2019 ජුලි 27 වන සෙනසුරාදා

චිත්‍රපට බෙදාහැරීමේ අවුල ලිහේද?

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 202

ශ්‍රී ලාංකික සිනමා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් කලක පටන් විවිධ මතභේද හටගැනුණි. ඇතැමුන් චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලික අංශවලට හිමිවිය යුතු බවත් තවත් සමහරු චිත්‍රපට බෙදා හැරීම චිත්‍රපට සංස්ථාව යටතේ පැවතිය යුතු බවත් අදහස් පළකළහ. හැටේ දශකයේ දී මෙලෙස සිනමා ක්ෂේත්‍රය තුළින්ම බොහෝ ඉල්ලීම් සැලකිල්ලට ගත් එවකට පැවති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය මගින් 1971 අංක 47 දරන පාර්ලිමේන්තු පනත මගින් 1972 ජනවාරි 21 වැනිදා රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවාලීය.

එතෙක් සිනමා කර්මාන්තය හසුරැවන ලද්දේ ව්‍යාපාරිකයන් විසින් කිහිපදෙනකු විසිනි. 

1970ට පෙර චිත්‍රපට බෙදාහැරීම් සිදුකරලා තිබුණේ පෞද්ගලික අංශයයි. ඒ සම්බන්ධව ඇතිවුණ අවිධිමත් නිසා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය මගින් 1972 වසරේදී චිත්‍රපට සංස්ථාව පිහිටුවා ඉන්පසුව ජාතික චිත්‍රපට සංස්ථාව හරහා චිත්‍රපට බෙදාහැරීමත් සිදුවුණා. ඒ කාලේ සිනමාශාලා පන්සීයකට අධික ප්‍රමාණයක් ලංකාවේ පිහිටුවා තිබුණා. සිනමාවේ ස්වර්ණමය යුගය කියන්නේ 70-80 දශකයෙන්. ඊට පස්සේ 90 දශකයේදී බෙදා හැරීම්වල යම් යම් ගැටලු මතුවෙලා තියෙනවා. එයට විවිධ හේතුන් බලපෑවා. ඒ අතරින් කළුජූලිය, යුද්ධය වැනි හේතූන් මෙයට බලපෑවා.

යැයි ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අනුෂා ගෝකුල මහත්මිය දේශයට පැවසුවාය. 

ස්වර්ණමය යුගය යැයි හැඳින්වූ කාලවකවානුවේදී වාර්ෂික ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන හැත්තෑවක් පමණ විය. ඇතැම් සිනමා ලෝලියෝ එකම චිත්‍රපටය කිහිප වතාවක් නැරඹීමට පවා සිනමාශාලාවලට පිවිසුණහ. අද මෙන් සී.ඩී. තැටි, රූපවාහිනී ප්‍රදර්ශනය කිරීම් එකල නොමැති නිසාම සිනමා ශාලාවෙන් සිනමා පටයක් ඉවත් වීමට පෙර තවත් වතාවක් එම චිත්‍රපටය බැලීමේ කැමැත්තක් එකල සිනමා ලෝලීන් අතර තිබුණි. චිත්‍රපට සංස්ථාව මගින් චිත්‍රපට බෙදාහැරීම සිදුකරද්දී පෞද්ගලික අංශය ද එයට විරැද්ධව හඬ නැගීය.

කෙසේ වුවත් නැවතත් 2010දී මෙය නැවතත් පෞද්ගලික අංශයට වෙත පැවරුණි. එදා සිට බොහෝවිට ඇතිවූයේ සිනමා කර්මාන්තය කඩා වැටීමකි. මෙම බෙදාහැරීම් මණ්ඩලය ඉතාම අවිධිමත් ලෙස මුදල් හම්බකිරීමේ පරමාර්ථයෙන් පමණක් මේ කාර්යයේ නිරත බව සභාපතිනිය චෝදනා කරන්නීය.

පෞද්ගලික අංශය, විශේෂයෙන් දේශීය සිනමාව නඟා සිටවන්නට දායකත්වයක් ලබාදෙන්නේ නැත. ඔවුන් මහා දැවැන්ත අවිධිමත්, අවිචාරමත්, අවිනය, නීති කඩකිරීම් මේ තුළින් සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා 2018 හිටපු විෂය භාර ඇමති විජයදාස රාජපක්ෂ නැවතත් එය සංස්ථාවට පවරා දී තිබෙනවා. එවිට වාරණයක් විදිහට තමයි බෙදාහැරීම් මණ්ඩලය වාරණ නියෝගයක් අරගෙන තිබෙන්නේ.*යැයි සභාපතිනිය වැඩිදුරටත් දේශයට පැවසීය.

ගනු ලැබු අතුරැ තහනම් නියෝගය අනුව මෙම වසරේ ජුනි මස 18 වන දින චිත්‍රපට බෙදාහැරීමේ බලය නැවතත් චිත්‍රපට සංස්ථාවට හිමිවුණි. මේ වනවිටත් එම නඩුව ක්‍රියාමත්මක වන අතර ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව බලාපොරොත්තු වේ. 2019 ජුනි මස 18 වෙනිදා ලැබුණු නියෝගයක් සමඟ සිනමා ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයින් අතර යම්කිසි බලාපොරොත්තුවක් ඇතිවුණි. බොහෝ දෙනා මේ පිළිබඳව තම අදහස පළකළහ

සිනමා කර්මාන්තයේ දියුණුවට රජයේ අනුග්‍රහය ඉතාම අවශ්‍ය වෙනවා. ඒ නිසා චිත්‍රපට සංස්ථාවට ශක්තියක් වෙන්න අපි හැමවිටම කැමතියි. බොහෝ පෞද්ගලික අංශ හැමවිටම කටයුතු කරන්නේ ලාභ බලාගෙනයි. මේ නිසා මෙය කලාවක් සේ නොසැලකීම නිසා සිදුවූයේ කලාවට හානියක්. මේ තුළින් ඉතා හොඳ සිනමාවක් බිහිවේයැයි අප බලාපොරොත්තු වෙනවා. යැයි චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය ප්‍රකාශ කළාය.

දේශීය සිනමා ශිල්පීන්ගේ සංගමයේ සභාපති චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමයේ උප ලේකම් රොහාන් වැලිවිටද මේ සම්බන්ධව අදහස් දැක්වීය.

පෞද්ගලික ආයතනවල අපේ සංස්කෘතිය ගැන සිතා වැඩ කළ අය සිටියේ නැහැ. ඔවුන් චිත්‍රපට බෙදාහැරීම් සිදුකළේ අසාධාරණ ක්‍රමවේදයකට. සිනමාවේ කඩාවැටීමක් තිබෙනවා නම් එයට චිත්‍රපට සංස්ථාවත් වගකිව යුතුයි. චිත්‍රපට බෙදාහැරීම යළි ජාතික චිත්‍රපට සංස්ථාවට පවරා දීමත් සමඟ සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනාට බලාපොරොත්තු ඇති කරගැනීමේ හැකියාවක් ඇතිවුණා. කාලයක් තිස්සේ චිත්‍රපට බෙදාහැරීම රජය සතු විය යුතුයැයි අපි කිව්වා. ඒ තත්ත්වය උදාවීම ගැන දැන් අපිට සතුටුයි.

චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලික අංශයට පැවරීමත් සමඟ ඔවුන් බොහෝවිට තමන් කැමති චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් හා නිෂ්පාදකයින්ගේ චිත්‍රපට පමණක් ප්‍රදර්ශනය කරනා බව බොහෝ දෙනා චෝදනා කරති. මේ නිසාම චිත්‍රපට බොහෝමයක් ප්‍රදර්ශන පෝලිමේ ගොඩගැසුණි. වසර ගණනාවක්ට උඩදී බොහෝ වියදම් දරා බොහෝ ණය වෙමින් නිෂ්පාදකවරු චිත්‍රපටවලට මුදල් යට කරද්දී බොහෝ වෙහෙස දරා මාස ගණනක් තිස්සේ නිදිවර්ජිතව අධ්‍යක්ෂකවරු ඇතුළු මුළු මහත් කණ්ඩායම නිර්මාණය කළ චිත්‍රපට පෝලිම්වල එකම තැනක පැලපැදියම් වෙද්දී බාලගණයේ හරසුන් ඇතැම් චිත්‍රපට නිර්මාණය කර අවසානයේදී සිනමා ශාලාවල ප්‍රදර්ශනය විය. ඇතැම් කසිකබල් සිනමාපටවලට සිනහ විය යුත්තේ කිතිකවාය. “වැඩිහිටියන්ට වඩාත් සුදුසු*යැයි ලේබල් නොවුණු ඇතැම් චිත්‍රපට සිනමාශාලාවල ප්‍රදර්ශනය විය.

පෞද්ගලික බෙදාහැරීම් මණ්ඩලවලට අපි චිත්‍රපටයක් ගෙනගියාම ඒ අයගේ නීතිරීතිවලට අපි යටත් වෙන්න ඕනේ. අල්ලස් දෙන්න ඕනෑ. පෞද්ගලික අංශ ඔවුන්ට හිතුමතේට ප්‍රවේශපත්‍ර මිල ගණන් වෙනස් කරනවා. ජාතික චිත්‍රපට සංස්ථාවට චිත්‍රපට බෙදාහැරීම ලැබීම ගැන අපි සතුටු වෙනවා. යැයි චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් පැවසීය.

මේ සම්බන්ධයෙන් බෙදාහැරීම් ක්‍රමවේදය ක්‍රමවත්ව අපි ජනගත කළා. සිනමාවේ තියන සියලුම අඩුපාඩු අපි සැලකිල්ලට ගෙන ඒවා විසඳන්න මේ වනවිටත් දැවැන්ත යොමුවීමක් තියෙනවා. එදා සිනමාශාලා පන්සීයකට ආසන්න ප්‍රමාණයක් තිබුණත් අද වනවිට ඇත්තේ එකසිය අනූඑකයි. මෙයිනුත් සිංහල චිත්‍රපට පෙන්විය හැක්කේ එකසිය දහනවයක පමණයි. එයිනුත් මි.මි. 35 ධාරිතාවෙන් පෙන්වන සිනමාශාලා දහනවයක් තියෙනවා. සිනමාශාලාවලට මිනිස්සු එන්නේ නැතිකොට සිනමාශාලා නඩත්තු කරන්නවත් ඔවුන්ට සල්ලි නැත. මේ වගේ විෂම චක්‍රයකට මෙන් වැටිලා තියෙනවා. විශාල, දැවැන්ත යොමුකිරීමකින් තමයි මේක සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. බෙදාහැරීම් මණ්ඩල මේවා අයුතුවිදිහට පාවිච්චි කරලා.

යැයි ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අනුෂා ගෝකුල මහත්මිය වැඩිදුරටත් දේශයට පැවසුවාය.

විදේශීය චිත්‍රපට ආනයන කිරීමෙන් ද සිදුව ඇත්තේ අසාධාරණයකි. බොහෝ චිත්‍රපට ආනයනය කරන්නේද හොර රහසේය. ඒ චිත්‍රපටවලට අවශ්‍ය රජයේ බදු මුදල් ගෙවා නොමැත. පෙන්වන වෙලාව පමණක් නොව ටිකට් පතක මිල ගණන් ද තීරණය කරනු ලබන්නේ ඔවුන්ට හිතුමතේය.

කෙසේ වුවද චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය ජාතික චිත්‍රපට සංස්ථාවට බෙදාදීමෙන් පසුව හෝ පාළුවට ගොස් ඇති සිනමාශාලා මෙන්ම කිසිදු පහසුකමක් නැති සිනමාශාලා කෙරෙහි ද ඔවුන්ගේ අවධානය යොමුවන්නේ නම් එය අනාගත සිනමාවට මහත් පිටුවහලක් වනු ඇත.

 දිශානි ජයමාලි කරුණාරත්න