- හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ
21 වැනිදා පාස්කු ප්‍රහාරය සිදුවී මාස දෙකක් ගතවී ඇත. එක් පැත්තකින් රජය පවසන්නේ එම ඉස්ලාම් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මර්දනය කොට අවසන් බවය. එහෙත් තවමත් ජනතාව ගැවසෙන ස්ථානවල ආරක්ෂක අංශ පරීක්ෂා කිරීම් සිදුවෙයි. එසේ නම් සත්‍ය කුමක්ද? එසේම මේ සියල්ල මැද පසුගියදා මාධ්‍ය හරහා ප්‍රචාරය වුණේ තවත් ප්‍රහාරයක් සඳහා පස්දෙනකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති බවත් ඒ පිළිබඳව ඉන්දීය රෝ ඔත්තු සේවයෙන් මෙරටට දැනුම් දී ඇති බවත්ය. එසේ නම් කෙලෙස රට සමාකාමී යැයි කිව හැකිද? අනාගත අභියෝගය කෙතරම්ද? පුරවැසියන් ලෙස අප එයට මුහුණ දිය යුත්තේ කෙසේද? මේ පිළිබඳව හිටපු නාවික හමුදාපතිවරයකු වූ අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සමඟ සිදුකළ සංවාදයකි මෙය.
"පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ ප්‍රහාරයේ පශ්චාත් සමය ගැන හරි පිළිතුරක්, ප්‍රකාශයක් වගකිව යුතු පාර්ශවයකින් ජනතාවට ලැබිලා නෑ. ඒකට හේතුව තමයි පවතින දේශපාලන නායකත්වය සම්පූර්ණයෙන් මේ වගකීමෙන් මිදිලා ඉන්නේ. ඒ නිසා තත්ත්වය ව්‍යාකූලයි. විශේෂයෙන් විදේශිකයන්ට පවා මෙරටට එන්න කියලා කියන්න තරම් කිසිවකු නිසි අදහසක් ඉදිරිපත් කරන්නේ නෑ. මේක තමයි ජනතාවට පවා තියෙන ප්‍රශ්නය. තවම ඉස්කෝලේ ළමයි, වැඩට යන අය පරීක්ෂ කරලා බලනවනේ. මේ දේවල්වලින් ඉක්මනින් මිදුනේ නැත්තන් අනාගතයේ විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙනවා" යැයි ඒ මහතා සඳහන් කළේය.
එසේ නම් මේ ව්‍යාකූල තත්ත්වය නැති කරන්න ගතහැකි සරලම සහ ඉක්මන්ම ක්‍රියාමාර්ගය කුමක්දැයි මෙහිදී අපි විමසා සිටියෙමු.
"ඒ තමයි ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම කෙනෙක් ගන්න ඕනේ. එයා කියන්න ඕනේ අරක්ෂාව මගේ අතේ තියෙන්නේ. රටේ ආරක්ෂාවට මම ක්‍රමවේද සකසලා තියෙන්නේ කියලා සහතිකයක් දෙන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් යුද හමුදාවට වගකීමක් තියෙනවා ජාතික ආරක්ෂාව ගැන. පොලීසියට තියෙන්නේ නීතිය හා සාමය රකින්න. ඒ නිසා පොලීසිය ඒ අයගේ වගකීම සිදුකරනකොට ත්‍රිවිධ හමුදාව ජාතික ආරක්ෂාව රකින්න මැදිහත් වෙන්න ඕනේ. දැන් බලන්න ප්‍රහාරයෙන් පස්සේ තිබ්බ ජාතික අවදානම යම් තරමකින් සමනය කරන්න හැකිවුණේ ත්‍රිවිධ හමුදාවේ මැදිහත් වීම තුළ. ඒක ජනතාවට යම් සැනසීමක්, ව්‍යවුල් තත්ත්වයට සහතිකයක්. ඒ අතින් බලද්දි භෞතික ආරක්ෂාව ගැන සෑහෙන්න පුළුවන්."
මේ ත්‍රස්තවාදය ඉක්මනින් නිම කළහැකිද?
"මේක මාසයෙන් දෙකෙන් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම උදාහරණයක් කියන්නම්. එදා අපි ත්‍රස්තවාදය නතර කළේ මුළු රටම ඒකට එකතුවෙච්ච නිසා. දේශපාලන නායකත්වය පවා හිටියේ එකම අරමුණක. ඒ නිස යුද්ධය ජයගත්තා. හැබැයි මෙතන පොඩි අවුලක් තියෙනවා. එක එක්කෙනා දේශාපාලන වාසි ගන්නවදෝ කියලා සැකයක් තියෙනවා. ඒ යම් යම් දේශපලකයන්ගේ ප්‍රකාශ එක්ක බලද්දී. එවා කිසිම වගකීමක් නැති ප්‍රකාශ. මොකද මේ ප්‍රශ්නය සුළුවට ගන්න බෑ. හිතන්නකෝ මේ අය මරාගෙන මැරෙන අය. ආයුධ ගබඩා, පුහුණු කඳවුරු, කඩු වගේ දේවල් හම්බවුණා. එතකොට මේ ආයුධ තියන් හිටියේ මොකටද කියලා ප්‍රශ්නයක් තියනවා. අන්න ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. හැබැයි ආරක්ෂක අංශ නිසි ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ."
"දැන් හදිසි නීතිය ක්‍රියත්මකයි. හදිසි නීතිය ඉවත් කරායින් පස්සේ අපි කොහොමද ආරක්ෂාව ක්‍රියාත්මක කරන්නේ කියලා සැලසුමක් තියෙන්න ඕනේ. හිතන්න ගොඩක් අය කියනවා අයි. එස්ලගේ ප්‍රහාරයක් කියලා. හැබැයි අයි.එස්.ලගේ සැලසුම් අරගෙන මේක වෙන කෙනෙක් කරලා නම් හිතන්න මේක මේ මැරිච්ච අයගෙම වැඩක් නම් අපි ඊට වඩා පරිස්සම් වෙන්න ඕනේ අනික් අය රැකගන්න. මට නම් හිතෙන්නෙම මේක ලකාවේ අයගෙම වැඩක්. ඒ නිසා අපි මේ ගැන අවධානයෙන් ඉන්නම ඕනේ. දැන් හිතන්න මේ මුස්ලිම් අයට දෙමළ අය තරම්වත් ප්‍රශ්නයක් තිබුණෙ නෑ. සුළු සුළු ප්‍රශ්න තිබුණා. හැබැයි ගොඩක් අපි හොඳින් හිටියා. නමුත් දැන් වසර දහයක ඉඳලා ඔවුන් ආගමික වශයෙන් වෙනස් වෙන්න ගත්තා. ඇඳුම් පැළඳුම්, ඇදහිලි විශ්වාස සියල්ල. එහෙනම් ඉස්ලාම් පූජකවරු දැනගන්න ඕනේ මේ අරාබිකරණයට විරුද්ධව කතා කරන්න. සම්පූර්ණයෙන් ඇඟ වැහුවේ නෑ එදා. අපේ යාලුවන්ගේ නෝනල හිටියා සාරි පොටෙන් ඔලුව වහගෙන හිටියේ. ඒත් ඒවා වෙනස් වුණා බලන් ඉන්නකොට. මතක තියාගන්න මේ අයි.එස්.ලා හැදුණේ ඉරාකය සහ සිරියාවට ගිය ඔවුන්ගේ භූමිය රැකගන්න. ඒත් ඒ දෙකම ඔවුන්ට අහිමි වුණා. අද වෙනකොට ඔවුන් ඉස්ලාමීය රාජ්‍යයක් උදෙසා කියලා ලෝකය පුරා විහිදිලා ඉන්නවා. ඒක මේ භූමියක් නැතුව කරන සටනක්. අන්න ඒක මේ සියල්ලට වඩා භයානකයි. හේතුව අපිට මේ සතුරා හඳුනා ගන්න බෑ. එල්ටීටීඊ එකේ සතුරා පේන්න හිටියා" යැයි ඒ මහතා සඳහන් කළේය.
මෙහිදි කොළඹගේ මහතා මෙම ත්‍රස්තවාදීන් උගත් අය වීම ගැනත් සඳහන් කළේය.
දැන් බලන්න මේ මරාගෙන මැරුණ අය උගත් අය. ඒ අයට මොකටද අවශ්‍ය ඉස්ලාමීය රාජ්‍යයක්. මට හිතෙන්නේම ඔවුන්ව මෙහෙයවපු වෙනත් පිරිසක් හිටියා. දැන් ඒ නිසා අපි කියන්නේ ඉස්ලාමීය නායකයන් වහාම මේ ආගම ගැන කියවීමක් කරන්න ඕනේ. නිවැරදි ධර්මය මොකක්ද කියන එක. හිතන්න ආගමික නායකයෙක් කියයිද මිනිස්සු ඝාතනය කරන්න කියලා. නෑ. එහෙම කියන්නේ නෑ. ආදරය කරුණාව බෙදන්න කියන්නේ. එහෙනම් මේ කුරාණයට කොහොමද ආගමික නොවන කරුණු ආවේ. අන්න ඒ ගැන විමසීමක් අවශ්‍යයි ඉස්ලාමීය නායකයන් විසින්. මේ ආගම විසිඑක්වැනි සියවසත් එක්ක කොහොමද යන්නේ කියලා.
"විශේෂයෙන් ත්‍රස්තවදීන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේදි පරිස්සම් වෙන්න ඕනේ. අපි එල්.ටී.ටී.ඊ එකේ ත්‍රස්තවාදීන් 13000ක් පමණ පුනරුත්ථාපනය කළා. ඒ කළේ ඔවුන් සංවිධානයේ හිටියට අපරාධවලට හවුල් නොවූ නිසා. ඒ නිසා සංවිධානයේ සිටි පමණින් ඔවුන්ට විරැද්ධව අපරාධ චෝදනා යොමු කරන්න නරකයි. ඔවුන් නැවත ඒ දෙවලින් ඈත් කරන වැඩ පිළිවෙළක් සකසන්න ඕනේ.එතකොට මේ ප්‍රශ්නය දුරදිග යන්නේ නෑ."
නැවතත් ප්‍රහාරයක් සූදානම් වන බවට පළවන වාර්තා ගැන ද අපි විමසුවෙමු. "මෙහෙමයි ඔය ඉන්දීය මාධ්‍ය වාර්තා ගැන නම් එහෙම විස්වාසයක් කරන්න බෑ. රජයෙන් එහෙම සඳහන් කිරීමක් නෑනේ. ඒ නිසා එහෙම කලබල වෙන්න නරකයි. කොහොම වුණත් සියලු දෙනාම අවධානයෙන් ඉන්න ඕනේ. සතුරා මොන ආකාරයකින් එනවද දන්නේ නැති නිසා. අපි ඒ නිසා හැම මොහොතෙම අවධානයෙන් ඉන්න අවශ්‍යයි. ඒ වගේම නිසි විදිමත් ආරක්ෂක ක්‍රමවේදයක් අවශ්‍යයි. අපි දැක්කා මේ ප්‍රහාරය වන තෙක්ම කාටවත් ජාතික ආරක්ෂාව ගැන බරක් තිබ්බේ නෑ. ඒ නිසා දැන්වත් ජාතික ආරක්ෂාව එකට දාලා කටයුතු කළ යුතුයි.