අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ දස අතින් සිදුකරගෙන යයි. ආරක්ෂක අංශයේ ප්‍රධානීන්ගේ සිට දේශපාලනඥයන්, සිවිල් ක්‍රියාකාරීන් සහ පූජකවරුද මේ සඳහා දසතින් සහය දක්වති. ඒත් මේ ප්‍රහාරය කාගේ කුමන අංශයක හිඩැසකින් සිදුවූවාද යන්න මහජනතාවට විනිවිදභාවයෙන් දැකීමට හැකි එකම පරීක්ෂණය වන්නේ පර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් විසින් සිදුකරන පරීක්ෂණය හරහාය. ඒ සඳහා සාක්ෂි දීමට පැමිණෙන බොහොමයක් දෙනා 21 වැනිදා පාස්කු ප්‍රහාරයේ හිස්තැන් මනාව පෙන්නුම් කරමින් සිටිති.
එහෙත් මේ සඳහා ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ කණ්ඩායම නියෝජනය කරන බොහෝ දෙනෙක් විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. ඒ මේ සාක්ෂි ලබාදීම් මාධ්‍යයට නිරාවරණය කිරීම හරහා රාජ්‍ය බුද්ධි නිලධාරීන් සමාජයට නිරාවරණය වන බවය. එහෙත් ලියුම්කරුට ප්‍රශ්න තුනක් ඇත. ලෝකයේ ප්‍රබල රාජ්‍යවල ද බුද්ධි ප්‍රධානීන් රටේ ජනතාවට මෙන්ම ලෝකයට ද පෙනෙන ලෙස ජීවත් වන පිරිසකි. එසේ නම් ප්‍රධානියකු අනාවරණය වීම ප්‍රශ්නයක්ද? අනාවරණය නොවිය යුත්තේ මෙහෙයුමේ සිටින නිලධාරීන් මිස ප්‍රධානීන් නොවේය. එය ලෝකයේ ඕනෑම ආරක්ෂක අංශයකට අදාළ දෙයකි. දෙක මේ අනාවරණය වන්නේ බුද්ධි මෙහෙයුම් නොව 21 වැනිදා පාස්කු ප්‍රහාරය වන තෙක් සිදුකළ බුද්ධි මෙහෙයුම් මොනවාද යන්නය. ඒ ගැන දැන ගැනීම රටේ ජනතාවගේ අයිතියක් නොවේද? තුන ස්ථාන අටක පිපිරීම් නවයක් සිදුවී පුද්ගලයන් 250කට අධික පිරිසක් මියගොස් ඇත්තේ ආරක්ෂක අංශයේ සහ ඊට දුන් නායකත්වයේ ප්‍රශ්නයක් නිසා වන බැවින් ඔවුන් තවමත් ඒ තනතුරු දැරීම කෙතරම් සාධාරණද යන්න ජනතාවට ප්‍රශ්නයකි. ඔවුන් කළ යුත්තේ තම අතපසු වීම බාරගෙන සිය තනතුරැ අත් හැරීම මිස වෙන කුමක්ද? එසේ නම් මේ පරීක්ෂණය හරහා බුද්ධි අංශ අඩපණ වීමක් සිදුවනවා යැයි තර්ක කිරීම මුග්ධ ක්‍රියාවකි. සෙවිය යුත්තේ මෙවැනි ප්‍රහාරයක් වන තෙක් නිවැරදි අනාවරණයක් කර ගැනීමට නොහැකි තත්ත්වයට බුද්ධි අංශ කඩා වැටීම ගැන සොයා බැලීම නොවේද? තිස්වසරක යුද්ධයක් නිමකළ රටක විශාල කාර්යභාරයක් සිදුකළ බුද්ධි අංශයට මෙය වැරදුණේ කෙසේද යන්න ගැන ජනතාව ලෙස අපට ප්‍රශ්නයක් නැති දැයි මීට විරැද්ධ බොහෝ දෙනාගෙන් අපට ඇසීමට ඇති ප්‍රශ්නයකි.
මේ කතාව බොහෝ දෙනකුට ප්‍රශ්නයක් විය හැක. ඒ නිසාම එය ඉතාමත් සියුම්ව ලිහා ඔබ වෙත පැහැදිලි කරන්නේ මේ පරීක්ෂණය තුළ අනාවරණය වූ කාරණයත් සමඟය.
පසුගියදා විශේෂ කාරක සභාවේදී සාක්ෂි ලබාදුන් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී (NIB) සිසිර මෙන්ඩිස් කළ අනාවරණය දෙස අවධානයෙන් බලන්න. සිසිර මෙන්ඩිස් සඳහන් කරන ආකාරයට මේ ප්‍රහරය ගැන තොරතුර එන්නේ 2019 අප්‍රේල් 08 වැනිදාය. එය එන්නේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ (SIS) නිලන්ත ජයවර්ධන හරහාය. ඔහු සඳහන් කරන්නේ නුදුරැ දිනකදී ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සහ්රාන් ඇතුළු කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් සූදානම් කර ඇති බවත්, එය කතෝලික පල්ලි කිහිපයක් සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් ප්‍රහාරයක් ලෙස දියත් කරන බවත්ය. එසේ ලද තොරතුර සිසිර මෙන්ඩිස් විසින් එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු හමු වී සවස තුනට පමණ දන්වා ඇත. එවිට ඔහු පවසා ඇත්තේ එම තොරතුර ඊට පසුදින ඇති බුද්ධි මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලෙසය.
ඊට පසුදින පැවැති එම රුස්වීමේදී අවසන් මොහොත වන තෙක් මේ පිළිබඳ වචනයක් කතා කර නැත. පුදුමය නම් මේ තොරතුර ලබා දුන් රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන පවා සිට ඇත්තේ නිශ්ශබ්දවය. අවසානයේ සිදු වූ දෙය සාක්ෂි දෙකකින් දෙයාකාරයකින් අනාවරණය වෙයි. සිසිර මෙන්ඩිස් කියන ආකාරයට ඒ ගැන අවසානයේ විමසා ඇත්තේ ඔහුය. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පවසන ආකාරයට අවසානයේ ඒ ගැන සිසිරගෙන් විමසා ඇත්තේ ඔහුය. ඒ නිසා කවුරැ ඇත්ත කියනවාද නැද්ද යන්න අප දන්නේ නැත. කෙසේ වෙතත් නිලන්ත ජයවර්ධන පවසා ඇත්තේ ඒ ගැන පරීක්ෂණයක් සිදුකරන බවත් පොලිස්පතිවරයා මේ පිළිබඳව දැනුම්වත් කරන බවත්ය.
කෙසේ වෙතත් නිලන්ත ජයවර්ධන පොලිස්පතිවරයා වෙත යොමුකළ බුද්ධි අංශ වාර්තාව අප වෙත ලැබුණු අතර අප මේ හෙළිකරන්නට යන්නේ ඒ ලිපිය තුළ සියල්ල අන්තර්ගත වී තිබියදීත් ඊට ප්‍රතිචාර නිසි ලෙස ලබා නොගැනීම ගැනය.
මෙම ලිපිය නිලන්න ජයවර්ධන විසින් පොලිස්පතිවරයා වෙත යොමු කරන්නෙ අප්‍රේල් 9 වැනදාය. ඔහු සඳහන් කරන්නේ විදෙස් ඔත්තු සේවයක් මගින් ලත් තොරතුරැ අනුව ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ සහරාන් ඇතුළු පිරිසක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවය.
එසේම එම බුද්ධි තොරතුරේ සඳහන් පුද්‍ගලයන් හඳුනාගෙන ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත. එසේම සහ්රාන් සහ පිරිස මාවනැල්ල බුද්ධ ප්‍රතිමා විනාශයෙන් පසුව සැඟව ගොස් ඇති බවත් ඔහු සඳහන් කර ඇත. එසේම සහ්රාන්ගේ සහෝදරයා වන රිල්වානුත් 2017.03.10 ඇති වූ සිද්ධියකින් පසුව ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි එම පණිවිඩයෙන් දනවා ඇත. එසේම මිල්වාන් නැමැති පුද්ගලයෙක් නවසීලන්තයේ මුස්ලිම් ජාතිකයන් ඝාතනය කිරීම ගැන ෆේස්බුක් ඔස්සේ විවිධ අදහස් පළ කරන බවද සඳහන් කර ඇත.
මේ සියල්ල සඳහන් කර අවසානයේ ඔහු පවසන්නේ සහ්රාන්ගේ මුහුණු පොතේ ප්‍රකාශ හරහා එවැනි ප්‍රහාරයක් ගැන කිසිම සටහනක් හෝ ප්‍රකාශයක් නොමැති බවය. ඔහු අන්‍යාගමිකයන් ඝාතනය කර ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කළ යුතු බවට 2016 සිට දේශන පවත්වන බවට පමණක් දැකිය හැකි යැයි දන්වා ඇත. එසේම ඒ ගැන පරික්ෂණයක් සිදුකරන බවත් සඳහන් කරමින් ලිපිය සඳහන් කර ඇත.
මේ ලිපිය අනුව ප්‍රශ්න කිහිපයක් ඇත. සියලු තොරතුරු දැන සිටියදීත් සහරාන්ගේ ත්‍රස්තක්‍රියා සම්බන්ධයෙන් අවධානයක් හෝ අනාවරණයක් නැත්තේ ඇයිද? මුහුණු පොතේ දේශනවලින් පමණක් මේ සිද්ධින් නිර්ක්ෂණ කළ හැකිද?
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පවසන ආකාරයට නිලන්ත ජයවර්ධන 20 වැනිදා සවසත් 21 වැනිදා අළුයමත් මේ ප්‍රහාරය සිදුවන බවට දන්වා ඇත. ඒ දැන සිටියදීත් මේ ප්‍රහරය වළක්වා ගැනීමට නොහැකි වූයේ මන්ද? එමපණක් නොව 16 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේ යතුරැපැදියක් පුපුරවා හැරීමත් සමඟ ඒ ගැනවත් අවධානයක් බුද්ධි අංශයට නොතිබුණේ ඇයිද? මීටත් වඩා එහාට ගියොත් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කළේ එල්.ටී.ටී.ඊය විසින් බවට සඳහන් කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇත්ත සිද්ධිය වසා බවට හෝ අනාවරණය වූයේ නැද්ද.? නිලන්ත ජයවර්ධන යටතේ වූ බුද්ධි අංශ නිලධාරීන් එම තොරතුරැ ලබාදුන්නාද එසේ නොමැති නම් නිලන්ත ජයවර්ධනට එම තොරතුරැ නිවැරදිව කළමනාකරණය කරගන්නට බැරි වුවාද යන්න ප්‍රශ්නයක් ඇත.
කෙසේ වෙතත් එකී නිලන්ත ජයවර්ධනගෙන් ප්‍රශ්න කිරීමට පෙර ආරක්ෂක නිලධාරීන් කැඳවීම ගැන විශාල විරෝධයක් එල්ලවීම නිසා එය නතර වී ඇත. කෙසේ වෙතත් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කලින් දැන සිටියා නම් එසේම පරික්ෂණ සිදුකරන බව 9 වැනිදා නිලන්ත පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණා නම් ඔහු සිදුකළ පරීක්ෂණ මොනවාද යන්නත් ඒව තුළින් සහ්රාන් ගැන ලැබුණු තොරතුරු මොනවාද යන්නත් රටේ ජනතාව කෙසේ වෙතත් ආරක්ෂක අංශ පවා දැනගත යුතුය.
පුදුමය නම් නිලන්ත ජයවර්ධන 20 වැනිද සවසත් 21 දා උදෑසනත් ප්‍රහාරය සිදුකරන බවට ප්‍රකාශ කරන විට සහ්රාන් සිටින්නේ ආරක්ෂක අමාත්‍යංශය ඉදිරිපිට මෙන්ම ජනාධිපති ලේකම් කාර්යලය අසල ඇති ශැංග්‍රිලා හෝටලයේය. ඒ නිසා මේ සියල්ල ගැන රටේ මිනිසුන් ඇත්ත දැන ගත යුතුව ඇත.
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත සිලෝන් තව්හීත් ජමාත් සංවිධානයේ නායක අබ්දුල් රාසික් ප්‍රකාශ ලබාදීමට ආවේය. ඔහු සඳහන් කරන ආකාරයට සහ්රාන් සම්බන්ධයෙන් තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දී ඇත. ඒ ඔහු ඉස්ලාමීය අන්තවාදය කරා යමින් සිටින බව කියාය. මෙහිදී සරත් ෆොන්සේකා විසින් විමසා සිටින්නේ ඔහුගේ දේශනා හරහා හිතාමතා ජාතිවාදය වපුරන බවය. එසේම බුදුන් වහන්සේ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ පවා හිතාමතා සිදුකළ ප්‍රකාශ බව මෙහිදී චෝදනා කළේය. එහිදී අබ්දුල් රාසික් පවසා සිටියේ තමන් එවැනි ප්‍රකාශයක් හිතා මතා සිදුනොකළ බවත් එසේ සිදුකළ ප්‍රකාශයට ප්‍රසිද්ධියේ සමාව ගත් බවත්ය. කෙසේ වෙතත් ඔහුට අවසන් වශයෙන් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ දෙයක් දැනගෙන දේශන සිදුකරන ලෙසය.
මේ අතර පසුගිය සතියේ පොලිස් මූලස්ථාන විසින් පත්කළ විශේෂ ඒකකයක් හරහා වාර්තාවක් කතානායකවරයා වෙත ගියේය. එම විශේෂ ඒකකය රිෂාඩ්, හිස්බුල්ලා සහ අසාද් සාලි යන අයට විරුද්ධව පැමිණිලි ලබා ගැනීමේ අරමුණෙන් පිහිටවූ ඒකකයකි. එම ඒකකය මගින් දන්වා ඇත්තේ රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහිව 21වැනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැමිණිල්ලක් නොමැති බවය .එසේම අනෙක් දෙදෙනාටමත් එයම විය.
කෙසේ වෙතත් මේ වනවිට රහස් පොලීසිය මගින් තවමත් පරීක්ෂණ කරගෙන යන අතර විවිධ තරාතිරම්වල පුද්ගලයන් කැඳවා ප්‍රශ්න කරමින් අත්අඩංගුවට ගනිමින් සිටිති. එහෙත් සැබෑ ත්‍රස්තවාදීන් කොහෙද යන්න තවමත් අප සිටිය යුත්තේ අවදානමෙනි. අවදානම දැන සිටීමෙන් ජිවිත දහස් ගණනක් රැකෙනු ඇත.
ගයාන් ගාල්ලගේ