2019 මාර්තු 02 වන සෙනසුරාදා

කොල්ලුපිටියේ “කාර් පාක්” කුඩු ගබඩාව

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 241

දිනපතා අත්අඩංගුවට ගන්නා මත්කුඩු තොග අපමණය. එය ලංකාවේ කුඩු නිෂ්පාදනය කරනවාදැයි සිතෙන තරමට සැකයක් ඇතිවන තරමේ හේතුවකි. මත්ද්‍රව්‍ය කිලෝ සිය ගණනින් අත්අඩංගුවට පත්වෙද්දී ඊට සැක පිට කොටුවන මෙරට ජාවාරම්කරුවන් මෙන්ම විදේශිකයන් සංඛ්‍යාව පෙරට වඩා ඉහළ ගොස් තිබේ. මේ නිසා ලංකාව කුඩු ප්‍රති අපනයනයේ ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් බවට වන සැකය තවමත් එලෙසය.

අමෙරිකාව, ජර්මනිය, පකිස්ථානය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය වැනි රටවල පුද්ගලයන් රැසක් මත්කුඩු සමඟ කොටුවීම හරහා ලංකාවේ ජාත්‍යන්තර වශයෙන් මත්කුඩු ජාවාරම සිදු කෙරෙන බව පැහැදිලිය.

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය නිරතුරුව වැටලීම සිදු කරයි. ඒ ඔවුනට ලද බුද්ධි තොරතුරු හා විමර්ශනවල ප්‍රතිඵල වශයෙනි. 

මේ ආකාරයට සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී පසුගිය 23 වැනිදා පස්වරුවේ කොළඹ කොල්ලුපිටිය සුපිරි වෙළෙඳසැලක රථගාලේදී මෙතෙක් ලංකාවේ අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය අල්ලාගනු ලැබීය.

එසේ අත්අඩංගුවට පත්ව තිබුණේ රුපියල් කෝටි 295ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 400කි.

බුද්ධි තොරතුරක් අනුව විශේෂ කාර්ය බලකාකය සහ පොලීසිය ඒකාබද්ධව වැටලීමට සූදානම්ව කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් ආසන්නයේ ආවේෂණ රාජකාරියේ නිරතව සිට ඇත. එහි නිලධාරීන් පිරිසක් රැඳී සිට ඇත්තේ සුපිරි වෙළෙඳ සංකීර්ණයට අයත් රථගාල තුළය. ඒ අවස්ථාවේ කුඩා ප්‍රමාණයේ වෑන් රථ දෙකක් රථගාලේ නවතා තිබී අති අතර රථ දෙකේ රියදුරන් දෙදෙනාට අමතරව එක් පුද්ගලයකු සමඟ කුඩා පිරිමි දරුවකු ද සිටිනු ඔවුන්ට දැකගන්නට ලැබී තිබේ. තමන්ට ලැබුණු බුද්ධි තොරතුරු අනුව නිලධාරීන්ගේ සැකය හා අවධානය ඔවුන් දෙසට යොමුව තිබේ. 

ඒ සමඟ එක් රථයක තිබූ පාර්සල කීපයක් අනෙක් රථයට පැටවීමට උත්සාහ කරනු නිලධාරීන්ගේ ඇසට ලක්විය. වහාම ඔවුන් අත්අඩංගුවට ගෙන පරීක්ෂාවට ලක්කර ඇත්තේ ඒ අවස්ථාවේදීය.

එහිදී වෑන් රථ දෙක තුළ විශාල ගමන් මලු පහ බැගින් වූ මලු දහයක අසුරා තිබූ හෙරොයින් පාර්සල් 272ක් සොයා ගැනීමට හැකිව තිබේ. ඒවායේ වටිනාකම රුපියල් මිලියන දෙදහස් නවසිය හතළිස් පහක් හෙවත් රුපියල් කෝටි දෙසිය අනූපහ ඉක්මවන බව පොලීසිය සඳහන් කරයි.

වෑන් රථ දෙක සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි මොහොමඩ් බසීර් මොහොමඩ් අම්මීර් (43) නැමැත්තා අංක 27, ගම්මැද්ද පාර, කෙසෙල්වත්ත, පානදුර ලිපිනයේ පදිංචිකරුවෙකි. අනෙක් පුද්ගලයා මොහොමඩ් රිලා අහමඩ් රැස්නි (32) නැමැත්තෙකි. ඔහු අංක 43, යෝනක පාර, කෙසෙල්වත්ත, පානදුර පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් මොහොතේ එක් වෑන් රථයක හෙරොයින් කිලෝ 163යි ග්‍රෑම් 356ක්ද අනෙක් රථයේ හෙරොයින් කිලෝ 131යි ග්‍රෑම් 134ක් ද තිබී ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා අධිකරණ නියෝග මත දින 2ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අවසර දී තිබිණ.

විමර්ශනයේදී අනාවරණය වී තිබුණේ අදාළ වෑන් රථ දෙකෙන් රුගෙනවිත් තිබූ මත්කුඩු පාර්සල් තොගය සුපිරි වෙළෙඳසලේ රථගාල තුළ නවත්වා වෙනත් පාර්ශවයකට ලබාදීමේ සූදානමක් තිබූ බවය. එය අනාවරණය වී ඇත්තේ වාහනයේ යතුරු දෙක රථයේ ටයරය යට සඟවා වෙනත් අයකුට ඒවා ලබා දීමේ සූදානමක් හෙළිකිරීමත් සමඟය. මේ අතර වාර්තා වූයේ අදාළ වෑන් රථ දෙක කුලී පදනම මත ලබාගෙන තිබූ ඒවා බවය.

මත්ද්‍රව්‍ය තොගය සැකකරුවන් අතට පත්වූ ආකාරය හෝ කුමන රටකින් ඒවා ලංකාවට රැගෙන ආවාද යන්න තවම හඳුනාගෙන නැත. ඒ පිළිබඳව සහ සිද්ධියට අදාළ සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන පොලීසිය සැක කරන්නේ අදාළ මත්ද්‍රව්‍ය තොගය මුහුදු මාර්ගයෙන් පාකිස්ථානයේ සිට ගෙන එන්නට ඇති බවයි.

මේ තොරතුරු අතර වාර්තා වී ඇත්තේ කිරුලපන ප්‍රදේශයේ පදිංචිකරතැවකු වන අන්නාසි මොරිල් නැමැත්තකු මේ ජාවාරමට සම්බන්ධ බවය. ඔහු වසර කීපයකට ඉහතදී ලංකාවේ හෙරොයින් ජාවාරම සිදුකර ඩුබායි රටට පලාගොස් සිටි අයෙකි.

පසුගියදා පාතාල නායක මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ඔත්තුව ලබා දී ඇත්තේ මොරිල් නැමැත්තා බව ද කියති. ඔහු ඩුබායි රැඳී සිට වෙනත් රටකට පලාගොස් මධූෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසු යළිත් ඩුබායි රටට ගොස් ඇති බවද වාර්තා වේ.

වාර්තා වන ආකාරයට පාකිස්ථානයේ කුඩු ලංකාවට රැගෙන එන ඒජන්තවරයා මොරිල්ය. ඔහුට ලබාදීමට තිබූ හෙරොයින් කිලෝ 170ක් පමණ දින කිහිපයකට ඉහතදී දෙවුන්දර වෙරළට ලැබී ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් බව කියා මාකඳුරේ මධූෂ්ගේ ගෝලයන් පිරිසක් එම කුඩු තොගය පැහැරගෙන තිබුණි. එම වෛරයෙන් සිටි මොරිල් පාර්ශවය මධූෂ් අත්අඩංගුවට ගැනීමේ ඔත්තුව දී ඇතැයිචද පසුගියදා ලංකාවේ විශාලතම කුඩු තොගය අත්අඩංගුවට ගැනීම සඳහා මධූෂ් පාර්ශවයෙන් තොරතුරු ලබා දී ඇතැයිද වාර්තා වේ.

මේ ආකාරයට පෙනෙන්නට ඇත්තේ මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට පත්ව ඇතත් ඔහුගේ ජාවාරම් ජාලය තවමත් ක්‍රියාත්මක බවය. දේශීය වශයෙන් කුඩු ජාවාරම තවමත් හිඟයකින් තොරව ක්‍රියාත්මක බවත් පැහැදිලිය. කුඩු තොග පිටින් විටින් විට අත්අඩංගුවට පත්වුවද කුඩා ප්‍රමාණවලින් දේශියව අලෙවි කරන කුඩු ජාවාරම එලෙසම ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වේ.

ආරක්ෂක අංශ දිගින් දිගටම සිදුකරන මත්ද්‍රව්‍ය වැටලීම්වලින් ජාත්‍යන්තර වශයෙන් සිදුවෙන කුඩු වෙළෙඳාම තරමක් පසුබැස තිබුණද දේශීය වශයෙන් කුඩුවල හිඟයක් වාර්තා වී නොමැති බව මේ පිළිබඳ විමර්ශන සිදු කරන බුද්ධි අංශ වාර්තා කරයි.

ලංකාවේ මෙතෙක් අත්අඩංගුවට පත් විශාලතම හෙරොයින් තොගය මෙය වෙයි. මෙරටින් වාර්තා වූ දෙවැනි විශාලම හෙරොයින් තොගය පසුගිය දෙසැම්බර් 32 වැනිදා දෙහිවල ප්‍රදේශයේදී බංගලාදේශ ජාතිකයන් දෙදෙනකු සමඟ අත්අඩංගුවට ගනු ලැබීය. එහිදී හෙරොයින් කිලෝ 292ක් අත්අඩංගුවට ගැණින.

ඊට පෙර මුහුදු මගින් මෙරටට රැගෙන එමින් තිබූ හෙරොයින් තොගයක් බේරුවල මුහුදු තීරයේදී අත්අඩංගුවට පත්ව තිබිණි. එය මෙරටින් වාර්තා වූ විශාලතම තුන්වැනි මත්ද්‍රව්‍ය තොගය වශයෙන් වාර්තා කෙරිණ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ විශේෂ අධීක්ෂණ යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත එහි අධ්‍යක්ෂ පොලිස් අධිකාරී තිලක් ධනපාල මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05