හැත්තෑ දශකයේ සහ අසූව දශකයේ ලංකාවේ පැවැති අශ්ව රේස් සහ පෝනි රේස්වලදී ජය කෙහෙළි නැංවූ එච්.ඩී. ෂෙල්ටන් පෙරේරා අද ගෙවන්නේ ඉතා නිහඬ දිවියකි. කොළඹ හුණුපිටිය හරස් පාරේ කෙළවරවන්නට තිබෙනා සියඹලා ගහ යට ඔහු ඉතා කුඩා නවාතැන්පළක ජීවත් වෙයි. විටෙක එය ඔහුගේ නිවහනය. තවත් විටක එය අපූරු සිනමා කෞතුකාගාරයකි. ඉපැරැණි සිනමා තොරතුරු සහිත ඡායාරූප පුවත්පත් ලේඛන මෙන්ම පොත්පත්ද එහි අඩංගුය.
වර්තමානයේදී ඕනෑම ගීතයක් එක සැණින් අන්තර්ජාලය ඔස්සේ පද පේළි සොයාගත හැකිවුවද එකල එවැනි තාක්ෂණ දියුණුවක් නොතිබුණි. විනෝද ගමන් යන ඕනෑම බස් රථයක අනිවාර්යයෙන්ම ගීත පොත් කිහිපයක්ම තිබුණි. නමුත් අද එවැනි ගීත පොත්වලට ඇත්තේ අඩු සැලකිල්ලකි. අසූව දශකයේ මුද්‍රණය වූ සෑම ගීත පොතක්ම ෂෙල්ටන්ගේ කෞතුකාගාරයේ අදටත් තිබීම විශේෂයකි.
ෂෙල්ටන් ඉතා දක්ෂ අසරුවෙකි. ඔහුගේ තම පියාගේ අඩි පාරේ යමින් දක්ෂ ලෙස අශ්වයන් පැද්දේය.
“ඉස්සර අපිට අශ්වයෝ පෝනියෝ දොළහක් විතර හිටියා. අපිට හිටපු “විල්කි” කියන පෝනියා හරිම දඟයෙක්. හැමදාම ඌ වතුර බොන්නේ කොළඹ තිබෙන වතුර පයිප්පෙන්. ඒ කාලේ විල්කි වතුර බොනව බලන්න බොහෝ දෙනා වතුර පයිප්ප ළඟට එකතු වෙනවා. විල්කි දඟයි. හැබැයි හැමෝම විල්කිට ආදරෙයි. අපේ ගෙදර උයන කෑම පවා හොර රහසේ කන්නත් විල්කි හරිම දක්ෂයි.”
ෂෙල්ටන් ඒ අතීතය ආවර්ජනය කළේය.
ෂෙල්ටන් අශ්වාරෝහකයෙක් වූයේ 1962 වසරේදීය. එතැන් සිට ෂෙල්ටන්ගේ වචනවලින් පැවසුව හොත් “ඔහු හොඳ ජොකියෙක්” ලෙස නම් දැරීය. ඉතා හීන්දෑරි සිරැරකට හිමිකම් කිවූ ෂෙල්ටන් අශ්වයකු පිට නැග ඉතා වේගයෙන් ඌ ගෙන ගියේය. අහළ පහළ උන් අය වේගයෙන් යන ෂෙල්ටන් දෙස බලා සිටින්නේ මහත් ඕනෑකමනි.
ෂෙල්ටන් කොළඹ වික්ටෝරියා පාක් (වර්තමානයේදී විහාර මහා දේවි උද්‍යානය) එකේ අශ්වයන් සහ පෝනියන් පැද්දේය. සමහරු ෂෙල්ටන් “ජොනි කළු” ලෙසින් ද හැඳින්වූහ. අවුරුදු දාහත වෙද්දී ෂෙල්ටන් කොළඹ රේස් කෝස් එකේද රේස් පැද්දේය. ලංකාවේ සිටිනා ඉතා ධනවත් පුද්ගලයන් බොහෝ දෙනකුට ෂෙල්ටන් අශ්වයන් සහ පෝනියන් පැදීම පුරුදු කළේය. මේ නිසාම තරුණ කාලයේ සිටම ෂෙල්ටන් අතමිට සරු හොඳ ජොකියෙක් බවට පත්විය.
අශ්වයන්ට, පෝනියන්ට මෙන්ම ෂෙල්ටන් සිනමාවටත් දැඩි ලෙස ඇළුම් කළේය. ඔහු අතට ලැබෙන මුදල්වලින් චිත්‍රපට බැලුවේය. ගාමිණි ෆොන්සේකා රඟපෑ “රන්මුතු දූව” චිත්‍රපටය බැලූ ෂෙල්ටන්ට අමුතු කික් එකක් ලැබුණි. ඔහු ඇහිපිහ නොහෙළා ගාමිණිගේ රඟපෑම් දෙස බලා සිටියේය. චිත්‍රපටය අවසන් විය. නැවතත් ඔහු “රන්මුතු දූව” බැලුවේය. ඔහුගේ මිතුරෝ ද ඒ විනෝදයට හවුල් වූහ. එතැන් සිට ෂෙල්ටන් ගාමිණිගේ හොඳ රසික පිස්සෙක් විය.
ඔහු ගාමිණි රඟපෑ සෑම චිත්‍රපටයක්ම නැරඹුවේය. ඇතැම් චිත්‍රපට තුන් හතර පාරක්ම නැරඹුවේය. අදටත් ඔහුගේ ප්‍රියතම නළුවා වන්නේ ගාමිණි ෆොන්සේකාය. ඉන්පසුව ඔහු විජය කුමාරණතුංගට ඇළුම් කළේය.
කොළඹ රේස්කෝස් එකේ රේස් පැද්ද ෂෙල්ටන් ඒ කාලයේ තම අශ්වයන්, පෝනියන් ගෙන ගෝල්ෆේස් ද ගියේය. අශ්ව වටයකට ඔහු සත විසිපහක් අය කළේය. එකල චිත්‍රපටශාලාවකට වියදම් වූයේ එකයි සත දහයකි.
“ගෝල්ෆේස් එකේ මුලින් පෝනි පැද්දේ අපි. ඊට අමතරව බැලුම්නානාගේ, අදර්මුදලාලිගේ පෝනියොත් ගෝල්ෆේස් එකේ හිටියා. ඒ කාලේ අපේ පෝනි විසිපහක් විතර හිටියා. ඉස්සර මේ බේරේ වැව අයින සම්පූර්ණයෙන්ම කැලයක්. ඒකේ තමයි අපේ පෝනියෝ වැඩිපුර හිටියේ. මූනි අයියාගේ පෝනියෙක් ඔය අතරේ හිටියා. ඒ කාලේ මට කදිරා කියලා හරි කීකරැ පෝනියෙක් හිටියා. අදටත් මට ඌව මතක් වෙනවා. ඒ කාලේ අපි පෝනියෝ රැපියල් තුන්සීයටත් මිලදී ගත්තා. මගේ අයියා පුත්තලමෙන් රුපියල් එකසිය හැත්තෑපහටත් පෝනියෙක් සල්ලි දීලා ගත්තා.”
ෂෙල්ටන් පවසන්නේය.
ඔහු ගාමිණීට අසීමිතව ප්‍රියකළේය. ගාමිණි කොළඹ අහළ පහළ රූගත කිරීම් කරද්දී ඔහු ඒ තැන්වලට ගොස් ඔහු රඟපාන අන්දම බලාගෙනද සිටියේය. අශ්ව, පෝනී පැදීමේ දක්ෂයකු වූ ෂෙල්ටන්ට සිනමාපටවල පෝනි පැදීමේ දර්ශනවලට ද පෙනී සිටීමේ අවස්ථාව ලැබුණි. නළුවන්ට අශ්වයන් පැදීම පුරැදු කරන ලද්දේ ෂෙල්ටන් ඇතුළු පිරිසය. ගාමිණි ෆොන්සේකා මෙන්ම රොබින් ප්‍රනාන්දු ද අපූරුවට පෝනි හැසිර වූ අන්දම අදටත් ෂෙල්ටන්ට හොඳට මතකය.
“කොළඹ සන්නිය” සිනමා පටයේදී හරි අපූරැ අත්දැකීමකට මුහුණ දීමට ෂෙල්ටන්ට සිදුවිය. “කොළඹ සන්නිය” චිත්‍රපටයේ ද අශ්වයන් හසුරුවීමේ වගකීම ෂෙල්ටන් මත පැටවිණි.
“කොළඹ සන්නියේ මම පෝනියා පිටේ එලවාගෙන යනවා. ජෝ අබේවික්‍රම මහත්තයා රික්ෂෝව ඇදගෙන යනවා. ඔන්න ඉතින් රූගත කිරීම් කරන්න පටන් ගත්තා. ජෝ අබේවික්‍රම මහත්තයා රික්ෂෝව ඇදගෙන යද්දී රික්ෂෝවේ රෝදෙට වැදිලා පෝනියා ඇදගෙන වැටුණා. ඒ වෙලාවේ ජෝ අබේවික්‍රම මහත්තයාත් පෙරළිලා ඇත්තටම වැටුණා. ඒ වෙලාවේ ජෝ මහත්තයා “අයියෝ මම ඉවරයි” කියලා කෑ ගැහුවා. පස්සේ ජෝ මහත්තයා වෙනුවට “ගෝපාල්” කියන කොනාව දාලා තමයි ඊට පස්සේ ඒ කොටස කළේ.”
ෂෙල්ටන් ඒ මතකය ද අවදි කරයි.
ගාමිණි ෆොන්සේකාට අසීමිතව ඇළුම් කළ ෂෙල්ටන්ට “සූරයන්ගෙත් සූරයා” චිත්‍රපටයේදී මුලින්ම ගාමිණී මුණගැසුණි. අදටත් ගාමිණිගේ දරුවෝ ෂෙල්ටන්ට උදව් කරති. ඇතැම් දිනවලදී ෂෙල්ටන් ඔවුන්ගේ නිවස්වලට යයි. එකල ගාමිණි ෆොන්සේකාගේ දියණියකට ද අශ්වයෙක් සිටියේය. එම අශ්වයා බලාගැනීමේ වගකීම වරක් ෂෙල්ටන්ට පැවරුණි.
නුවරඑළිය පැවති බොහෝ තුරඟ තරගවලදී ෂෙල්ටන් රේස් පැද්දේය. විටෙක ඔහු අනු ශූරතාවය දිනා ගත්තේය. තවත් විටෙක ශුරතාවය දිනා ගත්තේය.
ෂෙල්ටන්ගේ එක ඇසක් අන්ධය. එලෙස වීමට එක සිදුවීමක් බලපෑවේය. 2012 වසරේදී ත්‍රිවිලර් රථයක වාඩිවී සිටි ෂෙල්ටන්ට මැරයෙක් වීදුරු බෝතලයකින් දමා ගැසුවේය. එයින් විසිවුණ බෝතල් කැබැල්ලකින් ෂෙල්ටන්ගේ එක ඇසක් අන්ධ විය. ඔහු ඇසුරු කළ ධනවත් පුද්ගලයන් කිහිපදෙනකුම ඇසක් බද්ධ කිරීමට උත්සාහ දරුවද ඒ සියල්ලම අවසානයේදී නිශ්ඵල විය. අශ්වයන්, පෝනියන් බොහෝ දෙනකු මෙල්ල කළ අසරුවාට අවසානයේදී එක් ඇසක් අහිමි විය.
ගාමිණිට මෙන්ම ඔහු එච්.ආර්. ජෝතිපාලට ද අසීමිතව ඇළුම් කළේය. ඒ අදටත් ඔහුගේ කුඩා සිනමා කෞතුකාගාරයේ ගාමිණි, ජෝති, විජය, රුක්මනීදේවී ඇතුළු බොහෝ නළු නිළියන්ගේද ලෝකයේ කප් ගැසූ අශ්වයන්ගේ සහ ජොකියන්ගේ ද ඡායාරෑප විශාල ප්‍රමාණයක් ඇත. ඔහුගේ ප්‍රියතම ගායකයා වන්නේ එච්.ආර්. ජෝතිපාලය. ජෝතිගේ ගීතයක් නැති, ගාමිණි, විජය නැති සිනමා පටයක් ඔහු නරඹන්නේ එක් වතාවක් පමණි. නමුත් ගාමිණි, විජය රඟන ජෝතිගේ හඬ තියෙන සිනමාපට ඔහු එකල කිහිපවතාවක්ම නැරඹුවේය.
එච්.ආර්. ජෝතිපාල සමඟ එක්ව එකට මධුවිත තොලගෑ අතීතයක් ද ෂෙල්ටන්ට තිබේ. ෂෙල්ටන්ගේ නිවස අසලට තවත් යහළුවෙකු සමඟ පැමිණෙන ජෝතිපාල ෂෙල්ටන්ව ද තම රතු පැහැති කාරයේ නංවාගෙන අසල තිබූ අවන්හලට ගොස් මධුවිත තොලගාමින් සතුටු සාමීච්චියේ යෙදුණු අපූරු මතකය අදටත් ෂෙල්ටන් මතකයට නංවන්නේ මුහුණට රැඳුණු සිනහවක් සමඟය. ජෝතිපාල ෂෙල්ටන්ට ඇමතුවේ “කළු” නමිනි.
එකල අශ්ව පෝනියෙක් පැදීමේ අති දක්ෂයකු වූ ෂෙල්ටන් මුහුණ දුන් විවිධ කරුණු කාරණා හේතුවෙන් අද ඔහු ගෙවන්නේ හුදකලා ජීවිතයකි. අද ඔහුට එකද අශ්වයකු හෝ නැත. පෝනියකු නැත. ඉන්නට නිවෙසක් නැත. අද ඔහු සියඹලා ගහ යට ඇති කුඩා කෞතුකාගාරයේ රැය පහන් කරයි. සතියේ දින කිහිපයක් ඔහු දන්නා හඳුනන වත්තක වැඩට යයි. කන්න නැතත් ඔහු තම කෞතුකාගාරය ඉදිරිපිට කුඩා පුටුවක හිඳ ඉඳහිට තම කෞතුකාගාරය බලන්නට එන නරඹන්නන්ට සිනමාව ගැන විස්තර කරයි. ඔහු අපූරු පරිසරකාමියෙකි. ගහ කොළ, සතා සිව්පාවුන්ට ඔහු දැඩිව ආදරය කරන්නෙකි.
“මම සල්ලිවලට ආස නැහැ. මම කලාවටයි ආස. මම නැතිදාක මේ පින්තූරවලට මේ පොත්වලට මොකද වෙන්නේ.. ඒ ගැන හිතද්දී මට දුකයි. සමහරු මගෙන් ඒ පරණ පොත්පත්, පින්තූර අරගෙන යනවා. හැබැයි මම කලාවට ආදරේ කරන මනුස්සයෙක්. අනේ සල්ලි තියෙද්දී යාළුවෝ පිරිලා නෑදෑයෝ පිරිලා නැතිදාට කවුරුත් නැහැ. මම මගේ දුක කියන්නේ මේ සියඹලා ගහට විතරයි.”
ෂෙල්ටන් පවසන්නේය.
ෂෙල්ටන් හරි හම්බකරපු මුදලක් නැත. දේපළක් නැත. අශ්වයන්, පෝනියන් පිටේ නැග වේගයෙන් දිවූ කලාවට ආදරය කරනා ෂෙල්ටන් අද ගෙවන්නේ හුදෙකලා ජීවිතයකි. ඔහුගේ කුඩා කෞතුකාගාරයේ හිඳ ඔහු අසා බලාගෙන සිටි. ඒ දෑස්වල ඇත්තේ අතීත සුන්දර මතකයන්වල සටහන් පමණි.
(පසුගිය දිනෙක බී.බී.සීයේ ලිපියක ෂෙල්ටන්ගේ සිනමා කෞතුකාගාරය ගැන විස්තර පළවී තිබූ අප මෙහි සඳහන් කරන්නේ ඔහුගේ කැපවීමට අගැයීමක් වශයෙනි.)
දිශානි ජයමාලි කරුණාසේන
සේයාරූ - සුමුදු හේවාපතිරණ