► මැති ඇමැතින් 24ක් කොකේන් ගන්නවා
► කොකේන් බොන මැති ඇමැතිවරුන්ගේ නම් කතානායකට භාරදුන්නා
► කොකේන් ගන්න මැති ඇමැති නම් සී.අයි.ඩි.යට තැපෑලෙන් යැව්වා
► පාර්ලිමේන්තු රථගාලෙත් සමහරු කොකේන් ගහනවා
► කොකේන් ගන්න මැති ඇමැති පුත්තු අටදෙනෙක් ඉන්නවා
► මම ඔය කමිටු වාර්තා පිළිගන්නේ නැහැ: පිළිගන්නෙ වෛද්‍ය වාර්තා පමණයි
රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඉකුත් දිනෙක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණේ කොකේන් බොන මැති ඇමැතිවරුන් 24 දෙනකු පාර්ලිමේන්තුවේ සිටින බවකි. එම ප්‍රකාශය දේශපාලන කරළියේ මෙන්ම රටේ මහජනතාව අතරත් විශාල ආන්දෝලනයක් ඇති කළේය.
මේ සම්බන්ධයෙන් සෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබීය. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ හා නීතිඥ මහේෂ් කළුගම්පිටිය ඇතුළු කමිටුව හමුවේ පෙනී සිටි රන්ජන් රාමනායක මහතාට කොකේන් බොන බව කියන එකම ඇමැතිවරයකු හෝ මන්ත්‍රීවරයකු පිළිබඳව නිශ්චිත තොරතුරැ ඉදිරිපත් කිරීමට නොහැකි බව වාර්තා විය.
අදාළ කමිටු වාර්තාව කමිටු සභාපති විසින් අගමැතිවරයාට ඉකුත් 25දා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී බාරදුන් අවස්ථාවේ මේ බව අනාවරණය වී ඇත. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වරින්වර මේ පිළිබඳව සිදුකළ ප්‍රකාශ මාධ්‍ය හරහා රට පුරා ප්‍රචාරය විය.
ඔහු මේ සම්බන්ධයෙන් ඉකුත් 21 වැනිදා මෙසේ ප්‍රකාශ කර තිබුණි.
කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන්ගේ විස්තර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබෙනවා. මම අදත් කතානායකතුමා මුණගැහුණා. එතුමා මට ප්‍රකාශ කළේ මෙය පාර්ලිමේන්තුවටත්, රටේ කීර්තියටත් ප්‍රශ්නයක් කියලයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල රැස්වීම අගෝස්තුවේ එනවා. ස්වාධීන අධිකරණ තීන්දු කොමිෂන් සභා ස්ථාපිත කිරීම නිසා එතැනදී අපට ලොකු කීර්තියක් ඇවිත් තියෙනවා. එහෙම තියෙද්දි කොකේන් හා සම්බන්ධ දේශපාලනඥයන් පිළිබඳ ප්‍රවෘත්තිය බටහිර මාධ්‍ය සියල්ලක්ම පාහේ වාර්තා කළා. ඒ නිසා මේ ප්‍රවෘත්තිය පොඩ්ඩක් නිවෙන්න අරින්න කියලා එතුමා මට ප්‍රකාශ කළා. මා එතනදී ප්‍රකාශ කළා සියලු තොරතුරු සහිතව තමයි මම මේ පිළිබඳව හෙළිදරව් කළේ කියලා.
මේ තොරතුරු ඇතුළත් වාර්තාවක් මම ලියාපදිංචි තැපෑලෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළා. මේ වාර්තාව අනුව කොකේන් භාවිත කරන මැති ඇමැතිවරු 24ක් ඉන්නවා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පහක් හයක් ඉන්නවා. දෙමළ ජාතික සන්ධානයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ කිසිවෙක් අයිති නෑ. ඉතුරු සියලුම දෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ පොහොට්ටුවේ අයයි.
මේ අය අතරෙ කොකේන් ගෙන්වන අය ඉන්නවා. හිටපු කැබිනට් ඇමැතිවරැ, හිටපු රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ අධීක්ෂණ මන්ත්‍රීවරුන් ඉන්නවා. මේ සියලුම නම් දැනටමත් කතානායකවරයාට වාචිකව දීලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාධාවක් නොවන ලෙස අවශ්‍ය අනෙක් ස්ථානවලටත් මා එය යොමු කරනවා. ඉදිරියේදී නම් ගම් සහිතව මෙය ප්‍රසිද්ධ කරනවා.
මේ සම්බන්ධයෙන් ඉකුත් 21 වැනිදා දිනයේදීම පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ කතානායක කරු ජයසූරිය මහතා මෙසේ කියා තිබිණි.
රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයා අද වනතුරු ඒ ගැන මට ලිඛිතව දැනුම් දී නැහැ. දෙනවා කිව්වත් දුන්නේ නෑ. නියෝජ්‍ය කතානායකතුමා ඊයේ මේ සභාවේ ප්‍රකාශ කළේ මගේ අදහසයි.
මේ අතර රන්ජන් රාමනායක මහතාගේ කොකේන් කතාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළකළ අදහස මෙසේ විය.
කොකේන් භාවිත කරන අය කැබිනට් එකේ ඉන්නවා නම් ඒක ප්‍රසිද්ධියේ කියන්න ඕන. පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොටම චෝදනා කරන්න බෑ. කැබිනට් මණ්ඩලයේ ඉන්න සියලුම දෙනාට චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අය දැනගන්න ඕනෑ, කැබිනට් මණ්ඩලය බේරාගන්න. කොකේන් ගහන ආණ්ඩුවක් එක්ක කොහොමද කොකේන් නැති කරන්නේ?
මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළකර තිබුණේ පසුගිය 19 වැනිදා තංගල්ල ප්‍රදේශයේදීය.
මේ අතර රන්ජන් රාමනායක මහතා කියා තිබුණේ මැති ඇමැතිවරු බොහෝ අවස්ථාවලදී කොකේන් පානය කිරීම පාර්ලිමේන්තු වාහන අංගණයේදී සිදුකරනවා යනුවෙනි. එම ප්‍රකාශයෙන් අනතුරැව ඔහු කියා තිබුණේ සිය ප්‍රකාශය නව රජයේ පමණක් නොව, හිටපු ඇමැතිවරුන්ටද අදාළ බවය.
කොකේන් පානය කරන්න මැති ඇමැතිවරු මුදල් වියදම් නොකරන බවත්, ඒ සඳහා ව්‍යාපාරිකයකු අනුග්‍රහය දක්වන බවද ඔහු කීවේය. එසේම ඇතැම් මන්ත්‍රීවරු සභා වාරයට පෙර කොකේන් භාවිත කර එන බවද කියා තිබිණ.
මේ අතර ඔහු ප්‍රසිද්ධියේම කියා තිබුණේ අමාත්‍ය පුත්තු අටදෙනකු කොකේන් පානය කරන බවකි.
මේ අතර රන්ජන් රාමනායක මහතා අවසානයේ ප්‍රකාශ කළේ පුළුවන් නම් තමන් නිර්දෝෂී යැයි කියනවා නම් ලේ පරීක්ෂාවකින් තහවුරැ කර නිරවද්‍යතාව සමාජයට අනාවරණය කරන්න යනුවෙනි.
කොකේන් භාවිත කරන මැති ඇමැතිවරැන් මෙන්ම ඔවුන්ගේ දරුවන්ද සිටින බවට ප්‍රසිද්ධියේ සිදුකළ චෝදනාව බරපතළය. මේ සම්බන්ධයෙන් විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලැබුණු අතර කවුරැත් බලා සිටියේ කොකේන් චෝදනාවට ලක්වන මැති ඇමැතිවරු පිරිස හඳුනා ගැනීමටය.
එහෙත් කොකේන් චෝදනාව පිළිබඳව සෙවීමට පත්කළ කමිටුව හමුවේ රන්ජන් රාමනායක මහතාගේ චෝදනාව පුස්සක් වී ගියේය. කෙසේ වෙතත් රන්ජන් රාමනායක මහතා වරෙක මම කමිටුවේ වාර්තා පිළිගන්නේ නෑ... වෛද්‍ය වාර්තාවක් නම් පිළිගන්න පුළුවන් යැයි කී කතාවට තවමත් බාධාවක් නැත.
සමන්ත ප්‍රදීප් විල්තෙර