ආසියාවේ උසස් මට්ටමක පවතින විශ්වවිද්‍යාල 100 අතරට අයත් වන මෙරට ප්‍රමුඛතම සරසවියක් වශයෙන් කීර්තිමත් කැලණිය විශ්වවිද්‍යාලයට පසුගිය ජූනි 17 දිනට වර්ෂ 60ක් සැපිරුණි. මේ ලිපිය පළවන්නේ ඒ වෙනුවෙනි.
“උඹලා කොහෙද ඉගෙන ගන්නේ කියපියව්?”
“කැලණිය විශ්වවිද්‍යාලයේ”
“මොකක්... තොපිට පිස්සුද? උණපඳුර මහා විද්‍යාලයේ. දැන් ලියපිය ඔය ෆයිල් කවරයේ උණපඳුර මහා විද්‍යාලය කියලා.”
මට ඒ අවස්ථාව මතක් වූයේ අපත් අධ්‍යාපනය හැදෑරූ කැලණිය විශ්වවිද්‍යාලය ගැන ලිපියක් ලිවීමට පෑන අතට ගත් විටය. සමාජ විද්‍යා පීඨයේ මහාචාර්ය කැකුලාවල ශාලාව අසලදී නවක වදයේ දී මුහුණදීමට සිදුවූ එක් ජවනිකාවකි, ඉහත සඳහන් කළේ. රබර් සෙරෙප්පු දාගෙන සිටි අපි කඩදාසි ෆයිල් කවරවල උණපඳුර මහා විද්‍යාලය යයි ලියා ගත්තෙමු. දළුගම උණපඳුර හන්දියේ දකුණුපස කඳුගැටයක පිහිටා ඇති කැලණිය විශ්වවිද්‍යාලය එම ස්ථානයට රැගෙන ආවේ 1978 දීය. පසුව උණපඳුර හන්දිය යන නම වියැකී ගොස් කැම්පස් හන්දිය බවට එතැන පත්වී තිබේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ මුල්ම අවස්ථාව වර්ෂ 159ක් පැරැණි විද්‍යාලංකාර පිරිවෙනයි. පසු කලෙක විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය (1959-1970), ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපය (1971-1977) නමින් හැඳින්වූ මෙම සරසවිය 1978 සිට කැලණිය විශ්වවිද්‍යාලය නමින් හැඳින්වේ. “මහාචාර්ය කෝදාගොඩ ඥානාලෝක, මහාචාර්ය බඹරුන්දේ සිරි සීවලී යනාදී හිමිපාණන් වහන්සේ සමඟ මහාචාර්ය අමරදාස ලියනගමගේ, මහාචාර්ය ඩබ්ලිව්.එස්. කරුණාරත්න, මහාචාර්ය එන්.එල්. කැකුලාවල යනාදී උගතුන් ඇසුරු කිරීමට මට අවස්ථාව ලැබුණේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාල සෙවණේදීයි. එහෙත් අපි ඔවුන්ගෙන් ලත් ආභාෂය අද අපට කිසිදු විශ්වවිද්‍යාලයකින් නොලැබෙන්නේ මන්ද යන්න ගැන මා සිත පීඩාවට පත් කරනවා. ඒ මහා උගතුන් ලියූ කියූ දේ එක්තැන්කොට කතිකා පැවැත්වීම විනා වෙනත් සැමරුම් පැවැත්වීම වැඩක් වේදැයි මට නම් සැකයි.”
අප සමඟ එලෙස අදහස් දැක්වූයේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාල සමයේ එහි ඉගෙනගෙන කැලණිය විශ්වවිද්‍යාලය බවට පත්වූ පසු එහි ආචාර්ය මණ්ඩලයේ සේවය කළ සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයි.
රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමියන්ගේ මූලිකත්වයෙන් උන්වහන්සේගේ ශිෂ්‍ය රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමියන්ගේද සහයෝගයෙන් පෑලියගොඩදී 1875 නොවැම්බර් 1 දින තාවකාලික පොල්අතු මඩුවක ඉදිකළ විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව පසුව මහ පිරිවෙනක් බවටද ඉනික්බිති රටම පිළිගත් සරසවියක් බවට ද පත් විය. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ගිහි පැවිදි දෙපාර්ශ්වයටම අධ්‍යාපනයට ඉඩ ලැබුණි. නමුත් කාන්තා පක්ෂයට එහි අධ්‍යයනය කිරීමට ඉඩ ලැබුණේ නැත. දේශීය සංස්කෘතිය හා අනන්‍යතාව ආරක්ෂා කිරීම් හා තහවුරු වන අන්දමේ විෂයමාලා එහි සකස් කෙරිණි. 1959 පෙබරවාරි පළමුවැනිදා පළමු කණ්ඩායම බඳවාගැනීමට ඉල්ලුම්පත් කැඳවිණි. ඉන් විශ්වවිද්‍යාලයට බඳවාගත්තේ 121 දෙනෙකි.
ශාස්ත්‍රවේදී (BA), විද්‍යාවේදී (BSc), ශාස්ත්‍රපති (MA), ආචාර්ය (PhD), සාහිත්‍ය චක්‍රවර්තී (DLitt), විද්‍යා චක්‍රවර්තී (DSc) යන උපාධි සඳහා අභ්‍යන්තර වශයෙන් මෙන්ම බාහිර වශයෙන්ද ලියාපදිංචි විය හැකි විය. සිංහල භාෂාවට මුල්තැන දුන්නද දෙමළ, ඉංග්‍රීසි සහ හින්දි භාෂාවන් අධ්‍යයනයට ද පහසුකම් සලසා තිබුණි.
මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මෙම භාෂා අතරින් හින්දි භාෂාව ඉගෙනගෙන ප්‍රවීණත්වය ලැබූ විද්‍යාර්ථියෙකි. ඔහු අප සමඟ සිය අත්දැකීම් පැවසුවේ මෙලෙසයි. “මම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ තුන්වැනි ශිෂ්‍ය කණ්ඩායමට ඇතුළත් වුණා. අපි ඇතුළත් වුණේ 1961 දී. ඒ කාලේ 400ක් පමණ ශිෂ්‍ය පිරිසක් ඇතුළත් කර ගත්තා. විශ්වවිද්‍යාලය තුළ ඉතා අපූරු ශාස්ත්‍රීය පසුබිමක් තිබුණේ. අපට ඉගැන්වීමට සිටියේ ඉන්දියාවෙන් පැමිණි පඬිවරු සහ අප රටේ පිළිගත් හාමුදුරුවරුයි. දේශීය ගිහි ආචාර්ය මණ්ඩලය ඉතා සුළුවෙන් තමයි හිටියේ. රාහුල් සංස්කෘයායන්, ආනන්ද කෞශල්‍යාන්, ජග්දීප් කාශ්‍යප්, හේමචන්ද්‍ර රායි, ශාන්ති භික්ෂු ශාස්ත්‍රී වගේ ඉන්දීය පඬිවරුන්ගෙන් අප ශිල්ප හැදෑරුවා. ඔවුන්ගෙන් අප ඉගෙනීමේ විනයක් වගේම විශාල දැනුමකුත් ලැබුවා. පසු කලෙක එම විශ්වවිද්‍යාලයේම ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වීමෙන් අප ලබාගත් දැනුම් සම්භාරය තවත් විශාල ශිෂ්‍ය පිරිසකට ලබාදීමට අවස්ථාව හිමි වුණා.”
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය උත්සවශ්‍රීයෙන් විවෘත කළේ 1959 ජූනි 17දා ප.ව. 4.15ටය. උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ ඉන්දීය ජනාධිපති ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් ය. පිළිගැනීමේ කතාව පැවැත්වූයේ ප්‍රථම උපකුලපති වූ කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර නායක හිමියෝ වෙති.
“විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය මහා විහාරය, නාලන්දා, වික්‍රමශිලා, විජයබාහු ආදී කීර්තිධර විශ්වවිද්‍යාල මෙන්ම ආගම් භේද, කුල භේද, ජාති භේද විරහිතව නිදහස් අධ්‍යාපනයක් වශයෙන් බුද්ධිය හා විචාරය, සේවා හා පරිත්‍යාග, චරිතය හා ආදර්ශ මුල්තැන්හිලා පැවැත්වීමට අපි සැමවිටම ප්‍රයන්ත දරමු.” යැයි ප්‍රඥාසාර හිමියෝ එම කතාවේ ලා පැවසූහ.
ආරම්භයේදී පිරිමි විද්‍යාර්ථින්ට වෙන්වූ විශ්වවිද්‍යාලය ශිෂ්‍යාවන්ටද විවෘත වූයේ 1966 අංක 2 දරන ජාතික උසස් අධ්‍යාපන පනත මගිනි. 1978 අංක 16 දරන පනතින් විද්‍යාලංකාර මණ්ඩපය නැවත ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත් කෙරිණි. 1979 ජනවාරි පළමුවැනිදා සිට ‘කැලණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව’ යන නාමයෙන් හැඳින්වීම ඇරඹිණි.
විද්‍යාලංකාරය, කැලණිය සරසවිය බවට පත්වීමේදී එහි ආරම්භක ලාංඡනය ද අහිමි විය. එමෙන්ම නැණවත් භික්ෂූන්ගෙන් හා පඬිවරුන්ගෙන් සමන්විත වූ ආචාර්ය මණ්ඩලය වෙනුවට දේශීය ගිහි ආචාර්ය මණ්ඩලයට ප්‍රමුඛත්වයක් ලැබුණේය.
අද අපට නුවර පාරේ ගමන් කරන විට දළුගම පිහිටි විශ්වවිද්‍යාල නාමපුවරුවේ සවිකර ඇති ලාංඡනය දැකගත හැකිය. එහි විශ්වවිද්‍යාලයේ තේමාපාඨය ‘පඤ්ඤාය පරිශුද්ධති’ (ප්‍රඥාව මගින් පාරිශුද්ධියට පත්වෙයි) යන්න සඳහන්ය. විශ්වවිද්‍යාලයේ මෙහෙවර ප්‍රකාශය වන්නේ ජීවිත අභිමානයට ගරුත්වයක් සහිතව ලෝකයට සේවය කිරීම සඳහා විද්‍යාර්ථින්ට ඥානය, ආකල්ප යන නිපුණතා සංවර්ධනය කර ගැනීමට අවස්ථාව සලසා දීමෙන් විශිෂ්ටත්වය සාක්ෂාත් කර ගැනීමයි.
කැලණිය විශ්වවිද්‍යාලය 1979 ආරම්භ වූයේ පීඨ තුනකින් යුක්තවය. ඒ මානව ශාස්ත්‍ර, සමාජ විද්‍යා සහ විද්‍යා යන පීඨ තුනයි. 1991 දී මේ අතරට වෛද්‍ය පීඨය ද එක්විය. එතෙක් උතුරු කොළඹ (රාගම) පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වශයෙන් පැවති ආයතනය රජයට පවරාගෙන කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පීඨයක් බවට පත් කෙරිණි. 1995 පෙබරවාරි මාසයේදී කළමනාකරණ පීඨයක්ද විශ්වවිද්‍යාලයට ලැබුණි. එතෙක් පැවති වාණිජ විද්‍යා අධ්‍යයනාංශය වෙනුවට වාණිජ සහ කළමනාකරණ විෂයයන් රාශියක් ඒ යටතේ හැදෑරීමට අවස්ථාව හිමිවිය. අද වනවිට මෙම පීඨ පහට අයත් අධ්‍යයනාංශ 41කින් සරසවිය සමන්විතය.
විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතන කිහිපයක්ද වේ. කොළඹ 5 පිහිටි පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය, කොළඹ 7 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය ඒවා වේ.
එදා 151 දෙනෙක්ගෙන් ආරම්භ වූ විශ්වවිද්‍යාලයේ අද ශිල්ප හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව 9000කි. පශ්චාත් උපාධි සිසුහු 3500ක්ද, එහි අධ්‍යාපනය හදාරති. අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 475කි. නවීන පුස්තකාල, පරිගණක විද්‍යාගාර, පර්යේෂණ මධ්‍යස්ථාන, ශිෂ්‍ය සුබසාධන පහසුකම් ආදී අංශ රැසකින් විශ්වවිද්‍යාලය සමන්විතය.
“අපි ඉගෙනගත් කාලේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු මෙන්ම ශිෂ්‍යයොත් ශාස්ත්‍රීය අංශයට ගොඩක් නැඹුරුව කටයුතු කළා. සාහිත්‍ය සහ ශාස්ත්‍රීය සඟරා සෑහෙන ප්‍රමාණයක් පළ කළා. විද්‍යාව සිංහලෙන් ඉගැන්වීමට මුල් වුණා.
අද විශාල භෞතික සංවර්ධනයක් විශ්වවිද්‍යාලයේ ඇතිවී තිබෙනවා. එදා ආචාර්යවරු වගේම ශිෂ්‍යයොත් කටයුතු කළේ අවම පහසුකම් මැදයි. ඒ කාලේ විද්‍යාලංකාර කියලා වෙනම භාෂා සම්ප්‍රදායකුත් තිබුණා. අද සියලු පහසුකම් සපිරී තිබුණත් මුල් කාලේ වගේ විශිෂ්ටයන් විශ්වවිද්‍යාලයෙන් බිහිවෙනවද කියල නම් සැකයි.” මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අප සමඟ පැවසුවේය.
► කුසුම්සිරි විජයවර්ධන