2019 මැයි 04 වන සෙනසුරාදා

දේශපාලනඥයන් මාට්ටුවූ කඩු-පිහි වැටලීම

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 361

ඉස්ලාම් ආගමික අන්තවාදීන් විසින් සිදුකළ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව උද්ගත වූ අර්බුදය ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් ඇතිකර තිබේ. රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ දිවයින පුරාම ක්‍රියාත්මකය. සෝදිසි කිරීමේ මෙහෙයුම්, හදිසි වැටලීම් හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම නිතිපතා සිදුකෙරේ. ඒ අතර පුපුරණ ද්‍රව්‍ය, ගිනිඅවි, කඩු කිණිසි වැනි තියුණු ආයුධ, ආරක්ෂක අංශවලට සමාන නිලඇඳුම් හා ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ඡායාරූප, වීඩියෝ, දැන්වීම් හා අත්පත්‍රිකා සමඟ විශාල පිරිසක් කොටුවෙමින් සිටිති.

මොවුන් අතර ප්‍රධාන පෙළේ මුස්ලිම් ජාතික අමාත්‍යවරයකුගේ ලේකම්වරයකු බව කියන ඔහුගේම සොහොයුරකු, කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක්, මීගමුව නියෝජ්‍ය නගරාධිපති, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ සොහොයුරකු මෙන්ම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙක් ද, සමස්ත ලංකා මහජන කොංග්‍රස් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු රාශියක් ද වෙති.

ආරක්ෂක අංශ විසින් සිදුකරන ඒකාබද්ධ මෙහෙයුම් අතරතුර කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූවන් නැවත පදිංචි කිරීම හා සමූපකාර සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා හමුදා ඒකාබද්ධ මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් (25) බ්‍රහස්පතින්දා පස්වරුවේදීය. එදින සවස කැබ් රථයක් මන්නාරම ප්‍රදේශයේ මුරපොළක් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී සැකපිට සිදුකළ සෝදිසියකදී එම රථය අදාළ අමාත්‍යාංශයට අයත් බවත් ඇමැති නොමැතිව ගමන් ගත් රථය පරීක්ෂාවේදී එහි රැඳී සිට තිබුණේ අමාත්‍යවරයාගේ සහෝදරයා බවත් ඔහු ඇමැති ලේකම් වශයෙන් කටයුතු කරන බවද හෙළි වී තිබිණි.

ඇමැතිවරයා රහිතව සැක සිතෙන පරිදි ධාවනය වූ රථය සෝදිසි කළ පසුව එම මුරපොළේ පොලිස් නිලධාරීන්ට රථය හා සැකකරු බාරදීමෙන් පසු ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයාගේ සොහොයුරා හා කැබ් රථය මුදාහළ බව මන්නාරම පොලීසිය සඳහන් කළේය. 

එමෙන්ම රිෂාඩ් බදියුදීන් මහතාගේ තවත් ලේකම්වරයකු යුද හමුදාව විසින් මන්නාරම ඉරුක්කුලම් පිඩ්ඩි ප්‍රදේශයේ දී බෝම්බ පිපිරවීමට යොදාගන්නා ඩෙටනේටර් දහයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම සැකකරු පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා සිටියේ කුමකටද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. මොහු සබඳතා පැවැත්වූ පුද්ගලයන් අතරින් පිරිසක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර වෙඩිතලතිව් ග්‍රාමීය බැංකු කළමනාකරුවකු සහ ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් ද සිටිති. අත්අඩංගුවට පත් සැකකාර ලේකම්වරයා සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු බවට ද වාර්තා විය. මේ පිරිස අත්අඩංගුවට පත්ව තිබුණේ ඉකුත් 29 වැනිදාය.

ආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් අතරතුරදී පසුගිය 26 වැනිදා කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් දේවස්ථානයක තිබී තියුණු කඩු 47ක් සොයාගනු ලැබීය. මේවා පල්ලියේ ප්‍රධාන පූජකවරයාගේ නිදන කාමරයේ ඇඳ යට තිබියදී සොයාගෙන තිබුණි. ඒ අතර තිබී පුපුරණ ද්‍රව්‍ය රහිත මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ද හමුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පූජකවරයා අත්අඩංගුවට ගත් පසුව ලැබුණු තොරතුරු අනුව කොළඹ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී නූර්දීන් මොහොමඩ් තාජුඩීන් සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතී.

මීගමුව පොලීසියට ලද තොරතුරක් අනුව මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කර තිබුණේ පසුගිය 27 වැනිදාය. එහිදී කඩු, පිහි, කිණිසි ඇතුළු තියුණු ආයුධ සමඟ ජංගම දුරකතන බැටරි 37ක් හමුවී ඇත. භාණ්ඩ තොගය සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීගමුව නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් අන්සාර් සෙයිනුල් ෆරීස් නැමැත්තාය. ඉකුත් 27 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

එදිනම සිදුකළ තවත් සෝදිසි මෙහෙයුමකදී කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හාජා මොහිදින් අලි උසුමාන් සමඟ ඔහුගේ සොහොයුරා තියුණු ආයුධ, යුද හමුදා සටන් ඇතුළත් සී.ඩී. තැටි කිහිපයක් සමඟ අත්අඩංගුවට පත් වූහ.

සැකකරුවන් දෙදෙනා සමඟ කඩු, මන්නා පිහි, වීඩියෝ තැටි, ජංගම දුරකතන, මෙමරි කාඩ් හා පරිගණක කොටස් කිහිපයක් ද අත්අඩංගුවට ගැනිණ. මොවුන් දෙදෙනා තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බවට තහවුරැ කර ගැනිණ. ආරක්ෂක අංශ විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී නාවල පල්ලිය පටුමග ප්‍රදේශයේ පිහිටි නාගරික මන්ත්‍රීවරයාගේ සහෝදරයාගේ නිවෙසේ තිබී මේ උපකරණ සොයාගෙන තිබුණි. සිදුවෙමින් පැවති මෙහෙයුම අතරතුර ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරු අනුව සිදුකළ විමර්ශනයේ දී නාගරික මන්ත්‍රීවරයාගේ නිවස සෝදිසි කර හමුදා සටන් වීඩියෝ අඩංගු තැටි අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී පාර්ලිමේන්තුව, නගර සභාව හා ප්‍රාදේශීය සභා නියෝජනය කරන මුස්ලිම් ජාතික ඇමැතිවරුන්ගේ හිතවතුන් හා මන්ත්‍රීවරැන් මෙන්ම ඔවුන්ගේ හිතවතුන් මෙසේ අවි ආයුධ සමඟ කොටුවීම බරපතළ ගැටලුවකි. මොවුන්ගේ නිදහසට කාරණා කුමක් වුවද තත්ත්වය අනාගත රටේ ආරක්ෂාව පිළිබඳ බරපතළ අර්බුදයක් නිර්මාණය කිරීමකි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර