2019 ජුලි 13 වන සෙනසුරාදා

කටුනායකට බැස්ස භූගත සිතියම් යානය!

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 167

කටුනායකට බැස්ස භූගත සිතියම් යානය!

අහසේ සිට පොළොව අභ්‍යන්තරය ද විනිවිද දකින්නට සමත් අමුතු ගුවන් යානයක් ගැන ආරංචියක් පසුගිය සතියේ මාධ්‍ය කැලඹූවේය. එය කටුනායක ගුවන් තොටට හදිසියේ ගොඩ බැස්වූ බවට පැතිර ගිය රාවය හේතුවෙනි. මේ යානය දකුණු අප්‍රිකා ගුවන් සමාගමකට අයිති එකක් බව වාර්තා වීම තවත් සැකසංකා මතු කරන්නකි. යානය ගොඩබැස්සූ පසු කාර්ය මණ්ඩලයට අයත් තිදෙනා රට තුළට ඇතුළු බව මාධ්‍ය පෙන්වා තිබුනේ ද සැකසංකා ජනිත වන අයුරිණි. මේ යානයට අහසේ සිට ගොඩබිම විනිවිද දකින්නට හැකි බව එළිදරව් වීම නිසා එය මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්ව තිබුණි. එය මෙරටට ආවාක් මෙන්ම හදිසියේම නික්ම ගොස් තිබීම ද තවත් සැකසංකා මතු කළ කාරණාවකි. අන්තිමේ කටුනායකට ගොඩබෑ යානය ගැන රටට වගඋත්තර බඳින්නට සිවිල් ගුවන් සේවා අධිකාරියට සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැතිවරයාට සිදුවිය.

ඉකුත් 6දා සෙනසුරාදා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට ගොඩ බාන ලද්දේ විශේෂ කාර්ය සඳහා යොදාගන්නා HC-47 Sky train මාදිලියට අයත් ZS-ASN ලියාපදිංචි අංකය දරණ යානයකි. එය ඩුබායි මූලිකව ක්‍රියාත්මක පෞද්ගලික ආයතනයක් වන ස්ප්‍රෙක්ටම් ගුවන් සේවා සමාගමට අයත් වූවකි. සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කර ඇති පැහැදිලි කිරීමට අනුව මෙම යානය ඉන්දුනීසියාව සිට මුම්බායි බලා යන අතර ගුවන් සේවා අධිකාරිය මගින් ලබාගත් අවසරය මත ලංකාවට ගොඩබස්සවා ඇත. අධිකාරිය පවසන අන්දමට ඒ එහි කාර්ය මණ්ඩලයට විවේකයක් ලබා ගැනීමට සහ නැවත තෙල් පුරවා ගන්නටය. මෙහි සමස්ත කාර්ය මණ්ඩලය තිදෙනෙකි. ඔවුන් ලබා දී ඇති තහවුරු කිරීමට අනුව මේ යානය තුළ කිසිදු ආකාරයක මිණුම් හෝ සෝදිසි කිරීම්වලට දායක වන උපකරණ රැගෙනවිත් නැත. යානය ගමන අරඹා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බෘම් සිටය. එය බාලි දූපත් ඔස්සේ ඉන්දුනීසියාවේ පලෙන්බාන්ග් සහ බණ්ඩාඇචේ හරහා කොළඹ බලා පියසරකර ඇත. නමුත් ඔවුන්ගේ මූලික එල්ලය වී තිබුණේ 9දා මුම්බායි කරා යාමටය. එතැන් සිට ගමන් මග වැටී තිබුණේ මාලේ සීෂෙල්ස් පෙම්බා සහ බෙයිරා ඔස්සේ දකුණු අප්‍රිකාවේ ලැන්සේරියා වෙතය. ඒ අනුව කොළඹ ගොඩ බෑ යානය කලින් සැලසුම් කළ එම මාර්ගයේම පිටත්ව ගිය බව අධිකාරිය කියයි. ඔවුන් පෙන්වා දෙන්නේ අපේ මුල් ගුවන් සේවය “එයාර් සිලෝන්” යුගයේ භාවිතා කළ Dakota DC-3 යානාවන්ට සමාන මේ යානාවන්ට අතරමැද නොනවත්වා දීර්ඝ මුහුදු තරණ චාරිකා සිදු කිරීමට පහසුකම් නැති බවය.

රාජ්‍ය ඇමතිවරයාගේ පැහැදිලි කිරීමට අනුව යානය තාක්ෂණික අඩුලුහුඬු පරික්ෂාවට ගොඩබස්සවා තිබේ. යානයේ පැමිණි සේවක මණ්ඩලයේ තිදෙනා දකුණු අප්‍රිකානු ජාතිකයන්ය. මේ තිදෙනා තාජ් සමුද්‍රා හෝටලයේ නැවැතී තිබුණි. ඇමතිවරයාට අනුව යානය කිසිදු නීති කඩකිරීමක් සිදු කර නැති අතර යානය මනා පරීක්ෂාවකට ලක්කර තිබේ.  එහෙත් මේ පරික්ෂා කිරීමේ කතාව අධිකාරිය ප්‍රතික්ෂේප කර තිබේ. එසේම මේ යානය ඉන්දුනීසියාවේ සිට පැමිණියේ නම් එය අප රටේ විශාල භූමි ප්‍රදේශයක් පසුකර පැමණිය යුතු බවත් එවිට ගුවනේ සිට සිතියම්ගත කිරීමේ මහඟු අවස්ථාවක් එයට හිමිවන බවටත් සැක සංකා මතුව තිබේ. එවන් භූගත සිතියම් ලබා ගැනීම සඳහා භූ විද්‍යා සහ පතල් කාර්යාංශ අනුමැතිය ලබාගත යුතුය. නමුත් එබඳු අවසරයක් මේ යානය ලබාගෙන නැති බවත්, එවැන්නක් පැමිණෙන බව තමන් දන්නේ කටුනායකට ගොඩ බෑ පසුව බවත් කාර්යාංශය එසේ හෙයින් මේ යානය ලංකාවේ භූගත සිතියම්ගත කිරීමක යෙදුණා නම් එය නීති විරෝධී වූවකි.

ලංකාවට ආ බවට අධිකාරිය සඳහන් කර ඇති HC-47 Sky train යානා Douglas C-47 – Dakota  යානාවන්මය. භාවිතය ඇරැඹි ඇත්තේ දෙවැනි ලෝක යුද සමයේදීය. මේවා සිවිල් යානාවන් වන Douglas DC-3 යානාවන්ම වැඩිදියුණු කර විවිධ මිලිටරි අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තනා ගත් ඒවාය. අමෙරිකා, එංගලන්ත, කැනඩා ගුවන්හමුදාවන් ද ලංකාව ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 102ක පමණ මෙම යානා භාවිත වේ. මගී ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය, මිලිටරි අවශ්‍යතා, ගිලන් රථ සේවා, වනාන්තර ආශ්‍රිත මෙහෙයුම්, ගුවන් සමීක්ෂණ කටයුතු, භූගත සම්පත් නිරීක්ෂණය සහ සිතියම්ගත කිරීමේ කටයුතු සඳහා නවීකරණය කර මේවා භාවිතා වේ. 2012 වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 6.5කට පමණ මිල කළ මේ යානා සතුව විශාල ඉන්ධන ප්‍රමාණයක් ගබඩා කිරීමේ හැකියාව ද පවතී. අමතර ඉන්ධන තැන්පතුව මඟින් හදිසියකදී අමතර මිනිත්තු 45ක කාලයක් පියාසර කිරීමේ හැකියාව ලැබී තිබේ. එක එල්ලේ කිලෝමීටර 3960ක්  පියාසර කළ හැකිය. උපරිම වේග වාර්තාව පැයට කිලෝ මීටර 528කි. ටර්බෝ මෝටරයක්  සහිත එන්ජින් 2ක් භාවිත වේ. කර්යමණ්ඩලය 3කි. මගීන් උපරිමය 18කි. මේ මගින් බොහෝවිට ගවේෂක කණ්ඩායම්ය. මෙම යානාවල තටුවේ සවි කළ උපකරණ මගින්  පොළෝ මට්ටමේ සිට මීටර 10000 දක්වා ගැඹුරට විනිවිද දැකීමේ සහ සිතියම් ගත  කිරීමේ හැකියාව පවතී. අප රටට ආ යානය හිමි සමාගම එවන් විමර්ෂණ කටයුතු සඳහා මෙබඳු යානා යොදා ගැනීම ගැන ප්‍රකට වූවකි. මාධ්‍ය තුළ ආන්දෝලනයක් හට ගැනීමට මූලික වූ හේතුව එයයි.

- සුගත්


 


 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05