ඉදිරියේදී නව බලවේග දුම්රිය ධාවනයට එක් කිරීමට නියමිත බැවින් ඊට සමගාමිව නවීන පහසුකම් සහිත දුම්රිය ස්ථාන ඇති කිරීම මේ මගින් අරමුණු කරගෙන තිබේ. වැඩසටහනේ පළමු අදියරේදී තෝරාගත් දුම්රිය ස්ථාන 12ක් නවීකරණය කිරීම සිදුවේ.
ඒ අනුව කොළඹ කොටුව, මරදාන, රාගම, ගම්පහ, වේයන්ගොඩ, මහනුවර හා කුරුණෑගල දුම්රිය ස්ථාන ප්‍රථමයෙන් නවීකරණය කිරීමටද අනතුරුව ජාඇළ, මීගමුව, අනුරාධපුර, නානුඔය හා ඇල්ල දුම්රිය ස්ථාන සංවර්ධනය කර ජාත්‍යන්තර ප්‍රමිතියකින් සැකසීමට අපේක්ෂිතය.
මෙම නවීකරණ කටයුතු සිදුකිරීම සඳහා පෞද්ගලික ආයතනයකට පැවරීමට කටයුතු සිදුකෙරෙමින් ඇති බව වාර්තා වේ. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත යම් ගෙවීමක් සිදුකෙරෙන අතර එම පැවරීම යටතේ දුම්රිය පරිශ්‍රයේ වෙළෙඳ දැන්වීම් පළකිරීමේ බලය එම ආයතනයට පැවරෙනු ඇත. ඒ වෙනුවෙන් දුම්රිය ස්ථානයේ වැසිකිළිය ඇතුළු සියලුම පරිශ්‍රය පිරිසුදු කර නවීකරණය කොට පවත්වාගෙන යාම ඔවුන් විසින් සිදුකිරීමට නියමිතය.
මෙම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් දුම්රිය ස්ථාන ඇතිකිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය වෘත්තීය සමිති සංවිධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා පවසන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් ලැබෙන මාර්ග කිහිපයක් වසා දමා දුම්රිය සේවය පෞද්ගලීකරණය කිරීමේ වුවමනාවක් පමණක් බවත් එය රාජ්‍ය ප්‍රවාහන සේවය විනාශ කිරීමට ගන්නා උත්සාහයක් මිස දුම්රිය සේවය ගොඩනැගීම සඳහා ක්‍රියාමාර්ගයක් නොවන බවත්ය. ඒ මහතා පවසන්නේ දෙහිවල කළුබෝවිල ශ්‍රී සරණංකර පාරේ පිහිටි පෞද්ගලික ආයතනයක් සමඟ මේ සඳහා ගිවිසුම්ගතව ඇති බවකි. ඒ අනුව වසර 12ක් සඳහා අදාළ දුම්රිය පරිශ්‍රයන් එම ආයතනයට පවරා ඇති බවත් ඒ සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය කටයුතු කර ඇති බවත් ඒ මහතා පවසයි.
එස්.පී. විතානගේ මහතා වැඩිදුරටත් චෝදනා කරන්නේ නිසි ටෙන්ඩර් ක්‍රියා පටිපාටියකදී වුවද රාජ්‍ය දේපළක් පෞද්ගලික ආයතනයකට පැවරීමේදී රජයට උපරිම වාසි ලැබෙන ලෙස ගිවිසුම්ගත වන නමුත් මෙම ක්‍රියාවලියේදී ඉන් බැහැරව පෞද්ගලික ආයතනයේ ඉල්ලීමට වසර 12ක් දක්වා දුම්රිය පරිශ්‍රයන් එම සමාගමට පැවරීමට සූදානම්ව සිටින බවටය.
මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීම නිසා වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම මගින් මාසිකව ලැබෙන රුපියල් 410,000, ස්ථාවර භෝජනාගාර පවත්වාගෙන යාමෙන් මාසිකව ලැබෙන රුපියල් 4,800,000ක් පමණද, අනිකුත් අලෙවිසල් පවත්වාගෙන යාමෙන් ලැබෙන රුපියල් 900,000කට අධික මුදලක්ද, චිත්‍රපට හා ටෙලිනාට්‍ය රූගත කිරීමෙන් හා ඡායාරූප ගැනීමෙන් මාසිකව ලැබෙන රුපියල් 150,000කට අධික මුදලක්ද, දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමි වනු ඇත. ඒවා කිසිදු අමතර වියදමකින් තොරව දෙපාර්තමේන්තුවට ලැබෙන මුදලකි. එය වාර්ෂිකව රුපියල් හත්කෝටි පනස් ලක්ෂයකට අධික බවත් දුම්රිය දෙපාර්තමේන්තුව නිසි වාණිජ ප්‍රවර්ධන ක්‍රමයක් අනුගමනය කරන්නේ නම් එකී මුදල දෙගුණයක් දක්වා වැඩි කළ හැකි බවත් එස්.පී. විතානගේ මහතාගේ අදහසය. මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම දුම්රිය දෙපාර්තමේන්තුවේ විනාශයට හේතුවක් වන බවත් ඒ මහතා පෙන්වා දෙයි.
තාම යෝජනාවක් පමණයි
දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ. ඩිලන්ත ප්‍රනාන්දු
දුම්රිය ස්ථානවල පහසුකම් වැඩිදියුණු කිරීම හා නවීකරණය කිරීම සම්බන්ධයෙන් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. එය ස්ථිර වශයෙන්ම සිදුකරනවා කියන පදනමක් නෑ. ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා. මේ සඳහා යම් ආයතනයක් වෙත පවරනවා නම් දුම්රිය ස්ථානයේ වැසිකිළිය හා අවට පරිශ්‍රය පවිත්‍ර කිරීම, අලංකාර කිරීම ඔවුන් විසින් සිදු කරනවා. ඒ වෙනුවෙන් එම ආයතනය වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය කරනවා. ඒකට දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා අයවිය යුතු මුදල් අයකිරීම සිදුවෙනවා. මෙය දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවක් නොවන ලෙස හා නියමිත ආදායම ලැබෙන විදිහට සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. එය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින එකක්.
සමන්ත විල්තෙර