පාස්කු ඉරිදා දින ත්‍රස්තයන් විසින් සිදුකළ ප්‍රහාරයට අදට (ජූනි 21) මාස තුනක් සපිරෙයි. ජීවිත හැරගිය මිනිසුන් වෙනුවෙන් අදටත් බොහෝ හිත් සුසුම් හෙළති. කම්පා වෙති. මුළු කටුවපිටිය ගම්මානයම එකම මළගෙදරක් වෙද්දී අදටත් ඒ අමිහිරි මතකයන් මිනිස් හිත්වලින් ඈත් වී නොමැත. මාස තුනක් ඉක්මව ගියද අදටත් කටුවපිටිය ගම්වැසියෝ තම මියගිය ඥාතීන්, හිතවතුන් වෙනුවෙන් යාඥා කරති. ඔවුන්ව සිහි කරති. මේ අතර තවමත් රෝහල් ඇඳ මත හිඳ, රෝද පුටුවේ හිඳ ඈත අහස දෙස බලා සුසුම් හෙළනා කටුවපිටිය ජනතාව ද අපට මුණගැසෙයි.
මේ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් දරුවන්ට මව්පියන් අහිමි විය. මව්පියන්ට දරුවන් අහිමි විය. තම දෑස් ඉදිරිපිට මියගිය මවගේ නිසල සිරුර මතකයට නංවාගෙන තවමත් දෑස්වල කඳුළු පුරවාගෙන හඬා වැළපෙන තරුණ හිත් අදටත් කටුවපිටිය ප්‍රදේශයේ නොමැරී ජීවත් වෙති.
“මගේ අයියා පාස්කු ඉරිදා දවස්වල අසනීපයෙන් හිටියා. ඒ නිසා ගෙදර හැමෝම එදා අයියා බලන්න යන්න සූදානම් වුණා. ඔය අතරේදී තමයි මේ බෝම්බ ප්‍රහාරය එල්ලවෙලා තිබුණේ. අනේ.. අපිට හිතාගන්නවත් බැහැ. අපි දන්න කියන කී දෙනෙක් ඔය බෝම්බයෙන් නැති වුණාද? තවමත් පොඩි දරුවෝ අම්මලා නැතිව රෑට හීනෙන් කෑ ගහනවා. අම්මලා තාත්තලා නැතිවුණු තරුණ ළමයි කී දෙනෙක් මේ තුන් මාසේ ඇතුළත මේ ගමෙන් පිටවෙලා ගියාද? රස්සාවලට යන්න බැරිව කී දෙනෙක් තවමත් ගෙදර නැවතිලා ඉන්නවද? අදටත් අපිට මේක හීනයක් වගෙයි. තුන් මාසයක් ගෙවුණාට හරියට අද ඊයෙක වුණා වගෙයි. ඇත්තටම මේ සිදු වුණු දේ ගැන අපිට හරි දුකයි. ඒ දුක වචනවලට කියාගන්න තේරෙන්නෙ නැහැ. එකම ගමේ මරණ දාහතක් සිදු වුණා. පොඩි දරුවන්ගේ මිනී බලද්දී හිත වාවන්නෙ නැහැ. තාමත් අපේ ගම මළගෙයක් වගෙයි. මේ වගේ වින්නැහියක් කවදාවත් අපිට වෙලා නැහැ.” යැයි රමණි පෙරේරා දේශයට පැවසීය.
අමාලි චතුරිකා රාජගුරුට වයස අවුරුදු තිස් අටක් ලැබුවා පමණි. තම ආදරණීය සැමියා සමඟ බලාපොරොත්තු ගොන්නක් සිත්හි දරාගෙන ජීවත් වූ අමාලි පුංචි දියණියකගේ හා පුතකුගේ ආදරණීය මවක් වූවාය. නොසිතූ මොහොතක සිදු වූ බෝම්බ ප්‍රහාරයත් සමඟ කටුවපිටිය පල්ලියේ දේවමෙහෙයට සහභාගි වෙමින් සිටි ඇය ද ප්‍රාණ පරිත්‍යාගයක් ලෙසින් සිය ජීවිතය පුද කළාය. අමාලිගේ සැමියා, පුංචි දියණිය සහ පුතා අවසානයේ තනි වූහ. තුන් මසක් ගෙවී ගියද අදට ද ඔවුන්ගේ හිත්වලින් අමාලි ඈත් වී නොමැත. ඒ මතකයන් සදාකාලිකවම ඔවුන්ගේ හිත්වල පැළපදියම් වනු ඇත.
“අමාලි එක්ක මමත් මැරුණා කියලයි වෙලාවකට මට හිතෙන්නෙ. මේ දරුවන් දෙන්නට අම්මාගෙන් ලැබුණු සෙනෙහස ආදරය මට දෙන්න තේරෙන්නෙ නැහැ. අම්මා කෙනෙක්ගෙ ආදරය පුරවන්න මට තේරෙන්නෙ නැහැ. හැම රෑකම චූටි පුතා සැරෙන් සැරේට ඇහැරිලා “අම්මා.. අම්මා..” කියනවා. පුතාට වයස අවුරුදු තුනයි. එයා ළදරු පාසල් යනවා. අමාලි ඉන්න කාලෙදි පුතා මොන්ටිසෝරි ගියේ නැහැ. ඒත් දරැවා ගොඩක් තනිවුණා කියලා මට හිතුණා. ඒ නිසයි මම පුතාව මොන්ටිසෝරි දැම්මේ. දුවට දැන් වයස අවුරුදු පහයි. දුව දැන් එක වසරේ ඉගෙන ගන්නවා.” යැයි අමාලිගේ සැමියා වන රොහාන් ප්‍රනාන්දු පැවසීය.
පුංචි දියණිය හීනෙන් අම්මාව දකින්නීය. බොහෝ දිනවල උදෑසන පුංචි දියණිය නින්දෙන් අවදි වන්නේ “අම්මි.. මම ළඟට ආවා. මාව තුරුලු කරගෙන නිදාගන්න” කියමිනි. ඒ සෑම මොහොතකම රොහාන් මැරි මැරී උපදින්නේය. පුංචි දියණිය හීනෙන් දකින අම්මාට ආදරය කරන්නීය. තවමත් ළදරු පාසලේ ඉගෙනුම ලබන පුංචි පුතණුවන්ට අම්මා නැති අඩුව එලෙස නොදැනුණුද, පැය ගණනක් තිස්සේ කෑම ටිකක් කවාගන්නට වෙහෙස වන, කතාන්දර කියන, තමා හා සෙල්ලම් කරන අම්මා නැතිව කෑම කන්නට ඔහුට එතරම් ප්‍රියක් නැත. අම්මා තරම් රසට බත්ගුලි කවන්නට, කතාන්දර කියන්නට තාත්තා දක්ෂ නැත. කෑම ප්‍රතික්ෂේප කරන සෑම මොහොතකම තාත්තාගේ ඇස්වල උණන කඳුළු පුංචි පුතු දකින්නේ නැත.
“රෑට පුතාව නිදිකරවන්න හරි අමාරුයි. හැම රෑම මම කකුල් දෙකේ තියාගෙන නිදි කරවනවා. ටික වෙලාවකින් ආයේ නැගිටිනවා. අමාලි නම් පුතා නැගිටපු ගමන් හෙමිහිට ඔළුව අතගාලා පොඩ්ඩක් ඇඟට තට්ටු කරලා ආයේ නිදි කරවනවා. අනේ.. මට තවම එහෙම බැහැ. දැන් වෙලාවකට පුතා නිදියන්නෙ මගේ පපුව උඩයි. අම්මගේ ඒ රස්නෙ මට මේ දරැවන්ට දෙන්න බැහැ. මට ඒක තවම හුරු කරගන්න අමාරුයි. හැම රෑකම මම ඉන්නෙ ගොඩක් වෙලාවට ඇහැරිලා.” යැයි රොහාන් දේශයට පැවසීය.
පාස්කු ඉරිදා දින අමාලි සහ රොහාන් දරු දෙදෙනා සමඟ කටුවපිටිය දේවස්ථානයට ගියෝය. ඔවුන් පල්ලියේ මිදුලේ සිටි අතරතුර බෝම්බය පිපිරී ගියේය. අමාලිගේ පපුවට බෝම්බවෙන් දැඩි හානි සිදුවිය. එක්වරම ඇය බිම ඇද වැටුණාය. හිස් මුදුනට ද තුවාල සිදු වූ අතර එකවරම මුහුණ පුරා රුධිරය ගලා ගියේය. දියණියගේ අතෙහි කොටසකට දැඩි ලෙස තුවාල සිදුවිය. රොහාන්ට යම් අනතුරක සේයාවක් දැනුණි. හිසෙන් ගලා ගිය රුධිරය ගැන නොසිතූ ඔහු බිම වැටී සිටි බිරිය දෑතට ගෙන ත්‍රීවිලරයකින් වහා රෝහලට රැගෙන ගියද ඒ වන විටත් ඇය ආදරණීය සැමියා හා දරු දෙදෙනා තනිකර ප්‍රාණ පරිත්‍යාගකාරියක ලෙස සදහටම දෑස් පියාගෙන සිටියාය. බෝම්බ ප්‍රහාරය සිදුවනවාත් සමඟම අමාලි බිම ඇදවැටුණේ (චූටි දූ) කියමිනි. අදටත් ඒ හඬ ඔහු වටා දෝංකාර දෙයි.
“මේ මාස තුන ගෙවාගත්තේ හරිම අමාරැවෙන්. එයාව මතක් නොවෙන වෙලාවක් නැති තරම්. මේ පැටව් දෙන්නම හරි දඟයි. උන්ට කිසි දෙයක් තේරෙන්නෙ නැහැ. මම ඉන්නෙ මගේ ලොකුඅම්මා එක්ක. එයාටත් දරුවෝ බලාගන්න අමාරුයි. අමාලි දරුවන් දෙන්නට හරිම ආදරෙයි. මේ දුක කොහොම නිවාගන්නද?”
රොහාන් මීගමුව හෝටලයක සේවය කළේය. සෑම උදෑසනම රැකියාවට යාමට පෙර තම මෝටර් බයිසිකලය ඉදිරිපස පුංචි පුතු නංවාගෙන නිවෙස වටා රවුමක් ගෙන යාම රොහාන් පුරුද්දක් කර ගත්තේය. ඒ සෑම මොහොතකම අමාලි නිවෙස ඉදිරිපිටට වී සිනහවෙන් මුව සරසාගෙන සිටි අයුරු අදටත් ඔහු මතකයට නංවන්නේ ඇස්වල කඳුළු පුරවාගනිමිනි. අමාලිගේ වියෝවත්, දරු දෙදෙනා බලාගැනීමට කෙනකු නොසිටීමත් නිසා ඔහුට රැකියාවට යාමට පවා නොහැකි විය. මාස දෙකක් හෝටලය ඔහු එනතුරු බලා සිටියද, ගැටලුවට සාර්ථක පිළිතුරක් නොලැබීමෙන් ඔහු අසරණ විය. අවසානයේදී රැකියාවට සමුදුන් ඔහු නිවෙස් නතර විය. අද රොහාන් රැකියා විරහිත පියෙකි. දරුවන් පාසල් යැවීම, රැගෙන ඒම, ඔවුන් රැකබලා ගැනීම ආදී වූ සෑම කටයුත්තක්ම අද වනවිට සිදුවන්නේ ඔහු අතිනි. කුලියට නොවූවද දරු දෙදෙනා සමඟ ලොකුඅම්මාගේ නිවෙසේ රොහාන්ට සදාකල් ජීවත් විය නොහැක. අමාලිගේ හා රොහාන්ගේ ලොකුම බලාපොරොත්තුව වූයේ තමන්ගේම නිවහනකි. අද එය ඔවුන්ට හීනයක් වී අවසානය.
“දැන් මොනවා කරන්නද? එන විදිහට ජීවිතයට මුහුණ දෙනවා. ඉස්සර නම් මගේ හිතේ ලොකු බලාපොරොත්තු තිබුණා. ඒ හැම බලාපොරොත්තුවක්ම ඇති කළේ, ඒ හැම බලාපොරොත්තුවක් පිටුපසම හිටියෙ අමාලි. අපි දෙන්නගේ හිතේ ලොකු ප්ලෑනක් තිබුණා. දැන් ඒ වගේ දේවල් මගේ හිතේ නැහැ. ජීවත් වෙනවට මේ දරුවෝ දෙන්නා එක්ක ජීවත් වෙනවා. මේ මාස තුනටම ජීවිතේ හරි වෙහෙසයි.”
මියගිය අමාලි වෙනුවෙන් රජයෙන් ලැබිය යුතු මුදලද ඔවුන්ට හිමි විය. එමෙන්ම පියතුමන්, කන්‍යා සොහොයුරියන් ඇතුළු කටුවපිටිය ජනතාව මැදිහත් වීමෙන් තවත් මුදල් පරිත්‍යාගයක් ද ඔවුන්ට ලැබුණි. සියල්ල හිමි වුවද මෙම අහිංසක දරුවන්ට ඔවුන්ගේ ආදරණීය මව කිසිදා ලැබෙන්නේ නැත. වළකාගත හැකි ක්‍රම තිබියදී තනතුරු දරන නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා අද වන්දි ගෙවන්නේ මේ පුංචි හිත් ඇති දරුවන්ය.
“දැන් ඇත්තටම ජීවිතේ එපාවෙලා තියෙන්නෙ. ජීවත් වෙනවට ජීවත් වෙනවා. ඉස්සර මමයි අමාලියි කාටවත් අතනොපා ජීවත් වුණා. මේ දරුවන්ට අපි දෙන්නා කිසිම අඩුවක් කළේ නැහැ. අද උන් දෙන්නට අඩුම ගාණෙ අම්මගේ ආදරේවත් නැහැ.”
අමාලි යන්නටම ගියාය. ආදරණීය දරු දෙදෙනා සහ ආදරණීය සැමියා තනිකොට දොන් ඩේවිඩ් මාවත සුසාන භූමියේ දී ඇය පොළොව යට සැඟව ගියාය. මාස තුනක් ගතව ගියද අදටත් ඇය නැති සොවින් ජීවිත තුනක් සුසුම් හෙළති.
සැබැවින්ම මෙම ව්‍යසනය වළකාලන්නට හැකියාව තිබුණි. වගකිව යුත්තන් නිහඬව සිටීමෙන් මෙලෙස වන්දි ගෙවන්නට සිදුවී ඇත්තේ මෙවන් අහිංසක මිනිසුන්ටය.
“මේක ඇත්තටම මහා පවක්. මේකට වගකිව යුතු අය ඉඳිද්දී අද අසරණ වෙලා ඉන්නෙ මේ රටේ අහිංසක මිනිස්සු. මේ මිනිස්සු කවුරුත් ඉස්සර කාටවත් අතපාලා ජීවත් වුණේ නැහැ. රස්සාවක් කරලා, එදාවේල හම්බ කරලයි මේ මිනිස්සු ජීවත් වුණේ. ඒත්.. අද..? අද මේ මිනිස්සු හරි අසරණයි. අදටත් මීගමුව පල්ලි එකකටවත් අපිට ඇතුළට යන්න බැහැ. හමුදාවෙන් යොදවලා තියෙන්නෙ. ඉස්පිරිතාලෙට ලෙඩ්ඩු බලන්න දිග පෝළිමක් තියෙනවා. අසරණ මිනිස්සුයි ඉස්පිරිතාලෙ යන්නෙ. දිග පෝළිම් නිසා ඒ මිනිසුන්ට ලෙඩ්ඩු බලන්න යන්න විදිහක් නැහැ. වැස්සට මේ මිනිස්සු තෙමෙනවා. අව්වට පිච්චෙනවා. ඒ තත්ත්වයට අද මේ රට පත්වෙලා තියෙනවා. ඇයි මෙහෙම වුණේ? රටේ වගකිව යුතු පුද්ගලයන්ගේ නොසැලකිලිමත්කම නිසා මේ මිනිස්සු පුදුම විදිහට අසරණ වුණා. කටුවපිටිය ජීවත්වෙන අපිටම තමයි මේ මිනිසුන්ගෙ දුක තේරුණෙ. මනුස්සයෙක් මැරුණට පස්සෙ වන්දි ගෙවන එක නෙමෙයි කළ යුතුව තිබුණේ. මේ වගේ තත්ත්වයක් වළක්වන්නට ඉඩ තිබුණත් මේ රටේ වගකිව යුතු මිනිස්සු ඒක වැළැක්වුවේ නැහැ. දැන් මේවාට මොනව කළත් වැඩක් නැහැ. මාස තුනක් ගෙවිලත් තවමත් මේ මිනිස්සු ඉන්නෙ හරිම දුකෙන්. හරිම කලකිරීමෙන්. අද අපිට පල්ලියකට යන්න නැහැ. පාරක යන්න නැහැ. නීති රීති සෑම දෙයක්ම තියෙන්නෙ අපිටයි. ඇත්තටම ගෙවුණු මාස තුනේදී මේ ගමේ මිනිස්සු කලකිරීමෙනුයි ඉන්නෙ. මීට වඩා වගකීමකින් රටේ පරිපාලනය කරන අය කටයුතු කළා නම් මේ වගේ ව්‍යසනයක් වෙන්නෙ නැහැ.” යැයි ප්‍රේම් ප්‍රනාන්දු මහතා පැවසීය.
දිලුක් ප්‍රනාන්දු වඩුවැඩ කිරීමෙන් ජීවිතය ගෙන ගිය එක්දරු පියෙකි. කටුවපිටිය බෝම්බ ප්‍රහාරයෙන් දිලුක්ගේ ජීවිතයට අහිමි විය. ඒ වියෝවත් සමඟ දිලුක්ගේ බිරිය (චන්ද්‍රානි ප්‍රනාන්දු) සහ ආදරණීය දියණිය (දිනිති නෙත්සරණි) මෙලොව තනි වූවෝය. කාගේවත් හව්හරණක් නොමැතිව කුලී නිවෙසක ජීවත් වූ දිනිති දියණියට පිළිසරණක් වන්නට ක්ලීටස් මෙන්ඩිස් කලාකරුවාගේ මැදිහත් වීමෙන් (සිනෙස්ටාර්) පදනමේ සභාපති ජයන්ත ධර්මදාස ඇතුළු සියලුම කලාකරුවන් කලාකාරියන් එක්ව දිනිති වෙනුවෙන් නව නිවෙසක් සාදා එයට අවශ්‍ය සියලුම බඩු භාණ්ඩ සහිතව අංගසම්පූර්ණ නිවෙසක් සහිතව එහි යතුර මෙම ව්‍යසනයට තුන් මසක් ගෙවන මොහොතේ දී ලබාදීමට සියල්ල සූදානම් කළහ.
“අද මගේ හිතේ පුංචි සතුටක් එක්කම මහ ලොකු දුකක් තියෙනවා. ඒ දුක නම් කවදාවත් මගේ හිතෙන් නැතිවෙන්නෙ නැහැ. දිලුක් නැති වුණාට පස්සෙ මමයි දුවයි ගොඩක් අසරණ වුණා. දිලුක් කවදාවත් අපි දෙන්නට කිසිම අඩුපාඩුවක් තිබ්බෙ නැහැ. මාත් ගේ ඉස්සරහ පොල්ලෙලි ටිකක් ගහලා ඒක විකුණලත් කීයක් හරි හෙව්වා. හැබැයි දිලුක් වඩුවැඩ කරලා හම්බ කළා. තවමත් මගේ හිතේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. එදා අපි තුන්දෙනාම පල්ලියේ හිටියේ. අපි හිටියේ ඔය බෝම්බය අරගෙන ආපු කෙනා පල්ලියට ඇතුළු වුණු කොරිඩෝවේ. මායි දුවයි ඉඳගෙන හිටියෙ. එයා මට පිටිපස්සෙන් හිටගෙන හිටියා. එකපාරටම බෝම්බය පිපිරෙද්දී මට හිතාගන්නවත් බැරි වුණා. මම බලද්දී මහත්තයා බිම වැටිලා හිටියා.” යැයි චන්ද්‍රානි ප්‍රනාන්දු සිය අමිහිරි මතකය අවදි කළාය. ඒ දිලුක්ගේ අවසන් මොහොත විය. දිලුක් අවසන් හුස්ම හෙළුවේ මහ රුක් මුලක් සේ තම බිරියත් දියණියත් ආරක්ෂා කරමිනි. එකදු සීරීමක් නොවී චන්ද්‍රානිගේත් දියණියගේත් ජීවිතය බේරෙද්දී දිලුක්ගේ හිසට හා පපුවට දැඩි තුවාල සිදුවීමෙන් ඔහු ජීවිතය හැර ගියේය. චන්ද්‍රානි එය පුදුමාකාර හාස්කමක් ලෙස විශ්වාස කරන්නීය.
“මාවයි දුවවයි බේරගෙන මගේ මහත්තයා ජේසු ළඟට ගියා.” ඇය පවසන්නීය.
අසරණ වුණු චන්ද්‍රානිට හා දිනිතිට මෙකී කලාකරුවන් කලාකාරියන් යෝධ ශක්තියක්ම විය. දිලුක් විසින් මුදල් ගෙවමින් තිබූ ඉඩමෙහි ඉතිරි මුදල ගෙවා එම ඉඩමෙහි ඉදිකළ නිවෙස ව්‍යසනයට මාස තුනක් ගෙවෙන දින දිනිතිට තෑගි ලැබුණි.
බෝම්බය පිපිරී ගොස් මාස තුනක් ගෙවී ගිය ද, බෝම්බය පිපිරැණු දින සිටම ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරත වූ අහිංසක තරුණයෙක් ජූනි මස එකොළොස් වැනිදා ජීවිත සටනින් පැරදී මරණය වැළඳ ගත්තේය. දින පනස් හයක් තිස්සේ සුරේෂ් මිලාන් චානක ප්‍රනාන්දු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවේය. ඒ සෑම දිනෙකම සුරේෂ්ගේ පියා දැඩි සත්කාර ඒකකය ඉදිරිපිට හිඳ තම පුතුණුවන්ට සිහිය පැමිණෙනතුරු බලා සිටියේය.
“හැමදාම උදේ ඉඳන් හවස් වෙනකම් මම පුතා හිටපු දැඩි සත්කාර ඒකකයේ එළියට වෙලා බලාගෙන හිටියා. එදා පල්ලියේ පුතා එක්ක මාත් හිටියා. මගේ පුතාගේ ඔලුව ඇතුළට බෝම්බයේ ඊයම් බෝලයක් ගිහින් ඒක පොඩි මොළය දක්වා ගිහින් තියෙනවා කියලයි වෛද්‍යවරු කිව්වේ. ඔපරේෂන් හයක් කළා. පුතා කටුනායක පැත්තෙ කමියුනිකේෂන් එකක් දාලයි තිබුණේ. හැම ඉරිදාම පුතා පල්ලි ගියා. ඒ වගේම ඉතින් එදත් ගියා. අන්තිමට ගෙදර ආවේ පෙට්ටියෙන්.” පීටර් පෝල් එලෙස පැවසීය.
අවුරුදු විසි හතක් වයසැති සුරේෂ් දින පනස් හයක් සිය ජීවිතය වෙනුවෙන් වෙර දැරුවේය. නමුත් ඔහුගේ වෑයම අසාර්ථක විය. පවුලේ බර කරට ගන්නට උත්සාහ දැරූ පුතණුවන්ගේ මිනීපෙට්ටියට කරගහන්නට තරම් මෙම පියා කළ පාපය කුමක්ද?
කටුවපිටිය මිනිසුන්ගේ දුක බෙදාගන්නට, හිතට ශක්තියක් වන්නට දේවස්ථානවල පියතුමන් ඇතුළු කන්‍යා සොහොයුරියන් ගත් වෑයම සුළු පටු නැත. අදටත් ඔවුහු සෑම නිවෙසකටම ගොස් ඔවුන්ගේ දුක සැප සොයා බලති. මේ තුන්මස පුරාවට මෙකී මිනිසුන්ට ශක්තියක් වූයේ මොවුන්ය. මේ නිසාම මිනිසුන්ගේ හිත් කියවීමේ අපූරු හැකියාවක් ඔවුන්ට හිමිය.
“සමහර අය නම් මේ මාස තුන ඇතුළත හිටිය තැනින් උඩට ඇවිත් තියෙනවා. නමුත් අද වන විට බොහෝ දෙනෙක්ගේ හිත් දූෂණය වෙලා. බොහෝ දෙනා එක්ක කතා කළොත් ”අපිට බෝම්බය නිසා තව දේවල් ලැබෙන්න ඕනෙ” කියලයි කියන්නෙ. බෝම්බය නිසා බොහෝ දේවල් විනාශ වුණු බව ඇත්ත. අසරණ වුණු බව ඇත්ත. මේ පිරිසට උදව් කරන්න බොහෝ දෙනා ඉදිරිපත් වුණා. ආගමික ස්ථානවලින්, ලංකාවේ බොහෝ ප්‍රදේශවලින්, විදෙස් රටවලින්, රජයෙන් මේ අයට උදව් කළා. නමුත් අදටත් සමහරු “අපිට මුකුත් නැහැ. අපිට කවුරුවත් කරන්නෙ නැහැ” කියලා තමයි කියන්නෙ. ඒ කතා නිසා ඇත්තටම මම පෞද්ගලිකවම කලකිරිලයි ඉන්නෙ. මේ බෝම්බ ප්‍රහාරවලින් ජීවිත විතරක් විනාශ වුණේ නැහැ. සමහර මිනිසුන්ගේ හොඳට තිබුණු හිත් දූෂණය වුණා. මව්පියන් නැතිවුණු දරුවන් හරි අසරණයි. ඒ ජීවිත නැවත නැගිටවන්න අපිට තව කාලයක් ගතවේවි. සමහර අම්මලාට තමන්ගේ නැතිවුණු පුතාගේ වයසේ දරැවෝ දකිද්දී හිත වාවන්නෙ නැහැ. මේ මිනිසුන්ගේ නැතිවුණු ජීවිතවල අඩුව පුරවන්න බැහැ. ඒ දුක නැති කරන්න තව බොහෝ කාලයක් ගතවේවි..” යැයි තුෂාර සම්පත් පියතුමෝ දේශයට පැවසූහ.
කටුවපිටියේ ජීවත් වූ බොහොමයක් ගම්වාසීන් අද නැත. දොන් ඩේවිඩ් මාවතේ සුසාන භූමියේ එම බොහෝ ජීවිත එක පෙළට මිහිදන් කර අවසානය. අදටත් බොහෝ දෙනා තමන්ගේ සමීපතමයන් වෙනුවෙන් සුසාන භූමියට ගොස් හඬා වැළපෙති. තුන් මසක් ගෙවී ගියද බොහෝ මිනිසුන්ගේ හිත් තවමත් සුව වී නොමැත.
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරෑ - සුමුදු හේවාපතිරණ