වෙසක් උත්සවයට රට පුරා දක්නට ලැබෙන අසිරිය මෙවර එතරම් දැකගත නොහැකිය. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා රටෙහි වූ කැළඹීම බෞද්ධ ලෝකයේ ප්‍රධානම උළෙලට ද බලපෑම් කිරීමයි.
සිද්ධාර්ථ කුමාරයා උපත ලැබුවේ ක්‍රි.පූ. 624දී උතුරැ ඉන්දියාවේ (අද නේපාලය) ලුම්බිණි ග්‍රාමයේ සල් උයනකදීය. පසුගියදා කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී ද ඒ බව තහවුරැ විය. පසුගිය කාලයේ වෙසක් උළෙල වාණිජත්වය විසින් ගිලගත් සැණකෙළියක් බවට පත් විය. 2017 වර්ෂයේ ජාත්‍යන්තර වෙසක් සැමරුම ද ලංකාවේ පැවැත්විණි. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වයෙනි.
මේ වර්ෂයේ රාජ්‍ය වෙසක් උත්සවය මැයි 17 දින ගාල්ල දිස්ත්‍රික්කයේ තොටගමුව තෙල්වත්ත රන්පත් රජමහා විහාරයේ දී පැවැත්වේ. ඒ නිමිත්තෙන් විශේෂ ප්‍රදර්ශන කුටි හා පෙරහර නොපවත්වන බවත්, වෙසක් සැමරුම දින 5ක් පුරා පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද පවත්නා වාතාවරණය මත එය දින දෙකකට සීමා කළ බවත් බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා පසුගියදා පැවසුවේය. මේ පිළිබඳව අදහස් දැක්වූ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍ය වජිර අබේවර්ධන මෙසේ පැවසීය.
ගාල්ල දිස්ත්‍රික්කයට ජාතික වෙසක් උත්සවය ලැබුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවට. අපි ඒ සඳහා මාස ගණනක සිට සූදානම්ව සිටිනවා. ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් හික්කඩුව තොටගමුව රන්පත් විහාරයේ ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කළා. ඉදිකිරීම්, සැරසිලි කළා. ජාතික වෙසක් උත්සවයට සමගාමීව රටේම වෙසක් උත්සවය උත්කර්ශවත් ලෙස සිදුකිරීමට කටයුතු කර තිබෙනවා.
මහනායක හිමිවරැ ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා සතර බ්‍රහ්ම විවරණවලින් සුපෝෂිත වී ප්‍රතිපත්ති පූජාවේ නිරත වීමට මෙවර වෙසක් උත්සවය යොදාගන්නා ලෙසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් විමසීමට අප කතා කළේ ඕමල්පේ සෝභිත නායක හාමුදුරැවන්ටයි. උන්වහන්සේ පසුගියදා ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය අවස්ථාවේ ජාතික සංහිඳියාව ඇති කිරීමටද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ තෙර නමකි.
මේ ලෝකයේ විවිධ ආගම්වල තම තමන්ගේ ශාස්තෘවරැන් සමරන විවිධ ආකාරයේ සමරැ උත්සව පැවැත්වෙනවා. ඒ අතර අවිහිංසාව, සැමට කරැණාව, මෙත ප්‍රධාන අරමුණ කරගෙන සත්ත්ව සංහතියටම කරැණා දයාව මුල්කරගෙන සමරන උත්සවය තමයි, වෙසක්. වෙසක් උත්සවය නිමිත්තෙන් අපි කවදාවත් කාලා බීලා නටන්නෙ නෑ. අහිංසක සතුන්ගේ දිවි තොර කරන්නෙ නෑ. බෞද්ධයෝ හැටියට වෙසක් සමරන්නෙ ඉතාමත් සාමකාමී ලෙසයි. ඒ අනුව අපි ශ්‍රී ලංකාවෙත් මේ පාර වෙසක් සමරනවා. නමුත් රටේ පවත්නා වාතාවරණය මත වෙසක් සැමරීමේ ස්වරෑපය යම් ආකාරයක වෙනසකට යොමු කරන්න වෙනවා. ස්වරෑපය වෙනස් කළා කියන එකෙන් වෙසක් උත්සවය බාල කරන බවක් අදහස් වන්නේ නැහැ. කලින් උත්සවවලට වඩා දැඩි අවධානයෙන් සිහියෙන් මෙවර වෙසක් සැමරිය යුතුයි. මුළු රටම ත්‍රස්තවාදී භීෂණයකට ගොදුරැවෙලා තිබෙන අවස්ථාවක් නිසා බුදුන් වහන්සේ දේශනා කළ සතිසම්ප්‍රජන්‍ය ගුණය (නිරන්තර සිහිකල්පනාව) ඇතිකරගත යුතුයි. සෝභිත හිමියෝ පැවසූහ.
සංයුක්ත නිකායේ දැක්වෙන පරිදි බුදුන් වහන්සේ අනුදැන වදාළ පූජාවන් කොටස් දෙකකි. ඒ ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා වශයෙනි. ආමිස පූජා යනු වෙසක් තොරණ, කූඩු, ආලෝක පූජා, භක්ති ගීත ආදී දේවල්ය. ප්‍රතිපත්ති පූජා යනුවෙන් හඳුන්වන්නේ බුදුන් වදාළ ධර්මයට අනුව ජීවත්වීම සිහිපත් කරවන සීල ව්‍යාපාර ආදියයි.
දන්සල් දීම වගේ කටයුතු නම් හොඳයි. නමුත් රාත්‍රී කාලයේ පවත්වන සැණකෙළි වගේ දේවල්වලින් වෙසක් කියන අර්ථයට නොගැලපෙන දේ සිදුවෙනවා. ඒ වගේම මෑතක සිට ආපු වෙසක් මුහුණු පැළඳීමේ සිරිතක් තිබෙනවා. ඒකත් අර බුර්කාව පළඳින නීතියටම අයිති දෙයක්. තම අනන්‍යතාවය වසන් කරන දෙයක් බවට වෙසක් මුහුණත් පත්වෙනවා. මේවා වෙසක්වලට ගැලපෙන්නෙ නැහැ. විහාරස්ථාන තුළ, පාසල්වල, පොදු සමිතිශාලා ආදියේ ප්‍රතිපත්ති පූජා වශයෙන් වෙසක් සැමරීම කළ යුතුයි. ඒ මගින් අපි ප්‍රතිපත්තිගරැකව පිරිත් කියමින් භාවනා කරමින් ප්‍රාර්ථනා කරමු, ලෝකයට සාමය උදාවේවා කියලා.* උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේය.
ජාතික වෙසක් උළෙල පැවැත්වෙන තොටගමුව රජමහා විහාරය
තොටගමුව රන්පත් විහාරය අනුරාධපුර යුගයේ පටන් පැවති පුදබිමක් බවට සාධක සෙල්ලිපි ආශ්‍රයෙන් ලැබේ. අදටත් මෙම විහාර භූමියේ නාථ දේවාලය වටා පිහිටි ශිලා ස්ථම්භ හත විහාරයේ පෞරාණිකත්වයට සාධක සපයයි. ඒ අතරින් ටැම් හතරක, ඒවා කරවූ අයගේ නම් සඳහන් කර පූජා කර තිබේ. ගල්ටැම්වල ඇති අක්ෂර 8-10 සියවස්වලට අයත්. එම කුලුනු එදා සලපිළිම වහන්සේ වැඩසිටි පිළිමගෙයි නටබුන් බවට සැලකෙයි.
මහාවංශයේ තීර්ථගාම කියලා කියන්නේ තොටගමුවයි. පොළොන්නරැ යුගයේ දී පළමුවැනි විජයබාහු රජු (1055-1110) තොටගමු විහාරයේ රියන් පන්සාලිස් දිග ප්‍රාසාදයක් ගොඩනැගූ බව සඳහන් වේ. කුරැණෑගල රජ කළ සිව්වැනි පරාක්‍රමබාහු (1302-1326) මනහර තිස් රියන් ප්‍රාසාදයක් කරවා විජයබා පිරිවෙන පිහිටවූ බවත් මහාවංශය සඳහන් කරයි. ගලතුරැමුල මෛත්‍රී නාහිමි සහ උත්තරමුල රාහුල මහ තෙර ආදී මහ පඬිවරු මෙහි අධිපතීත්වය දැරූ බව ඉතිහාසයේ සඳහන් වේ.
වෑත්තෑවේ හිමි සහ වීදාගම මෛත්‍රීය හිමි ද තොටගමු විහාරයේ භාරකාරත්වය දරමින් වැඩසිට තිබේ. වීදාගම මෛත්‍රීය හිමිගේ ගෝලයකු ලෙස සිටි තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ සංස්කෘත, ප්‍රාකෘත, මාගධි, පෛසාමි, සෞරසේනි, අපභ්‍රංස යන භාෂා හයෙහි කෙළ පැමිණි උගතෙක් වූහ. එබැවින් උන්වහන්සේ ෂඩ් භාෂා පරමේශ්වර නමින් හැඳින්විණි. කාව්‍යකරණයේ ද විශිෂ්ට වූ රාහුල හිමියෝ තොටගමු විහාරයේ විහාරාධිපතිත්වය දැරෑ අතර, විජයබා පිරිවෙනේ පරිවේණාධිපති ධූරය දැරූහ. තොටගමුවේ ශ්‍රී රාහුල හිමි 1408 වසරේ උපත ලබා වර්ෂ 83ක් ආයු වළඳා, 1491 වර්ෂයේ දී අපවත් වී වදාළ බව පැවසේ. එම හිමියන් අපවත් වීමෙන් පසු දේහය පෘතුගීසීන් ගෝවට ගෙන ගිය බවත්, සිද්ධාලෝක රසය නම් ඖෂධය පානය කර ඇති නිසා උන්වහන්සේගේ දේහය අදටත් නොදිරා තිබෙන බවත් පැවසේ. ක්‍රි.ව. 1588දී පෘතුගීසිහු විහාරය විනාශ කරති. විනාශ වූවාට පසු ශතවර්ෂ දෙකක් යනතුරැ තොටගමු විහාර භූමිය වල් බිහිවී පැවතුණි. පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයන් සමඟ මෙහෙයවූ ආගමික පුනරැදය නිසා තොටගමු විහාරය දෙසට යළිත් අවධානය යොමු විය. පල්ලත්තර පුඤ්ඤසාර නාහිමි 1765දී පමණ පුරාණ විහාරයක් මෙහි පවතින බව දැනගෙන වැඩමකර, විහාරයක් ඉදිකර වැඩවාසය කළ බව සඳහන් වේ. ක්‍රි.ව. 1780දී එවකට ගරාවැටී තිබූ දාගැබ ද අලුතින් විශාල කර බඳවා ඇත.
තොටගමු රජමහා විහාරස්ථානයේ විහාර මන්දිර දෙකකි. ඒවා දකුණේ බෞද්ධ දානපතියන් එක්වී ඉදිකරවා තිබේ. ඉන් පළමුවැන්න ඉදිකොට ඇත්තේ 1779 වසරේදීය. ඒ මුහුදුබඩ පළාත් ඕලන්දයන් පාලනය කළ කාලයේය. පැරණි විහාර මන්දිරය මේ වනවිට ජරාවාස වෙමින් පවතී. මෙහි නිර්මිත බුද්ධ ප්‍රතිමාවල වර්ණ වියැකී යමින් පවතී.
විශාල විහාර මන්දිරයක් වූ දෙවැන්න 1805 වසරේ දී ඉදිකර තිබේ. මේවායේ මහනුවර සම්ප්‍රදායට අයත් බිතුසිතුවම් හා ප්‍රතිමා දැකගත හැකිය.
ඊට අමතරව නාථ දේවාලය, විෂ්ණු දේවාලය, ධර්මශාලාව, පොහොය ගෙය, ඝණ්ටාර කුලුන, ආවාස ගෘහ දෙකක් ද ඉදිවී ඇත. පැරණි පිළිම ගෘහයෙහි වෙස්සන්තර ජාතකය, දහම්සොඬ ජාතකය, සස ජාතකය සිතුවමට නගා තිබේ.
අක්ෂර සහිත ගල් කුලුනු හැරෙන්නට විහාර මළුව මැද තබා තිබෙන ගලින් සැකසූ විශාල මල් ආසනය ද, පැරණි දොර උළුවස්ස ද, තැනින් තැන ඇති කැටයම් සහිත ගල් කුලුනු ද විහාර භූමියේ ඓතිහාසිකත්වය අපට පැහැදිලි කරවයි. විහාර මළුවට උතුරැ දිසාවට පිහිටා ඇති තෙමහල් ප්‍රාසාදයක්ව පැවති විජයබා පිරිවෙනේ කළුගල් පාදම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මතුකරගෙන ඇති අතර ඒ අවට තවත් පෞරාණික ස්ථාන හා භාණ්ඩ රාශියක් පුරාවිද්‍යා කැණීම්වලින් හමුවී තිබේ.
මීට අමතරව හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් පැවිදි වූ පොහොය ගෙය සහ පුරාණ ධර්මශාලාව ද වැදගත් ගොඩනැගිලි වශයෙන් සැලකිය හැකිය.
කුසුම්සිරි