2019 ජුනි 15 වන සෙනසුරාදා

මහත්තයගේ දේශපාලනේට මම තදින්ම විරුද්ධයි

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 535

වෛද්‍ය සාෆිගේ බිරිඳ - වෛද්‍ය මොහොමඩ් නෂීර් ෆාතිමා ඉමාරා

  • රිෂාඩ් ඇමැතිතුමා එක්ක අමනාප වෙලයි අයින් වුණේ
  • කවුරුහරි උසිගන්නලා පැමිණිලි කරවන බවට තොරතුරු තියෙනවා
  • අපේ ළමයි ඉගෙන ගන්නෙ බෞද්ධ පාසල්වල
  • තනි දොස්තර කෙනෙකුට සිසේරියන් සැත්කමක් කරන්න බැහැ
  • ළමයෙක් මාරු කළා කියන සිද්ධිය දැනගත්තෙ අත්අඩංගුවට ගත්තට පස්සෙයි
  • එයා යාළුවන්ගෙ රැල්ලට අහුවෙලා දේශපාලනේ කළේ

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයකු වන ෂෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව එල්ල වූ චෝදනාව බරපතළය. ඒවා ගැන පසුගිය සති කිහිපය තිස්සේම දේශය පුවත්පතින් විවිධ හෙළිදරව් කිරීම් සිදුකෙරිණි. මේ සතියේ එම චෝදනාවන්ට ලක්වී සිටින වෛද්‍ය සාෆිගේ පාර්ශ්වයෙන් කරැණු දැක්වීමට වෛද්‍ය සාෆිගේ බිරිඳ ඉදිරිපත්විය. එම රෝහලේම වකුගඩු රෝගී අංශයේ වෛද්‍යවරියක වන මොහොමඩ් නෂීර් ෆාතිමා ඉමාරා මහත්මිය වෛද්‍ය සාෆිගේ බිරිඳයි. සිය ස්වාමියාට එරෙහිව නැගුණු චෝදනා ඇතුළු වෙනත් කරැණු සම්බන්ධයෙන් ඇය දේශය වෙත දැක්වූ අදහස් මෙසේය. වෛද්‍ය ඉමාරා මහත්මියගේ ඉල්ලීම අනුව ඇයගේ ඡායාරෑපය පළනොකෙරේ.

මොහොමඩ් සාෆි ඔබගේ ස්වාමිපුරුෂයා. කොහොමද ඔබ දෙදෙනාගේ මුණගැසීම සිදුවුණේ?

අපි දෙන්නාම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තේ. මහත්තයා මට කළින් වසරේ ඉගෙන ගත්තේ. එතැනදී අපි දැන හඳුනාගත්තා. මුලින්ම හමුවුණේ එහෙමයි.

එතකොට විවාහය සිද්ධ වෙන්නේ කොහොමද?

මතක හැටියට අපි විශ්වවිද්‍යාලයේ හිටියේ 98 හෝ 99 වසරවලදී. අපි අවුරුදු දෙක තුනක් විශ්වවිද්‍යාලයේදී ආශ්‍රය කළා. පස්සේ මහත්තයා අපේ ගෙදර ඇවිත් අම්මා තාත්තාගෙන් අහලා කැමැත්ත ලබාගෙන විවාහය සිදුකළා.

මහත්තයා විශේෂඥ වෛද්‍යවරයෙක් බවට වාර්තා පළවෙනවා නේද?

මගේ මහත්තයා සාමාන්‍ය වෛද්‍යවරයෙක් විතරයි. ඒ කියන්නේ අපි එම්.බී.බී.එස්. වෛද්‍යවරු. අපි දෙන්නාම විශේෂඥ වෛද්‍ය උපාධියක් කළේ නෑ. අපිට ඔපරේෂන් කරන්න සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ යටතේ පමණයි. ඔවුන්ගේ උපදෙස් මත පමණයි අප ක්‍රියාකළ යුත්තේ. එතකොට වගකීම තිබෙන්නේ විශේෂඥ වෛද්‍යවරයාටයි. මගේ මහත්තයා විශේෂඥ වෛද්‍යවරයෙක් කියන කතාව බොරු. ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙක් විදිහට තමයි කටයුතු කළේ.

මීට පෙර ස්වාමිපුරුෂයා සේවය කළේ කොහේද?

මුල්ම පත්වීම 2004දී සීමාවාසික වෛද්‍යවරයෙක් විදිහට කුරුණෑගල රෝහලට ලැබුණෙ. එතැන වසරක් සේවය කළා. පසුව පත්වීම ගලේවෙල රෝහලට ලැබුණෙ 2006 වසරේදී. එම රෝහල සාමාන්‍ය දිස්ත්‍රික් රෝහලක්. කිසිම විදිහක ඔපරේෂන් කරන රෝහලක් නොවේ. නැවත 2007 වසරේ මාරැවක් ලැබෙනවා කුරුණෑගල ශික්ෂණ රෝහලට. 2013 වෙනකම් එතැන ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙක් විදිහට රාජකාරි කළා. නැවත දඹුල්ල රෝහලට මාරැවීමක් ලැබුණා. ඒ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙක් විදිහට සේවය කළා.

මහත්තයා මැතිවරණයකට තරග කරන්නේ මේ කාලයේද?

2015 ජූලි මාසෙ මහත්තයා මැතිවරණය සඳහා සේවයෙන් ඉල්ලා අස්වුණා. පස්සේ කුරැණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් විදිහට මැතිවරණයට තරග කළා. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ආරාධනයට තමයි මහත්තයා මැතිවරණයට ඉදිරිපත් වුණේ. ඡන්දයෙන් මන්ත්‍රීවරැ හත් දෙනෙක් තෝරනවා. මෙයා හිටියේ අට වැනියාට. 

මහත්තයාගේ දේශපාලන සබඳතා කොයි වගේද?

රිෂාඩ් බදියුදීන් මහතාගේ ඉල්ලීමට තමයි දේශපාලනයට යොමුවුණේ. එයාට කිසිම පක්ෂ හෝ ජාති බේදයක් නෑ. විශේෂයෙන් කියන්න ඕන අර තව්හිද් ජමාත් සංවිධානයට අපේ කිසිම සම්බන්ධයක් නෑ. අපි සාම්ප්‍රදායික මුස්ලිම් පවුල්වල මිනිස්සු. මහත්තයා ඒක ගැන සලකනවා. ඒ නිසා ජාති ආගම්වාදයට එයා කැමැති නෑ. ඡන්දය වෙලාවේදී මහත්තයා රිෂාඩ් ඇමැතිතුමාටත් කියලා තිබුණෙ මම මුස්ලිම් ජාතිකයෙක් විදිහට නෙවේ ඉදිරිපත් වෙන්නේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට පමණයි කියලා.

මැතිවරණයෙන් පස්සේ මහත්තයා නැවතත් වෛද්‍ය වෘත්තියේ නියැලෙනවා නේද?

ඔව්. මහත්තයා මැතිවරණයෙන් විශාල මනාප ප්‍රමාණයක් ගත්තා. සුදුසුකම් ලැබුවේ හත් දෙනයි. මහත්තයා හිටියේ අටවැනියාට. ඊට පස්සේ මහත්තයා නැවතත් රජයේ වෛද්‍ය සේවයට ඉල්ලුම් කරලා රැකියාවට යොමුවුණා. පස්සේ පැවැත්වූ මැතිවරණයකදී රිෂාඩ් මහතාගේ පක්ෂය වෙනම තරග කරලා තිබුණා. එතැනදී මහත්තයා සමඟ යම් විරසකයක් ඇතිවෙලා ඒ අයගෙන් අයින් වෙලා හිටියේ.

එතැනින් මහත්තයා දේශපාලනයෙන් ඉවත් වුණාද?

අපි ගෙදරින් මුල ඉඳලම විරුද්ධයි දේශපාලනය කරනවාට. මගේ සහ මහත්තයාගේ අම්මා තාත්තා කැමැති වුණෙත් නෑ. නමුත් ආශ්‍රය කරපු යාළුවො හිතවතුන් කියන දේ අහලා තමයි රැල්ලට අහුවෙලා දේශපාලනයට යොමුවුණේ. පස්සේ මගේ දැඩි විරෝධය නිසා මහත්තයා නැවත දේශපාලනය නොකරන මතයේ තමා හිටියේ.

වෛද්‍ය වෘත්තියෙන් ඉවත්වූ මහත්තයා නැවත සේවයට ගියේ කොහේටද?

2016 වසරේ තමයි නැවත සේවය ලබාගත්තේ. ඉල්ලා අසුවුණේ දඹුල්ල රෝහලෙන් නිසා නැවත රුකියාව ලැබුණෙ දඹුල්ල රෝහලේමයි. ඊට පස්සේ 2017 මාරුවක් හදාගෙන කුරුණෑගල රෝහලට ආවා. මේ වෙනකම් සේවය කළේ කුරුණෑගල රෝහලේ.

ඔබේ වෛද්‍ය වෘත්තිය ගැන කීවොත්?

මම කුරැණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගී අංශයේ වෛද්‍ය නිලධාරිනියක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම මම දරැවන් තිදෙනකුගේ මවක්. ලොකු දුවට අවුරැදු 15යි. දෙවැනියා පුතා එයාට අවුරැදු 13යි. තුන්වැනියා දුව අවුරැදු 10යි. දරැවො තුන්දෙනාම කුරැණෑගල නගරයේ ප්‍රධාන සිංහල බෞද්ධ පාසල්වලින් තමයි ඉගෙන ගන්නේ.

ඔබ අම්මා කෙනෙක් හා කාන්තාවක් විදිහට මහත්තයාට එරෙහිව තිබෙන පැමිණිලි සම්බන්ධයෙන් මොකද හිතෙන්නේ?

කවුරු කොහොම මොනවා කීවත් මට මගේ මහත්තයා සීයට දාහක් විශ්වාසයි. මගේ මහත්තයා එහෙම දෙයක් කළේ නෑ කියලා දන්නවා. වෛද්‍ය විද්‍යාව දන්න පිරිස දන්නවා මේ වගේ දෙයක් කරන්න බෑ කියලා. කියන අය එහෙම කියන්නේ දේශපාලන අරමුණකින්ද දන්නේ නෑ. සාමාන්‍යයෙන් විනාඩි පහළවක විස්සක සිසේරියන් සැත්කමක් අතර එහෙම දෙයක් කරන්න බෑ. මේ කියන පැලෝපීය නාල තියෙන්නේ ගර්භාෂයක ඉහළ කෙළවරේ. මෙවැනි ඔපරේෂන් එකක් කරන්නේ ගර්භාෂයේ පහළ කොටස තුළයි. මේක තනි වෛද්‍යවරයෙක් හොරෙන් කරන දෙයක් නෙමේ. එතැන වෛද්‍ය කණ්ඩායමක් ඉන්නවා. එතැන තව නේවාසික වෛද්‍යවරයෙක් හෝ වරියක් ඉන්නවා. සහායට හෙදියක් ඉන්නවා. සිහි නැති කරවන වෛද්‍යවරයෙක් ඉන්නවා. සහායට තවත් හෙදියක් ඉන්නවා. ඔපරේෂන් එක අතර අනිත් කණ්ඩායම ඇහැ ගහගෙන ඉන්නවා. හොඳ අවධානයකින් සැත්කම් කරන්නේ.

මේ වගේ සැත්කම් හාරදහසක් සිදුකළා කියන චෝදනාවක් එල්ලවෙලා තියෙනවා. මොකද හිතන්නේ?

පිරිසක් ඉදිරියේ මෙහෙම හොර සැත්කමක් කරන්න පුළුවන්ද? එහෙමනම් හාරදහසක් කරනකම් අනිත් අය ඇයි බලාගෙන හිටියේ. එයාලට තිබුණෙ කතා කරන්න. මගේ මහත්තයා මුස්ලිම් නිසාද මේ චෝදනාව කරන්නේ? එතැන හිටපු අනිත් අය සේරම මුස්ලිම් නෙවේනේ. සිංහල අයනේ. ඒ අයට තිබුණා මෙන්න ඩොක්ටර් සාෆි මෙහෙම දෙයක් කරනවා කියලා කියන්න. ඇයි හාරදහසක් වෙනකම් හිටියේ. මේක අමූලික බොරැවක්නේ. ගොතපු කතාවක්නේ.

මේ වෙද්දි මව්වරු විශාල පිරිසක් පැමිණිලි ඉදිරිපත් කරලා තියෙනවා...

ගොඩක් මව්වරු කොන්ද කැක්කුම, කකුලේ හිරිවැටිලා කියලා පැමිණිලි කරලා. ඒවා ඔපරේෂන් එක සඳහා හිරිවැටීම් නිසා ඇතිවන ආබාධ. ඒකට කොහොමද ඔපරේෂන් එක සිදුකළ වෛද්‍යවරයා සම්බන්ධ වෙන්නේ? උපත්පාලන පෙතිවලින් දරුවන් පාලනය කරලා සමහරැ ඇවිත් පැමිණිලි කරනවාලු. මම දන්න විදිහට මට ආරංචි විදිහට ගොඩක් පැමිණිලිවලට වෛද්‍ය සාෆිට කෙළින්ම චෝදනා කරන්න බෑ.

එහෙමනම් මේ පැමිණිලි සේරම බොරු ඒවාද?

කොහෙන් හරි කෙනෙක් උසි ගන්නලා මව්වරුන්ට දීමනාවක් දීලා හෝ දෙනවා කියලා එන පැමිණිලි තියෙනවා. සමහර මව්වරු සමඟ වැඩි විස්තර කතා කරද්දී උත්තර නැතිවෙනවාලු. ඒ ගැන අපිටත් විශ්වසනීය තොරතුරැ වාර්තා වෙනවා.

මේ පැමිණිලි සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද?

අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතුයි. සැත්කම සාෆි කළා කියන එක ඔප්පු කළ යුතුයි. ඒකට රෝහලක ලියාපදිංචි වී තිබිය යුතුයි. ආරංචිය විදිහට ඩොක්ටර් සාෆි සම්බන්ධ නැති සැත්කම්වල මව්වරු ඇවිත් පැමිණිලි කරලා තියෙනවා. සල්ලි දෙනවා කීවාම සමහර මිනිස්සු එනවා. වෛද්‍ය විද්‍යාව අනුව මෙහෙම වෙන්න බෑ. එහෙමනම් මම කලින් කියපු වෛද්‍ය කණ්ඩායමම වරදකරුවන් වෙනවා. අධීක්ෂණ වෛද්‍ය නිලධාරියා සියල්ල අධීක්ෂණය කරනවා. එක වෛද්‍යවරයෙක් විතරක් මෙහෙම චෝදනාවට ලක්කිරීම වැරදියි. මෙහෙම කරන්නේ මගේ මහත්තයා මුස්ලිම් නිසාද කියන එක මට ප්‍රශ්නයක්.

මේ චෝදනාව හදිසියේ මතුවුණාට කලින් එවැනි චෝදනාවක් තියෙනවා නේද?

2017 වසරේ එක් අධීක්ෂණ වෛද්‍යවරියක් එම චෝදනාව කළා. ඇයගේ ජාතිවාදී අදහසක් නිසයි එහෙම කරලා තිබුණේ. එවකට සිටි වී.ඕ.ජී. වෛද්‍යවරයා සමඟත් ඇය ගැටුමක් ඇතිකරගෙන තිබුණා. මේ චෝදනාව සමඟත් ඇය ගැටුමක් ඇතිකරගෙන තිබුණා. මේ චෝදනාව පිළිබඳව මහත්තයා රෝහලේ අධ්‍යක්ෂවරයාට ලිඛිත ඉල්ලීමක් කළා පරීක්ෂණයක් සිදුකරන්න කියලා. නමුත් ඒකට යමක් සිදුවුණේ නෑ. ඒ ලිපිය අදටත් අපි ළඟ තිබෙනවා.

අලුත උපන් දරුවෙක් මව නොවන වෙනත් කාන්තාවකට ලබාදීම පිළිබඳ මහත්තයාට චෝදනාවක් තිබෙනවා. ඔබ ඒ ගැන දැනුම්වත්ද?

රෝහලෙන් කියලා තියෙනවා ඒ පිළිබඳව විනය පරීක්ෂණයක් සිදුකළා කියලා. මේ වගේ සිදුවීමක් ගැන මහත්තයා මා එක්ක කියලා නෑ. රෝහලේ සාමාන්‍ය විස්තර අපි දෙන්නම කතා කරනවා. නමුත් මේ ගැන කීවේ නෑ. ඒක මම දැනගත්තේ මහත්තයා අත්අඩංගුවට ගත්තාට පස්සේ මහත්තයා හරහාමයි. මේ චෝදනාව ගොනුකරලා තිබුණේ මැයි 13 වගේ දිනයක. මහත්තයා අත්අඩංගුවට ගත්තේ 24. ඒ වෙනකම් සතියක කාලයක් තිබුණා. ඇයි විනය පරීක්ෂණ බාර නිලධාරියාට නොදන්වා තිබුණේ කියන්න මම දන්නේ නෑ. ඒක ප්‍රශ්නයක්. මහත්තයා හිටියේ 58 වාට්ටුවේ. එතන එහෙම දෙයක් වෙලා නෑ කියලා එතන ලොකු මිස් කීවා. ඊට එහා දෙයක් මම දන්නේ නෑ.

රිෂාඩ් ඇමැතිවරයා සමඟ මහත්තයාගේ හිතවත්කම මොකක්ද?

මුලින් මැතිවරණය නිසා දෙන්නා අතර හිතවත්කමක් ඇතිවුණා. නගර සභා මැතිවරණයේදී එයාලා වෙනම පක්ෂයකින් ඡන්දය ඉල්ලපු නිසා හිතවත්කම නැතිවුණා. ඊට පස්සේ සම්බන්ධයක් තිබුණේ නෑ.

ඇමැතිවරයා හා සබඳතාවය ඇතිවුණේ කොහොමද?

දන්න අඳුනන හෝ ඥාති සබඳතාවයක් නෑ. 2015 මැතිවරණයට පෙර ඇමැතිවරයා හිතවතුන් මාර්ගයෙන් ඡන්දයට ඉදිරිපත් කරන්න සුදුසු පුද්ගලයෙක් හොයලා තියෙනවා. ගොඩක් අය මහත්තයාගේ නම කියලා තියෙනවාලු. ඒ නිසා රිෂාඩ් ඇමැතිවරයා මහත්තයා හොයාගෙන ආවා කියලා දන්නවා.

පිටස්තර පුද්ගලයන් මහත්තයාගේ නම යෝජනා කරන්න ඇත්තේ ඇයි?

මහත්තයා ගොඩක් මහන්සිවෙලා කැපවීමෙන් වැඩකරනවා. අනිත් වෛද්‍යවරු ඒක දන්නවා. මේ වෙලාවේ ඒක පෙන්වන්නේ නෑ. සැත්කමකට බලාපොරොත්තුවෙන් එන අම්මලා කවුරැත් හරවලා යවන්න මහත්තයා කැමැති නෑ. අම්මලාගේ මහන්සිය අමාරැව මහත්තයා දැනගෙන හිටියා. ඒ නිසා දවසේ රාජකාරිය හරියටම සම්පූර්ණ කළා. ඒක වී.ඕ.ජී. මහත්වරුත් දන්නවා. මේ නිසා මහත්තයා ගැන හොඳ නමක් තිබුණා. සමහරවිට ඒ නිසා මහත්තයාගේ නම යෝජනා කරන්න ඇති.

එහෙමනම් මහත්තයාට ඇයි මේ වගේ බරපතළ චෝදනාවක් ආවේ?

මහත්තයාටවත් මටවත් වැරදි දෙයක් කරන්න හෝ තවත් ජාතියක් විනාශ කරන්න අවශ්‍ය නෑ. අපි හැමෝම මිනිස්සු අපි හැමෝම මැරැණාම යන්නේ වළට. තව ජාතියක් නැතිකරලා අපි මොනවා ගන්නද?

මහත්තයාගේ ඡන්ද ව්‍යාපාර කටයුතුවල මතකය ගැන කීවොත්?

රැකියාවෙන් ඉවත්වෙලා දවස් හතළිහකදී වගේ තමයි ඡන්ද කටයුතු කළේ. ඇත්තටම එයාට ඡන්ද ව්‍යාපාරයෙන් නෙවේ ඡන්ද ලැබුණෙ. රුකියාව අතරතුර දුප්පත් මිනිස්සුන්ට රෝගීන්ට කරපු උපකාර නිසයා ලැබුණෙ. එයාට ජාති ආගම් බේදයක් නෑ. මගේ මහත්තයා නිසා කියනවා නෙවේ, මේක තමයි ඇත්ත. එයා මිනිස්සු හම්බකරලා තිබුණා. ඒකයි ඡන්ද 54,000ක් ලැබුණෙ. ගොඩක් අය කීවෙ ඩොක්ටර් ඡන්ද කරනවාට අපි කැමැති නෑ. ඒත් ඩොක්ටර් නිසා ඡන්දය දෙනවා කියලා. සිංහල අයම ඇවිත් කීවා.

ඔබේ මහත්තයා ධනවතෙක්, ව්‍යාපාරිකයෙක් කියලා කතාවක් තියෙනවා?

අපි දෙන්නාම සාමාන්‍ය පවුල්වල මිනිස්සු. ලොකු ධනවත්කමක් අපිට නෑ. ධනවතුන්ට කිට්ටු වෙන්න අපිට බෑ. නමුත් අපේ රස්සාවෙ පඩිය සමඟ පෞද්ගලික වෛද්‍ය සායනවලින් ආදායමක් එනවා. මහත්තයාගේ තාත්තාට අයිති ව්‍යාපාරයක් තියෙනවා කුරැණෑගල රෝහල ළඟම ගොඩනැගිල්ලක. ඒක කුලියට අරගෙන පවත්වාගෙන යනවා. ඒ අතර පර්මිට්වලට ගත්තු වාහනය විකුණලා ආදායමක් ලැබුවා. ඒ ඇර අපි කෝටිපතියො නෙමෙයි. ඊට අමතරව නගරය ඇතුළත පර්චස් 8,10,15,20 වගේ ඉඩම් කීපයක් තියෙනවා.

ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් මහත්තයාගේ නම කියැවෙනවා?

ඒ කියන්නේ රියෝබාර් ගොඩනැගිල්ල. ඒක පර්චස් 18ක ඉඩමක්. ඒක මහත්තයාගේ පෞද්ගලික ඉඩමක් නොවේ. හතර දෙනෙක් එකතුවෙලා ගත්තු එකක්. ඒකට අනුරාධපුර මන්ත්‍රීවරයෙක් හා කුරුණෑගල ව්‍යාපාරිකයන් දෙදෙනෙක් සම්බන්ධයි. කෝටි 13ක ඉඩමකට කෝටි 6ක් ගෙවලා තියෙනවා. තව කෝටි 7ක් ණයයි. නගරයේ වෙළඳ සංගමයත් මේ ඉඩම මුල් හිමිකරුගෙන් ඉල්ලලා. ඒක අපි දන්නේ නෑ. ඔවුන් මහත්තයාට කියලා කෝටියක් වැඩියෙන් දෙන්නම් ඉඩම දෙන්න කියලා. ණය අරගෙන තිබුණු නිසා බෑ කියලා. වැඩි විස්තර අහලා නෑ.

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා සමඟ යම් අමනාපයක් තිබෙනවාද?

වෛද්‍ය වීරබණ්ඩාර සමඟ පෞද්ගලික අමනාපයක් නෑ. වෛද්‍ය චන්දන කඳන්ගමුව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා. මගේ මාරැවීමක් සම්බන්ධයෙන් ඔහුගේ එකඟතාවයක් ලැබුණෙ නෑ. එදා යම් අමනාපයක් ඇතිවුණා. ඒක දුරදිග ගියේ නෑ. මේ අය දේශපාලන පක්ෂවලට සම්බන්ධද කියලා අපි දැනගෙන හිටියේ නෑ.

මේ චෝදනාව සමඟ රෝහල් කාර්ය මණ්ඩලය එක පැත්තකට වුණාද?

අපි වෙනුවෙන් සහාය වෙන අයටත් එළියට එන්න බෑ. මඩ ගහනවා. එයාලා පෞද්ගලිකව කතා කරනවා. වී.ඕ.ජී. වෛද්‍යවරු පවා කතා කරනවා. නමුත් ප්‍රසිද්ධියේ කතා කළොත් ඒ අයට මඩ ගහනවා. සාෆිගේ සල්ලිවලට යටවෙලා කියනවා. මේ කාරණයට දේශපාලනය වර්ගවාදය සේරම පටලවලා තියෙනවා.

ඉහළ පොලිස් නිලධාරියෙක් මේ චෝදනාව පසුපස ඉන්නා බව කියවෙනවා?

ඔව්. දැන් එහෙම තොරතුරු තිබෙනවා. එක වෙළෙඳ සංගමයක් සමඟ ඔහුගේ සබඳතාවක් තිබෙනවා. සිද්ධ වුණ දේ සහ අත්අඩංගුවට ගැනීම ගැන හිතුවම එහෙම හිතෙනවා. ඒකට හේතු තිබෙනවා. අමාත්‍යංශයේ අනුමැතියෙන් තොරව වෛද්‍ය වීරබංඩාර ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා තියෙනවා. කිසිම සබඳතාවයක් නැති වෛද්‍ය චන්න ජයසුමන මාධ්‍යයට ප්‍රකාශ දෙනවා.

රැඳවුම් බාරයේ ඉන්න මහත්තයා බලන්න ගියාද? වෙන කවුද ආවේ?

ඔව් මම ගියා. සතියකට දවසක් යන්න පුළුවන්. ඒත් මටයි දරැවන්ට සහ නීතිඥවරයාට පමණයි. 

මේ ගැන ඔබේ ඥාතීන් මොකද කියන්නේ?

කාටවත් එළියට ඇවිත් කතා කරන්න බෑ. ආගම දහමට අනුව කරන දෙයක් කරනවා. වෙන මොනවා කරන්නද? මට පුළුවන් දෙයක් මම කරනවා. මෙතැනදී සිද්ධවෙච්චි නිත්‍යනුකූල නොවන සිදුවීම් තියෙනවා. මම අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා.

මේ කාරණයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දක්වන ප්‍රතිචාරය කොහොමද?

මේ ගැටලුව හරිම හදිසියේ මතුවුණු දෙයක්නේ. නමුත් පළමුව කුරුණෑගල ශාඛාවේ ලේකම්ට කතා කළා. වෛද්‍ය පාදෙණිය මහතාට කතා කළා. මේ වනතෙක් මගේ මහත්තයා වෛද්‍ය සාෆි වෙනුවෙන් සංගමය පෙනී සිටියේ නෑ. ප්‍රසව හා නාරිවේදී සංගමයෙන් මෙහෙවරක් තියෙනවා කරන්න. එහෙම කතා කළේ නෑ. ඔවුන් ගැන කියන්න පැහැදිලි අදහසක් නෑ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර