පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල වී හරියටම අදට සති දෙකකි. මේ වනවිට මේ සිද්ධිදාමයට සම්බන්ධ පිරිස හඳුනාගෙන ඇති අතර ඉන් පිරිසක් ස්වයං ඝාතනය කරගෙන අවසන්ය. තවත් පිරිසක් මේ වනවිට සිටින්නේ පොලිස් අත්අඩංගුවේය. එසේ අත්අඩංගුවට ගත් අය නිසා සිදුවීමට ගිය තවත් පිපිරැම් මාලාවක තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත හැකිවිය. මේ නිසා ඒ ආසන්නයේම අනතුරු අඟවා තිබූ දෙවන ප්‍රහාරයක අවදානම තරමක් මැකී ගියේය. එහෙත් එය ත්‍රස්තවාදී අවදානමක නිමාව නොවීය.
පාස්කු ප්‍රහාරයේ පිරිස හඳුනා ගනී
අප්‍රේල් 21 වැනිදා ස්ථාන 8කදී එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයට ආ පිරිස ගැන විවිධ හඳුනාගැනීම් තිබුණත් ඔවුන් ඇත්තටම කවුරුන්ද යන්න රටේ ජනතාව දැන සිටියේ නැත. එහෙත් ඒ සියල්ලන්ගේම තොරතුරු පසුගියදා පොලීසිය විසින් හෙළි කෙරිණි. ඒ අනුව ජාතික තව්හිත් ජමාද් සංවිධානයේ නායකයා ලෙස පැවසෙන මොහොමඩ් කාසිම්, මොහොමඩ් සහ්රාන් සහ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන අය කොළඹ ෂැංග්‍රිලා හෝටල් ප්‍රහාරයට සම්බන්ධව ඇත. එසේම කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට සම්බන්ධ වී ඇත්තේ ඉල්හාම්ගේ සොහොයුරා වන මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෂාෆ් අහමඩ් යන අයයි. මේ වනවිට ඊබ්‍රහිම් දෙදෙනාගේ පියා වන ප්‍රසිද්ධ ගම්මිරිස් ව්‍යාපාරික මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රහිම් සහ ඊබ්‍රහිම් දෙදෙනාගේ අනෙක් සහෝදරයන් දෙදෙනා රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. එසේම ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ ද මේ වනවිට සිටින්නේ රහස් පොලීසියේය. මේ අතර කොළඹ කිංග්ස්බරි හෝටලය සඳහා ප්‍රහාරය එල්ල කර ඇත්තේ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් යන අයයි. මේ වනවිට ඔහුගේ බිරිඳද ඇත්තේ පොලීස් අත්අඩංගුවේය.
එසේම කටුවාපිටිය දේවස්ථානය සඳහා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයට පැමිණ ඇත්තේ අච්චි මොහොම්මදු මොහොම්මදු හස්තුන් යන අයයි. කොච්චිකඩේ දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළේ අලව්ඩීන් අහමඩ් මුවාත් විසින්ය. මේ වනවිට ඔහුගේ සොහොයුරා සිටින්නේද පොලිස් භාරයේය. මේ අතර මඩකලපුව සියෝන් දේවස්ථානයට ප්‍රහාරය එල්ලකර ඇත්තේ මොහොඩ් නසාර් මොහොමඩ් අසාද් යන අය විසිනි. දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේදී ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා වන්නේ අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් යන අයයි. මේ වනවිට ඔහුගේ බිරිඳ සහ සහෝදරයන් දෙදෙනා ද ඉන්නේ පොලිස් භාරයේය.
මේ ප්‍රහාර සියල්ල අවසානයේ දෙමටගොඩ මහවිල පාරේ ඊබ්‍රාහිම්ගේ නිවසේදී බෝම්බයක් පුපුරවාගෙන මාස අටක දරු ගැබක් සහිත කාන්තාවක් මියගිය අතර ඇය ෂැංග්‍රිලා බෝම්බයට සම්බන්ධ මොහොමඩ් ඊබ්‍රහිම් අල්හාම් අහමඩ් යන අයගේ බිරිඳ බව තහවුරු වී ඇත. මෙලෙස ඔවුන්ගේ අනන්‍යතාවය තව තවත් තහවුරු කිරීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණ ද මේ වනවිට සිදුවෙමින් පවතී. එසේම මේ පිරිසගේ දේපළ පරීක්ෂා කරන අතර එම දේපළද රාජසන්තක කිරීම සඳහා තීරණය කර ඇත.
සමන්තුරේ අයි.එස්. ගබඩාව
මේ ප්‍රහාරයත් සමඟ එතෙක් අඩපණව තිබූ ආරක්ෂක අංශ සීරුවෙන් සිය මෙහෙයුම් දියත් කරගෙන ගියේ මීට අදාළ තව අයි.එස්. සාමාජිකයන් රට පුරා විහිදී ඇති බවට ලද තොරතුරු මතය. ඒ වනවිටත් අයි.එස්. සාමාජිකයන් 70ක් අත්අඩංගුවට ගෙන සිටි අතර තවත් 70කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් වෙමින් තිබුණේය. මේ අතර ආරක්ෂක අංශ විසින් පුද්ගලයන් 06 දෙනෙකුගේ ඡායාරූප ද නිකුත් කර තිබුණේ ඔවුන් සම්බන්ධයෙන් මහජන සහය පතමිනි.
මේ සියල්ල මැද මීගමුව ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටි පොලිස් බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමකට තොරතුරක් ලැබුණේය. ඒ සමන්තුරේ ප්‍රදේශයේ නිවසක අයි.එස්. ගබඩාවක් පවත්වාගෙන යන බවය. ඒ අනුව එදිනම සවස විශේෂ කාර්ය බළකායත්, යුද හමුදාවත් එක්ව සමන්තුරේ එම නිවස පරීක්ෂා කළෝය. එහිදී එම නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය රැසක් සහ මරාගෙන මැරෙන බෝම්බ සකසන ද්‍රව්‍ය (යකඩ බෝල ලක්ෂයක් ඇතුළු) රැසක් සොයා ගැනීමට හැකිව ඇත. මෙහිදී තවත් එක් සාක්ෂියක් සොයාගැනීමට හැකිවිය. එනම් මරාගෙන මැරෙන පිරිස මෙහෙයුමට පෙර සකස් කරන ලද වීඩියෝවේ පසුතලයේ තිර රෙද්ද සොයා ගැනීමය. එය අයි.එස්. සංවිධානයේ සලකුණු අයත් තිර රෙද්දක් විය. එසේම එදින ඝාතකයන් ඇඳ සිටින ඇඳුමට සමාන ඇඳුම් ඇතුළු භාණ්ඩ රැසක් සොයාගත හැකිවිය. මෙම මෙහෙයුම සිදුකරන විටත් එම නිවෙසින් සහ ප්‍රදේශයෙන් ත්‍රස්තවාදීන් පලාගොස් තිබිණි. ඒ ඔවුන්ගේ වෑන්රථ පවා අත්හැර දමාය.
සයින්දමරුදු පොලිස් නිලධාරියාට මුස්ලිම් ජනතාවගෙන් ඔත්තුවක්
සයින්දමර්දු ප්‍රදේශයේ සුනාමි ගම්මානයක නාඳුනන පිරිසක් පදිංවි සිටින බව එම ප්‍රදේශයේ ජනතාවට දැනගන්නට ලැබිණ. පසුව ජනතාව ඒ ගැන සොයාබලන්නට එම නිවස ආසන්නයට ගොස් ඇති අතර එහි සිටි අයෙකු පවසා ඇත්තේ තමන් වෙඩි තැබීමට සූදානම් වන බවත් ඒ නිසා ඉවත් වී යන ලෙසත්ය.
පසුව එම මුස්ලිම් ජනතාව ඒ බව සිය පල්ලියට දැන්වූ අතර පල්ලිය හරහා පාරේ රථවාහන රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියකුට මෙම තොරතුර ලැබුණේය. එම තොරතුර ඔහු හැකි ඉක්මනින් ඉහළට දැන්වූ අතර එම ප්‍රදේශයට රාත්‍රියේම යුධ හමුදාව සහ විශේෂ කාර්ය බළකා සෙබලුන් පැමිණ එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් පටන් ගනු ලැබීය. මෙහෙයුම ආරම්භ කර වැඩිවේලා ගියේ නැත. එකී සැකකරුවන් රැඳි නිවසෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයත් සමඟ ආරක්ෂක අංශද ප්‍රති ප්‍රහාර එල්ල කළ අතර ඒ සැණෙකින් මහා පිපිරුමක ශබ්දයක් නිවස තුළින් ඇසිණි.
ඉන් නොනැවතුණු ත්‍රස්තයෝ එළියට පැමිණ එකදිගට වෙඩි තැබීම් සිදුකළහ. මේ අතර නැවත ළඟ ළඟ බෝම්බ දෙකක් නිවස තුළින් පිපිරී ගියේය. ඒත් සමඟ පළාතම නිහඬ වූ අතර සෝදිසි කිරීම් රාත්‍රියේම ආරම්භ විය. එහිදී උදෑසන වනවිට එම නිවසේ තුවාල ලබා සිටි කාන්තාවකුත් ඇගේ දරුවාත් සොයාගැනීමට හැකිවිය. එපමණක් නොව ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බ තුනක් පුපුරවාගෙන ඇති බවත් තහවුරු විය. පසුව එම නිවෙස පරීක්ෂා කිරීමේදී පිටත පිරිමි පුද්ගලයන් තිදෙනකුගේ මළසිරුරුද, නිවස තුළ පිරිමි පුද්ගලයන් තුනකගේත්, කාන්තාවන් තිදෙනකුගේ මළසිරුරුත් දරුවන් හයදෙනකුගේ සිරුරුත් සොයා ගැනීමට හැකිවිය.
මේ පිළිබඳව තව තවත් කළ විමර්ශනවලදී තහවුරු වුණේ නිවස තුළ මියගිය අය අතර සහ්රාන් හෂීම්ගේ සහෝදරයන් දෙදෙනා වන රිල්වාන් හෂීම් සහ සයිනි හෂීම් යන දෙදෙනාත් සහ්රාන්ගේ පියාත් මියගොස් ඇති බවය. එසේම තුවාල ලබා සොයාගත් අය අතර සහ්රාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා කාදියා සහ ඔවුන්ගේ දියණියද වූහ. එසේම මියගිය අය අතර කොච්චිකඩේ පල්ලියට බෝම්බ තැබූ අයද සිටියහ.
ත්‍රස්තවාදීන්ගෙන් වීඩියෝවක්
සයින්දමර්දු ප්‍රහාරයට පෙර සහ්රාන් හෂීම්ගේ සහෝදරයා විසින් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණේය. එහිදී සහ්රාන්ගේ සහෝදරයකු වන රිල්වාන් හෂීම් මරාගෙන මැරෙන බෝම්බ බඳ පටියක් ඉනේ බැඳගෙන ඔවුන්ගේ මේ සටන ගැන විස්තරයක් ලබාදෙනු ලබයි. එසේම අනෙක් සහෝදරයා වන සයිනිත් ඔවුන්ගේ පියාත් මෙහිදී ප්‍රකාශ ලබාදෙන අතර ඔවුන් අතර කුඩා දරුවන්ද ඔබ මොබ සැරිසරන අයුරු දැක ගැනීමට හැක. එහෙත් එම විඩියෝ පටයෙන් පසුව ඒ කිසිවකු ඉතිරි වන්නේ නැත.
සයින්දමරුදු ප්‍රහාරය ගැන අයි.එස්. බොරු කියයි
එම ප්‍රහාරයෙන් පසුව ඊට පසුදාම අයි.එස්. කණ්ඩායමේ නිල රූපවාහිනිය වන අමාක් නාළිකාව හරහා ප්‍රකාශ කරන්නෙ සයින්දමර්දු ප්‍රහාරය තමන්ගේ තවත් ප්‍රහාරයක් බවය. එහිදී හමුදාව සමඟ මුහුණට මුහුණ සටන් කළ බවත් ඒ නිසා හමුදා සෙබළුන් 17 දෙනෙක් මියගිය බව ඔවුහු කීහ. එහෙත් එය මෙරට ආරක්ෂක අංශ විසින් ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ කිසිදු සෙබලෙක්ට තුවාලයක් හෝ නොමැති බවය. කෙසේ වෙතත් අමාක් රූපවාහිනිය මගින් රිල්වාන් හෂීම් සහ සහ්රාන් හෂිම් එකට සිටින ඡායාරූපයක් ප්‍රසිද්ධ කළේය. ඒ සහ්රාන්ලා මුල්ම වීඩියෝව පටිගත කළ පසුතලයේ සිටය. කෙසේ වෙතත් එම ඡායාරෑපය වෙනම ගෙන ඇති අතර බුද්ධි නිලධාරීන් සැකකරන්නේ දෙවැනි ප්‍රහාරය සඳහා රිල්වාන් සූදානම්ව සිට තිබූ බවත් ඒ නිසා වෙනම ඡායාරෑපයක් ගෙන ඇති බවත්ය. එහිදී රිල්වාන් ගිනි අවියක්ද රැගෙන පෙනී සිටියි.
අබුබකාර් අල් බැග්ඩෑඩ් හදිසියේ මතුවේ
අයි.එස්. සංවිධානයේ නායකයා වන අබුබකාර් අල් බැග්ඩෑඩ් මේ සිදුවීමෙන් පසුව හදිසියේ කරළියට ආවේය. එසේ ඔහු පැමිණියේ වසර පහකින් පසුවය. මීට පෙර ඔහු 2014 වසරේදී එළියට ආ අතර ඉන් අනතුරුව සිරියාවේදී එල්ලකරන ලද ප්‍රහාරයක් හේතුවෙන් ඔහු මියගිය බව විදෙස් ඔත්තු සේවා කීය. එහෙත් ඔහු හදිසියේ මතුවී ශ්‍රී ලංකාවට එල්ල කරන ලද ප්‍රහාරය සිරියාවේ පරාජයට එල්ලකරන ලද ප්‍රතිප්‍රහාරයක් බව කීය. පුදුමය නම් එම කොටස කීවේ හඬකැවීමකින් වීමය. එහි ඔහු පෙනී සිටියේ නැත. ඒ නිසා එය බොහෝදෙනා විශ්වාස කරන්නේ තරමක් සැකයෙනි.
සෞදියේ අයි.එස්. ගිණුමට ප්‍රහාරයට පෙර සල්ලි වැටේ
පාස්කු ප්‍රහාරයට පෙර අයි.එස්. සංවිධානය මගින් ගිණුම් පවත්වාගෙන යන සෞදියේ බිට්කොයින්ස් ගිණුමට විශාල මුදලක් වැටී ඇති බව ඊශ්‍රාල් වයිට්ස්ට්‍රීම් නම් බුද්ධි සේවාව හෙළි කර ඇත. බිට්කොයින්ස් ගිණුම යනු අයි.එස්. සංවිධානයේ නිල ගිණුම බවද සඳහන් වේ.
ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක් තිබූ ගිණුම ප්‍රහාරයට පෙර එකවරම ඩොලර් මිලියන 4.5 දක්වා ඉහළ ගොස් ඇත. එහෙත් එය ප්‍රහාරය සිදුවන දිනය වනවිට නැවතත් ඩොලර් ලක්ෂ 5 දක්වා පහළ වැටී ඇත. ඒ පෙර මුදල් ප්‍රමාණයම වන අතර එය මාස 09ක සිට පවත්වාගෙන යන මුදල බව සඳහන් වේ. කෙසේ වෙතත් මේ ගැන තවත් තොරතුරු හෙළිකරන එරට බුද්ධි අංශ පවසා ඇත්තේ එම ගනුදෙනුව කැනඩාවට අයත් දූපතක පිහිටි සමාගමක් හරහා සිදුව ඇති බවය. මේ සියල්ල ඊශ්‍රායල ව්‍යාපාරික පුවත්පතක් හරහා හෙළිදරව් කර ඇත.
සයින්දමරුදු නිවසෙන් සුදු ඇඳුම් හමුවේ
අවසන් වරට මරාගෙන මැරුණු සහ්රාන්ගේ සහෝදරයන් පිරිස නැවතී සිටි නිවසේ තිබී සුදු ඇඳුම් කිහිපයක් සොයා ගැනීමට හැකිව ඇත. එම ඇඳුම් එම සිද්ධියේදී මියගිය කාන්තාවන් විසින් ගිරිඋල්ල ප්‍රදේශයේ නිමි ඇඳුම් වෙළඳ සැලකින් මිලදී ගෙන ඇත. ඒ රුපියල් 29000කය. එසේ ලබාගත් ඇඳුම්වලින් කොටසක් හමුවූ අතර ඉතිරි කොටසට සිදුවූ දෙයක් නැත. කෙසේ වෙතත් බුද්ධි තොරතුරුවලට අනුව අනාවරණය වන්නේ එම සුදු ඇඳුම් ප්‍රහාරයක් සඳහා සූදානම් කළ බවය. ඒ ඇඳුම් යොදාගෙන බෞද්ධ විහාරස්ථානයකට හෝ එම ඇඳුම් ඇඳ මියගිය අයගේ අවසන් කටයුත්තකට සහභාගි වී මරාගෙන මැරෙන්නට සූදානම් වන්නට ඇතැයි කියාය. මේ අතර තවත් ඇඳුම් කිහිපයක් තිහාරියේ සිට ප්‍රවාහනය කරන අවස්ථාවේ සොයාගැනීමට හැකිවිය. ඒවාද සුදු ඇඳුම්ය. මීට අමතරව සිවුරු රෙදිවලට සමාන රෙදි තොගයක්ද දිවයිනේ ස්ථාන කිහිපයකින් සොයාගෙන ඇත. එහෙත් මෙකී ප්‍රහරයේ සැලසුම කුමක්ද යන්න පැහැදිලි නැත.
පොලීසියෙන් ප්‍රසිද්ධ කළ හයදෙනා අඳුනාගනී
සිද්ධියෙන් පසුව හයදෙනෙකුගේ නම් ගම් ප්‍රසිද්ධ කෙරිණි. ඒ හයදෙනා අතර මාවනැල්ලේ බුදු පිළිම කැඩූ දෙදෙනා වූ අයියා මලෝද සිටියහ. ඒ මොහොමඩ් අවුහයිම් සාදික් අබ්දුල් හක් සහ මොහොමඩ් ඉවුහයිම් ෂාහිඩ් අබ්දුල් හක්ය. මොවුන් දෙදෙන පසුගිය කාලය පුරාම සෙව්වත් පොලිසියට කොටුවන්නේ මුහුණු ප්‍රසිද්ධ කිරීමත් සමඟය. අනුරාධපුරයේ සිට ගම්පොළට පැමිණි අවස්ථාවේ ඔවුහු අත්අඩංගුවට පත්වූහ. එහිදී ඔවුන් නැවතී සිටි කඩයක තිබී මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක්ද සොයා ගැනිණි.
මීට අමතරව ෆාතිමා ලතීෆා නැමති අය මාවනැල්ලේදී පොලීසියට කොටුවිය. ඇය ඉවුහයි සාදික්ගේ බිරිඳ විය. ඇයව ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර මගදමා ගොස් තිබූ අතර ඔවුන් සම්බන්ධයෙන් හෙළිකළහොත් ඝාතනය කරන බවට තර්ජනය කර තිබිණි. එහෙත් පුලස්තිනි රාජේන්ද්‍රන් සහ මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන් යන අය සයින්දමර්දු ප්‍රදේශයේ ගැටුමේදී මියගොස් සිටියහ. ඊට අමතරව අනෙක් කාන්තාව වූ සහ්රාන්ගේ බිරිඳ එදින තුවාල ලබා සිට බේරාගනු ලැබීය.
වව්නතිව් පොලිස් නිලධාරී ඝාතනයත් හෙළිවේ
වව්නතිව් ප්‍රදේශයේ මාර්ග බාධකයක ආරක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු 2018 නොවැම්බර් 30 වැනිදා කපාකොටා වෙඩි තබා ඝාතනය කර තිබිණි. ඒ සමයේ කොටි මහවිරු සැරසිලි කිහිපයක් මෙම පොලිස් නිලධාරීන් කඩා තිබූ නිසා මෙය එල්.ටී.ටී.ඊ. නැගිටීමක් බව බොහෝ දෙනා සිතුහ. එහෙත් එය වෙනස් වුණේ සහ්රාන්ගේ රියදුරු වන ආදම් ලෙබ්බේ නොහොත් ගවුෆර් මාමා අත්අඩංගුවට ගැනීමත් සමඟය.
ඔහු පවසන පරිදි මෙම ද්විත්ව ඝාතනය කර තිබුණේ සහාරාන් පිරිස විසිනි. එසේ ඝාතනය කළ එක් පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් නයිනතිව් ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් අතර අනෙක් පිස්තෝලය වනාතවිල්ලුව ප්‍රදේශයේ නිවසක ආයුධ සමඟ වළ දමා තිබූ බැරලයක තිබී සොයාගෙන ඇත. ඊට අමතරව මෙම ගිනි අවි යොදාගෙන බුදු පිළිම කැඩීම ගැන ඔත්තුව ලබාදුන් කබීර් හෂීම් අමාත්‍යවරයාගේ ලේකම්වරයාටද වෙඩි තබා තිබුණි. ඒ බව රියදුරැගේ සාක්ෂිවලින් මේ වනවිට තහවුරු වී ඇත.
සංවිධාන දෙකක් තහනම් වෙයි
මෙම ප්‍රහාරයෙන් පසුව බොහෝ දෙනෙකු ඉල්ලා සිටියේ මේ සංවිධානය තහනම් කරන ලෙස කියාය. එහෙත් ජනාධිපතිවරයා පවසා සිටියේ එලෙස එකවර තහනම් කළ නොහැකි බවය. එසේ කී ජනාධිපතිවරයා හදිසියේ පසුගිය සතියේ සිය බලතල ප්‍රකාරව ජාතික තව්හිත් ජමාද් සංවිධානයත් ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් ෆී සෙයිලාන් යන සංවිධාන දෙක තහනම් කළේය. ඒ අනුව මෙරට ඔවුන්ට ඇති නිශ්චල සහ චංචල දේපළ කිසිවක් යොදාගැනීම තහනම් කෙරිණි. එකී තහනමත් සමඟ දිවයින පුරා මෙම සංවිධානවලට අයත් ස්ථාන වටලන්නට විය. විශේෂයෙන් පූජනීය ස්ථානයන්ය. එසේ වටලන විට බොහොමයක් ස්ථානවල කඩු, කිණිසි පුපුරන ද්‍රව්‍ය අයි.එස්. පත්‍රිකා, වීඩියෝ පට ඇතුළු බොහොමයක් සොයා ගැනීමට හැකිවිය.
එසේම එම සංවිධානයේ වැඩ කළ බොහෝ දෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබූහ. මෙලෙස අත්අඩංගුවට ගත් අය අතර ජාතික තව්හීත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායකයා ද සිටියේය. ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවුණේ ඔහු සිය ජංගම දුරකථනයෙන් බෝම්බ ගැසූ ස්ථාන එම ප්‍රහාරයෙන් පසුව සුළු මොහොතකින් වීඩියෝ කර ඇති බවය. එසේම මොහු විදුලි කාර්මිකයකු වූ නිසා ඔහු මේ බෝම්බ සකසා ඇති බවය. ඒ නිසාම ඔහුව රඳවාගෙන ප්‍රශ්න කිරීම ඇරැඹිණි.
පරීක්ෂණත් සමඟ දේශපාලන නම් ගම් රැසක් එළියට
පරීක්ෂණවලට අදාළව ප්‍රදේශීය මන්ත්‍රීවරු රැසක් මෙහිදී කොටුවූහ. කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙක්, මීගමුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ආදී රැසකගේ නම් ගම් ගෑවී තිබුණි. එපමණක් නොව ප්‍රහාරයට සම්බන්ධ පිරිස නවාතැන් ගෙන තිබූ වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේ නිවසක්ද වටලනු ලැබීය. එම නිවස ප්‍රබල මුස්ලිම් දේශපාලඥයකුගේ විදේශ රටක පදිංචි සහෝදරියකගේ නිවෙසක් විය. සහ්රාන් ඇතුළු පිරිස එකතු වී ඇත්තේ එම නිවසේය. එසේම නැගෙනහිර පළාතේ දේශපාලනඥයකුගේ කාර්යාලය පරීක්ෂා කිරීමේදී ආයුධ කිහිපයක් සමඟ සේවකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්තේය. එසේම සහාරාන් රෝහල්ගතව සිටින බිරිඳ බැලීම සඳහා නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු දැඩි උත්සාහයක් ගෙන තිබිණි. ඔහු හොරෙන් පවා යන්නට උත්සාහ කළත් එය හරි ගියේ නැත. එහෙත් මෙපමණ උත්සාහයක් ගන්නේ කුමක් උදෙසාද යන්න කාටත් ගැටලුවකි.
අනතුරු ඇඟවීම් දිගටම
මෙම ප්‍රහාරයෙන් පසුව තවමත් කිසිම බලධරයකුට රට සාමකාමී කියන්නට බැරිය. ඒ රටේ තියෙන අවදානම පහව ගොස් නැති නිසාය. කාදිනල් හිමිපාණන් පවා පවසන්නේ සිද්ධිය පසුව ක්‍රියාත්මක වන ආරක්ෂාව සෑහීමකට පත්විය නොහැකි බවය. මේ අතර පසුගිය සතියේ මුල ප්‍රභුවරුන්ට පරිස්සම් වන ලෙස දන්වා ලිපියක් යවා තිබිණි. ඒ ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අනතුරැ අඟවමිනි. එහිදී දන්වා සිටියේ ත්‍රස්තයින් ආරක්ෂක අංශයේ වෙස්ගෙන ප්‍රහාරයකට සැලසුම් සකස් කරන බවය. එය තව තවත් සත්‍ය වන්නේ ඇතැම් වැටලීම්වලදී ආරක්ෂක ඇඳුම් හමුවීම නිසාය.
මේ අතර කාදිනල් හිමිපාණන් පවසා සිටියේ අද පල්ලිවල දේව මෙහෙයන් පවත්වන ලෙසය. එහෙත් 02 වනදා කාදිනල් විසින් සෑම කතෝලික ක්‍රිස්තියානි පල්ලිවලටත් පාසල්වලටත් ලිපියක් යවමින් දන්වා සිටියේ අද (05) දේව මෙහෙයන් නැවැත්වීමටත් හෙට (06) සියලුම පෞද්ගලික කතෝලික පාසල් ආරම්භ නොකරන ලෙසත්ය. ඒ අනුව ඉදිරියේ දැනුම් දෙන තෙක් සියල්ල වසා ඇත.
මේ සියල්ල අතරමැද පසුගිය සිකුරාදා වැඩබලන පොලිස්පතිවරයා විසින් ලිපියක් යොමු කර තිබුණි. ඒ කොළඹට ඇතුළු වන ගුවන් පාලම් සහ රාගම ගුවන් පාලම අසල ආරක්ෂාව තරකරන ලෙසය. ඒ ඉදිරියේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි ලැබුණු තොරතුරක් නිසාය. මේ නිසා තවමත් ආරක්ෂාව තර කරමින් දුම්රිය ස්ථාන, පාසල්, විශ්ව විද්‍යාල ඇතුළු ස්ථාන රැසක් ආරක්ෂා කරමින් පරීක්ෂා කරමින් ඇත.
සහරාන්ගේ සගයෙක් ඉන්දියාවේදී කොටුවේ
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සහ්රාන්ගේ සගයෙක් පසුගියදා කේරලයේදී අත්අඩංගුවට ලැබීය. ඒ හෝටලයක සැඟවී සිටියදීය. එසේම ඊට පෙර එරට මරාගෙන මැරෙන ප්‍රහරයකට සූදානම් වූ අයකුද අත්අඩංගුවට ගත් අතර ඔහුද සහ්රාන්ගේ අනුගාමිකයෙක් විය. ඔවුන්ගෙන් ලද තොරතුරු මත ඉන්දියාවටත් බංගලිදේශයටත් ප්‍රහාරයක් සූදානම් වන බව හෙළිවිය. ඒ නිසාම රෝ ඔත්තු සේවයෙන් මේ වනවිට අනතුරු අඟවා ඇත්තේ අයි.එස්. ප්‍රහාරයක් සූදානම් වන බවය.
කෙසේ වෙතත් මේ වනවිට රට වටා අත්අඩංගුවට ගැනීම් දීර්ඝ වශයෙන් සිදුකරනු ලබයි. පරීක්ෂා කිරීම්ද එමටය. මේ නිසාම මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් දෙකක්ද පසුගියදා සොයාගැනීමට හැකිවිය. එපමණක් නොව ලද තොරතුරු මත උතුරට ගිය වාහන 20ක් සොයා විශේෂ මෙහෙයුම්ය. සෑම තැනකම ආරක්ෂක අංශය. මේ සෑම දෙයින්ම පෙනී යන්නේ රටේ ආරක්ෂාව තවමත් ඇත්තේ අවදානමක බවය. ඒ වෙන කිසිවක් නිසා නොව තවමත් ඇතැම් සාමාජිකයන් නිදැල්ලේ සිටින බවට තොරතුරු ඇති නිසාය. මේ සඳහා ආරක්ෂක අංශ පමණක් නොව මහජනතාව ලෙස අපද තොරතුරු ලබාදිය යුතුය. එසේ වුවහොත් මේ තත්ත්වයෙන් මිදෙන්නට පුළුවන. විශේෂයෙන් ඒ වගකීම් මුස්ලිම් ජනතාව වෙත පැවරෙනු ඇත. ඔවුන් ලබාදෙන තොරතුරු කාටත් වඩා සාර්ථක තොරතුරු වන නිසාය. ඒ නිසා මේ අවස්ථාවේ ආගම්, ජාති, කුල වශයෙන් බෙදීම් ඇති නොකර සියලුදෙනාම එක්ව කටයුතු කළයුතු කාලයක් එළඹ ඇත. ඒ ඔබේත් මගේත් වගකීම නිසිලෙස ඉටුකිරීම හරහාය.
► ගයාන් ගාල්ලගේ