව්‍ය මුවාවෙන් මිනිස් සිරැරැ කොටස් වෙන රටවලට යැවීම ඉතා ලාබදායි ක්‍රියාවකි.

බ්‍රිතාන්‍යයේ රෝහල්වලින් ඉවත ලන අපද්‍රව්‍ය බැහැර කිරීමේ කාර්යය භාරව සිටියේ හෙල්ත්කෙයාර් එන්වයරන්මන්ට් සර්විස්^ නමැති ආයතනයකි. ඔවුන් රෝහල් 50කට අධික සංඛ්‍යාවක අපද්‍රව්‍ය, ශල්‍යකර්මවලින් ඉවත් කරන මිනිස් සිරුරු කොටස් සහ ආසාදිත දියර වර්ග ඉවත් කිරීමේ නිරතව සිටි අතර ඔවුන්ගේ සේවය නියමිත පරිදි සිදු නොකිරීම නිසා පසුගිය දෙසැම්බරයේ එම කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට පියවර ගෙන තිබේ. සාමාන්‍යයෙන් රැස්කර තැබිය හැකි වැඩිම අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 70කි. පසුගිය සැප්තැම්බරයේ එම ප්‍රමාණය ටොන් 350 ඉක්මවූ අතර ඒ සියල්ල ඉවත් නොකර ශීතකරණවල ගබඩා කර තිබීම හේතුවෙන් එම ආයතනයේ ටෙන්ඩරය අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණි.

යුරෝපීය රටවලින් පිට  කෙරෙන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ද්‍රව්‍ය ලෙස හඟවා සාපරාධී අයුරින් බැහැර කරන අලුත්ම රට බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවය. චීනය, වියට්නාමය, තායිලන්තය හා මැලේසියාව වැනි රටවලට ප්‍රතිචක්‍රීකරණය සඳහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල වශයෙන් රුගෙන එන ලද අතර මේ වනවිට එය තහනම් කිරීමට එම රටවල් පියවර ගෙන තිබේ

රටට විශාල ප්‍රශ්නයක් විය හැකිව තිබූ කැළිකසළ හා අපද්‍රව්‍ය, මෙරටට පැමිණීම අනාවරණ වූයේ රේගු බුද්ධි තොරතුරු අංශයේ විමසිලිමත්භාවය නිසාය. රටට වින කෙරෙන මෙවැනි ක්‍රියා වැළැක්වීම සඳහා අවශ්‍ය නීති රීති පැනවීමට බලධාරීන් ක්‍රියා කළ යුතු වන අතර හුදු ලාබ අපේක්ෂාවෙන් පවතින නීතිරීති වෙනස් කිරීමට පෙර ඒ පිළිබඳව දෙවරක් සිතා බැලීමද වැදගත් වන්නකි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා