2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

පල්ලියේදී පුපුරා ගිය වෛරය!

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 445

ඉතිහාසයේ ම්ලේච්ඡතම ත්‍රස්ත ප්‍රහාරය මෙරටට එල්ල වූයේ පසුගිය 21වැනි පාස්කු ඉරිදාය. ජේසුස් වහන්සේ උත්ථානය වූ පාස්කු ඉරිදා දින සමස්ත ශ්‍රී ලංකාවට ලෙයිනුත් කඳුළිනුත් තෙත්වී ගියේ සිතාගත නොහැකි මොහොතකය.

කොළඹ කොච්චිකඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය, මඩකලපුව සියෝන් දේවස්ථානය යන දේවස්ථාන තුනටත්, කොළඹ ෂැංග්‍රිලා හෝටලය, කිංග්ස්බරි හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය යන ඉහළ තරු පන්තියේ හෝටල් තුනකුත්, ඊට අමතරව දෙහිවල ලැගුම් හලකත් දෙමටගොඩ නිවසකත් ඇතුළුව ස්ථාන අටක පිපිරීම් නවයක් එදින උදෑසන 8.45 සිට සවස 5.00 වනතෙක් සිදුවිය. මෙම ප්‍රහාර ඉතාම බරපතළ වූ නිසා එය දුටු බොහෝදෙනා මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස බැලූ බැල්මට සැක කළහ.

එහෙත් ඒ වනවිටත් ආරක්ෂක අංශ මේ ප්‍රහාරයේ සුලමුල අනාවරණය කරගෙන තිබුණේ මෙවැනි ප්‍රහාරයක් පිළිබඳ කල්තියා ඔවුන් දැන් සිටි නිසාය. මේ නිසා ආරක්ෂක අංශ සැබවින්ම ගැස්සුණේ දැනගෙන සිටියත් මෙය අවම කරගන්න හෝ සිදු නොවන්නට කිසිදු පියවරක් ගත නොහැකි වීම නිසාය. එහෙත් එය ජනතාව දැන සිටියේ නැත. ජනතාව කම්මුල්වල අත් තබමින් දෙවියන්ට කන්නලව් කරමින් හෙණ ගහන්නා සේ සිදුවූ සිදුවීම කෙරෙහි දෙවියන්ගෙන් හේතු ඇසූහ. එපමණක් නොව කළ අයට ශාප කළහ.

දෙවියන් බලන්නට හොඳම ඇඳුමින් සැරසී පල්ලි ගිය අයත්, නිවාඩුවට විනෝදවන්නට මෙරටට පැමිණි විදේශිකයනුත් උදෑසන ආහාරය ගැනීමට පැමිණි දේශීය සංචාරකයනුත් මෙම ප්‍රහාරයෙන් මිය ගියහ. මියගිය ගණන 253ක් විය. මෙය දකුණු ආසියාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් එක දිනක සිදුවූ වැඩිම මිනිස් සංහාරය ලෙස ඉතිහාස ගතවිය.

ප්‍රහාරය කාගේ වැඩක්ද?

මේ ප්‍රහාර පොකුර සිදුවී විනාඩි පහක් යන්නටත් මත්තෙන් මෙරට දේශපාලන අධිකාරියත්, ආරක්ෂ අංශත් මේ පිටුපස සිටින කණ්ඩායම පිළිබඳ සියලු දේ දැනගත්හ. ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහ්රාන් හසීම් ඇතුළු පිරිසක් මේ ප්‍රහාරය දියත් කළ බව හැමදෙනාම දැනගත්තේය. එහෙත් එය මහජනතාව දැන සිටියේ නැත. මේ නිසාම තැන් තැන් වල ඇතැම්හු පූර්ව නිගමන වලට එමින් මෙය එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස අනුමාන කළහ. තවත් අය මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රතිපලයක් ලෙස අනුමාන කළෝය. තවත් අය මෙය පාතාලයේ ක්‍රියාවක් බවට සිතූහ. එහෙත් ඒ කවුරැත් මේ පිටුපස සිටියේ නැත. එකී ප්‍රශ්න රැසක සිටි ජනතාවට කනින් කොනින් ඇසෙන්නට වුයේ මේ ප්‍රහාරය පසුපස මුස්ලිම් කණ්ඩායමක් සිටිනා බවය. එහෙත් ඒ කවුද යන්න මහජනතාව දැනසිටියේ නැත. ජනතාව සිය අවධානය යොමුකර සිටියේ කීයක් මැරිලද? තුවාලකරැවන් කීයද? තවත් බෝම්බ පිපිරීමට නියමිතද යන්න ගැනය.

ප්‍රහාරය පිටුපස තව්හීද් ජමාත් සංවිධානය ඇති බවට රටම දැනගනී

මේ ප්‍රහාරය සිදුවී ගතවූයේ පැයක් දෙකක් වැනි කාලයකි. සමාජ මාධ්‍ය තුළ එක්තරා ලියුමක් ප්‍රචාරය වන්නට පටන්ගත්තේ මේ ප්‍රහාරයට වගකිවයුත්තන් හෙළිකරමිනි. එම ලියුම පොලිස් විශේෂ ආරක්ෂක කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක විසින් ප්‍රභූ ආරක්ෂකයන් වෙත යවා තිබූ ලිපියක් විය. එහි සඳහන් වූයේ සහ්රාන් හසීම් නැමැති අයකු විසින් පවත්වාගෙන යන ජාතික තවුහීද් ජමාත් සංවිධානය විසින් ඉදිරි දිනකදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට රාජ්‍ය බුද්ධි අංශය විසින් දැනුවත් කර ඇති නිසා ආරක්ෂාවන ලෙසය. ඒ අනුව රටටම මේ ප්‍රහාරය පිටුපස සිටින අන්තවාදී කල්ලිය කවුද යන්න අනාවරණය විය. එහෙත් මේ ප්‍රහාරය කුමන ආකාරයෙන් සිදුවූවාද යන්න කවුරුත් දැන සිටියේ නැත.

ඒ වනවිටත් දේවස්ථාන තුනකට සහ තරු පන්තියේ හෝටල් තුනකට පමණක් ප්‍රහාරය එල්ලවී තිබූ නිසා කොළඹ අවට ආරක්ෂාව දැඩි කෙරිණි. පොලීසිය සහ විශේෂ කාර්ය බලකායට අමතරව ත්‍රිවිධ හමුදාව ද කොළඹ මර්මස්ථාන ආරක්ෂාව සඳහා යොදවනු ලැබීය. ඊට අමතරව විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කෙරිණි. ඒ ආරක්ෂක අංශ ඒකාබද්ධවය.

එසේ සෝදිසි කිරීම් සිදුකරන අතර තුර නැවතත් දෙහිවල ලැගුම්හලක පිපිරීමක් සිදුවිය. ඒ පිපිරීමද මේ කල්ලියේම වැඩක් බවට සැකයක් නොවීය. මේ අතර විමර්ශන කණ්ඩායම් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ අමුත්තන් ඇතූළු කරගැනීමේ ලේඛනය පරීක්ෂා කළ අතර එහිදී හෙළිවුණේ හෝටලයට දෙදෙනකු ඊට පෙරදින ඇතුළු වී ඇති බවත් ඔවුන් දෙදෙනා අංක 616 කාමරයේ ලැගුම් ගෙන සිටි බවත්ය. ඔවුන් එම කාමරය ලබාගෙන ඇත්තේ ඉන්සාෆ් ඊබ්‍රහිම් නැමැති දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි අයකුගේ නමින් බව අනාවරණය විය. 

ඔහුගේ හැඳුනුම්පතේ තොරතුරු ද තිබූ නිසා විශේෂ කාර්ය බලකායත්, රහස් පොලීසියත් දෙමටගොඩ මහවිලවත්ත ප්‍රදේශය පරීක්ෂා කිරීමට සවස් කාලයේ ගියේය. එම නිවස සුපිරි නිවාසයක් වූ අතර පොලිස් නිලධාරීහු ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා නිවසට ඇතුළු වූහ. විශාල පිරිසක් එහි ජීවත් වූ අතර එම නිවෙස මෙරටට කුළුබඩු ගෙන්වන මුවාවෙන් නීතිවිරෝධී ලෙස කරුංකා රැගෙන එන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් හජ්ජියාර්ගේ නිවෙස විය. පිරිස නිවෙසට ඇතුළු වී ප්‍රශ්න කිරීමේ ආරම්භ කරනවාත් සමඟ උඩුමහලින් විශාල පිපිරුම් ශබ්දයක් ඇසිණි. ඒත් සමඟ එහි සිටි අය නිවසෙන් පැන දුවන්නට වූ අතර ඒ අය අතර හජ්ජියාර්ද සිටියේය. එහෙත් අවසානයේ හජ්ජියාර්ද පොලීසියට කොටුවිය. එසේ පොලීසියට කොටුවූ හජ්ජියාර් මාධ්‍යයට පවසා සිටියේ තමන්ගේ මුහුණට කැමරා නොඅල්ලන ලෙසය.කෙසේ වෙතත් එම නිවෙසේ සිදුවූ සිද්ධිය පසුව අනාවරණය විය. එනම් රහස් පොලීසිය පහළින් පැමිණ ප්‍රශ්න කරන අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් තිදෙනෙකු ඉනිමඟක් මාර්ගයෙන් ඉහළ මාලයට ඇතුළු වී ඇත. එවිට ඉහළ මාලයේ සිටි කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම, කොළඹ ෂැංග්‍රිලා හෝටලයට ප්‍රහාර එල්ලකළ ඉන්සාෆ් ඊබ්‍රහිම් නැමැත්තාගේ බිරිඳ ඇය සන්තකයේ තිබූ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගත් බවයි. ඇය අටමස් ගැබිණික් වූ අතර එම ප්‍රහාරයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් තිදෙනා මියගියහ.

ඊබ්‍රහිම් පවුල...

ඊබ්‍රහිම් පවුල යනු මෙරට කෝටිපති ව්‍යාපාරික පවුලකි. මොහොමඩ් ඊබ්‍රහිම් හජ්ජියාර් යනු මෙරටට කුළුබඩු ගෙන්වන ව්‍යාපාරිකයෙකි. එහෙත් ඔහු කළු මුදලාලි කෙනෙකු වන අතර ප්‍රධාන වශයෙන් නීතිවිරෝධීව කරුංකා මෙරටට ගෙන ඒම ඔහුගේ ප්‍රධාන ව්‍යාපාරය විය. මේ නිසාම අඩුවක් නැතිව මුදල් ඔවුන් සතු විය. එසේම ඔහු 2015 වසරේ හොඳම ව්‍යාවසායකයකු වශයෙන්ද රජයෙන් සම්මාන ගත් අයෙකි. ඔහුගේ පුතුන් දෙදෙනකු වූ ඉල්හාම් ඊබ්‍රහිම් (36) සහ ඉන්සාෆ් ඊබ්‍රහිම් (38) දෙදෙන කොළඹ ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ තැබූ දෙදෙනා බව පොලීසිය මෙහිදී හඳුනා ගැනීමට හැකි විය.

පොලීසිය තව තවත් ඔවුන් ගැන තොරතුරු සොයන්නට වූ අතර එහිදී හෙළිවුණේ ඉන්සාෆ්ට අයත් කර්මාන්ත ශාලාවක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ තිබෙන බවය. පසුව එම ස්ථානය පොලීසිය විසින් පසුගියදා වටලනු ලැබීය. එහි තිබී තඹ දඟර ඇතුළු උපකරණ රැසක් සොයා ගැනීමට හැකිවූ අතර එහිදී හෙළිවුණේ එම ස්ථානයේ බෝම්බ සකසා ඇති බවය. එම කර්මාන්තශාලාවට කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ඇමැතිවරයකුගේ අනුග්‍රහය මත යුධ හමුදාවේ හිස් පතොරම් කොපු තොග වශයෙන්ද ලබාගෙන තිබිණි. කෙසේ වෙතත් කර්මාන්ත ශාලාවේ සේවකයන් පවසන්නේ ඉන්සාෆ් දැඩි මුස්ලිම් ආගම් ලබ්ධිකයෙක් වූ අතර කිසිදු සේවකයෙක් සමඟ කතා බහ නොකරන අයකු බවයි. එසේම ඔහුගේ ඡායාරූපයක් හෝ ගැනීම වරදක් විය. සැබවින්ම ඔහු ගුප්ත චරිතයක් විය.

ඔහු මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර අප්‍රේල් 01 වැනිදා වැල්ලම්පිටියේ ලක්ෂ 450ක ඉඩමක් දරුවන්ටද, රුපියල් ලක්ෂ 500ක් වටිනා මාතලේ ඉඩමක් සහ පෞද්ගලික සමාගමකට අයත් ලක්ෂ 100ක දේපළ සොහොයුරාට ද, කොළඹ කාමල් පාරේ පිහිටි ලක්ෂ 500ක ඉඩමක් ඔහුගේ මිතුරෙකුට ද පවරා දී ඇත. එසේම ඔහු නැව් භාණ්ඩ අපනයනයෙන් ලක්ෂ 200ක ලාබයක් ද උපයා ඇති බව අනාවරණය විය. මේ සියල්ල ඔහු පවරා තිබුණි.

එසේම ඔහුගේ අනෙක් සොහොයුරා වන ඉල්හාම් ඊබ්‍රහිම් ප්‍රහාරයට දින දෙකකට පෙර ඔහුගේ බිරිඳට පවසා ඇත්තේ විදෙස් ගතවන බවකි. ඒ අනුව බිරිඳ ඇතුළු පිරිස ඔහු සමඟ ගුවන් තොටුපල තෙක් පැමිණ ඇති අතර එහිදී ඔහු බිරිඳ වැළඳගෙන පවසා ඇත්තේ ඇයට ශක්තිමත් ලෙස ජීවත්වන ලෙසයි. ඉන් අනතුරැව ඔහු සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට පැමිණ ඇත. එසේ පැමිණීමෙන් අනතුරුව මෙම ප්‍රහරයට සූදානම් වී ඇතැයි සඳහන් වේ. කෙසේ වෙතත් ඔවුන් සිටි කාමරයේ තිබී දුරකථන හමුවී ඇති අතර ඒ දුරකථන හරහා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඊට අමතරව ඊබ්‍රහිම් පවුල සමඟ දේශපාලන සබඳතා රැසක් මේ වනවිට තහවුරු වී ඇත. එනම් ඊබ්‍රහිම් හජ්ජියාර් 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂයකු ලෙස නම් කරනු ලැබ සිටියෙකි. එසේම අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා සමඟ ඔහු සමීප සම්බන්ධයක් පවත්වා ඇති අතර අමාත්‍යවරයා ව්‍යාපාර රැසකට උදව් උපකාර ලබාදී ඇත. එසේ උදව් කළ ව්‍යාපාර මොනවාදැයි සටහන් නොවුණත් අමාත්‍යවරයාගේ සොහොයුරා සමඟ සමීප සබඳතාවක් ඊබ්‍රහිම් පවුල පවත්වාගෙන ගිය බව මේ වනවිට තහවුරු වී ඇත. එහෙත් අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් එය ප්‍රතික්ෂේප කර තිබේ.

කවුද මේ සහ්රාන් හස්මි...?

තවුහීද් ජමාත් යනු මුස්ලිම් ජනවර්ග කණ්ඩායමකි. ඔවුන් එක් දෙවියෙක් පමණක් අදහන කණ්ඩායම ලෙස හඳුන්වන අතර ඔවුන් විශ්වාස කරන්නේ අල්ලාහ් දෙවියන් පමණක් ලෝකයේ සිටින එකම දෙවියා ලෙසය. මෙම කණ්ඩයමේ නිජභූමිය කාත්තන්කුඩි ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පවත්නා අතර ඔවුන් යුද්ධය පැවති සමයේදී එල්.ටී.ටී.ඊ.ය සමඟ සෘජුව කැති මන්න රැගෙන සටන් කළ අයවලුන් වේ. එහෙත් යුද්ධය අවසානයෙන් පසුව ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය ලෙස ඔවුන් වැඩකටයුතු සිදුකරන අතර 2017 වසරේදී සහ්රාන් අන්තවාදී අදහස් දරමින් “වහප්වාදය” සම්බන්ධයෙන් නැගෙනහිර පළාත තුළ දේශන පවත්වමින් යන්නට විය. මෙහිදී තව්හීද් ජමාත් සංවිධානය මැද්දෙන් පිපිරී ගිය අතර අවසානයේ අවියෙන් ප්‍රශ්නය විසඳාගන්නා තෙක් වැඩේ දුරදිග ගියේය. මෙහිදී සහ්රාන් සහ ඔහුගේ සොහොයුරා බන්ධනාගාර ගතවූහ. එසේ මාස හතක් බන්ධනාගාරයේ සිටි සහ්රාන් එළියට එන්නේ හොඳ කථිකයකු ලෙසය. එසේ පැමිණි ඔහු දක්ෂ ලෙස වචන හසුරවමින් කාත්තන්කුඩි ප්‍රදේශයේ දේශනය කරන්නට විය. එක් දේශනයක මෙසේ සඳහන් වෙයි. “යම් වෙනස් ආගමක පුද්ගලයෙක් මට හොඳම උදව්ව ලබාදෙයිද මා එය ගැන සතුටුවන්නේ නැත. මා ඔහුට වෛර කරන්නේය. ඒ ඔහු අල්ලාහ් දෙවියන් යදින්නකු නොවන නිසාය” මේ ආකාරයෙන් වූ දේශන සිදුකරමින් ඔහු සමාජජාලා හරහා අනුගාමිකයන් එකතුකරමින් සිට ඇත. කෙසේ වෙතත් ඒ වනවිට සහ්රාන් “ජාතික තව්හීද් ජමාත් සංවිධානය” ලෙස සංවිධානයක් පිහිටුවාගෙන තිබිණි. එහෙත් මීට කාත්තන්කුඩි මුස්ලිම් ජනතාව විරුද්ධ වුණු අතර සහ්රාන් අත්අඩංගුවට ගන්නා ලෙස, පොලීසියට පැමිණිලි පිට පැමිණිලි කෙරිණි. එහෙත් සහ්රාන් හිටියේ නිදැල්ලේය.

සහ්රාන් ඇතුළු කණ්ඩායම හෙළිවූ හැටි

2016 වසරේදී ඉන්දීය රෝ ඔත්තු සේවයට අනුව මෙරටින් අයි.එස්. ත්‍රස්ත කණ්ඩයමට සම්බන්ධ වූවන් ගැන වාර්තාවක් ඉදිරිපත් විය. එහි ලාංකිකයන් 36 දෙනෙකු සිටින බව හෙළිවිය. ඒ ගැන එවකට ආමාත්‍යවරයකු සිටි විජේදාස රාජපක්ෂ මහතාත් ආරක්ෂක ලේකම්ව සිටි කරුණාසේන හෙට්ටිආරච්චි මහතාත් හෙළිදරව් කළහ. එපමණක් නොව වහප්වාදය පතුරණ අන්තවාදී කල්ලියක් මෙරට සිටින බව බොදුබල සේනා වැනි සංවිධානද කීය. මේ නිසා නිතර ගැටුම්ද ඇතිවිය. එහෙත් වර්තමාන ආණ්ඩුවෙන් කිසිදු සොයාබැලීමක් සිදුනොකළ අතර සහජීවනය පලුදුවනු ඇතැයි සිතා එසේ කළ බව පැවසේ. මේ අදහස් දැක්වූ අය පිස්සන් අන්තවාදීන් ලෙසද සැලකූහ. එහෙත් රජය ඒ ගැන තඹ දොයිතුවකට මායිම් කළේ නැත. මේ අතර නැවතත් රෝ එකෙන් දන්වන්නේ මෙරට කණ්ඩායමක් සිරියාවේ පුහුණුවීම් ලබා පැමිණ ඇති බවය. එහෙත් ඒ ගැන සොයාබලා නැත. වඳ පෙති, වඳ තනපට, යට ඇඳුම් ගැන කතා කළා විනා ඊට එහා සොයාබැලීමක් සිදුකළේ නැත.

කෙසේ වෙතත් නැවත සහ්රාන් ගැන තොරතුරු එන්නේ 2018 වසරේදීය. එනම් දකුණු ඉන්දියාවේ දමිළ දේශපාලඥයන් සිව් දෙනෙකු ඝාතනය සඳහා අයි.එස්. සෙබලුන් හත් දෙනෙකු පැමිණි අවස්ථාවේ එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීමේදීය. එසේ අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී සොයාගන්නා දුරකථනයක තිබී ඇත්තේ සහ්රාන්ගේ හඬපටය. ඒ දේශනය. පසුව රෝ ඔත්තු සේවය මගින් මේ පිළිබඳව රාජ්‍ය බුද්ධි ඒකකයට දන්වා ඇත. එහෙත් ඒ ගැන මෙරට ආරක්ෂක අංශ ගනු ලැබූ පියවර පැහැදිලි නැත.

මේ අතර 2019 වසරේ ජනවාරි 16 වැනිදා වනාතවිල්ලුව ප්‍රදේශයේ ගොවිපළක් වටලන අතර ඒ ගොවිපළ වහප්වාදය පතුරණ ඊබ්‍රහිම් මවුලවිගේ ඉඩමක් විය. මෙම ඉඩම ගැන කතාබහ එන්නේ කෑගල්ල ප්‍රදේශයේ බුදුපිළිම කඩා දැමීමේ සිද්ධියක් සමඟය. දිගින් දිගටම බුදුපිළිම කඩන අතර මේ ගැන පොලීසිය පරීක්ෂණ කර කීපදෙනෙකු අත්අඩංගුවට ගනු ලබයි. එහි මහ මොළකරුවන් වන්නේ ඊබ්‍රහිම් මව්ලවිගේ දරුවන් දෙදෙනාය. ඔවුන් මොහොමඩ් ඊබ්‍රහීම් සාහිඩ් සහ මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් විය. ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්න උත්සාහ කළත් ඊට ආණ්ඩුකාරවරයෙක් හරස් වන්නේය. පසුව කබීර් හෂීම් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ මොහොමඩ් සාදික් මොහොමඩ් තස්ලීම් විසින් ලබාදෙන ඔත්තුවකට අනුව වනාතවිල්ලුව ප්‍රදේශයේ මව්ලවිට අයත් ඉඩමක් පරීක්ෂා කරනු ලබයි. එහිදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලිසියට හැකිවේ. එහෙත් ඒ ගැන පරීක්ෂණ, ඉස්සරහට නොයන අතර මේ පිළිබඳව ඔත්තුව දුන් කබීර් හෂීම් ඇමතිවරයාගේ ලේකම්ගේ හිසට නාඳුනන පිරිසක් විසින් වෙඩිතබනු ලබයි. ඔහු ඒ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබන අතර අදටත් ඔහු සිටින්නේ ලෙඩ ඇඳේය. එවරද මෙරට ආරක්ෂ අංශ මේ ගැන සොයා බැලුවේ නැත.

පාස්කු ප්‍රහාරයේ පළමු ඔත්තුව

2019 අප්‍රේල් 04 වැනිදා ඉන්දීය රෝ ඔත්තු සේවයෙන් රාජ්‍ය බුද්ධි කාර්යාංශයට තොරතුරක් දුන්නේය. ඒ සහ්රාන් හස්මි විසින් පවත්වාගෙන යන ජාතික තවුහීද් ජමාත් සංවිධානය විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බව කියාය. ප්‍රධාන දේවස්ථාන දෙකක්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යලයත් එහි ප්‍රධාන ඉලක්ක බව දන්වා තිබුණි. එම තොරතුර ලැබී හරියටම දින පහකට පසු එනම් අප්‍රේල් 09 වනදා රාජ්‍ය බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් පොලිස්පතිවරයා වෙත සවිස්තරාත්මක ලිපියක් යොමු කරනු ලබයි. ඒ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සහ්රාන් හෂ්මි විසින් සිය ගෝලයන් වන ජාල් අල් කුයිථාල්, රිල්වාන් සාජිඩ් මවුලවී, සාහීඩ්, මිල්හාන් ඇතුළු කණ්ඩායමක් විසින් මරාගෙන මැරෙන මෙහෙයුමක් දියත් කිරීමට නියමිත ඇති බව කියාය. එම ප්‍රහාරය මරාගෙන මැරීමක්, ආයුධ ප්‍රහාරයක්, පිහි යොදා ඝාතනයක්, ට්‍රක් රථ ප්‍රහාරයක් ලෙස දන්වා තිබුණි.

පසුව එම ලිපිය පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත බාර, නන්දන මුණසිංහ, විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී එම්.අර්.එෆ්. ලතීෆ්, විශේෂ ආරක්ෂක දිසාව බාර ප්‍රියලාල් දසනායක සහ ත්‍රස්ත කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර හට යවා තිබුණි. එහෙත් ඊට සිදුවූ දෙයක් හෝ පොලිස්පතිවරයා විසින්, සොයා බැලීමක් සිදුවූයේ නැත. මේ අතර අප්‍රේල් 16 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේ විශාල, පිපිරුමක් ඇති විය. එය සොයා, බැලූ විට රිමෝට්, යොදා යතුරු පැදි දෙකක් පුපුරවා හැරීමක් විය. එම යතුරු පැදි දකුණු පළාතෙන් රැගෙන ගිය ස්කුටි විය. එහෙත් අකුණු පහරක් කියා එය යට ගැසුවේය. ඒ ගැනද සෙවීමක් කළේ නැත. 2019 අප්‍රේල් 21 වැනිදා උදෑසනම රාජ්‍ය ඔත්තු සේවයට තොරතුරක් ආවේය. ඒ මෙතෝදිස්ත පල්ලියට ප්‍රහාර එල්ල කරන බවය. ඒ අනුව අදාළ ස්ථාන වෙත ආරක්ෂාව සපයන්නට විය. එහෙත් 8.45ට ප්‍රහාරය පටන් ගත්තේ සියල්ල උඩුයටිකුරු කරමින් කොච්චි කඩේ පල්ලියෙනි.

කොළඹ ටාජ් සමුද්‍රා බේරෙයි

මෙම ප්‍රහාරයේ සැලසුමකට අනුව ස්ථාන 27ක් තිබූ බව කියයි. එය එදින සැලසුමද සමස්ත සැලසුමද යන්න දන්නේ නැත. මේ සැලසුමට පැමිණි අබ්දුල් ලතීෆ් ජලීල් මොහොමඩ් හට ඉලක්කය දී තිබුණේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය. එහෙත් ඔහු එහි නැවතී ප්‍රහාරය සැලසුම් කර කිහිපවතාවක් උත්සාහ කළත් බෝම්බය පත්තුවුණේ නැත. අවසානයේ ඔහු දෙහිවල පල්ලියක් ආසන්නයට ගියේය. එම ස්ථානයේද ආරක්ෂාව දැඩි නිසා ඔහු හැරි දෙහිවල, ලැගුම් හලක් වෙත ගියේය. එහිදී සේවකයන් පරීක්ෂා කිරීමේදී ඔහු පුපුරවා ගත්තේය. කෙසේ වෙතත් ඔහු මහා බ්‍රිතාන්‍යයෙන් මෙන්ම ඕස්ට්‍රේලියාවෙන් පවා අධ්‍යාපනය ලැබූ අයෙක් විය.  කෙසේ වෙතත් එදින අනෙක් මෙහෙයුම් සිදුකළ මොහොමඩ් අබ්දුල්ලා කිංග්ස්බරි හෝටලේ 819, කාමරයේ ඊට පෙර දින ලැගුම් ගත්තේය. ඔහු 21 වැනිදා උදෑසන 8.45 පුපුරවා ගත්තේය. එසේම කටාන දේවස්ථානය, මඩකලපුව දේවස්ථානය, කොච්චිකඩේ දේවස්ථානය ඇතුළු සියලු ඉලක්ක ඔවුහු සාර්ථක කරගත්හ. මේ නිසා විශාල ජීවිත ප්‍රමාණයක් අහිමිවිය.

කෙසේ වෙතත් කොච්චිකඩේ ප්‍රහාරය වෙත පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු වෑන්රථයක පැමිණ ඇති අතර එය පල්ලි අසල නවතා දමා තිබිණි. කෙසේ වෙතත් එයටද ටයිම් බෝම්බයක් සවිකර තිබූ අතර පල්ලියේ බෝම්බයෙන් පසුව මිනිසුන්ගේ කලබලය මැද එයද පිපිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත. එහෙත් එහි වෙලාව, නැවතී තිබිණි. එපමණක් නොව එම වෑන් රථයේ දොර විවෘත කළ පසු පුපුරණ ලෙසද සූදානම් කර තිබුණේය. ඒ සඳහා වෑන් රථයේ 15,000ක මුදලක් අතුරා තිබුණු අතර ඒ කාගේ හෝ ඇස යොමු වීමටය. එහෙත් කිසිකෙනෙකු එය දැක්කේ නැත. පසුව එය හමුවන්නේ 23 වැනිදාය. අවසානයේ එදින දහවල් එය බෝම්බ, නිශ්ක්‍රීය අංශය මගින් නිශ්ක්‍රීය කරනු ලබයි.

ප්‍රහාරය අයි.එස්. බාරගනී

අප්‍රේල් 21,22, වනතෙක් මේ ප්‍රහාරය ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ප්‍රහාරයක් බව බොහෝ දෙනා සිතූහ. එහෙත් 23 වැනිදා සවස අයි.එස්. සංවිධානය ට්විටර් පණිවිඩයක් යොදමින් පවසන්නේ ඒ ප්‍රහාරය තමන් එල්ල කළ ප්‍රහාරයක් බවය. එසේම ඊට පසුදින සවස සහ්රාන් හස්මි මූණ නිරාවරණය කොට අනෙක් පිරිස මූණ ආවරණය කොට වීඩියෝපටයක් නිකුත් කරනු ලබයි. එහිදී සහ්රාන්ගේ අතට සියලුදෙනා අත් තබා දිවුරන්නේ අයි.එස්. කණ්ඩායමේ නායක අබුබාකර් අල් බැග්ඩෑඩ්ගේ නාමයෙන් මෙම ප්‍රහාරය සාර්ථකව නිම කරන බවය. එම කණ්ඩායම අතර කාන්තාවක්ද සිටින බව අනාවරණය වී ඇත. ඒ අනුව මේ සිද්ධිය ජාත්‍යන්තර අයි.එස්. කණ්ඩායමේ ප්‍රහාරයක් බව තහවුරු විය. එපමණක් නොව මේ ප්‍රහාරය එල්ල වනවිට මෙරට අයි.එස්. ත්‍රස්තයන් 144 දෙනෙකු සිට ඇත. ඉන් 70ක් පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත. එහෙත් අයි.එස්. තර්ජනයේ අවදානම පහව ගොස් නැත.

ෂැංග්‍රිලාහි හිස සහ්රාන්ගෙමද?

ෂැංග්‍රිලා ප්‍රහාරයට ඉන්සාෆ් ඊබ්‍රහිම් සහ නායක සහ්රාන් හස්මි සහභාගී වූ බව කියති. එසේම සහ්රාන්ගේ හිස බවටද හිසක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබිණි. එහෙත් ඔහුගේ හිතවතුන් අනුගාමිකයන් පවසා ඇත්තේ ඒ සහ්රාන් නොවන බවය. ඒ නිසා සහ්රාන් සැඟවී සිටින බව ඒ අය කියති. විශේෂයෙන් නායකයා ප්‍රථමයෙන් මිය නොයෑමට හේතුව ලෙස සඳහන් කරයි. කෙසේ වෙතත් පොලීසිය මේ පිළිබඳ සහතිකයක් ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණකට යාමට තීරණය කර ඇත. ඉන් අවසන මේ ප්‍රශ්නය අවසන් වනු ඇත.

කෙසේ වෙතත් මේ වනවිට මේ ප්‍රහාරයේ බොහොමයක් තොරතුරු සොයාගෙන අනාවරණය කරගෙන ඇත. මීට සම්බන්ධ අය අත්අඩංගුවට ගෙන ඇත. දැන් තරමක අවදානමක් පහව ගොස් ඇත. එහෙත් සියයට සීයක් නැත. ඒ නිසා නොසිතූ මොහොතක, මෙවන් ප්‍රහාරවලින් බේරීමට ජාතික ආරක්ෂාව මීට වඩා ශක්තිමත් කළ යුතුය. මෙය සුළුවෙන් තැකිය නොහැක. එසේ තැකීම නිසා, සිදුවූ අපරාධය අති විශාලය. අද කිසිවකු එහි වගකීම නොගත්තත්, ගත්තත් මේ අහිමිව ඇත්තේ අහිංසක, මිනිස්සුය. එවැනි විපත් නොවීමට දැන්වත් රාජ්‍ය, ආරක්ෂාව, ශක්තිමත් කළයුතුය. එසේ නොමැතිව ශෝක ප්‍රකාශත්, වන්දි දෙන්නත් පමණක් රජයක් අවශ්‍ය නැත.

►ගයාන් ගාල්ලගේ
සේයාරූ I AFP

 

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05