නීතිගරුක සමාජයක් රටක ශිෂ්ටසම්පන්න බව මනින මිම්මකි. රටේ සියල්ලෝම නීතියට යටත් වන අතර නීතියට එහා කිසිවක් නැත. සැමට එක සමාන නීතියක් පවතිනතාක් ඒ රට දිනෙන් දින ඉහළට යන අතර අමුතුවෙන් රට සංවර්ධනය කිරීමට සැලසුම් අවශ්‍ය නැත. එහෙත් යුද්ධය පැවති ඕනෑම රටක නීතිය කාලයාගේ ඇවෑමෙන් වල් වදියි.
ශිෂ්ටසම්පන්න නොවන බොහෝ දෑ රට තුළ සිදුවන අතර තැනින් තැන කැළෑ නීතිය රජ කරයි. යුද්ධය පවතින රටක ජීවිතවල වටිනාකම එන්න එන්න හීන වන අතර මැරෙන ගොඩවල් ප්‍රමාණය අනුව දුක්වන්නට සතුටුවන්නට රටේ මිනිස්සු හුරුවෙති. මේ නිසා යුද උණුසුම් පවතින සමාජයක යුද්ධයට මුවා වී සිදුකරන අපරාධ සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. එය සිවිල් සමාජයෙන්ද ආරක්ෂක අංශවලින්ද යන්න නිශ්චිත නැත. සියලුදෙනාම එක හා සමානව යුද්ධයට මුවා වී අපරාධ නිදහස භුක්ති විඳිති.
එලෙස යුද්ධය සමයේ සිදුවූ අපරාධ වැලක් සම්බන්ධව ප්‍රශ්න කිරීම සඳහා යුද සෙන්පතියකු වන හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබීය. පාසල් යන වයසේ දරුවන් 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ලබාගැනීමත් ඔවුන්ව අමු අමුවේ ඝාතනය කිරීමත් යන අපරාධය සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්න කරනු ලැබීය. නාවික හමුදාව යටතේ ක්‍රියාත්මක වුණු විශේෂ ඒකකයක් හරහා මෙම පාසල් යන වයසේ සහ පාසල්වලින් ඉවත්ව උසස් අධ්‍යාපනයට සූදානමින් සිටි සිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට චෝදනා එල්ලවිය. ඒ සඳහා හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී දසනායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්, සම්පත් මුණසිංහ යන අයට චෝදනා එල්ල විය. කෙසේ වෙතත් මේ තිදෙනාම අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යටතේ සේවය කළ අය නිසාත් මේ සිද්ධියේ මුල්ම පැමිණිලිකරු ඔහු නිසාත් පසුගිය සතියේ දෙවතාවක් අද්මිරාල් කරන්නාගොඩ කැඳවා ප්‍රශ්න කරනු ලැබීය.
2008 සහ 2009 වසරවලදී මේ දරුවන් නාවික හමුදාවේ විශේෂ ඒකකය මගින් පැහැරගෙන ගොස් තිබූ බවට දෙමව්පියෝ චෝදනා කරති. කිසිදු හේතුවක් නොමැතිව මෙම දරැවන් 11 දෙනා පැහැර ගෙන තිබිණි. එසේ පැහැරගෙන ගොස් ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් කප්පම් ලබාගැනීම පැහැරගත්තවුන්ගේ අරමුණ බව කියැවිණි. ඒ බව තහවුරුවන්නේ දරුවන්ගේ දෙමව්පියන් විසින් ලබාදෙන සාක්ෂි සහ තොරතුරු නිසාය. එනම් එසේ කප්පම් ඉල්ලූ පිරිසගේ දුරකතන අංක සහ සියලු තොරතුරු එම දෙමව්පියන් විසින් දිනපොත්වල සටහන් කර තිබුණි. එම අංක පරීක්ෂා කර බැලීමේදී තහවුරැ වුණේ එම අංක ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට ක්‍රියාත්මක වී ඇති බවත් ඒ අංක නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනකුට අයත් ඒවා බවත්ය.
2009 වසරේ මැයි 28 වැනි දින මේ පිළිබඳව කරන්නාගොඩ මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබිණි. ඒ නේවි සම්පත්ටත්, සම්පත් මුණසිංහටත් අයිති කැබින් අංක 8 තිබී පැහැරගනු ලැබූ දරුවන්ගේ සල්ලි, හැඳුනුම්පත්, පාස්පෝට් හමුවීම නිසාය. ඒ ගැන කරන්නාගොඩ මහතා පැමිණිලි කරන්නේ සම්පත් මුණසිංහ නැමැති අය එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ගනුදෙනු කරන බවට තමන්‍ට සැකයක් ඇති බව දන්වාය. එහෙත් සාක්ෂිවලට අනුව කරන්නාගොඩ මහතාට මේ දරුවන් 11 දෙනා පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලයේ ටැංජන් භූගත කඳවුරේ රඳවාගෙන සිටින බව දැනගන්නට ලැබී තිබිණි. ඒ බව රණසිංහ, වීරසිංහ, ප්‍රනාන්දු යන ඉහළ නිලධාරීන් මැද සිටියදී කරන්නාගොඩ මහතාගේ සහයකයකු වන බණ්ඩාර විසින් තහවුරු කර ඇත. ඒ එම තරුණයන් මරා දමා ඇතැයි සහතික කරමින් බව පොලිස් වාර්තා කියයි.
කරන්නාගොඩ මහතාගේ ළඟම හිතවතකු වූ සම්පත් මුණසිංහට විරුද්ධව කරන්නාගොඩ මහතාම පැමිණිලි කිරීම එවකට නාවික හමුදා නිලධාරීන් සියලුදෙනාටම ප්‍රශ්නයක් විය. ඒ ගැන නොයෙකුත් කතා පැතිරුණද ඒ විරසකයට හේතුව දන්නේ කරන්නාගොඩත් සම්පත් මුණසිංහත් පමණි. එහෙත් ඔහුගේ බලය ගෙන අමුතුම රූපයක් මවාගත් සම්පත් මුණසිංහට එවැනි දෙයක් වීම පිළිබඳව ඉහළ බොහෝ දෙනෙක් සතුටු වූ බව ප්‍රකාශ විය. මේ අතර කරන්නාගොඩ මහතා ආරක්ෂාව බාර ඉහළ අයටද මේ පිළිබඳව දැනුම් දී තිබිණි. ඔවුන්ගේ නියෝග වුණේ හැකි ඉක්මනින් නාවික හමුදා පොලීසිය හරහා පරීක්ෂණයක් සිදුකරන ලෙසය. එය සැබවින්ම නිවැරදි ක්‍රමවේදය විය.
කෙසේ වෙතත් මේ අතර නොසිතූ මොහොතක සම්පත් මුණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ළමුන් 11 දෙනා පැහැරගැනීම ගැන දීර්ඝ පාපෝච්චාරණයක් සිදුකළේය. එම පාපෝච්චාරණය තුළ මේ ළමුන් පිළිබඳව සියලු තොරතුරු ඇතුළත් විය. අවසානයේ සම්පත් මුණසිංහ අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස පැහැරගත් අය අතර රජිව් නැමැති දමිළ තරුණයෙක් විය. ඔහු හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ හිතවතෙකුගේ පුත්‍රයෙක්ද විය. ඔහු ඊළඟ දිනයේ එංගලන්තය බලා පිටත්වීමට සිටියේ වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහාය. එහෙත් ඔහු ඊට කලින් දිනයේ පැහැර ගනු ලැබීය. එසේ පැහැරගත් තරුණයා කිහිපවිටක් තම දෙමව්පියන්ට නාවික හමුදා බුද්ධි සෙබළුන්ගේ දුරකථන හරහා අමතා තොරතුරු පවසා තිබුණි. තමාව බේරාගන්නා ලෙසත් නාවික හමුදා නිලධාරින් ඉල්ලන ඕනෑම ගාණක් ලබාදෙන ලෙසත් රජීව් තම මවට පවසා ඇත. මේ අතර රජිව් දිනක් ෆීලික්ස් පෙරේරා මහතාට ඇමතුමක් දී “අංකල් අනේ මාව කොහොම හරි බේරගන්න” යැයි පින්සෙණ්ඩු වී ඇත. එවිට ෆීලික්ස් පෙරේරා මහතා පවසා ඇත්තේ තමන්ගේ සියලු දේපළ හෝ විකුණා දමා හෝ ඔහු බේරාගන්නා බවය. මේ නිසාම ෆීලික්ස් පෙරේරා මහතා යායුතු හැමතැනටම ගොස් මේ දරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා තිබිණි. එහෙත් එය සාර්ථක වූයේ නැත.
නාවික සෙබළුන්ගේ දුරකථන හරහා දරුවන් ඇමතුම් ලබාගැනීමෙන් පසුව ඔවුන් පවසා ඇත්තේ තමන්ගේ දුරකථනයේ මුදල් වැය වූ බවත් ඒ නිසා තම දෙමව්පියන්ට දුරකථනයට මුදල් දමන්නැයි කියන ලෙසය. ඒ අනුව එම දෙමව්පියන් රුපියල් 500, 1000 වශයෙන් රීලෝඩ්ද තම දරුවන්ගේ ජීවිත වෙනුවෙන් වැයකර ඇත. අවසාන වශයෙන් රජීව් තම මව අමතා ඇත්තේ 2009 ජූනි 21 වැනිදාය. එදින රජීව්ගේ ප්‍රකාශය අසන ඕනෑම අම්මා කෙනකුට කඳුළු හැලෙනු පමණක් නොව පපුව පැලෙනවාද නොඅනුමානය.
“අම්මේ අපිව අරගෙන ආපු එකට කොළඹ ලොකු සර්ලා අතර ප්‍රශ්නයක් වෙලා. අපිට ඒක ආරංචි වුණා. සමහර විට මේ කතා කරන අන්තිම පාර වෙන්න පුළුවන්. ආයි කතා කරන්න බැරිවුණොත් බයවෙන්න එපා. ඇත්තටම අම්මා කියන දේ ඇහුවා නම් මෙහෙම වෙන්නේ නෑ. මම මේ අන්තිම මොහොතෙත් හිතන්නේ එක දෙයයි. ඊළඟ ආත්මෙත් අම්මගේම පුතෙක් වෙලා ඔය බඩ ඇතුළේ ඉපදෙන්න ඕනේ” යැයි රජීව් අවසන් වරට පවසා ඇත. එතැනින් පසු අදටත් රජීව්ට වෙච්ච දෙයක් නැත.
කෙසේ වෙතත් කරන්නාගොඩ මහතා ත්‍රිකුණාමලයට ගිය එක් අවස්ථාවක මේ දරුවන් පිළිබඳව සොයාබැලුවත් එවරද කිසිවක් සොයාගැනීමට නොහැකි වූ බව සාක්ෂිවල සටහන් වී ඇත.
එහෙත් මේ පරීක්ෂණ ආරම්භකොට සාක්ෂි ලබාගැනීමේදී හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මහතාගෙන්ද රහස් පොලීසිය ප්‍රකාශයක් ලබාගත්තේය. ඔහුගේ ප්‍රකාශය වුණේ තමන් එවකට මේ දරැවන් පිළිබඳ සොයා බැලීමේදී ඒ දරුවන් රැගෙන ගොස් මරා මුහුදට විසිකර ඇති බවට දැනගන්නට ලැබුණු බවයි. සිද්ධිය වනවිට තමන් ඉන්දියාවට ගොස් සිටි බවත් ආපසු පැමිණ මේ ගැන සොයාබැලූ බවත් ඔහු පවසා ඇත. විශේෂයෙන් තමන් නැගෙනහිර පළාත භාර ප්‍රධානියා ලෙස සේවය කළාට ටැංජන් කඳවුර තමන් යටතේ පාලනය නොවූ බව ඔහු පවසා ඇත. එය ඩී.කේ.පී. දසනායකත්, කරන්නාගොඩ මහතාත් යටතේ පාලනය වූ ස්ථානයක් බවත් දන්වා ඇත. කොටින්ම එම ස්ථානයට යන එන නාවික හමුදා වාහනවල අංක පවා ලබා නොගන්නා ලෙසට දන්වා තිබූ බවද සඳහන්ය. එම සාක්ෂිය දී වැඩිකල් සිටීමට ඔහුට හැකිවූයේ නැත. ඔහුගේ සේවා කාලය නිමවී විශ්‍රාම යාමට සිදුවිය.
එසේම මේ සිද්ධිය පිළිබඳව නාවික හමුදා සෙබළුන්ගෙන් ප්‍රශ්න කරන විට ඔවුන් පවසා සිටියේ එම සිසුන්ගේ දෙමාපියන්ට කතාකිරීමට දුරකථන ලබාදුන්නේ එම දරුවන් කිසිම ත්‍රස්ත කටයුත්තකට හෝ වෙනත් අපරාධයකට සම්බන්ධ නොවූ අහිංසකයන් වීම නිසා බවය. එපමණක් නොව කතා කළ සිසුන් ඔවුන් සමීපයට ආ නාවික නිලධාරිනුත් ඔවුන් පැමිණි වාහනවල අංකත් තම දෙමව්පියන්ට දන්වා ඇත. ඒ තොරතුරු සියල්ල ඒ දෙමව්පියන් විසින් දිනපොත්වල සටහන් කර ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරන්නාගොඩ මහතාගෙන් පසුගියදා ප්‍රශ්න කළ විට ඔහුට බොහොමයක් සිදුවීම් අමතක වී තිබිණි. ඔහු සඳහන් කළේ මෙම සිදුවීම් වන අවස්ථාවේ යුද්ධය අවසන් කාර්තුවේ සිටි නිසා මේ සිදුවීම් තමන්ට පැහැදිලිව මතක් නොවන බවයි. එහෙත් මේ සියල්ල පළමුව අනාවරණය කළේ තමන් බවත් මේ දේවල් තමන්ගේ දැනුවත්කමෙන් පිට සිදුවූ සිදුවීම් බවත් ඒ මහතා පවසා ඇත. විශේෂයෙන් යුද්ධය පැවති කාලයේ ඔහු කාර්යබහුල නිසා ඒ කිසිවක් මතකයේ නොසිටි බව හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් එම සාක්ෂිය ලබාදීමට පෙර කරන්නාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව වාරණ නියෝගයක් ලබාගත්තේය. එය ලබාගන්නා අවස්ථාවේ අධිකරණය හමුවේ ඒ මහතා වෙනුවෙන් පෙනී සිටී නීතිඥයන් පවසා සිටියේ කරන්නාගොඩ මහතාට එරෙහිව ප්‍රකාශ දුන් සියලුදෙනා වරදාන, වරප්‍රසාද හමුවේ එම ප්‍රකාශ ලබාදී ඇති බවයි. ඒ අනුව කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම වාරණය කරනු ලැබීය.
මේ වනවිට කරන්නාගොඩ මහතා දෙවතාවක් රහස් පොලීසියට කැඳවා ප්‍රකාශ ලබාගෙන ඇත. එපමණක් නොව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය ගණනකගේ ප්‍රකාශ ලබාගෙන ඇත. ඒ ප්‍රකාශ මෙතැන ලිවීමට ඉඩ නැත. ඒ නිසා මෙවැනි කෙටි සටහනකින් අපට තීන්දුවක්, දිය නොහැක. තීන්දුව අධිකරණය සතුය. ඇත්‍ත අධිකරණයට පෙන්වාදීම රහස් පොලීසිය සතුය. ඒ ඇත්ත සනාථ වනදාට මෙහි තීන්දුව ගැන අපට යළිත් කතා කළ හැක.
I ගයාන් ගාල්ලගේ