2019 ජුනි 22 වන සෙනසුරාදා

උඩුගුවනේ සැරිසරන ලංකාවේ පළමු චන්ද්‍රිකාව

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 206

පසුගිය ජුනි මස 17 වැනිදා ශ්‍රී ලංකාවට ඉතා අභිමානයක් ලැබූ දිනයක් විය. එදින ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු විසින් නිර්මාණය කරනු ලැබූ චන්ද්‍රිකාව රැගත් රොකට්ටුවක් කක්ෂගත කරනු ලැබීය.

පසුගිය මස දාහත්වැනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.45ට මෙම චන්ද්‍රිකාව කක්ෂගත විය. එය නම්කරනු ලැබුවේ රාවණා 1 නමිනි. මෙම චන්ද්‍රිකාව මගින් අරමුණු කිහිපයක් ඉටුකරගැනීමට බලාපොරොත්තුවෙන් සිටී. ඒ අතරින් ශ්‍රී ලංකාව මෙන්ම එයට ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම, චන්ද්‍රිකා භාවිතයේදී මෙතෙක් භාවිතා කරනු ලබන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමය අත්හදා බැලීම, පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳ අධ්‍යයනය කිරීම එයින් ප්‍රධාන වේ.
මොලගොඩ ප්‍රාථමික විද්‍යාලයෙන් ද රඹුක්කන ජාතික විද්‍යාලයෙන් ද අධ්‍යාපනය හැදෑරූ තරිඳු දයාරත්න පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉ‘ංජිනේරුකරණය පිළිබඳව උපාධිය ලබාගත් සිසුවෙකි. කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් සහ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ දුලානි චාමිකා විද්‍යුත් තාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ ඉංජිනේරුවරියකි. ඇය ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉංජිනේරුවරියක ලෙස  කටයුතු කරයි. රාවණා මොවුන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයකි. මේ වනවිට තරිඳුත් දුලානිත් පශ්චාත් උපාධිය හදාරමින් සිටිති. එමෙන්ම මොවුන් දෙදෙනාම ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂකයන් ලෙස කටයුතු කරති.

ශ්‍රී ලංකාවේ ප්‍රථම පර්යේෂණ චන්ද්‍රිකාව වන්නේ තරිඳුත්, දුලානිත් නිර්මාණය කරනු ලැබූ (රාවණා 1) මෙම චන්ද්‍රිකාවයි. ජපානයේ කියුෂු (Kyushu) තාක්ෂණික අධ්‍යාපන ආයතනයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටි අතර කාලයේදී මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර ඇත.

රාවණා 1 චන්ද්‍රිකාවට අමතරව තවත් චන්ද්‍රිකා දෙකක් මෙදින කක්ෂගත කෙරුණි. ඒ අනුව ප්‍රථමයෙන්ම කක්ෂගත කරන ලද්දේ නේපාලයට අයත් චන්ද්‍රිකාවයි. දෙවනුවට ශ්‍රී ලාංකිකයන් විසින් නිර්මාණය කළ (රාවණා 1) චන්ද්‍රිකාවත් තෙවනුවට ජපානයට අයත් වූ චන්ද්‍රිකාවත් කක්ෂගත කෙරුණි.

රාවණා 1 චන්ද්‍රිකාව ඝනක චන්ද්‍රිකාවකි. (Cube Satellite) එලෙස ඝනක චන්ද්‍රිකාවක් හඳුන්වනු ලබන්නේ සාමාන්‍ය විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් (Classical Satellite) නොවන අතර එය කුඩා චන්ද්‍රිකාවකි. මෙය ඝන සෙන්ටිමීටර් 1000ක විශාලත්වයෙන් යුක්ත වේ. බර කිලෝ ග්‍රෑම් 1.05කි.

මෙහි ආයු කාලය අවුරුදු එකහමාරක් වුවද අවුරුදු පහක් දක්වා පැවතිය හැකි බවද සඳහන් වේ. අමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනයට අයත් සිහිනය අභ්‍යාවකාශ යානය මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක දුරින් මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට නියමිතය. (අන්තරෙස්) නම් රොකට්ටුව මගින් අභ්‍යාවකාශ යානය ගමන් කෙරිණි.

(රාවණා 1) චන්ද්‍රිකාව දිනකට වට පහළොවක් පෘථිවිය වටා භ්‍රමණය වේ. එහි වේගය තත්ත්පරයට කිලෝමීටර් 7.6කි.
“මගේ රටේ සිට මගේ රට වෙනුවෙන් චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීම මගේ පැතුමයි. ඒ වෙනුවෙන් අවශ්‍ය කරන දැනුම අපිට තියෙනවා. නමුත් තවමත් අවශ්‍ය තරම් පහසුකම් නැහැ.”

යැයි විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරු දුලානි චාමිකා පවසයි.

“අභ්‍යාවකාශ ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව ආචාර්ය උපාධියක් ලබා ගැනීම මගේ අනාගත පැතුමයි. එයින් අපේ රටේ අභ්‍යාවකාශ තාක්ෂණය නගා සිටුවන්න අපිට පුළුවන් වේවි. ඒ වෙනුවෙන් මට හැකි උපරිම දායකත්වයත් මම ලබලා දෙනවා”

තරිඳු දයාරත්න ද එසේ අදහස් දක්වයි.

කෙසේ වුවද අවසානයේදී තරැණ අභ්‍යාවකාශ ඉංජිනේරැ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුගේ උත්සාහයෙන් ශ්‍රී ලංකාවට අභිමානයක් එක්විය. ශ්‍රී ලාංකික නම රැගත් රාවණා 1 චන්ද්‍රිකාව අහසට මුදා හැරීම ඉතා සාර්ථක ලෙස අවසානයේදී සිදුවිය. එය ශ්‍රී ලාංකික සැමටම අභිමානයකි. ආඩම්බරයකි.

 දිශානි ජයමාලි කරුණාරත්න