2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

රත්ගම ව්‍යාපාරිකයන් වලස්මුල්ලේදී මරා පුළුස්සලා

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 143

පොලීසිය වූ කලී මහජන මිත්‍රශීලි සේවයක් ලබාදෙන ආයතනයකි. ලංකාවේ පොලීසියේ ද තේමාපාඨය එය වන අතර එහෙත් අල වූ අවස්ථා අනන්ත අප්‍රමාණ ඇත. ඒ පොලීසියේ හයිය පෙන්නන්න ගොස් වරද්දා ගත් නිසාය.

පොලීසියේ ඇතැම් අනුවණ පොලිස් නිලධාරීන් කිහිපදෙනකුගේ මුග්ධ ක්‍රිය නිසා සමස්ත පොලීසියේම දැලි ගෑවුණු අවස්ථා අප අසා ඇත. මේ කියන්නට යන්නේ එවැනිම අනුවණ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ මුග්ධ ක්‍රියාවක් ගැනය. ඊටත් වඩා කිසිදු සමාවක් දිය නොහැකි අහස පොළව නුහුලන අපරාධයක් ගැනය.

දිනය පසුගිය ජනවාරි 23 වැනිදාය. එදින රත්ගම කුකුළු මස් ව්‍යාපාරිකයකු වූ මංජුලගේ නිවෙසට ඔහුගේ හොඳම මිතුරකු වූ රසිත් පැමිණියේය. රසිත් ගාල්ල ධීවර වරායෙන් මාළු මිලදී ගෙන මීගමුවට ප්‍රවාහනය කළ අයෙකි. දෙදෙනාගේ මේ හමුවීම විශේෂ නොවුණේ සාමාන්‍යයෙන් දෙදෙනා නිතර දෙවේලේ හමුවන දෙදෙනකු වූ නිසාය. එහෙත් එදින ඒ දෙදෙනාට හොරා පිරිසක් ඔවුන්ට විරැද්ධව ක්‍රියාත්මක වෙමින් සිටියහ.

එකවරම කේ.ඩී.එච් වෑන් රථයකින් සහ මෝටර් රථයකින්  පැමිණි පිරිසක් නිවස වැටලූහ. ඔවුන් දෙදෙනාවම බලහත්කාරයෙන් වෑන් රථයට නංවාගෙන ඔවුහු පිටත්ව ගියහ.

එසේ පැහැරගෙන ගිය දෙදෙනා සම්බන්ධයෙන් දෙදෙනාගේම බිරින්දෑවරුන්ට හරි තොරතුරක් ලැබුණේ නැත. මේ අතර පැහැරගැනීම දුටු කාන්තාවන් දෙදෙනකු පැවසුවේ පොලිස් නිල ඇඳුමෙන් සැරසුණු පිරිසක් විසින් මේ පැහැර ගැනීම සිදුකළ බව කියාය. එම සාක්ෂියත් සමඟ ගමේ සියලු දෙනාම පොලීසියට විරැද්ධව උද්ඝෝෂණය කළහ. ඒ තම සහෝදරයා, ඥාතියා, මිතුරන් දෙදෙනා ඉල්ලාය. එහෙත් පොලීසිය පැම්ණ කිව්වේ තමන් එවැනි පැහැරගැනීමක් සිදු නොකළ බවය. එය දිවුර දිවුරා දුන් පොරොන්දුවක් විය.

පොලීසියත් එලෙස පැහැරගෙන නොගියේ නම් කවුරැන් විසින් රුගෙන ගියාද යන්න හැමෝටම ප්‍රශ්නයක් විය. ඔවුන් දෙදෙනාගේ අඹුදරුවන් හැඬූ කඳුලින් ඉල්ලා දිගටම සිටියේ තම ස්වාමි පුරුෂයන් දෙදෙනා ලබාදෙන ලෙසය. මේ අතර මේ සිද්ධිය මාධ්‍ය මගින් ද ප්‍රචාරය විය. ඒ නිසා මේ පැහැර ගැනීම රටම දන්න සිද්ධියක් බවට පත්විණි.

මේ සිද්ධිය ගැන පැමිණිලි කිරිම සඳහා පවුලේ අය රත්ගම පොලීසියට ගියත් පොලීසිය එය බාරගත්තේ නැත. පසුව ඔවුන් ගාල්ල පොලීසියට ගිය පසූ පැය ගණනක් රස්තියාදු කොට සිය පැමිණිල්ල ලියාගත්තේ රාත්‍රී 8ට පමණය. මේ පැහැර ගැනීමට අදාළව ජනතාව උද්ඝෝෂණය කරන විට පොලිස් නිලධාරියකු පැමිණ පැවසුවේ දවස් හතක් ඇතුළත මේ පිළිබඳව තොරතුරැ ලබාදෙන බවය. ඒ අනුව පිරිස නිහඬ වූයේ පොලීසිය ගැන විස්වාසය තබාය.

ක්‍රමයෙන් දින ගෙවී ගියේය. දින දහතුනක් ගෙවී ගිය තැන දෙදෙනාගේම බිරින්දෑවරු නැවත පොලීසියට ගියහ. එදින පොලීසියේ ප්‍රතිචාරය වෙනස් වූ අතර මේ දෙදෙනා පොලීසියට හිසරදයක් බව ඔවුහු කීහ. ඒ නිසා දෙදෙනාගේ ලිපිගොනු රහස් පොලීසියට බාරදෙන බවට අමුතු ප්‍රතිචාරයක් දැම්මේය. අවසානයේ පොලීසියේ බිය වැද්දීම හමුවේ පිරිස නිවසට ආහ.

එහෙත් අපරාධයක් වසන් කිරීමට නොහැකි බවට සාක්ෂි සපයමින් පෙබරවාරි 6 වැනිදා අතුරුදන් වූ පිරිසට ලිපියක් ආවේය. එම ලිපිය නූපේ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් යොමුකළ ලිපියක් බව සඳහන් වී තිබුණි.

එම ලිපිය මගින් දන්වා තිබුණේ ව්‍යාපාරිකයන් දෙදෙනාව දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා යටතේ ක්‍රියාත්මක වන විසින් ක්‍රියාත්මක විශේෂ ඒකකය විසින් පැහැරගෙන ගොස් ඇති බවය. එහි ස්ථානාධිපති රෝහණ සහ පොලිස් පරීක්ෂක නිශාන්ත යන අය ඊට සම්බන්ධ බවත් එහි  සටහන් වී තිබුණේය.

මෙහි හොඳම අනාවරණය වන්නේ එම ලිපියේ මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාට සිදු වූ ඉරණම පිළිබදව සටහන් වී තිබීමය. එනම් ඔවුන් සඳහන් කර ඇත්තේ එක් අයකුගෙන් ප්‍රශ්න කරන විට පහරදුන් බවත් එහීදි ඔහු මිය ගිය බවත් සාක්ෂි සැඟවීමේ අරමුණින් අනෙක් පුද්ගලයා ද ඝාතනය කළ බවත් එහි සඳහන් කර තිබිණි. එයින් ගැස්සුණු පවුලේ උදවිය මාධ්‍ය ඉදිරියේ ඉල්ලා සිටියේ මේ ඝාතනය ගැන විධිමත් පරීක්ෂණක් සිදුකරන ලෙසය. පොලිස්පතිවරයා විසින් මෙහි පරික්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරැවේ මෙහි සුලමුල සෙවීම සඳහාය.

ඒ අනුව රහස් පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශනයට අනුව මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා පොලීසිය විසින් පැහැරගෙන ගොස් ඇති බව අනාවරණය කරගැනීමට හැකි විය. ඒ සඳහා වෑන් රථය ලබාගෙන තිබුණේ නිශාන්ත නැමැති පොලිස් පරීක්ෂවරයාගේ හිතවතකු හරහාය. එම හිතවතාට නිශාන්ත පවසා තිබුණේ තම මවට බෙහෙත් ගෙන ඒම සඳහා මෙම වෑන් රථය රුගෙන යන බවය. එහෙත් එය රැගෙන ගිය නිශාන්ත නැවත පැමිණියේ තවත් කිහිපදෙනකු වෑන් රථයේ නංවාගෙනය. එලෙස රුගෙන ආ පිරිස අතරින් දෙදෙනකු කැබ් රථයකට නංවාගන්නා අයුරැ වෑන් රථයේ හිමිකරු දැක ඇත. එපමණක් නොව එය සීසීටීවී කැමරා වල පවා සටහන් වී ඇත.

කෙසේ වෙතත් පොලිස් නිලධාරීන්ගෙන් මේ පිළිබඳව රහස් පොලීසිය ප්‍රශ්න කිරීමේදී එම තොරතුරුතහවුරු වී ඇත. පසුව පොලිස් පරීක්ෂක නිශාන්ත අත්අඩංගුවට ගන්නා අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ පැහැර ගැනීමට හේතූව හෙළි වී තිබේ. එනම් මංජුල නැමැති ව්‍යාපාරිකයා සන්තකයේ ටී56 ගිනි අවියක් ඇති බවට තොරතුරැ ලැබීම නිසා එය ලබා ගැනීම සඳහා මංජුල අත්අඩංගුවට ගැනීමට පැමිණි අවස්ථාවේ ඔහුගේ මිත්‍රයා ද එම ස්ථානයේ සිටි නිසා ඔහුව ද රැගෙන ගිය බවය. කෙසේ වෙතත් ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක් අයකුට පුත්තලම ප්‍රදේශයේ මිනිස් ඝාතනයක් සම්බන්ධ චෝදනා ද එල්ල වී ඇති අයකු බව ද සඳහන් වේ. කෙසේ වෙතත් මෙම පැහැර ගැනීම සිදුවී ඇත්තේ ටී 56 ගිනි අවියක් සොයා ගැනීමේ අරමුණින් බව පොලීස් නිලධාරීන් විසින් අනාවරණය කර ඇත.

එසේ නම් පැහැරගත් පොලිස් නිලධාරීන්ට කුමක් වුයේද? දැනට හෙළිවී ඇති කරුණු අනුව එම පුද්ගලයන් දෙදෙනා පැහැරගෙන ගොස් පොලිස් නිලධාරීන් විසින් පහර දී ඇත. දරුණු ලෙස පහර දෙන විට එක් අයකු මරණයට පත්වී ඇත්තේ පොලීසියේ පහරවල සැර හේතුවෙනි. එසේ මරණයට පත්වීම හේතුවෙන් පොලිස් නිලධාරින් බියට පත්වී ඇති අතර එම ඝාතනය පිළිබඳව සාක්ෂි හෙළිදරව් වේ යැයි කියා අනෙක් පුද්ගලයා ද ඝාතනය කර ඇත. පාළු නිවසක් තුළ මේ ඝාතන සිදු වී ඇති බවට සැක කෙරේ.

එසේ ඝාතනය කිරීමෙන් පසුව එම මළසිරුරු දෙක වලස්මුල්ල පල්ලේකන්ද ප්‍රදේශයේ කෑළෑබද ප්‍රදේශයකට රුගෙන ගොස් තිබුණේ තවදුරටත් මෙය සඟවා ගතයුතු නිසාය. මේ නිසා ඔවුන් කැළෑවට දමා එම මළසිරැරැ දෙක ගිනි තැබුවේ තව දුරටත් සාක්ෂි වසන් කිරීමේ අරමුණෙනි. පසුගිය සිකුරාදා දහවල් එම ස්ථානය සොයා ගැනීමට හැකිවිය. පසුව හැවැන්දෙනිය ප්‍රදේශයේ කුණුමුල්දෙණිය රක්ෂිතයේ තිබී සිරැරැ කොටස් ද රහස් පොලීසියෙන් සොයාගත් බවත් සඳහන් විය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබඳව එක කෙළ බිඳක් අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක නිශාන්ත හෙළුවේ නැත. ඒ වෙනුවට සියලු විස්තර කීවේ මේ ඝාතනය සම්බන්ධයෙන් කම්පාවට පත් විශේෂ ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයකු විසිනි. ඔහු පොලිස් සේවයට පැමිණ වසර හතරක් වැනි කෙටිකලක් විය. ඒ නිසාම ඔහු මෙම ඝාතනය ගැන කියා තිබිණි. ඒ හේතුවෙන් රහස් පොලීසිය අධිකරණයේ අවසර මත ඔහුව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තිරණය කළේය. ඔහුගේ ප්‍රකාශ මත අතුරැදන් වූ ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන විත් රඳවා තැබූ ස්ථානයත්, පුළුස්සනු ලැබු ස්ථානයත් සොයා ගැනීමට හැකිවිය.

කෙසේ වෙතත් මෙම ඝාතනය දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහත සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වුණු විශේෂ ඒකකය හරහා සිදු වූ නිසා ඔහු මේ පිළිබඳව දැනුවත්ව සිටින්නට ඇතැයි රහස් පොලීසිය සැක කරයි. මේ නිසාම පරීක්ෂණ නිමවන තෙක් ඔහුව දකුණෙන් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරු කරනු ලැබ සිටී.

දැන් මේ වන මෙම අභිරහස් අතුරැදන් කතාවේ ඇත්ත කතාව හෙළිවී ඇත. එහෙත් එසේ පැහැරගත්තේ ටී56 ගිනි අවියක් සොයා ගැනීමට බව කීම කෙතරම් විස්වාස කළ හැකිද යන්න ප්‍රශ්නයකි. එනම් එලෙස ගිනි අවියක් සෙවීමට පෞද්ගලික වෑන් රථයක් සහ මෝටර් රථයක් පැමිණීමත් අතරමගදී කැබ් රථයක දමා ගැනීමත්, පාළු නිවසකට රුගෙන යාමත්, ඊට පසු මරණය තෙක් පහරදීමත් කෙතරම් සාධාරණ කතාවක්ද? එපමණක් නොව මංජුලගේ නිවසට පැමිණීම නිසාම ඔහුගේ යාළුවා රැගෙන යාමත් මංජුල මියගිය පසු එය වැසීමට මිත්‍රයා ඝාතනය කිරීමත් අවියක් සොයා ගැනීමේ අරමුණින් යැයි පිළිගත හැකිද? එය කෙතරම් සාධාරණද? එසේ නම් මීට එහා ගිය මෙහි කතාවක් තිබිය හැකි නොවේද? එය සොයා ගැනීම රහස් පොලීසිය සතු වගකීමකි.

 ගයාන් ගාල්ලගේ

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05