2019 මාර්තු 23 වන සෙනසුරාදා

ආණ්ඩුවේ කන්තෝරුවල බුලත් විට තහනම!

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 191

පෙරදිග ශිෂ්ටාචාරය තුළ බුලත්විට ඖෂධයක්, චාරිත්‍රයක්, පුරුද්දක්. ඔන්න ඒ වුණාට ලංකාවේ රාජ්‍ය ආයතනවල බුලත්විට කෑම තහනම් කොරලා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත්කරලා තියෙන්නේ. මේකේ දෙපැත්තක් තියනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් පහුගිය දොහක නිවේදනය කරලා තියෙනවා බුලත්විට සැපීම පිළිකා ඇති කිරීමට දායකවනවා යැයි කියලා.

රාජ්‍ය ආයතනවල දුම්කොළ ආශ්‍රිතව නිෂ්පාදනයන් විකිණීමත් තහනම්ලු දැන්. රාජ්‍ය ආයතනවලටම මේ සංගෙදිය පාත්වුණේ කොහොමද? අපි බලමුකෝ, අපේ ආණ්ඩුවේ ඔපීසිවල විට කන ඇත්තෝ කිහිපදෙනෙක් අනිවාර්යයෙන්ම ඉන්නවා. පියන්ලා ලියන මහත්තුරැ විතරක් නෙවෙයි සමහර ලොකු ලොක්කොත් විටක් කාරිය කනවා. මේක ආයතන පොෂ් වෙන ලොකු ලොකු තැන්වල ගොයියන්නට ඇහැට කටු අනිනවා වගේ වැඩක් වුණා. කාලයක ඉඳන් ඔෆීසිවල විට කන අයට එක එක ලෙඩ වැටෙන්න පටන් ගත්තේ ඔය නිසා. ඒත් අණපනත් නැතිවට කියන දෙය අහන මිනිසුන් ගොඩක් ඔය අය අතර අඩුයි. ඔන්න දුන්නා බැස්ටිය මේ පාර ටක්කෙටම. 

කලබල වෙන්න එපා.... ඔය කතාව එහෙම වුණත් විටේ නරක ගැනත් අපි කියන්න ඕනා. මෙහෙමයි විටේ නරකම දේ තමයි දුම්කොළේ. අනික හුණු. තහනම් කරන්න ඕනා ඔන්න ඔය දෙක වුණාට තහනම විටටම. ලෝකේ අතිශයම භයානක පිළිකා තත්ත්වයක් තමයි මුඛ පිළිකා තත්ත්වය. ඒකේ ආයේ දෙකක් නැහැ. කොයික වෙතත් මේ විට කෑමෙන් පිළිකා හැදෙනවා කියන එක දැන් විද්‍යාත්මකව ඔප්පුවෙලා හමාරයි. මේ තහනම් එක පැත්තකින් නරකක් නෑ කියලා ආන් එතකොට හිතෙනවා.

ඔය කියන  හුණු දුම්කොළ නැතිව කන්නම බැරිද? බැරි නෑ දැන් ඒකට පුරුදුවෙලා. දැන් විටක තියෙන්නේ මොනවාද? බුලත් කොළ ටිකයි හුණුයි දුම්කොළයි පුවක් කෑලි දෙක තුනකුයි. අපේ කාලේ විටේ කියන්නේ ඕන් ඕකට. ඒ වුණාට ඒ කාලේ විටේ මීට සෑහෙන්න වෙනස්. බුලත්විට රසවත් කොරගන්නට කරාබු නැටි, එනසාල්, ඉඟුරු පියලි, සාදික්කා, වසාවාසි, අරළු ආදිය ඒ කාලේ ගත්තා. ලංකාව, ඉන්දියාව, නේපාලය, ටිබේටය වගෙම ආසියාවේ ගොඩක් ප්‍රදේශවල මේ විට කෑම පුරුද්දක්. බුලත් විට සැපීම ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව, සමාජ විද්‍යාත්මකව විශාල වටිනාකම් රැසක් තියෙන දෙයක් කියලා විටට හිත ගත්ත ගොයියො ගොඩක් කියනවා.

කොහොම වුණත් අද වනවිට බුලත් විට කෑම සමාජයෙන් ඈත්වෙච්චි දෙයක්. මේකට හේතුව “බුලත් විට සැපීම” පිළිකා කාරකයක් කියන එකම නොවේ. බුලත් කෙළ දත්වල කහට, ගමේ ගොඩේකම් ලෝකේ වෙනස් වෙනකොට ලැජ්ජාවක්. අනික බුලත් කෙළ තැන නොතැන නැතිව හැමතැන ගැහුවාම අප්‍රසන්න දෙයක් නොවැ. ඔන්න විට කෑම රටේ සට සට ගාල අඩුවුණා. බුලත් විට වෙනුවට වෙනත් ආදේශකයක් ආවා. ඒකෙන් ප්‍රධානයි දුම්බීම. ඒ කාලේ නම්බුකාරකමට ලොකු ලොකු තැන්වල උදවිය ලොකු මිනිස්සු බුලත් විට අතහැරලා පයිප්ප උරන්නට පටන් ගත්තා. ගමේ බීඩි සුරැට්ටු බොන්න ගත්තා. පස්සේ හැමෝම එකතුවෙලා සිගරුට් බිව්වා. හැබැයි ඒවා ශරීරයට අහිතකර වුණත් ආණ්ඩුවලට ආදායම් ලැබෙන නිසා තහනම් වුණේ නෑ. පස්සේ කාලෙක තමා යන්තම් බැරි බැරි ගාතේ යම්තම් සන්තන් දුමට වැට බැන්දේ. 

දැන් බුලත්විට තහනම නිසා මොකෑ වුණේ? ඕන් ඔෆීසිවල විට කන උන්නැහේලාගේ හිත බොහොම ඔද්දල් වෙලා. ආන් ඒ අස්සේ පාර්ලිමේන්තුවේ ගමේ ලොක්කෝ දෙතුන් දෙනෙක් මේ වැඩේ නිසා බොහොම කිපිලා. අපිට විස්තරේ කිව්වා. පහළ තියෙනවා කියවලාම බලන්නකෝ. තව එකක්, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කරපු සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යවරයාවරයාගේ නිවේදනයේ අදහසත් පහළ තියෙනවා. කියවලා හිතට ගත්තොත් හොඳා.

මේක අපේ සංස්කෘතියට ගහපු පහරක්
පාර්ලිමේන්තු මන්ත්‍රී  ටී.බී. ඒකනායක:

ඉන්දියාව, පාකිස්තානය, බංගලිදේශය, භූතානය වගේ රටවල බුලත්විට කෑම, සංස්කෘතික අනන්‍යතාවයක්. ලංකාවේත් එහෙමයි. දුටුගැමුණු රජ්ජුරුවන්ට බුලත් සපයපු කෙනා බුලතා. ඔහු යුද්ධය ඉවර වුණාම වාරි කර්මාන්තයට ප්‍රවේශ වුණා. අපේ ගම්වල බත බුලත කියලා තමා කියන්නේ. ගමට ගියාම බත් ටිකක් කන්න දීලා බුලත්විටක් කන්න දීලා තමා පිටත් කරන්නේ.

අපේ පන්සලේ හාමුදුරුවන්ට පිරිතකට ආරාධනා කරන්නේ දැහැත් වට්ටිය පිළිගන්වලා. දැන් අපි ලෝකේ එකම බෞද්ධ රට දැහැත් වට්ටිය තහනම් කරපු. මේවා නෙවෙයිනේ කරන්න තියෙන්නේ.

ආදීවාසීන් ගත්තොත් ඔවුන්ගේ බුලත් හෙප්පුවේ ගමේ කොළ වර්ග, ඇට වර්ග, දේශීය දේවල් ගොඩක් තියනවා. නිරන්තරයෙන් ඔවුන්ගේ කටේ බුලත්විට තියෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අංශය මීට අවුරුද්දකට කලින් කළා සමීක්ෂණයක් ආදිවාසී ගම්වලට ගිහිල්ලා. එකදු පිළිකා රෝගියෙක්වත් හමුවුණේ නෑ ආදිවාසීන් අතරේ.

බුලත් කනකොට ගන්න ඕනා අපේ දේශීය දේවල්. හුණු වෙනුවට පාවිච්චි කළා අපේ මුතුන් මිත්තෝ කුඹුක් ගහේ පොත්ත පුච්චලා. ඒක සුදු පාටයි. ඖෂධීය ගුණයක් තියෙනවා. පුවක් එක්ක සම්බන්ධ කරලා බුළු ගෙඩිය පාවිච්චි කළා. දානේ වළඳලා ඉවර වුණ ගමන් දැහැත් වට්ටිය තමා හාමුදුරැවෝ ඉල්ලන්නේ. බුලත්විට කන ප්‍රමාණය ගත්තෝතින් ලංකාවෙන් භාගයකට පිළිකා රෝගය හැදෙන්න ඕනා. ඒ නිසා මං හිතනවා මේක අපේකමට ගහපු පාරක අපේ සංස්කෘතියට ගහපු පහරක්.

රටේ බෞද්ධ ජනතාව හා අපේකම දන්න අය ඇත්ත වශයෙන්ම කම්පා වුණා බුලත්විට තහනම් කළා කිව්වාම. ඇයි අපේ සංස්කෘතියට මෙච්චර පහර ගහන්නේ. අපි මේක තරයේ හෙළා දකින අතර විරැද්ධ ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. බුලත්විට කෑම පාර්ලිමේන්තුවේ අදත් අපි කරනවා. අපි ඒක චාරයක් ඇතිව සිරිතක් ඇතුව කරන්නෙ. ඒක අපේකමත් එක්ක එන දෙයක්. අපි ජීවිතේට සිගරුට් එකක් බීලා නෑ. කඩදහි කොළයක්වත් පත්තු කරලා බීලා නෑ ගමේ අය විදිහට. ඒ නිසා අපි ඇත්තටම කණගාටු වෙනවා.

විට කන එක වරදක් නම් මාව එල්ලන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක

සාමාන්‍යයෙන් මත්පැන් පානයෙන් මිනිස්සු ගලවා ගන්න බලයට පත්වෙන ආණ්ඩු එක එක වැඩසටහන් ක්‍රියාත්මක කළා. දැන් ඉතින් බොන එක අඩුවෙලා නෑනේ. වැඩිවෙලානෙ තියෙන්නේ. මිල වැඩිකළාම කසිප්පු බොනවා. කසිප්පු බොන එක නතර කළාම වෙන වෙන ඒවා බොනවා. ඉතින් ඕවා මාරැවෙවී මාරුවෙවී යනවා. කුඩු මඩින්න කටයුතු කළා. ඒවත් තවම තියෙනවා. වසවිසෙන් තොර කෘෂිකාර්මාන්තයක් හදන්න හැදුවා. කෘෂි රසායන ද්‍රව්‍ය තවම තියෙනවා.

බුලත්විට කෑමෙන් පිළිකා හැදෙනවා කියන එක විද්‍යාත්මක හේතුඵලවාදී තාර්කික සත්‍යයක්. ඒක අපි පිළිගන්න ඕනා. හැබැයි දැන් බුලත්විට කෑමෙන් විතරක් නෙවෙයි පිළිකා හැදෙන්නේ. බත් කෑමෙනුත් හැදෙනවා. වී වලට ගහන කෘෂිරසායන ද්‍රව්‍ය. ගෝවා ගෙඩියක, තක්කාලි ගෙඩියක තියන කෘෂිරසායන ප්‍රමාණය කොච්චරද කියලා මනිනවාද? නෑනේ. එහෙමනම් ඉතින් රාජ්‍ය ආයතනවල බුලත්විට කෑම වගේම බත් කෑමත් තහනම් කරන්න කියන්න.

ඒ නිසා මට කියන්න තියෙන්නේ දුම්වැටි නතර කරන්න බැරි වුණා. ඒක තමනුත් අනුනුත් බොහෝවිට විනාශ වෙන එකක්. රටේ දුප්පත්කම වැඩිවෙන එකක්. සම්පූර්ණයෙන්ම ඕසෝන් ස්ථරය විනාශ කරන එකක්. ඒවා නතර කරන්න බැරි වුණා. අපි කැමතියි ඒවා නතර කරන්න උත්සාහ කරනවාට. හැබැයි බුලත්විට කියන්නේ තමන්ට විතරක් හානියක් වෙන එකක්. මං බුලත් විට කන කෙනෙක්. මං ඒ කරන වරදට මාව එල්ලාපල්ලා. මං කන එක නතර කරන්නේ නෑ. රාජ්‍ය ආයතනයේද ආණ්ඩුවේ ආයතනයේද ගෙදරද මං නතර කරන්නේ නෑ.

මිනිසුන්ව අවබෝධයෙන් වළක්වන එක වෙනම දෙයක්. ඔය බුලත්විට කන එක. කාලයක් පාරේ චූ කරන්න එපා කියලා ගියානේ. මට කියන්න තියෙන්නේ. ගරැ කතානායකතුමනි, මම පාර්ලිමේන්තුවේ බුලත්විට කනවා. ඔබතුමා මං වරදක් කරන්නේ නම් මාව එල්ලා මරනු මැනවි.

පිළිකාවට අත වැනීමක්

 ඇමැති රාජිත සේනාරත්න

ලොව පුරාම පවතින රෝග අතරින් පිළිකාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ශ්‍රී ලංකාව තුළද පසුගිය වසර කිහිපය තුළ පිළිකා වැළඳුන රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබේ. 1985 වසරේදී නව පිළිකා රෝගීන් වාර්තාවීමේ දළ අනුපාතය ජනගහනයෙන් ලක්ෂයකට 31.6ක් වූ අතර, 2011 වනවිට එම අනුපාතය 83.7ක් දක්වා වැඩි වී ඇත. පුරැෂ පක්ෂයට වැඩි වශයෙන් මුඛ පිළිකාව වැළඳෙන අතර, සාමාන්‍යයෙන් වසරකට නව මුඛ පිළිකා රෝගීන් 2500ක් වාර්තා වෙයි.

බුලත්විට සැපීම ශ්‍රී ලාංකික ජනතාව අතර සමාජීය හා සංස්කෘතික වශයෙන් පිළිගත් පුරුද්දක් වුවද එය මුඛ පිළිකා වැළඳීම සඳහා බලපාන ප්‍රධාන අවදානම් සාධකය ලෙස තහවුරු කර ඇත. 2015 වසරේ දී ශ්‍රී ලංකාවේ සිදුකළ බෝ නොවන රෝගවලට අදාළ අවදානම් සහගත බව පිළිබඳ සමීක්ෂණයට අනුව වයස අවුරැදු 18-65ත් අතර වැඩිහිටි පිරිමි අතරින් සියයට 26ක් සහ කාන්තාවන් අතරින් සියයට 5ක් දුම්රහිත දුම්කොළ භාවිතා කරන බවට තහවුරු විය. 

මුඛ පිළිකා වැළඳීම කිසියම් පුද්ගලයෙකුගේ පෞරැෂය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කිරීමටද හැකියාවක් ඇත. බුලත්විට සපා කෙළගැසීම පරිසරය අප්‍රසන්නවීමටද හේතුවක් වෙයි. 

2016.09.01 දින නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව දුම් රහිත දුම්කොළ අඩංගු ද්‍රව්‍ය නිෂ්පාදනය, ආනයනය, විකිණීම සහ විකිණීමට ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාව පුරා දැනටමත් තහනම් කර ඇත.

 චමිඳු නිසල් ද සිල්වා