2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

පරණ පොතේ අවුරුදු සිරිත්

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 196

දේව වරමින් තෙල් වලින් ලිප තැබීම

අවුරුදු උදාවත් සමඟම තෙලෙන් බැදගත් රසකැවිලි ඕනෑපදන් කෑමට ලැබේ. ඒ අතර කොණ්ඩ කැවුම්, නාරං කැවුම්, හැඳි කැවුම්, ආස්මී මෙන්ම උඳුවළලු ද දැකිය හැකිය. එයටත් වඩා තෙලෙන් පිසූ ආහාර ඒ ඒ පළාත්වල සැකසේ. මෙලෙසින් අවුරුදු සමයේ තෙලෙන් පිසූ කැවිලි තනන්නේ අවුරුදු කෑමේ සතුට වෙනුවෙනි. එහෙත්, එහිද සිරිතක් තිබේ. එනම් අවුරුදු සමයට තෙල්වළන් ළිප තබා කැවිලි තැනීම නිශ්චිත නැකතකට අනුව සිදුකිරීම හා එය නැකතකට අනුව නැවතීමය. ඒ සියලු සිරිත් වී ගොවිතැන හා ඍජුවම බද්ධ වී තිබේ. අවුරුදු සමයේ ඇති පදම් තෙල්වළන් ආශ්‍රිත කැවිලි කෑමට හැකි වුවද එහෙත්, ඒ සඳහා තෙල් වළන් ලිප තබන නැකත උදාවන තෙක් මඟ බලා සිටිය යුතුවේ.

මාස් කන්නයේ වී අස්වනු නෙළාගත් පසු අක්යාල දෙවියන්ට පුදා කිරි ඉතිරුම් මංගල්ල පවත්වනතුරැ තෙල් වළන් ලිප තැබීම තහංචිය. මේ ජනසම්මත සිරිත් මෙලෙස සිදුවන්නේ ගොයම් යාය පූදින විට ගංකරයේ මහගමරාල උන්දෑ හා විදානේ උන්දෑ භාරහාර වන බැවිනි. ඒ යාය රෝග උවදුරුවලින් බේරාදෙන ලෙස දෙවියන්ගෙන් කරන කන්නලව් කිරීම් හා පඬුරු බැඳීම් මගිනි. මේ භාර නිදහස් වන්නේ අලුත් සහල් මංගල්ලය වන කිරි ඉතිරැම් මංගල්ලය නිසි ලෙස පැවැත්වීමතක් සමඟය. එතැන් සිට තෙල්වළන් ලිපි තබා තමුනට රිසි ලෙස අලුත් සහල් පිටි කොටා කැවිලි තනා ගැනීමට අවසර ලැබේ. එහෙත්, සිංහල අලුත් අවුරුද්ද උදෙසා කැවිලි තැනීමට නම් විශාල වශයෙන් එම කටයුතු සිදුකළ යුතුය. එයට හිරු දෙවියන්ගෙන් අවසර ලබාගත යුතුය. මන්ද යත් තෙල් වළන් ළිප තබන නැකත් සිරිත් නිසියාකාරව ඉටු කිරීමෙන් පසුව ඕනෑ හැටියට ගංකරයේ ඇත්තන්ට කැවිලි වර්ග තනා ගැනීමේ ජනසම්මත අවසරය හිමි වේ.

ඒ ඒ ගෙවල්වල ඇත්තන් තම තමුන්ට ඕනෑ හැටියට වග විභාගයක් නැතිව තෙල් වළන් ළිප තබා අවුරුදු කැවිලි සෑදීම තහංචියක් ලෙස සැලකේ. එසේ වුවහොත් ඒ අවුරුදු සමයේ කෝඳුරුවන්ගේ කරදර බහුල වන බවත්, ඇස් ලෙඩ ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි බවත්, පාචනය බඳු රෝග බහුලව වැළඳෙන බවත් විශ්වාස කෙරේ. ඒ කෝඳුරුවන්ගේ ගහනය වැඩිවන හෙයිනි. එබැවින් සිරිත් සම්මත පිළිවෙත වන්නේ ගංකරයේ ඇත්තන් එකට එකතු පහදු වී තෙල් වළන් ළිප තබන නැකත උදාවන විට අවුරුදු කැවිලි සෑදීමට සූදානම් වීමය. එයට පෙරාතුව අවශ්‍ය කළමනා සියල්ල රැස්කර ගනී. පිටි කෙටීම, පැණි රැස් කිරීමා, දර රුස් කිරීම හා තෙල් හදා ගැනීම ඒ අතර වේ.

තෙල් වළන් ළිප තබන නැකත උදා වන විට ඒ කටයුත්ත සිදුකරනුයේ එළිමහනකය. බොහෝ විට මෙයට ගංගෙදරින් පිට පවිත්‍ර පිළිකන්නක් හෝ ගෙමිදුලක් හෝ භාවිත කරයි. ඒ සමඟම අත්දැකීම් බහුල කැවිලි තනන්නියකගේ ආධාරය ලබා ගනී. ගෙවල් හත අටක උදවිය එකම මණ්ඩියකට එකතු පහදු වීම සිරිතකි. නැකත උදා වනවිට තෙල් වළන් හට්ටියට ගිනි බෝ කර පසුව තෙල් හැඳි දෙකක් කතිර හැඩයට තබා සිව් පැත්තෙන් වළඳට තෙල් දමන්නේ සියලුදෙනාම කතා නොකරමිනි. මෙහිදී කතාබස් කිරීම තහංචිය. එසේම පළමුව තෙල්වළන් ළිප තබන නැකතට පිසින්නේ කොණ්ඩා කැවුම්ය. තෙල්වළන් ළිප තැබීම අත්තමට සිදුවන්නකි. ගෙවල් හත අටක බවලතුන් එක පොන්ගලේ එකතුවන හෙයින් ඒ ගෙවල් කීපයටම අවශ්‍ය කැවිලි එම ඇත්තියෝ තනාගනිති. ඒ අතරම සියලු දෙනාටම මඟ පෙන්වීමට හා අවශ්‍ය නිසි පදම රැගෙන දීමට අතහුරැ ඇත්තියකගේ නායකත්වය මෙයට ලැබේ. ඒ යටතේ බාලයන්ද අනෙක් අත්දැකීම් ඇති බවලතුන්ද යහමින් කැවිලි තැනීමට අවශ්‍ය හුරුකම් ලබා ගනී.

එබැවින් කොණ්ඩා කැවුම් තැනීමට නිසි ශිල්පීය ඥානය ඇත්තිය බාලයන්ට කියාදෙයි. එලෙස ගංකරයේ ආස්මී, හැඳිකැවුම්, නාරංකැවුම් වැනි දෑ මෙන්ම දොදොල් වැනි කැවිලි වර්ගද අත්ගුණය ඇති අත්දැකීම් බහුල ඇත්තියන්ගේ උදව්වෙන් "කැවිලි පෙවිලි අත්තමට" තනා ගනිති. මෙලෙස පුරා දින කීපයක්ම පරණ අවුරුදු උදා වනතුරු කැවිලි පෙවිලි අත්තමට අවුරැදු කැවිලි වර්ග තනා ගැනිම වැව් ගම්මාන වල සිරිතක් වී තිබේ.

නැකත් සීට්ටුවක් මොකටද?

අලුත් අවුරුද්දේ සියලු සුබමූර්ථයන් සිදුවන්නේ නැකතටය. නොනගතය, වැඩ වැරීම නැකතට සිදුවේ. අවුරුදු උදාව, ළිප දැල්වීම, වැඩ ඇල්ලීම, අනුභවය පමණක් නොව, ආයුරාරෝ සම්පත් පතා හිසතෙල් ගෑමද නැකතට සිදුවේ. මේ සම්මත සිරිත් කීපයක් පමණි. නමුදු අපේ වැව් ගම්මානවල ඇත්තන් අවුරුදු චාරිත්‍ර සියල්ල ඉටුකළේ නැකත මුල් කරගෙනය. එය චන්ද්‍රමාස සම්ප්‍රදායට අනුව සිදුවූවකි. එහෙයින් එම නැකත් සියල්ල සොබාදහමේ චක්‍රය හා බැඳී පවතී. තවද වත්මන වනවිට එම නැකත් චාරිත්‍රයන්ගෙන් බොහෝ කොටස් භාවිතය ඉවත දමා ඇති සෙයක් ද හඳුනාගත හැකිය.

සිරිත් සම්මත පිළිවෙත් අනුව අවුරුදු උදාවට පෙර ගංකරයේ නැකත්රාල උන්දෑ මුණගැසී දැකුම් දී "අවුරුදු නැකත් සීට්ටුව" ලබාගත යුතු වේ. මේ සඳහා දින තීන්දු කෙරේ. එහෙයින් කිරි ඉතිරුම් මංගල්ලය පවත්වා දෙවියන්ගෙන් අවසර ගත්තාට පසුව නැකත් රාල හමු වී නැකත් සීට්ටු ලබා ගැනීම සිරිත් සම්මත අවුරුදු සම්ප්‍රදාය වේ. ගංකරයේ කිරි ඉතිරුම් මංගල්ලය පවත්වා අලුත් සහල් පුදන තෙක් නැකත් සීට්ටු පිළියෙල කිරීම හෝ ගම්වැසියන්ට ලබාදීමට හෝ නැකත්රාලවරු අකැමැති වෙති. ඒ තහංචියක් බැවිනි. එබැවින් කිරි ඉතිරීම් සිදුකළාට පසුව ඒ වසරේ අවුරුදු චාරිත්‍ර යෙදී තිබෙන පිළිවෙළ පුස්කොළයක සටහන් කර ඒවා කළු මදියි. එසේම එම පුස්කොළ පත්ඉරුව රවුමට රෝල් කර තිබේ.

අවුරුදු නැකත් සීට්ටු ලබාගැනීම පිණිස ගංකරයේ නැකත්රාල උන්දැගේ ගංගෙදරට යන්නේද සුබ දිනවලය. කෙම්මුර දින හෝ අවපසේ දින හෝ ඊට උචිත නොවේ. එලෙස යනවිට නැකත්රාල උන්දැට අවුරැදු දැකුම් ගෙනගොස් දීම ද සිරිතකි. එයට අලුත් හාල්, කුරක්කං, හේනේ භෝග, කැවිලි වර්ග මෙන්ම අවුරුද්දට අදාළ කලප්පන්න පමණක් යොදා ගැනේ. ඒ සමඟම බුලත් අතක් ද ගෙන යා යුතුයි. එය පිළිගන්වා දැකුම් දී අවුරුදු නැකත් සීට්ටුව ලබා ගනී.මෙය ගංකරයේ සියලු ගොවිගෙවල ඇත්තන් සිදුකරන්නකි. තමාගේ පියා, මාමණ්ඩි හෝ ඥාති හිතවතුන් හෝ නැකත් සීට්ටු රැගෙන ආවාකියා මඟහැරිය නොහැකියි. පවුලක් ලෙස සම්මත ඇත්තන් වෙන් වෙන් වශයෙන් ගොස් නැකත්රාල බැහැ දැක, දැකුම් දී නැකත් සීට්ටු ලබාගැනීම ජනසම්මත පිළිවෙත වේ. එසේම නැකත්රාල උන්දෑ පළමු නැකත් සීට්ටුව පිළිගන්වන්නේ ගංකරයේ පන්සලේ නායක හිමිපාණන්ටය. මන්දයත් සියලු අවුරුදු නැකත් උදාවනවිට ඒ බව ගංකරයේ ඇත්තන්ට මතක් කරදීම සඳහා පන්සලේ දී ඝණ්ටාව හෝ ගෙඩිය හෝ ගසති. එලෙස පන්සලට පළමු නැකත් සීට්ටුව ලබාදෙන තුරු එය ගංකරයේ උදවියට ලබාදීම ද තහංචිය.

නැකත්රාළ උන්දෑ යෙදී තිබෙන නැකත් අනුව අවුරුදු නැකත් සීට්ටුව පිළියෙළ කරයි. එහි පළමු නැකත වන්නේ තෙල්වළන් ලිප තැබීමය. එතෙක් ගංකරයේ ඇත්නන්ට තෙල් ලිප තබා කැවිලි තනා ගැනීම තහංචියකි. දෙවැන්න ගංගෙවල් කලඑළියට සුබ දවස් හා අංකෙළියට හා පොල් කෙළියට උචිත නැකත් දින සටහන් කරදෙයි. මන්ද යත් පත්තිනි දේවිය මුල් කරගත් අංකෙළි, පොල්කෙළි සිදුකළ යුත්තේ නැකත් අනුවය. එසේම පරණ අවුරුද්දට සඳ බැලීම ඊගාව නැකත වේ. මන්දයත් වැව්ගම්මානවල ඇත්තන් ගොවිතැන් බතින් ජීවිකාව සපයාගන්නා හෙයින්, චන්ද්‍රමාස සම්ප්‍රදාය ඉතා වැදගත් කොට සලකති. එසේම නොනගත උදාව හා ඊට පූර්වයෙන් ඉටුකළ යුතු වතාවත් පිළිබඳව සනිටුහන් වේ. තවද නොනගත නැකත, අවුරුදු උදාව, ලිප ගිනි දැල්වීම, වැඩ ඇල්ලීම, ආහාර අනුභවය, නෑහෙත්තුවේ ගමන් සඳහා සුබ මූර්තයන් මෙන්ම අවුරුදු නැකත හමාර කිරීම පිණිස හිසතෙල් ගැල්වීම හා රැකීරක්ෂා බලා පිටත් වීම යන නැකත් සියල්ල කෙසේ අනුගමනය කළ යුතුදැයි යන්න මෙම අවුරැදු නැකත් සීට්ටුවේ සඳහන් වේ. අනෙක් අතට ගංකරයේ නැකත්රාලවරැන් විසින් මේ අවුරුදු නැකත් තනනු ලබන්නේ හිරුතම ගම් ප්‍රදේශයට පායන කාල හෝරාවන් අනුවය. එය පොදු සම්මතයක් නොව, ගම හා ඒ අවට පරිසරය සමඟ සොබාදහමේ ඇතිවන ඍජු සබැඳියාවකි. එහෙයින් තරමක් දුර ගංකරවල මේ නැකත් වේලාවන් ඉතා සුළු වශයෙන් එහාට මෙහාට වේ. ඒ අදාළ ගම්තුලානට බලපාන රටාව අනුව අපේ නැකත්රාලවරැන් ටක්කෙටම නැකත් පිළියෙල කරන හෙයිනි. එමෙන්ම ගංකරයේ පන්සල මුල් කරගෙන එම පන්සලේ හතරපේරුවට අදාළ වන අවුරැදු නැකත් උදා වූ වග ගෙඩිය ගැසීමෙන් හෝ ඝණ්ඨා හැඬවීමෙන් හෝ දන්වති. මේ කටයුතු සියල්ල මෙලෙස සිදුකිරීමට පහසු වන්නේ නැකත්රාල උන්දෑ අවුරැදු නැකත් සීට්ටුව සකසා දෙන බැවිනි. එසේම එය අවුරුදු චාරිත්‍රයක් ලෙස අනුගමනය කිරීමට දක්වන සංස්කෘතික හුරුකමද ඊට බොහෝ සෙයින් බලපා ඇත.

කුණුමුත්තා පිදීම

පරණ අවුරුද්ද උදාවට පෙර සිදුකළ යුතු සිරිතක් ලෙස ඇතැම් පළාත්වල කුණුමුත්තා පිදීම සිදු වේ. ඒ ඒ වසරේ දී නොනගත උදාව සිදුවන්නේ අදාළ නැකැත් අනුවය. එබැවින් උදෑසන හෝ සවස හෝ නැතිනම් රාත්‍රී කාලය වශයෙන් නොනගත උදාවට නියමිත වේලාව පැමිණේ. එයට පූර්වයෙන් කුණුමුත්තා පිදිය යුතුය. විශේෂයෙන් රාත්‍රී කාලය හෙවත් බිම් කළුවර වැටුණාට පසුව අන්ධකාරයේ කුණුමුත්තා පිදීම තහංචියකි.  එබැවින් උදේ - දිවා හෝ හවස් කාලය මෙයට තෝරා ගන්නේ නොනගතය උදාවන නැකත් වේලාව අනුවය.

කුණුමුත්තා පිදීම පරණ අවුරුදු දිනයේ දී සිදුකරන අවසන් සිරිත ලෙස ද සැලකේ. එයට පූර්වයෙන් අනෙකුත් අවශ්‍යතා සියල්ල සූදානම් කර ගනී. ගෙවිලිය කුස්සියාලත්ත සහමුලින්ම ඉලපතකින් අතු ගා එහි රැස්වී තිබෙන සියලුම කුණුරොඩු මලු පිටතට හෝ අබලන් වූ කුල්ලකට හෝ දා ගනී. ඉනික්බිතිව ලිප්බොක්කේ තිබෙන සියලු ගිනි අඟුරැ ගෙයි පිළිකන්නේ ලිප් බැඳ එයට ගෙන යයි. එලෙස ගිනි අඟුරු ලබාගත් පසුව ඉතිරි වන අළු හා වෙනත් රොඩු දූවිලි සියල්ලම අළු පත්තෙන් අතු ගා කලින් කුණු රැස්කරගත් මෙවලමටම දමා ගනී. මේ කටයුතු අවසන් වූ විට ගෙවිලිය අවුරුදු කෑමට පිසගත් කොණ්ඩ කැවුමක් දෙකක්, අතිරහ හෝ වෙනත් තෙලෙන් බැදගත් මුං කැවුම් වැනි කැවිලි විශේෂයකින් කීපයක් සමඟ ඉදුණු කෙසෙල් ගෙඩියක් ඉවතලන අළු දූවිලි ගොඩ මතින් තබයි.

ඇතැම් විටෙක ඒ සමඟම බුලත් විටක් හෝ බුලත් කොළයක් හෝ තියති. එහෙත්, කිසිදු විටෙක කිරිබත් හෝ බත් වෑංජන හෝ එයට මුසුකර ගැනීමෙන් වළකී. මේ සියල්ල පිළියෙළ කරගෙන ගෙවිලිය එම ද්‍රව්‍ය රුගෙන පෑළදොරින් හෙවත් කුස්සියාලත්තේ පිටුපස දොරින් පිට වේ. එලෙස පෑළදොරින් පිටවන විට ගෙවිලියට කතා කිරීම තහංචි වේ. එබැවින් කතාබස් නොකර ගෙදරින් එළියට ගොස් වනබැද්දේ ගසක් මුලට පැමිණේ. කිසිවකුගේ පයට නොපෑගෙන තැනක ගසක් මේ සඳහා තෝරා ගනී. බැද්දට - අකුලට නැතිනම් වත්ත කෙළවරට හෝ මේ උදෙසා යා හැකිය. එලෙස ගොසින් ගස මුලට රැගෙන ආ කුණු සහිත මෙවලම තබා කිසියම් කන්නලව්වක නිරත වේ. "ඔන්න මේ වංගියේ අපි කුණුමුත්තා පුදන්නටයි ආවේ. මේ සියල්ල උන්දැටයි අයිති" කියලා කියති.

එම සිරිත් සම්මත කටයුතු අවසන් වූ පසුව ගෙවිලිය වැවට නැතිනම් දියකඩකට ගොස් හොඳින් අත් පා සෝදා ගනී. අනතුරැව ගමගෙදරට පැමිණෙන්නේ ඉදිරි දොරින් ගෙට ඇතුළුවීමෙනි. එලෙස පැමිණෙන විට ගමගෙදර ඇත්තන් කාටත් ඇසෙන ලෙස "ඔන්න අපි මේ වංගියේ කුණුමුත්තා පිදුවා" කියා කාටත් දැනුම් දේ. මේ අනුව බලන විට අලුත් අවුරුදු උදාව එළඹීමට පෙර ගොවිගෙදර සියලු කණුරොඩු ඉවත්කර පිරිසිදු කර ගැනීමද සිරිතක් ලෙස භාවිතා කරන්නේ අලුත් අවුරුද්දට අලුත් මුහුණුවරක් ගමගෙදරට උදාකර ගැනීමේ අපේක්ෂාවෙනි.

ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත

 

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00