2019 ජුලි 13 වන සෙනසුරාදා

පෙරහර 15කින් දෙවියන් පුදන කතරගම

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 213
අසුර යුදට වැඩ දිවසින් දැකලා
සතර පාදයක් සෙනංග බෙදලා
නිතර පංචආයුද ගෙන දීලා
කතරගමට දෙවි දිවැස් බලාලා
 
කදිරපුර දෙවි උපත නම් පුරාණ කාව්‍ය ග්‍රන්ථයේ එලෙස සඳහන්ය. මේ දිනවල කතරගම දෙවි දිවැස් පිහිට ලැබීමට ලක්ෂ ගණනින් ජනතාව කතරගමට රොක් වෙමින් සිටී. කතරගම දෙවොලට ගොස් බාරහාර වෙති. බාර ඔප්පු කරති.
 
මතු බුදුවන දේව ස්වාමි දරැවාණන් වහන්ස, කතරගම කන්දට, කුඩා කතරගමට, මහා කතරගමට, සෙල්ලකතරගමට, ලේනදූවට, මැණික් ගංඟාවට, මුතු පන්තියට, කිරි වෙහෙරවහන්සේට, සිංහාසනයට, චාමර සත්පලිස ආදී වශයෙන් දේව යාතිකා හඬ නිරතුරු ඇසේ. කතරගම ඇසල මංගල්‍යය හා බද්ධ වූ පුරාණ සිරිත් කිහිපයක් ගැන විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.
 
කණු කපන මංගල්‍යය
 
මේ මංගල්‍යය කප් සිටුවීම හා සම්බන්ධ චාරිත්‍රයකි. කණු කපන මංගල්‍යය පැවැත්වෙන්නේ ඇසළ පෙරහර හා සම්බන්ධ සිරිත් විරිත් ආරම්භ කිරීමට දින 45කට පෙරය. වෙසක් මස පුර පසළොස්වක දින විසා නැකතින් හා නන්දන මුහුර්තයෙන් යෙදෙන සුබ හෝරාවකට අනුව පෙරහරින් ගොස් කණු කැපීම සිදු කෙරේ. එක පඳුරේ වැඩුණු කණු දෙකක් (කරු දෙකක්) ඇති රත්කරව් ගසක් සොයාගෙන සුබ මංගල ඇතු සහ තේවාකාරයන් ප්‍රධාන කොට ඇති දේවාලයේ නිලධාරීන් පිරිස කුඩ, කොඩි, සේසත් සහිතව බෙර වාදනය කරමින් එම ස්ථානයට ළඟා වේ. ඊට පසු දෙබල සහිත කණු දෙක කප්පවා එම කණු මල්, පඬුරු පිරුවට බඳින් ලැබේ. එම කණුව රැගෙනවිත් වල්ලි අම්මා දේවාලයෙහි තැන්පත් කරයි. මෙම කණුව ගෞරවයෙන් රැගෙන එන්නේ කප් සිටුවීමට යොදා ගැනීමටයි.
 
පසුදින උදෑසන හිමිදිරියේම කපුටන් හඬලීමට පෙර දේවාලයේ ඉදිරිපස ශාලාවේ ඒ සඳහා සූදානම් කර තිබෙන ස්ථානයේ කප් සිටුවීම සිදු වේ. දැන් කප් සිටුවීමට යොදාගන්නේ ගෝනපනා ගසකි. මුල් කාලයේ රත්කරව් ගසක් කප් සිටුවීමට තෝරාගැනීම පසුපසද කතාවක් පවතී. කද සුරිඳු තම දේවාලය තැනිය යුතු ස්ථානය දක්වන ලද්දේ රත්කරව් කෝටුවෙන් කළ හීයක් විදීමෙනි. වැද්දෝ හී තැනීම සඳහා මෙම ලීය භාවිත කරති. දෙවිඳුන් එදා විඳි හීය දැනට දේවාලය පිටුපස ඇති බෝගය පාමුලට පතිත විණියැයි ද එම ආනුභාවයෙන් බෝධිය පැන නැගිණැයි ද ජනප්‍රවාදවල සඳහන්ය. දේවාලයට පූජා කරන එළුවන්, හරකුන් වැනි සතුන් බැඳ තබන්නේ මේ බෝධිය අසලය. දිය කපන රාළ තම වස්දොස් දුරැකර ගැනීම සිදු කරන්නේ ද මෙම බෝගසට අත ගැසීමෙනි.
 
කප් සිටුවීම පෙරහර මංගල්‍යය පවත්වන බවට පැවසෙන පූර්ව සංඥාවකි. ඒ සඳහා යොදාගන්නා ගෝනපනා ගස් කලකට පෙර මැණික් ගං ඉවුරේ සුලබ වුවත් දැන් නම් එම ගස් සෙවීමට බොහෝ දුර යාමට සිදුවේ. කෙලින් ඉහළට වැවෙන ගෝනපනා කිරි සහිතය. කප් සිටුවීමට ලබාගන්නේ කිරි සහිත ගසක කණුවකි. කප් සිටුවීමට ගන්නා ගස රියන් 9ක් උස් විය යුතුය. එහි උඩ කොටසේ දෙපසට අතු විහිදුණු කරැවක් තිබිය යුතු අතර කරැ දෙක අතර පරතරය වියතක් විය යුතු වේ.
 
කප් සිටුවීමට ගස තෝරා ගන්නේ දේවාලයේ ගොටු මහන්නන් විසිනි. එලෙස ගස තෝරාගත් පසු පුරාණ චාරිත්‍රවලට අනුව ගස කපන්නේ කපුරාළවරුය.
 
පෙරහර මංගල්‍යය
 
කප් සිටුවා දින 44කින් ඇසළ මස අමාවක පෝය ගෙවී පුරපෑලවිය පුසේ නැකතින් පෙරහර ආරම්භ කෙරේ. මුල් දින පහේ පෙරහර හඳුන්වන්නේ මඟුල් මහ පෙරහර හෙවත් පිට වීදියේ යන පෙරහර ලෙසය. එලෙස පෙරහර 15ක් පැවැත්වීම සිදුවේ.
පෙරහර ආරම්භ වීමට පෙර දින චාරිත්‍රානුකූලව සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පූජා භූමියේ පැවැත්වේ. එය පසුදින ආරම්භ වන පෙරහරට ආශිර්වාද ලබාගැනීමට පවත්වන්නකි.
 
මෙවර පෙරහර මංගල්‍යය ජූලි 3දා ආරම්භ වූ අතර එය 16 වැනි දිනෙන් අවසන් වීමට නියමිතය. ජූලි 17 වැනි දින දිය කැපීමේ මංගල්‍යයෙන් ඇසළ මංගල්‍යය අවසන් වේ.
 
 
සෑම දිනකම පෙරහර ආරම්භ කිරීමට පෙර කතරගම මහ දේවාලයේ පිරිත් නිලය භාර කිරිවෙහෙර රාජමහා විහාරයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් පිරිත් දේශනා කර පිරිත් පැන් ලබාදෙති. පළමු පෙරහර ගමන් කරන්නේ මහ වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලයට ගොස් ඒ මාර්ගයේම මහ දේවාලයට පිවිසීමෙනි. එය මංගල පෙරහර නම් වේ. ඊට පසු ගමන් කරන සියලුම පෙරහර පිට වීදිය ඔස්සේ ගමන් කර වල්ලි අම්මා දේවාලයට පිවිස මහ වීදිය ඔස්සේ මහ දේවාලයට ගෙවදී. පෙරහර පහක් ගමන් කිරීමෙන් පසු බස්නායක නිලමේ නිල නිවසේ ගොමමැටි ගා ඇති කාමරයේ විශේෂ චාරිත්‍ර ඉටු කෙරේ.
 
පෙරහරේ සය වැනි දිනය විශේෂිතය. එදින මහා සංඝරත්නය උදෙසා සාංඝික දානයක් පැවැත්වේ. එදිනම දේවාලය ඉදිරිපිට ඇති අතු පන්දලම ගලවා අලුත් අතු බඳී. එදින බස්නායක නිලමේවරයා තම නිල ඇඳුම හැඳ පෙරහරේ ගමන් කරයි. ඒ අතර දේවාල ඇතුළු ගැබේ තිබෙන කඩොල් ඇතාගේ යැයි විශ්වාස කෙකෙරන දළ යුවල පිටතට ගෙන ප්‍රදර්ශනය කෙරේ.
 
පෙරහර 12ක් ගමන් කිරීමෙන් පසු ගිනි පෑගීමේ චාරිත්‍රය ඉටු කෙරේ. දේවාලය ඉදිරිපිට රාත්‍රියේ විශාල ගිනිමැලයක් දල්වා අඟුරැ බවට පත්වීමෙන් පසු බැතිමතුන් එය මතින් ගමන් කරමින් ගිනි පාගති. ගිනි පෑගීමේ කටයුතු මෙහෙයවන්නා ගිනි පෑගීමේ පළපුරැද්ද හා සිරිත් විරිත් පිළිබඳ දැනුම ඇති දේව භක්තිය ඇති අයෙක් විය යුතුය. ගිනි පෑගීම ඇරඹෙන්නේ තෝරාගත් දින රාත්‍රියේ අපරභාගයේය. පෙරහර අවසන් වූවාට පසු ගිනි මැලය දල්වන්නේ කපුරැවලිනි. ගිනි මැලය පෑගීම සඳහා සූදානම් වූ පසු කපු මහතෙක් දේවාලයෙන් ගෙනෙන විභුති හා පැන් ගිනි මැලයට ඉසිනු ලැබේ. බොහෝ දෙනෙක් ගිනි පෑගීම නැරඹීමට පැමිණෙන හෙයින් බැතිමතුන්ට සිරිත් විරිත් සපුරා මැණික් ගඟෙහි ගිලී තෙත රෙදි පිටින් ගිනි පෑගීමට කරදර රහිතව පැමිණීමට සහ නැවත ආපසු යාමට සෙනග හැසිරවිය යුතු වේ. (ස.ජ. සුමනසේකරබණ්ඩා, කඳ කුමාර සිරිත, 41 පිට)
 
දිය කැපීම
 
පෙරහරේ අවසානය සලකුණු කරන්නේ දිය කැපීමේ චාරිත්‍රයයි. මෙහි ප්‍රධාන තැන උසුලන්නේ දිය කපන රාළය. ඔහු දිය කැපීමෙන් පසු තෙමසක් පුරා මස් මාංශයෙන් වැළකී කෙසෙල් පතින් බත් අනුභව කළ යුතුය. කිළුටු පැවතුම්වලින් තොරවිය යුතුය.
දිය කැපීම සිදු කරන්නේ ඇසළ පෝය ගෙවී අව පෑලවිය සුවන නැකතිනි. දිය කපන රාළ දෝලාවකින් ඇතු පෙරටු කොටගෙන දිය කපන තොටුපොළකට පිටත් වේ. මේ දෝලාව මුළුමනින් වසා කපු මහත්වරු ඔසවාගෙන යනු ලැබේ. දිය කපන ස්ථානයේ පිහිටි වස්ත්‍ර මණ්ඩපය තුළට යන දිය කපන රාළ රන් කඩුවකින් දිය දෙබෑ කරයි. ඉන් මතුවන ජලය කලයට රුගෙන දෝලාවේ තැන්පත් කරයි. දිය කැපීමෙන් පසු දිය කපන රාළ නැවතත් වල්ලි අම්මා දේවාලයට පැමිණෙන අතර එහිදී මැණික් ගඟෙන් ගෙනා ජලය බැතිමතුන්ට බෙදා දෙයි. එම ජලය පානය කිරීමෙන් මහත් හාස්කම් ලැබෙන බව බැතිමතුන්ගේ විශ්වාසයයි. එදින රාත්‍රියේ සිදුවන වස් ඇරීමේ කටයුත්තෙන් පසු පෙරහරේ සියලු කටයුතු නිමාවට පත්වේ. ඇසළ මංගල්‍යය නිමාවට පත්වීමෙන් පසු ටිකෙන් ටික පැමිණි බැතිමතුන් ආපසු ගම්රටවල් බලා යති.
 
 කුසුම්සිරි විජයවර්ධන