ශ්‍රී ලංකාව අද වනවිට බෙදුණු දේශයක් බවට පත්වෙමින් යයි. රටේ නායකයෝ ද බෙදිලාය. ආණ්ඩුව ද කෑලි කෑලිවලට කැඩිලාය. ජාති ආගම් බේද ද එයට අමතරව රට වනසයි. ඒ අතර අපට අසන්නට ලැබුණු එක් සතුටුදායක පුවතකින් කියැවුණේ නිකාය දෙකක් ඒකාබද්ධව සම්මුතියකට එක්වීමට යන බවයි. ඒ බව පසුගියදා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියෝ වෙති. අපි ඒ ගැන උන්වහන්සේගෙන් විමසුවෙමු.
&ශ්‍රී ලංකා අමරපුර නිකායත්, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායත් යන නිකාය දෙකම මෙරටට පැමිණියේ බුරුම රටෙන්. ශ්‍රී ලංකා අමරපුර නිකායත් රාමඤ්ඤ නිකායත් ඒකාබද්ධව සම්මුතියකට ඒමට සාකච්ඡා පැවැත්වෙනවා. බුරැම රටේ අමරපුරයෙන් තමයි උපසම්පදාව ලබාගෙන අමරපුර නිකාය ආරම්භ වුණේ. ඒ අඹගහපිටියේ නායක හාමුදුරුවෝ උපසම්පදා වෙලා.
ඊළඟට ඒ බුරුමයේම උඩ කොටස තමයි රාමඤ්ඤ දේශය. රාමඤ්ඤ මහා නිකාය පිහිටුවා වදාළේ ඒ දේශයෙන් ලත් උපසම්පදාව මුල් කරගෙනයි. අපි දේපක්ෂයම එකම රටකින් ආ නිසා සිවුර පෙරවීම, ආගමික වතාවත් සියල්ලම වෙනසක් නෑ. නිකාය දෙක එකම සම්මුතියකට ඒමට කලකට පෙරත් උත්සාහ කළා. ඒ වෙලාවේ මතක් කරනකොටත් දොස් අහන්න වුණා” උන්වහන්සේ පවසා සිටියහ.
ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේ ප්‍රධාන නිකායන් තුනකට අයත් වෙති. ඒ සියම් නිකාය, රාමඤ්ඤ නිකාය සහ අමරපුර නිකාය වශයෙනි. සියම් නිකාය පිහිටවූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස සියමෙන් (තායිලන්තයෙන්) උපාලි හිමි ප්‍රමුඛ භික්ෂු පිරිසක් 1753 මහනුවරට පැමිණීමෙනි. එය අස්ගිරි සහ මල්වතු හා ප්‍රධාන පාර්ශ්ව දෙකක් වශයෙන් ක්‍රියාත්මක වේ.
එම ප්‍රධාන පාර්ශ්ව දෙකට අමතරව ඇති වූ තවත් පාර්ශ්ව පහක් ද පවතී.
සියම් නිකායේදී ඕනෑම අයෙකුට මහණ වීමට අවස්ථාව තිබුණ ද උපසම්පදාව ලබාගත හැක්කේ ගොවිගම කුලයේ අයට පමණි. ඒ නීතිය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පැනවූවකි. එය එකල භික්ෂූන්ගේ ගෞරවය සඳහා පැනවූ නීතියක් බව කියැවේ. මේ නිසා පසුකාලීනව උඩරට පමණක් නොව රටේ වෙනත් පළාත්වල පැවිදි වූ භික්ෂූන්ට උපසම්පදා වීමේදී ගැටලු පැන නැගිණි. මෙය කුලමල නොබලා භික්ෂූන්ට සසරින් එතෙර වීමේ මඟ කියාදුන් බුදු දහමට නොගැලපෙන්නක් විය.
වෙනත් කුලවල භික්ෂූන්ට ද මහණ උපසම්පදාව ලබා ගැනීමේ ක්‍රමවේදයක අවශ්‍යතාව තදින් දැනිණ. සියම් නිකායේ කුලවාදයට විරුද්ධව වෙනත් කුලවලට අයත් භික්ෂූන් වහන්සේ 1772දී තොටගමුවේදී ද 1796දී තංගල්ලේදී ද උපසම්පදා උත්සව දෙකක් පැවැත්වූහ. සියම් නිකාය එය නීති කැඩීමක් බව පවසමින් අනුමැතිය දුන්නේ නැත. මේ තත්ත්වය වෙනස් කිරීමට පෙරමුණ ගත් අඹගහපිටියේ ඥාණවිමල නම් පහතරට බලපිටියේ හිමිනමක් තවත් සාමණේරවරු කණ්ඩායමක් සමඟ උපසම්පදාව ලබා ගැනීමට බුරැමයට පිටත් වූහ. බුරුමයේ සංඝරාජ මාහිමියන් අතින් ඔවුහු 1800දී උපසම්පදාව ලබාගත්හ. මෙම භික්ෂු පිරිස 1803දී ශ්‍රී ලංකාවට පැමිණ බලපිටිය මාදු ගඟේ තනවන ලද සීමා මාලකයක උපසම්පදා උළෙලක් පැවැත්වූහ. එම නිකාය අමරපුර නිකාය නම් විය. මේ වනවිට අමරපුර මහ නිකාය විවිධ පාර්ශ්ව 22කින් සමන්විතය.
රාමඤ්ඤ මහ නිකාය ආරම්භ වූයේ 1863 ජූනි 13 වැනි දින ගාල්ලේ නදී උපෝසථාගාරයේදී උපසම්පදා කර්මය සිදු කිරීමෙනි. ඒ සඳහා බුරුමයේ රාමඤ්ඤ නගරයට ගොස් උපසම්පදාව රැගෙන ආවේ අඹගහවත්තේ සරණංකර හිමිපාණෝ වෙති. මෙහි මූලස්ථානය කළුතර පයාගල රාමඤ්ඤ මහා නිකායික මූල මහා විහාරයයි. මහ නායක හිමියන් වන්නේ අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි මහ නා හිමියෝ වෙති. මෙම නිකාය ද සියලුම කුලවල අයට උපසම්පදාව ලබාගැනීමට විවෘත විය.
මේ නිකාය පිළිබඳ අප වෙත අදහස් දැක්වූ රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ : &සියම් නිකායේ මල්වතු - අස්ගිරි දෙක කැපී පෙනුණට තවත් පාර්ශ්ව තිබෙනවා. රාමඤ්ඤ නිකායේ පමණයි එක් මහ නායක හිමිනමක් සිටින්නේ. ආදර්ශමත් ව්‍යවස්ථාවක්, පරිපාලනයක්, විනයානුකූලබවක් අප නිකායට තිබෙනවා. අනෙක් නිකායන් ද පිළිගන්නවා රාමඤ්ඤ නිකාය ආදර්ශමත් නිකායක් ලෙසට ඒක ආරක්ෂා කරගැනීම වැදගත්. ඒ නිසයි අපි රටටම ආදර්ශයක් ලබාදීමට අමරපුර නිකායත් සමඟ රටේ පවතින, ආගමික ප්‍රශ්නවලදී සම්මුතිවාදයකට ඒමට අදහස් කළේ. මෙහිදී පුද්ගල ප්‍රතිරෑපය නැංවීම වෙනුවට ශාසනික ප්‍රතිපත්තිය ගැනයි අවධානය යොමු කළ යුත්තේ”
අලුතෙන් පිහිටුවන මෙම එකමුතුව ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රි සංඝ සභාව නම් වේ. එහි ප්‍රධාන අභිලාෂය වන්නේ අමරපුර මහා නිකායේ සහ රාමඤ්ඤ මහා නිකායේ සාමග්‍රිය ගොඩනගමින් ඒකාබද්ධව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බලපාන ශාසනික හා සමාජික ගැටලු සහ අභියෝගවලට විසඳුම් සැකසීමයි. ඒ වගේම බුදුදහම සහ බෞද්ධ ශිෂ්ටාචාරය පැතිර පවත්නා රටවල එම ශිෂ්ටාචාරය සංරක්ෂණය කිරීම සහ සංවර්ධනය කිරීමට සාමූහිකව කටයුතු කිරීමයි. මෙම එකමුතුවේ ආදර්ශ පාඨය වශයෙන් ගෙන ඇත්තේ සුඛා සංඝස්ස සාමග්ගි ( සංඝයාගේ සමගිය සැපයකි) යන්නයි.
මෙහි දීර්ඝකාලීන අරමුණ වන්නේ නිකාය තුනේම සියලු පාර්ශවයන් එක මතයකට ගෙන ධර්ම විනයානුගත සමගියෙන් යුත් භික්ෂු සමාජයක් ඇති කිරීමයි.
අද තම තමන්ගේ පෞද්ගලික වාසි තකා බෙදී ඇණ කොටා ගන්නා රටේ පාලකයන්ට ද උගත් භික්ෂූන් වහන්සේගේ මෙම පියවර මනා ආදර්ශයක් සපයයි. මේ පිළිබඳව දේශය සමඟ අදහස් දැක්වූ රාමඤ්ඤ මනා නිකායේ ලේඛකාධිකාරී අත්තංගනේ සාසනරතන නාහිමි &නිකාය දෙක සමගිව එක්වීම මගින් අනෙක් පාර්ශවවලටත් මේක පූර්වාදර්ශයක් සපයාවි. දැනට මේ සඳහා ව්‍යවස්ථාවක් සකසා අවසන්. එය නිකාය දෙකම අනුමත කර තිබෙනවා. ජූලි මාසයේ මහ නායක හිමිවරු දෙදෙනාගේ සම සභාපතිත්වයෙන් ඒකාබද්ධ පාලක සභාවක් පිහිටුවීමටත් නියමිතයි” යැයි පැවසූහ.
ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාවේ අරමුණු
ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ එකමුතුවක් තුළින් ශ්‍රී ලංකාවේ මතුවන ශාසනික හා ජාතික ගැටලුවලදී ඒකාබද්ධව තීරණ ගැනීම හා එම තීරණ ක්‍රියාත්මක කිරීම.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරා සාධාරණීකරණය කරමින් පවත්වාගෙන යනු ලබන සමාජ භේදවාදී සංස්කෘතික අංගයන් නිවැරදි කිරීම පිණිස ශාස්ත්‍රීයව සහ ප්‍රායෝගිකව කටයුතු යෙදීම.
දැනට ව්‍යාප්ත වෙමින් පවතින ධර්ම විනය විරෝධී අශාස්ත්‍රීය ප්‍රචාරක අවස්ථාවලට ශාස්ත්‍රීයව මුහුණ දියහැකි ත්‍රිපිටකධාරී විනයගරුක භික්ෂු සමාජයක් ගොඩනැගීම.
උගත් හා ක්‍රියාශීලී තරුණ භික්ෂූන්ට සමාජ අභියෝග ජයගැනීමට අවශ්‍ය මග පෙන්වීමක් ලබාදීම.
දැනට බෞද්ධ ප්‍රතිශතයන් වැඩි වුවත් වේගයෙන් අන්‍යාගමික බවට හරවනු ලබන බෞද්ධ රටවල අන්‍යාගමික මූලධර්මවාදී කණ්ඩායම්වල ස්වභාවයන් හැඳින ජාත්‍යන්තර සහාය ලබා ගනිමින් අවශ්‍ය සංරක්ෂණ ක්‍රියාවලීන්හි නිරත වීම.
බෞද්ධ භික්ෂු පෞරුෂය ලොව ථෙරවාදී රටවල ගොඩනගාලීමට අවශ්‍ය දේශීය හා විදේශීය භික්ෂු පරපුරක් බිහිකරලීමට ත්‍රිපිටක අධ්‍යයනය ප්‍රධාන වූ අධ්‍යාපන ආයතන ගොඩනැංවීම හා පවත්වාගෙන යෑම.
► කුසුම්සිරි විජයවර්ධන