2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

ජාතික ආරක්ෂාව රහසක්!

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 578

මෙම විශේෂ ආරක්ෂක විග්‍රහය ඉදිරිපත් කරන්නේ මෙරට සිටින ප්‍රවීණතම හා ජ්‍යෙෂ්ඨතම ආරක්ෂක අංශ ප්‍රධානියෙකි. පසුගිය කොටි යුද සමයේ මෙරට ජාතික ආරක්ෂාවේ මහ විශාල බරක් කරට ගෙන බුද්ධි අංශ මෙහෙයුම් සැලසුම් කිරීමේදී හෙතෙම සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැනත් වත්මන් ජාතික ආරක්ෂක තත්ත්වය ගැනත් ඔහු දැක්වූ විචාරාත්මක අදහස් ඇසුරින් මෙම සටහන සැකසුණි.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය විශේෂ හේතු ගණනාවක් නිසා ගැඹුරින් විග්‍රහ කළ යුතුය. මීට පෙර අප අත්දුටුවේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයයි. මෙවර ඉතිහාසයේ පළමු වතාවට මුස්ලිම් ත්‍රස්තවාදයක් හිස ඔසවා තිබේ. මේ ත්‍රස්ත කණ්ඩායමට අයි.එස්.අයි.එස්. සබඳතා තිබී ඇතැයි ද වාර්තා වී ඇත්තේ ප්‍රහාරයේ වගකීම ඔවුන් බාරගැනීම නිසාය.
පවතින අවදානම හමුවේ රාජ්‍ය බුද්ධි අංශ වඩාත් කැපවීමෙන් පරීක්ෂාවෙන් කටයුතු කළ යුතුය. එහෙත් මෙකී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳව කලින් අනතුරු අඟවා තිබියදී එම ප්‍රහාරය වළක්වාලීම සඳහා ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් සමත්ව තිබුණේ නැත.

වාර්තා කළ බුද්ධි අංශ තොරතුරු තිබියදී ගත යුතු ආරක්ෂක පියවර නිසි වෙලාවට නොගැනීම නිසා ප්‍රහාරයේ බරපතළකම උග්‍ර වී තිබේ. ආණ්ඩුවේ ඇතැම් ප්‍රබල දේශපාලනඥයන් ප්‍රහාරය පිළිබඳව කලින් තොරතුරු දැන නොසිටි බව කීවද එක් අමාත්‍යවරයකු කියා තිබුණේ එල්ලවන ප්‍රහාරය පිළිබඳව සිය පියා විසින් තමා දැනුම්වත් කළ බවකි. එවැනි පසුබිමක එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අහිංසක මිනිස් ජීවිත 350කට අධික ප්‍රමාණයක් විනාශ වී තවත් 500කට අධික පිරිසක් තුවාල ලබා සිටිති. 

එහෙත් තවමත් තත්ත්වය පාලනයක් නැත. විටින් විට වාර්තා වන්නේ ප්‍රහාරයන් සඳහා පවතින සූදානම පිළිබඳවය. බරපතළ අර්බුදය මර්දනය කරමින් සමතයකට පත් කිරීම සඳහා ක්‍රමවේදයක් දකින්නට නැත. විවිධ ප්‍රදේශවලින් ත්‍රස්ත කණ්ඩායම් සාමාජිකයන් හා පුපුරණ ද්‍රව්‍ය හසුවීම ඊට සාධකය. දශක තුනක් පුරා පැවති එල්.ටී.ටී.ඊ. යුද්ධයේ විපාක මතකය. එය මර්දනයට ගත් සියලු ක්‍රියාමාර්ග අති සාර්ථකය.

තිස් වසරක යුද්ධය අවසන් කර දස වසරක් ගෙවුණු පසුව හදිසියේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට හේතුව ජාතික ආරක්ෂාවේ තිබූ ලිහිල් බව සහ ඒ පිළිබඳ හැඟීමක් දැනීමක් නොමැති බව යැයි කිව යුතුය. පැවති යුද්ධය අවසන් කෙරුණ ද ඉන් පසුවත් බුද්ධි අංශ විසින් සිදුකළ මෙහෙයුම් ක්‍රියාවට නැංවිණි. 2015 වසර දක්වාම එම ක්‍රියාමාර්ග දියත් කෙරුණු අතර තොරතුරු රැස් කිරීම, පරීක්ෂා කිරීම සහ ඒවායේ දී අවශ්‍ය පියවර අනුගමනය කිරීම සිදුකර තිබුණි. එහිදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට සැක කෙරෙන සෑම සංවිධානයක් හා කණ්ඩායමක් පිළිබඳවම නිරීක්ෂණය කෙරී ඇත. ඔවුන් ලැයිස්තුගත කර තිබිණි.

එය සිංහල, දමිළ හෝ මුස්ලිම් වශයෙන් නොසලකා ආරක්ෂක කෝණයෙන් නිරීක්ෂණය කරමින් ඔවුන්ගේ මෙහෙයුම් පිළිබඳව අවධානය යොමු කිරීමට ආරක්ෂක පිටවර ගත්තේය. ඒ අනුව යුද්ධය අවසන් වූ බවට සනාථ කළත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අනුගාමික පිරිස්වල කටයුතු අධ්‍යයනය ඇතුළුව විවිධ කණ්ඩායම් පිළිබඳව ද වෙන් වෙන්ව අවධානයෙන් පසුවී ඇත. ඔවුන් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නිසි ලෙස ගෙන තිබුණි.

එවකටත් පැවති ශ්‍රී ලංකා තව්හිත් ජමාත් නැමැති මුස්ලිම් අන්තවාදී සංවිධානයක් විසින් ක්‍රියාත්මක කරමින් පැවැති සංවිධානය පිළිබඳව ද අවධානයෙන් පසුවිය. ඒ කාලසීමාවේදී ඉන්දියාවේ නැෂනල් තව්හිත් ජමාත් නැමැති සංවිධානයෙන් රැඩිකල් පූජකවරුන් මෙරටට ගෙන්වා විවිධ දේශනා සිදුකිරීමට සූදානම් කර තිබියදී ඒ සියල්ල වළක්වා ඔවුන් මෙරටට ගෙන්වීම අවහිර කළේ මෙකී ත්‍රස්ත සංවිධානවලින් ඉදිරියේ බලපෑමක් ඇතිවේ යැයි යන අදහසිනි.

මෙකී සංවිධානය යුදමය වශයෙන් ශක්තිමත් වී ත්‍රස්ත ක්‍රියාකාරකම්වල නිරත වේ යැයි සැකයෙන් පසු වූ එවකට ආරක්ෂක අංශ වෙත සහාය පළ කළ මෙරට ඉස්ලාම් භක්තිකයන් පවසා තිබුණේ එම පිරිස් අන්තවාදී ලෙස ක්‍රියා කරන බවය. මේවාට සම්බන්ධ වීමට ඉන්දියාවෙන් පැමිණෙන පිරිස් වැළැක්වීම ඔවුන්ගේ නම් හා ලිපින හඳුනාගෙන විදෙස් ගමන් බලපත්‍ර හා වීසා ලබා නොදීමට පියවර ගැනීම සිදුකර ඇත. එහෙත් ආරක්ෂක අංශ නොදැනුවත්ව මෙරටට පැමිණ සිදුකරන දේශන ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ආවරණය කර තොරතුරු ලබාගෙන ඇත. එමගින් අවශ්‍ය තොරතුරු එකතු කර ආරක්ෂක පියවර අනුගමනය කොට තිබුණි. මේ අතර එවැනි විදේශීය ඉස්ලාම් ආගමික නායකයන් මෙරටට පැමිණීමේ අවශ්‍යතාවක් ඇත්නම් ඉස්ලාම් ආගමික නායකවරුන්ගේ ලිඛිත ඉල්ලීම ආරක්ෂක අංශ වෙත යොමු කිරීමෙන් පසුව ඒ සඳහා අවසර ලබාදීම සිදුකර ඇත.

මෑත අතීතයේ වාර්තා වූ විවිධ සිදුවීම් අධ්‍යයනයේ දී වනාතවිල්ලුව සිදුවීම, නැගෙනහිර පළාතේ ප්‍රදේශයක යතුරුපැදියක් පිපිරවීම, එළුවන්කුලම වැනි සිදුවීම් රාශියකි. මේ හැර සිදුවීම් ගණනාවක් මාධ්‍ය හරහා වාර්තා කිරීමට නොදී රජය විසින් වළක්වා ඇති බවට වාර්තා වේ. එවැනි පසුබිමක් තිබියදී හෝ වර්තමානයේ ආරක්ෂක අංශ ප්‍රධානීන් විසින් අවශ්‍ය පියවරක් ගෙන තිබුණේ නැත. යම් හේතූන් නිසා හෝ ආරක්ෂාවේ අඩුලුහුඬුකම් නිසා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වූ පසුව ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් පොලීසියට හෝ ආරක්ෂක අංශ නිලධාරීන්ට චෝදනා කිරීම ඵල රහිතය. එම ආරක්ෂක නිලධාරීන් අවශ්‍ය පියවර නොගැනීම වෙනත් ගැටලුවකි. ඊට ප්‍රධාන හේතුව ඉහළ පෙළේ දේශපාලන හස්තයන්ගේ ක්‍රියාකාරීත්වය බව පැහැදිලිය. ඒ අනුව පැහැදිලි වන්නේ අත්අඩංගුවට පත් අන්තවාදී ත්‍රස්ත නායකයන් මුදාහැරීමට යම් යම් දේශපාලනඥයන් පොලීසිය වෙත බලපෑම් කර තිබෙන බවය.

මෙම ගැටලුවලදී කිසිසේත්ම ආණ්ඩුව සිංහල හා මුස්ලිම් ගැටුමක් වශයෙන් බැලීමට අවශ්‍ය නැත. පොලීසියට ලද බුද්ධි තොරතුර පිළිබඳව හරියාකාරව විමර්ශනය කර නැත. එසේ සිදුකළේ නම් අවශ්‍ය පියවර ගැනීම කල් යන්නේ නැත. එවැනි පසුබිමක ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ ඒ අයගේ ආරක්ෂාව ඒ අය බලාගත යුතු බවය. හෝටල් හෝ සංචාරකයන් රුඳී සිටින ස්ථාන හිමිකරුවන් හෝ කළමනාකාරීත්වය ත්‍රස්ත ප්‍රහාරයන් පිළිබඳව කියන බුද්ධි තොරතුරු දන්නේ නැත. ඔවුනට ඒ පිළිබඳව කිසිවෙක් දැනුම් දී නැත. නමුත් එවැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග සංචාරක හෝටල් කළමනාකාරීත්වය විසින් අනුගමනය කළේ නම් ආණ්ඩුවට ඔවුන්ට චෝදනා කිරීමට අවස්ථාව ලැබෙන්නේ නැත. එහිදී අයෝග්‍ය ආරක්ෂාවක් යොදවා වැරදි රූපයක් මැවීම අනවශ්‍ය ක්‍රියාවක් බවත් එමගින් සංචාරකයන් හා ආයෝජකයන් පැමිණීම වැළකී යන බවත් මේ නිසා රටට ආර්ථික වශයෙන් හානියක් සිදුව ඇති බවත් පිළිගත යුතුය.

ඉකුත් ආණ්ඩුවෙන් පසුව 2015 දී යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව මානව හිමිකම් සම්බන්ධයෙන් විශේෂ යමක් සිදුකර නැත. 2015ට පෙර පැවති ආණ්ඩුවටත් විදේශික වශයෙන් පැවති තර්ජන අඩුවක් වූයේ නැත. නමුත් එවකට පාලකයන් ඊට මුහුණදීමට බියගුලු නොවීය. තිස් වසරක් පැවති යුද්ධය නිමා කිරීමට මාවිල්ආරුවලින් ඇරඹි මානුෂීය මෙහෙයුම නවත්වන ලෙසට වූ බලපෑම්වල සීමාවක් නොවුණි. එහෙත් එවක රජය ඊට යටත් වූයේ නැත. ඒ අනුව කිව යුත්තේ මානව හිමිකම් කොමිසමේ නීති කොන්දේසි වෙනසක් නොවූ බවත් දැනට පවතින්නේ පෙර පැවති ඒවාම බවත්ය. එහෙත් වර්තමාන මෙරට පාලකයෝ ඊට යටත් වෙමින් කටයුතු කරමින් සිටිති. ඒ අතරම මෙම රජය පත්වීමෙන් පසුව එතෙක් පැවති බුද්ධි අංශ ජාලය අඩාල වූ බව කිව යුතුය.

අතුරුගිරිය මිලේනියම් සිටි හෙළිදරව්වට පසුව යුද හමුදාව තුළ සිටි හා එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් මිදී හමුදා බුද්ධි අංශවල කටයුතු කළ පුද්ගලයන් ඇතුළු 60 දෙනකුට අධික පිරිසක් ඝාතනය කර තිබේ. ඒ ඔවුන්ට එල්ල වූ විවිධ ප්‍රහාර හේතුවෙනි. ඊට ප්‍රධාන හේතුව එවකට පොලීසියේ ඉහළ නිලධාරියකු විසින් බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳ තොරතුරු හෙළි කිරීමය. මේ සිද්ධීන් සමඟ බුද්ධි අංශ නිලධාරීන්ට කටයුතු කිරීම අසීරු වී තිබුණි. යුද හමුදාව කටයුතු කිරීමේදී සීමා පැනවීම සිදුවිය. එහිදී එවකට සිටි බුද්ධි අංශ ප්‍රධානියා ප්‍රමුඛ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන්ට දන්වා තිබුණේ ආණ්ඩු මාරුවීම හෝ පත්වීම ජාතික ආරක්ෂාවට බාධාවක් නොවිය යුතු බවත් ඔවුන්ගේ රාජකාරිය නිසි ලෙස සිදුකිරීමට අවස්ථාව දිය යුතු බවත්ය. ඒ අනුව එදා ඔවුන්ගේ ආරක්ෂක වපසරිය සකසාගෙන ක්‍රියාත්මක කර ඇත.

යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය හා හමුදාව අතර පැවති සටන් විරාම කාලය පවා මුලාවක් බව එවකට සිටි බුද්ධි අංශ නිලධාරීහු දැන සිටියහ. ඔවුන් ක්‍රියාත්මක වෙමින් සිට තිබුණේ ඒ අනුවය. එහිදී එල්.ටී.ටී.ඊ. සංවිධානය නව සාමාජිකයන් බඳවා ගැනීම, බර අවි රැස් කිරීම, යුද පුහුණුව ලබාගැනීම, තොරතුරු රැස් කිරීම ඇතුළු යුද මෙහෙයුම් සඳහා අවශ්‍ය මූලික කටයුතු සපුරා ගැනීම සිදුකරගෙන ඇත.

කෙසේ වෙතත් 2015 නව යහපාලන ආණ්ඩුව පිහිටුවීමත් සමඟ බුද්ධි අංශවල රාජකාරි සීමා කිරීමට කටයුතු කර එම නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම සිදුකෙරිණි. එසේම ඇතැම් බුද්ධි නිලධාරීන් සිරගත කිරීමද සිදුවිය. මේ හේතු අනුව මෙම මොහොතේ යම් අවශ්‍යතාවයක් තිබුණද බුද්ධි අංශ නිලධාරීන්ට එළියට බැසීමට අවස්ථාවක් නැත. පොලීසියට ලද බුද්ධි තොරතුරු පිළිබඳව යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා හෝ නොදැනීමට හේතුව එයයි.

පසුගියදා වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳව තොරතුරු ඊට පෙර ඇමැතිවරුන් දැන සිට එය ආරක්ෂක අංශ වෙත වාර්තා නොකළේ නම් ඔවුන් සිදුකර ඇත්තේ ද බරපතළ වරදකි. ඉකුත් ආණ්ඩුව සමයේ දී රාජ්‍ය බුද්ධි ප්‍රධානී තනතුරක් යටතේ බුද්ධි තොරතුරු අංශ, ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ, කොළඹ අපරාධ කොට්ඨාසය, බස්නාහිර පළාත් බුද්ධි තොරතුරු ඒකකය, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඇතුළු අංශවල තොරතුරු ඒකරාශී කිරීම මගින් ඒකාබද්ධව සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීම විශේෂයකි. කොළඹ නගරය ඇතුළු ආර්ථික මර්මස්ථාන ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනුණේ එම ක්‍රියාමාර්ග වලිනි. ඒ අතර අත්අඩංගුවට පත් සැකකරුවන් පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බකරැවන් ප්‍රමාණය රාශියකි. මේ ආකාරයට පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය මැඩලීමට එවැනි ස්ථාවර ආරක්ෂක ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී නැත. මෙම ප්‍රහාරයට පෙර ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශය ක්‍රියාත්මක වී ඇත්තේ තැපැල් ස්ථානාධිපතිවරයකුගේ රාජකාරියට සමානවය. එනම් ලිපියක් එක් අතකින් ගෙන අනෙකා අතට පත් කිරීම පමණය.

රටේ ජාතික ආරක්ෂාව සැපයීම යුද හමුදාව විසින් සිදුකරන බව නොරහසකි. හදිසි නීතිය ක්‍රියාත්මක වුවත් නැතත් හමුදා බුද්ධි අංශ ප්‍රධානීට එකී බුද්ධි තොරතුර දැන්වීම රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීගේ ද යුතුකම වන්නේය. ඉදිරියේ දී හෝ මෙවැනි ප්‍රහාරයක් වැළැක්වීමට නම් අද ක්‍රියාත්මක ආරක්ෂක ක්‍රමවේදය මෙයට වඩා ප්‍රායෝගික තත්ත්වයට පත් කළ යුතුය.

ඒ සඳහා යුද සමයේ පැවති ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුය. කිසිම නිලධාරියකුගේ තනි මතයට හෝ එක් එක් අයට ලකුණු ලබාගැනීම සඳහා ක්‍රියාත්මක නොවිය යුතුය. සාමූහික හැඟීමකින් කටයුතු කිරීම ඉතා වැදගත්ය. ප්‍රවෘත්ති, සමාජ මාධ්‍ය, ඔත්තුකරුවන් විදේශීය වශයෙන් හෝ වෙනත් පාර්ශ්ව ඔස්සේ ලැබෙන ඕනෑම තොරතුරක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුය. මේ මොහොතේ පොලීසියත් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවතීම ඉතා පහසුවකි. ඒ හැර අන්තර්ජාතික පොලීසිය ලංකාවට ගෙන්වීම අසාර්ථක ක්‍රියාවකි. ඒ හරහා ශ්‍රී ලංකාවේ පවතින දක්ෂ පොලිස් සේවාව හෑල්ලු කිරීම බරපතළ වරදකි.

කෙසේ හෝ පසුගියදා සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වගකීම බාරගත යුතුය. ආණ්ඩුව ක්‍රියාත්මක වී ඇති ආකාරය අනුව ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු තැකීමක් නොකළ බව පැහැදිලිය. පවතින තත්ත්වය අනුව රටේ අනාගත ආරක්ෂාව පැහැදිලි නැත. අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සුදුසුකම්ලත් උගත් නිලධාරීන් නියමිත තනතුරුවලට පත් කළ යුතුය. ප්‍රසිද්ධිය පසෙකලා රහසිගතව ආරක්ෂක පියවර ගත යුතුය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

විශ්ලේෂක