
මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ගඳ ගසන ඕජස් ගලන වණයක් වී ඇත්තේ නවක වදය බව ඔබ අප කවුරුත් දන්නා දෙයකි. නවක වදය විශ්වවිද්‍යාලය තුළ ආදරණීය සැමරුමක උප සංස්කෘතියක් වුවත් ඉන් ඔබ්බට ගොස් මරණය ළඟාකරදීම තෙක් මෙය අද වනවිට දිග්ගැස්සී ඇත. මේ නිසා ඉතිහාසයේ සිට අද වනතෙක් බැලූ කල නවක වදය නිසා ජීවිතය හැර ගියෝද, පූර්ණ ආබාධිත වූවෝද, අධ්‍යාපනය අත්හැරියෝද බොහෝ වෙති. නවක වදය යන ක්‍රියාදාමය පළමුවරට ජන සංස්කෘතියට ඇතුළු වූයේ පළමු ලෝක යුද්ධයෙන් පසුව බව ඉතිහාස වාර්තා පෙන්වා දෙයි. පළමු ලෝක යුද්ධයට එක්වූ නවක තරුණයන් පිළිගැනීම සඳහා භාවිත කළ ක්‍රමවේදයක් ලෙස නවක වදය යොදාගත් බව සඳහන් වේ.
කෙසේ වෙතත් යුද්ධය අවසන් වීමෙන් පසුව එම තරුණයන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුළු වීමත් සමඟ සිය යුද හමුදාවේ අත්දැකීම් නවක සිසුන් පිළිගැනීම සඳහාද යොදාගත් නිසා නවක වදය ආරම්භ වූ බව ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් එදා මෙය සෞම්‍ය මුහුණුවරක් ගත් බවද සඳහන්ය.
කෙසේ වෙතත් ලංකා ඉතිහාසය තුළ පළමු නවක වදය ලෙස සටහන් වන්නේ 1974 දී කැලණිය විශ්වවිද්‍යාලය තුළ සිදුවීමක්ය. සිරිමාවෝ මැතිනියගේ රජය විසින් වී.ඩබ්. කුලරත්න කොමිසම මේ සිද්ධිය ගැන සොයාබැලීම සඳහා පත්කළ බවද සඳහන් වේ. උපාධි අපේක්ෂකයන් දොළොස් දෙනෙකුටත් විශ්වවිද්‍යාල නිලධාරීන් හතර දෙනෙකුටත් මේ සිද්ධිය නිසා ගෙදර යාමට සිදුවිය.
නවක වදය ඉතා දරුණු ලෙස කායික පීඩාවක් බවට පත්වී ඇත්තේ 1975 වසරේදීය. එවකට සුප්‍රකට සිදුවීමක් වූ රූපා රත්නසීලිගේ සිදුවීම විශ්වවිද්‍යාල පද්ධතියට එල්ල වූ විශාල කළු පැල්ලමක් විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී නවක වදය මුවාවෙන් දුන් කායික පීඩාවන් නිසා අවසානයේ ඇය රාමනාදන් ශාලාවෙන් බිමට පැන්නාය. මේ නිසා ඈ පූර්ණකාලීනව ආබාධිත වූ අතර අවසානයේදී ඇතිවූ සිත්තැවුල හේතුවෙන් වසර 22කට පසු 1997 වසරේදී සියදිවි නසාගත්තාය. කෙසේ වෙතත් ඒ අතර කාලය තුළ 1993 වසරේදී රුහුණ විශ්වවිද්‍යාලය තුළ මරණයකුත්, 1997 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ මරණයකුත්, එම වසරේදීම රුහුණ විශ්වවිද්‍යාලය තුළ හා අම්පාර තාක්ෂණික ආයතනයේදී මරණයකුත් සිදුවිය. මේ සෑම සිද්ධියක්ම නවක වදය නිසා ඇතිවූ මානසික කඩාවැටීම මත සිදුවූ සියදිවි නසාගැනීම් විය.
නවක වදයේ දරුණු බව 2002 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමන්ත විතානගේ ඝාතනයත් සමඟ ලොවට විවර විය. පරිගණකයක විශාල මොනිටරයකින් හිසට ගසා සමන්තව ඝාතනය කළේ ඉහත කී ගඳ ගසන, ඕජස් ගලන නවකවදයට පිටුපෑ නිසාය.
කෙසේ වෙතත් මේ නවක වදය සම්බන්ධයෙන් වූ දරුණු බව නිසාම බොහෝ දෙනා විශ්වවිද්‍යාල පද්ධතිය අතහැරියේය. ඇතැම්හු සරසවි සිහිනය හිතාමතාම බොඳ කරගත්හ. මේ නිසා විශ්වවිද්‍යාල දිනෙන් දින පිරිහෙන තැනට පත්විය. කෙසේ වෙතත් වර්තමානය වනවිට සරසවිය තුළ නවක වදය සම්පූර්ණයෙන්ම නීති විරෝධී කටයුත්තක් බවට පත් වී ඇත. එපමණක් නොව ඒ සඳහා විශ්වවිද්‍යාල මට්ටමින් විනය ක්‍රියාමාර්ග ගැනීමටත් ඉන් ඔබ්බට ගොස් රටේ නීතිය යටතේ දඬුවම් කිරීම දක්වාත් අද වනවිට ඊට නීතිය ක්‍රියාත්මක වී ඇත. සැබවින්ම එය ශිෂ්‍යන්ට ලැබුණු ජීවිතය පිළිබඳ හොඳම සහතිකය විය. කෙසේ වෙතත් ඒ සහතිකය පසුගියදා පළුදු වී ගියේය. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පිරිසක් විසින් සිදුකළ සිද්ධියක් නිසාය. මේ නිසා නවක වදය නැවත කරළියට පැමිණියේය.
2016 දෙසැම්බර් මාසයේ අවසාන දිනෙක තරුණයන් තිදෙනකු මෙගොඩ කළුගමුවේ නිෙවසක් සොයාගෙන ආහ. ඔවුන් එම නිෙවසට පැමිණ එහි හිමිකරු හමුවේ පවසා සිටියේ තමන් රුකියාවක් කරන නිසා ඉන්න තැනක් අවශ්‍ය බවය. ගලහ සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ සුළු සේවකයකු ලෙස රැකියාව කරන නිෙවසේ හිමිකරු පැමිණි තරුණයන්ගේ ඉල්ලීමට එකඟ විය. ඒ ඔවුන් ගන්නෝරුවේ සැලසුම් ශිල්පීන් ලෙස රැකියාව කරන බව කියූ නිසාය.
ඒ අනුව ප්‍රථමයෙන් එම නිෙවස මාස තුනකට ලබා ගත්තේය. ගනුදෙනුව ආරම්භයේදී විශාල ගණනක් කීවත් අවසානයේ මාසික කුලිය රුපියල් 10,000කට අඩුකර ගත්තේ තරුණයන්ගේ ඉල්ලීම නිසාය. ගනුදෙනුව නිමවූයේ මාස තුනකට රුපියල් තිස් දහසක මුදලක් ලබාදෙමිනි. ඒ පසුගිය ජනවාරි දෙවැනිදාය.
ගනුදෙනුවට තරුණයන් තිදෙනකු පැමිණියත් දිනෙන් දින එම ස්ථානයට ආව ගිය පිරිස දහයක් පහළොවක් විය. සැමවිටම එම නිෙවස පිරිමි ළමුන්ගෙන් පිරී තිබුණි. නොයෙකුත් ශබ්ද පිටතට ඇසුනත් ඔවුන්ගේ කොක් හඬලා සිනාසීම් නිසා එය යටපත් වී ගියේය.
කෙසේ වෙතත් මේ අතරතුර පසුගිය වසරේ පටන් පේරාදෙණිය කෘෂි අධ්‍යයන අංශයේ ප්‍රධානීන්ට ලැබුණු තොරතුරු එතරම් සුබදායක වුණේ නැත. එම අංශයේ ප්‍රධානීන් කෙසේ හෝ සරසවිය තුළ නවක වදය නවතා තිබුණත් රහසිගතව පිරිසක් විසින් එය සිදුකරගෙන යන බවට කණින් කොනින් වාර්තා වී තිබුණේය. මේ පිළිබඳව ඇතැම් අවස්ථාවල නවක සිසුන් කැඳවා විමසුවත් ඔවුන් වචනයක්වත් කීවේද නැත. එහෙත් ඇතැම් සිසුන්ගේ කටින් හෙළිවුණු තොරතුරැවලට අනුව නවක වදය විශාල වශයෙන් ක්‍රියාත්මක වෙමින් තිබෙනා බව ඔවුන්ට දැනුණි. එහෙත් ඒ සරසවිය තුළ නොවේ. ඒ නිසා සාක්ෂිද තිබුණේ නැත.
කෙසේ වෙතත් පේරාදෙණිය සරසවියේ විනය පාලක ආචාර්ය ගාමිණී හිටිනායක මහතා නිතර අවදියෙන් සිටියේ කුමක් හෝ තොරතුරක් සොයාගැනීමේ අරමුණෙනි. මේ අතර දිනක ඔහුට අපූරු තොරතුරක් ලැබුණේය. ඒ නවක සිසුන් සරසවියෙන් බාහිරට රැගෙන ගොස් නවක වදය සිදුකරන බවය. එසේම ඒ සඳහා නිෙවසක් භාවිත කරන බවද ඔහුට දැනගැනීමට හැකි විය. එහෙත් ස්ථානය කොහේදැයි තොරතුරැ ලැබුණේ නැත. මේ නිසා ඔහු නිතර අවධානයෙන් සිටියේ නවක සිසුන් යන එන ගමන් ගැනය.

දිනය පසුගිය 19 වැනිදාය. එදා ඉරිදා දිනයක් විය. එදින කෘෂි පීඨයේ දෙවැනි වසරේ සිසුන් විසින් පළමු වසරේ ශිෂ්‍ය කණ්ඩායමක් අමතා දුරකතනය ඔස්සේ තර්ජනය කරන ලදි. ඔවුන් පවසා සිටියේ කෙසේ හෝ දළදා මාළිගය අසලට පැමිණෙන ලෙසය. මේ බව අවධානයෙන් සිටි ආචාර්යවරැන්ටද දැනගන්නට හැකිවිය. ඒ නිසා ඔවුහු පළමු වසරේ සිසුන් යන්නේ කොහේදැයි සෙවීමට සූදානම් වූහ. ඒ අනුව එම සිසුන් පසුපස ඔවුහු ගියහ.
ජ්‍යෙෂ්ඨ සිසුවන් පළමු වසරේ සිසුන්ට ඇමතුම් ලබාදෙමින් නැවත කියා සිටියේ ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ වෙත පැමිණෙන ලෙසයි. ඒ අනුව එම සිසුහු එතැනට ගියහ. නැවත ඇමතුමක් දී පැවසුවේ ගලහ වටරවුම අසලට පැමිණෙන ලෙසයි. ජ්‍යෙෂ්ඨයන්ගේ වචනයට පිටින් යා නොහැකි නිසා ඔවූහු කියන කියන තැනට ගියෝය. අවසානයේ ගලහ හන්දිය අසලට යතුරැපැදියකින් පුද්ගලයන් දෙදෙනෙක් ආවේය. ඔවුන් මුහුණ ආවරණය කරගෙන සිටි අතර පසුව ඔවුන් දෙදෙනා විසින් ශිෂ්‍යයන් දෙදෙනා බැගින් අඳාළ ස්ථානය වෙත රැගෙන යන ලදි.
එසේ රුගෙන ගියේ රුපියල් 10,000කට මාසික කුලිය ලබාගත් ඉහත කී පාළු නිෙවස වෙතය. එසේ රැගෙන ගිය සිසුන් සංඛ්‍යාව අටක් විය. ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් 15 දෙනකු සිටියහ. ඔවුහු නවක ශිෂ්‍යයන් කාමරයකට දමා ඇඳුම් ගලවා නවක වදය දීමට පටන් ගත්හ. මේ සෑම සිද්ධියක්ම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු සහ ආරක්ෂක අංශයේ නිලධාරීන් හොර රහසේ බලා සිටියහ. එපමණක් නොව ඒ සිද්ධීන් වීඩියෝගත කළේ සාක්ෂියක් ලෙසිනි.
කෙසේ වෙතත් අවසානයේ එම සිසුන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ඒ ඊට පසුදින (20)ය. 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනයන්හි නවක වදය පනතට අදාළව ඔවුන්ට චෝදනා ගොනුකර තිබුණි. විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයන් ඇප ඉල්ලා සිටියත් ඔවුන්ට ඇප හිමිවුණේ නැත. එයට හේතුවූයේ නවකවද පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබාදිය නොහැකි නිසාය. මේ නිසා සැකකරුවන් මාර්තු දෙවැනිදා තෙක් බන්ධනාගාර ගත කෙරිණි. එසේම නවක වදයට ගොදුරු වූ සිසුන් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කළේය. එහෙත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ වරදක් නොමැති බව වෛද්‍යවරු සහතික කළහ.
කෙසේ වෙතත් අවසානයේ සැකකාර සිසුන් 15 දෙනාට පන්ති තහනමක්ද විශ්ව විද්‍යාලය මගින් පනවනු ලැබුවේය. අහිංසක මවුපියන්ගේ මුදල් වැයකර ඉගෙන ගැනීමට පැමිණි ඔවුන්ට අවසානයේ බන්ධනාගාර ගතවීමට සිදුවූයේ තවත් එහෙම අහිංසක මවුපියවරුන්ගේ අනාගත සිහින බොඳ කරන්නට ගිය නිසාය. යම් හෙයකින් මෙය අනාවරණය නොවුණේ නම් තව තවත් මේ වධකාගාරය තුළ සිසුන් විලාප දෙනු ඇත. ඇතැම් විට ඉන් නොනැවතී අවසන් හුස්ම හෙළන්නටද නවක සිසුන්ට සිදුවනු ඇත.
ගයාන් ගාල්ලගේ / ජේ.ඒ.එල්. ජයසිංහ