කන්නෙලිය ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ වටිනාකමක් ඇති රක්ෂිත වනාන්තරයකි. මෙම වනාන්තර පද්ධතියේ ස්වභාවික වටිනාකම වෙනම පැහැදිලි කළ යුත්තක් වන අතර අද අප කතා කරන්නේ ඒ පිළිබඳව නොවේ, මේ බලධාරීන්ගේ අනුවණ තීරණ හේතුවෙන් වැනසෙන කන්නෙලිය වනයේ අඳුරු කතාවයි.
මීට මසකට පමණ ඉහතදී අප හට කන්නෙලිය සංචාරයට ඉඩ සැලසුණි. එය කන්නෙලිය අර්බුදය පිළිබඳ සොයන්න ගිය ගමනක් නොවීය. එය මිතුරන් කිහිප දෙනකු හා ගිය පෞද්ගලික සංචාරයකි. එදින වනය තුළ සැරිසරන අතරතුර අප නෙත ගැටුණු විශේෂිත කරැණක් රටේ සමස්ත මහජනයාගේ අවධානයට ලක්විය යුතු යැයි අපට සිත් විය. එසේ නමුත් මේ පිළිබඳ යම් සොයා බැලීමක් කිරීම අවැසි වූයෙන් අපි එම කටයුත්ත තරමක් කල් දැමුවෙමු. එහෙත් දැන් අප මේ සටහන තබනුයේ තරමක් කරුණු සොයා බැලීමෙන් අනතුරුවය.
කන්නෙලිය රක්ෂිතයට ඇතුළු වන පිවිසුම අද්දර මාර්ගයේ එක් පසෙක ජලය ගලා යන කාණුව මනාකොට කොන්ක්‍රීට් පිළිසකර කර තිබෙන ආකාරය සංචාරය අතරතුරේදී අපි දුටුවෙමු. තවද වනයට පිවිසෙන මග දෙපස කාණු පද්ධතිය ඉතා හොඳින් කපා තිබෙන අයුරු දිස් විය. තවත් තැනෙක ගල්වැටිවලින් බෝක්කු බැඳ තිබුණි. වනයට පිවිස සැතපුම් කිහිපයක් යනවිට මග දෙපස තැන තැන ඉදිකිරීම් සඳහා ගෙන ආ කොන්ක්‍රීට් ගල් ද විශාල වශයෙන් දක්නට ලැබුණි. තවත් තැනෙක බැකෝ යන්ත්‍රයක් නවතා තිබෙන අයුරු ද අප හට නිරීක්ෂණය විය. කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙන විට රක්ෂිතය මධ්‍යයේ වන දියඇල්ලට පිවිසෙන මග කොන්ක්‍රීට් අතුරා පිළිසකර කිරීමට සූදානම් කර ඇති අයුරුත් දුටුවෙමු. වන මංපෙතේ වූ මේ වෙනස්කම නිසාවෙන්ම අපි මඟපෙන්වන්නාගෙන් මෙහි සිදුවන්නේ කුමක්දැයි විමසා සිටියෙමු. තවත් දැවැන්ත පරිසර විනාශයක තතු සොයා යාමේ පළමු පියවර එය විය.
ප්‍රථමයෙන් අපට හෙළිවූයේ මේ මහ වනයේ වන මඟ දෙපස කාණු බැඳීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බවය. තවද පාර කොන්ක්‍රීට් කිරීම ද එම ව්‍යාපෘතියේ කොටසක් බව කියැවුණි. මේ සියල්ල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ සිදුවන බව දැනගන්නට ලැබුණි. කන්නෙලිය සුරැකීමේ සංවිධානය හා තවත් පරිසර සංවිධාන කිහිපයක්ම ඒ වනවිටත් මෙම ව්‍යාපෘතියට විරෝධය පළ කර තිබුණේය. එහෙත් එය අභිබවා විල්පත්තු පරිසර ගැටලු වැනි වෙනත් දෑ ප්‍රබල සමාජ අවධානයක් දිනා තිබුණි. ඒ හේතුවෙන් මෙම දින වකවානුව තුළ කන්නෙලිය විනාශ කරළියට නොපැමිණියේය. එහෙත් කන්නෙලිය සුරකින්නට ඉදිරිපත් වූ පරිසර සංවිධානවලින් පසුව අපි මේ පිළිබඳ පුළුල්ව විමසා සිටියෙමු. ඒ අනුව හෙළිවූ කරුණු මෙසේය.
පසුගිය කාලයේ දී කන්නෙලිය පරිසර විනාශය පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමුකිරීමට පරිසර සංවිධාන විසින් කොළඹ දී විරෝධතාවක් පවත්වනු ලැබීය. මෙහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට පරිසර ක්‍රියාකාරීන්ට අවකාශ සැලසුණි. මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස කන්නෙලිය සංචාරයට දෙපිරිසම එකඟ වූහ. පසුගිය මාසයේ දී එම සංචාරය සිදුවී ඇත. මෙයට පාහියංගල ආනන්ද සාගර හිමියන් ඇතුළු සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ කණ්ඩායමක් සහභාගී වූහ. මේ සංචාරය හා මෙම සංවිධානවල මැදිහත් වීම මත තවත් තොරතුරැ රාශියක් අනාවරණ විය. පසු අවස්ථාවක දී ආනන්ද සාගර හිමියන් විසින් ඊට අදාළ තොරතුරු අප වෙත හෙළි කරනු ලැබීය.
ජනවාරි තුන්වැනිදා තමයි කන්නෙලිය කාර්යාලයේ අපි පළමුවැනි රැස්වීම කළේ. ඉන් පස්සේ මාර්තු 13 වැනිදා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා අපි විරෝධතාව ප්‍රකාශ කළා. මාර්තු 25 අපි කන්නෙලිය සංචාරය සූදානම කළා සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය විදිහට. අපි මෙම සංවර්ධන වැඩසටහනට අදාළ පාරිසරික අධ්‍යයනයක් කළා කන්නෙලිය වනාන්තරය ඇතුළේ. වන සංරක්ෂණ නිලධාරීන් පිළිගත්තා වරදක් වෙලා තියෙනවා කියලා. ඒ අනුව මේ ව්‍යාපෘතිය වහාම නතර කරනවා කියලා ඔවුන් කිව්වා. පසුව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල් අපට දැනුම් දුන්නා ව්‍යාපෘතියේ වැඩ කටයුතු තාවකාලිකව නතර කළා කියලා. දැන් රථගාල හා වැසිකිළි පද්ධතියේ පමණක් ඉදිකිරීම සිදුකරනවා කියලා. නමුත් මේ වෙනකොට කොන්ත්‍රාත්කරුවෝ කියනවාලු ඔවුන්ගේ ගිවිසුම අනුව මේ වගේ පොඩි දෙයක් විතරක් කරන්න බෑ, අවම වශයෙන් මාවතේ ප්‍රතිසංස්කරණ හෝ කරන්න ඕන කියලා. ඒ අනුව අපිට ආරංචි වෙලා තියෙනවා කොන්ත්‍රාත්කරුවාගේ බලපෑම් මත පාරවල් කොන්ක්‍රීට් කිරීමේ අවසර දෙන්න යනවා කියලා.
මෙම ව්‍යාපෘතියට මුදල් ලැබී ඇත්තේ ලෝක බැංකු ආධාර මතය. ස්කෑන් නම් වූ මෙකී ව්‍යාපෘතියේ සංචාරක සංවර්ධන වැඩසටහනක් ලෙස කන්නෙලිය වනයේ මෙම කටයුතු සිදුවී ඇත. මෙම කටයුතු අරඹා තිබෙන්නේ පරිසරය පිළිබඳ හානි ඇගැයීම් තක්සේරුවක්වත් (EIA) නොකිරීමෙනි. තවද මෙම වැඩසටහනට අදාළ වනාන්තර පද්ධතියට ඉහළින් සංචාරක ආකර්ශනය වෙනුවෙන් විදුලි කාර් සවිකිරීම ද, වනාන්තර පද්ධතිය ඇතුළත වී.අයි.පී බංගලාවක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇතැයි කියැවේ. තවද වන මංපෙතට ගල් ඇල්ලීමේ ද සැලසුමක් ඇති බව දැනගන්නට ලැබුණි.
කන්නෙලිය පිළිබඳ ඉතිහාසය සොයා යාමේ දී මෙම වනාන්තර පද්ධතිය සිංහරාජ වනාන්තර පද්ධතියෙන් හුදෙකලා වුණු වනාන්තර පද්ධතියක් බව දැනගන්නට තිබේ. කලක සිට තුනී ලෑලි සමාගම් විසින් මෙම වනාන්තරයේ ගස් කැපීම් කරගෙන ගොස් ඇත. පසුව ජේ.වී.පී කලබල ඇතිවූ කාල වකවානුවේ මෙහි ගිනි තැබීමක් ද සිදුවිය. ඒ අනුව අතීතයේ මෙම වනය ඇසුරේ තවත් කතා බොහොමයක් වන බව අපට දැනගන්නට ලැබුණි. කෙසේ නමුත් පසුකාලීනව මෙම වනාන්තර පද්ධතිය ද්විතීය වනාන්තර පද්ධතියක් ලෙසින් සකස් විය. මෙහි වටිනාකම තීව්‍ර වන්නේ මේ වනයේ ඇති ආවේණික ශාක හා සත්ත්ව විශේෂ නිසාවෙනි. ඇතැම් විශේෂ ලෝකයෙන්ම මෙහි පමණක් දැකගත හැක්කේ කන්නෙලියේ පමණි. ඒ අනුව මෙම පරිසර විනාශය හේතුවෙන් මෙහි ජීවත් වන විශේෂිත ගෙම්බන් විශේෂයක් අවදානමට ලක්ව ඇතැයි කියැවේ. මධ්‍යම ප්‍රමාණයෙන් යුත් ජලයේ වාසය කරන මෙම ගෙඹි විශේෂය වන මඟේ දෙපස වූ ස්වභාවික කාණු වැනි ජල තලයේ වාසය කරන අතර මෙම කාණු පද්ධතිය සැකසීමට අදාළ කටයුතු නිසාවෙන් එම ගෙඹි විශේෂය අවදානමට ලක්ව සිටිති.
අප කළ සංචාරය අතරතුර දිගින් දිගටම මතුවූ පැනයකි. මෙරට ජලය බැස යාම ගැටලුවක් වූ නගර ගම් කොපමණ තිබේද? ඒවාට මෙවන් කාණු පද්ධතියක් සකසන්නට කවර නම් බලධාරියෙක් උනන්දු වේද? ඒ පැනය ඔබ හමුවේ තබන්නේ අපට දැනගන්නට ලැබුණු තවත් ආරංචියක් ඔබ හමුවේ තබමිනි. එය නම් දැනටමත් ලෝක බැංකු ආධාරවලින් තුනෙන් දෙකක් වියදම් වී හමාර බවට වූ ආරංචියයි.
චමිඳු නිසල් ද සිල්වා