“බංගලාදේශයේ ඉඳලා ගෙනාපු අඩි 40ක කන්ටේනරයක් මේ වෙද්දී වරායේ තියෙනවා. නිමිඇඳුම් කියලා තමයි ගෙන්වලා තියෙන්නේ. බඩු කටුනායක යවලා නැවත ගුවන් මඟින් ඉතාලියට ප්‍රතිඅපනයනය කරනවා කියලයි කියන්නේ. නමුත් ඒ කතාව බොරුවක්. කන්ටේනරයේ රෙදිපිළි මොකුත් නෑ. ඇත්තටම ඒකෙ තියෙන්නේ ලංකාවේ බෙදන්න ගෙනාපු නීතිවිරෝධී දුම්කොළ තොගයක්...”
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජී.බී. ඥානරාජ් මහතාට මෙකී තොරතුරු හිතවත් ඔත්තුකරුවකුගෙන් ලැබී තිබුණේ පසුගිය වසරේ දෙසැම්බර් 3 වැනිදාය. අවිශ්වාසයක් නොවුණු ඔත්තුව පිළිබඳව වහා ක්‍රියාත්මක වූ ඥානරාජ් මහතා රේගු අධ්‍යක්ෂක හර්ෂ ජයතිලක මහතාට දැන්වීය. ඒත් සමඟම රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මියට දන්වා අවශ්‍ය උපදෙස් ලබාගත්තේය.
ඇය කියා තිබුණේ මේ බරපතළ කාරණය පිළිබඳව වහා ක්‍රියාත්මක වියයුතු බවත් ජාවාරමේ පසුපස සිටින සියලුදෙනා අල්ලා ගතයුතු බවත්ය. එබැවින් වැටලීම වරාය පරිශ්‍රයෙන් පිටතදී සිදුකිරීම සුදුසු බවත් ඒ සඳහා සුදුසු පියවර ගන්නා ලෙසටත් උපදෙස් ලැබිණි. වැටලීම වරාය තුළදී සිදුකර අත්අඩංගුවට ගත්තේ නම් කන්ටේනරය වැරදීමකින් එවා ඇති බව කියා සැකකරුවන්ට ලිස්සා යාමේ අවස්ථාවක් තිබිණ. එය වැළැක්වීම සඳහා අදාළ වැටලීම සැලසුම්කොට දියත් කෙරිණි. ඔත්තුකරුගෙන් ලද තවත් වැදගත් තොරතුරක් වූයේ ජාවාරම පසුපස රේගුවේ නිලධාරීන් කිහිපදෙනකුද සිටින බවය. මේ හේතුවෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල් චාල්ස් මහත්මිය කියා තිබුණේ වැටලීම සඳහා නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඥානරාජ් මහතාට පෞද්ගලිකව මැදිහත්වන ලෙසය.
“තොරතුරු අනුව අපි සූදානම් වුණා. රේගුවේ අයත් ජාවාරමට සම්බන්ධ බව කියපු නිසා අපි සියල්ල රහසිගතව තියාගත්තා. දෙසැම්බර් 3 වෙනිදා කන්ටේනරය වරායෙන් පිටට ගන්න සූදානමක් තිබුණා. ඒ වෙද්දී අපි පෞද්ගලික වාහනවලින් වරායට ඇතුළුවෙලා හිටියෙ. එදා රෑ 7 ට විතර සැකසහිත කන්ටේනරය වරායෙන් එළියට ගත්තා. අපි වාහනය පස්සෙන් යනවා කවුරුත් දන්නේ නෑ. ටික වේලාවකින් කන්ටේනරය මීගමුව පාරට හැරෙව්වා. වත්තල හරියට ගිහින් පාර අයිනෙ නවත්වලා විනාඩි 15ක් විතර හිටියා. නැවත පිටත්වුණු වාහනය වත්තල අතුරුපාරකට හැරෙව්වා. අපිත් හෙමින් කිට්ටු කළා. ටික දුරක් ගියපු කන්ටේනරය විශාල තාප්ප ගේට්ටු සහිත ලොකු කන්ටේනර් අංගනයකට ඇතුළු වුණා...” යැයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජී.බී. ඥානරාජ් මහතා කීය. එසේ ඇතුළු වී තිබුණේ එහි සිටි පිරිසකගේ සහායෙනි. එතැනින් එහා පියවරක් ගැනීම අවදානමකි. එබැවින් ක්ෂණිකව ක්‍රියාත්මක වී රේගු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් එහි ගෙන්වාගෙන තිබුණි. ඒ අතර රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය දන්වා තිබුණේ ආරක්ෂාව සඳහා පොලීසියේ සහාය ලබාගන්නා ලෙසය. ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ 119 අංකයට අමතා අවශ්‍යතාවය දන්වා වැටලීමේ පහසුව සඳහා එසැණින් වත්තල පොලිස් ස්ථානයේ නිලධාරී පිරිසකගේ සහාය ලබාගෙන තිබුණි.
ඒ වනතෙක් ආවේක්ෂණ කටයුතුවල යෙදී සිටි රේගු නිලධාරීහු කන්ටේනර් අංගනයේ පසෙක තිබූ කුඩා දොරටුවකින් එහි ඇතුළුවූහ. ඒ වනවිටත් අඩි 40 කන්ටේරයෙන් පිටතට බඩු බාමින් සිටි කම්කරුවන් 5 දෙනෙකි. ඊට අමතරව එතැන රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. එහි එක් අයෙක් වත්තල නගර සභාවේ හිටපු උප සභාපතිවරයෙක් මෙන්ම වර්තමාන මන්ත්‍රීවරයකු වන ටී.එම්. රියාස් නැමැත්තාය. අනෙක් පුද්ගලයා ඔහුගේ ගෝලයෙකි. අදාළ කන්ටේනර් අංගනයේ හිමිකරු එම මන්ත්‍රීවරයාය. අත්අඩංගුවට ගත් බීඩි කොළ කන්ටේනරය නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් ඔරුගොඩවත්ත රේගු අංගනය වෙත රැගෙන ආවේ අනතුරැවය. අත්අඩංගුවට පත් සැකකරුවන් පිරිස රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත රැගෙන ගොස් ඔවුන්ගේ වැඩිදුර ප්‍රශ්න කරනු ලැබීය.
එහිදී අනාවරණය වී තිබුණේ ජාවාරම සඳහා තවත් පුද්ගලයන් හතර දෙනකු සම්බන්ධව සිටින බවකි. ඉන් දෙදෙනකු රේගු නිලධාරීන් බවත් සෙසු අය වරාය කටයුතු සිදුකළ වාප්පු ලිපිකරුවන් දෙදෙනකු බවත් හෙළි වී තිබුණි. එම වාප්පු ලිපිකරුවන් අත්අඩංගුවට ගැනුණේ විමර්ශනය අතරතුරදීය. මේ අතර සැකකාර රේගු අධිකාරිවරයා සහ රේගු පරීක්ෂකවරයා හඳුනාගත් රේගු අධ්‍යක්ෂක ජනරාල් චාල්ස් මහත්මිය ඔවුන් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කළාය.
මේ වනවිටත් ජාවාරමේ ප්‍රධාන සැකකරු වශයෙන් හඳුනාගෙන සිටියේ නූර්දීන් ෆසාල් අහමඩ් නැමැත්තෙකි. ඔහුට පැමිණ කටඋත්තරයක් ලබාදෙන ලෙස දැන්වීමේදී ඒ සඳහා සති දෙකක කාලයක් ඉල්ලා තිබිණ. යළිත් ඒ බව ලියාපදිංචි තැපෑලෙන් දැන්වීමේදී එම ලිපිය හරවා එවන්නට සැකකරු ක්‍රියාකර තිබූ අතර ඔහුගේ පැමිණීමට තවත් මාසයක කාලයක් ඉල්ලා තිබිණ. සැකකරු මෙසේ කාලය ගෙවන්නේ ජාවාරමට අදාළ සාක්ෂි විනාශ කිරීමට විය හැකි බව සිතූ නිලධාරීන් පසුගිය සිකුරාදා (15) කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය අසලදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
ව්‍යාජ ලේඛන සකස්කර බීඩි කොළ තොගය ආනයනය කොට ශ්‍රී ලංකා රේගුවට රුපියල් කෝටි 4ක් වංචා කිරීමේ චෝදනාවට අධිකරණයට ඉදිරිපත්කළ සැකකරුට ඇප ලබාදී තිබුණේ කිසිවෙක් නොසිතූ ලෙසය. ඒ සම්බන්ධයෙන් යළිත් වතාවක් අධිකරණයට තොරතුරු වාර්තා කිරීමෙන් පසු සැකකරු පෙබරවාරි 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග ලැබිණ. එසේම ඊට පෙර සැකකරුට ඇප ලබාදී ඇත්තේ ප්‍රමාද දෝෂයකින් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ප්‍රකාශ කළාය. මේ අතර නඩුව ඉවත් කරගන්නා ලෙසත් පරීක්ෂණවලින් නිලධාරීන්ට ඉවත් වන ලෙසත් විවිධ තර්ජන හා බලපෑම් එල්ලවූ බවද නොරහසකි.
රේගු ආඥා පනතේ 127 (අ) වගන්තිය යටතේ අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු ඇපමත මුදාහැරීමට එම අධිකරණයට නොහැකි අතර එකී වරද සම්බන්ධයෙන් ඇප ලබාදීම සුවිශේෂී කරුණු මත මහාධිකරණයෙන් පමණක් සිදුකළ යුතුය. මෙසේ රිමාන්ඩ් බාරයට පත්කෙරුණේ ජාවාරමේ හයවැනි සැකකරු වූ කොළඹ 12 වේල්ල වීදියේ අංක 367 තුන්වැනි මහලේ පදිංචි නූර්දින් ෆසාල් අහමඩ් නැමැත්තාය. පළමු සැකකරුවන් 5 දෙනාගේ ප්‍රකාශ මත ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පළමු හා දෙවැනි සැකකරුවන්ට ඇප ලබාදී තිබුණේ අධිකරණ දැනුම්දීමකදී යළි පැමිණෙන එකඟතාව මතය. රේගු නිලධාරීන් ප්‍රකාශ කරන්නේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් මොහොතේ ඔහු සතුව ලිපි ගොනු කීපයක් හා විශේෂ ඉලෙක්ට්‍රොනික උපාංගයක් තිබූ බවය. එසේම සෙසු සැකකරුවන් අත්අඩංගුවට පත් මොහොතේ ඔහුගෙන් දුරකතන පණිවුඩ ලැබී ඇත.
ජාවාරමේ තුන්වැනි හා ප්‍රධාන සැකකරු 2017 වර්ෂයේදී බ්ලෙන්ඩර් නමින් බහාලුමක් ඉදිරිපත්කර නිමි ඇඳුම් ගෙන්වා රුපියල් කෝටි තුනක දඩයක් හා ලක්ෂ දෙකක වන්දියක් නියම වූ දෙදෙනෙකි. මේ ආකාරයේ ජාවාරම්කරුවන් ප්‍රතිඅපනයනයට බව කියමින් ගෙන්වන භාණ්ඩ කන්ටේනර් රට තුළට ගෙනගොස් වංචා කිරීම කාලයක සිට සිදුකළ එකකි. ඔවුන් නීතියේ රැහැනට කොටුකර ගැනීම රේගු නිලධාරීන්ගේ විශාල මෙහෙවරකි.
බීඩි කොළ ජාවාරමේ ප්‍රධාන සැකකරු මෙරට ප්‍රසිද්ධ අමාත්‍යවරයකුගේ සොහොයුරකුගේ ළඟම මිතුරකු බවට වාර්තා වේ. මොහු පසුගියදා වාර්තා වූ ගම්මිරිස් හා කරුංකා ජාවාරම පසුපස ඉන්නා අයෙක් බවටද වාර්තාවේ. මේ අතර රේගුවට අදාළ අමාත්‍යංශයක් තිබියදී වෙනත් අමාත්‍යවරයකුගේ මැදිහත්වීමෙන් මෙවැන්නක් සිදුවීම පිළිකුල් සහගතව හෙළා දකින බව රේගු වෘත්තීය සමිතිය පවසයි.
රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජී.බී. ඥානරාජ් මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සම්පත් රාජගුරු සහකාර රේගු අධිකාරිවරුන් වන අරුණ අමරසිංහ, රංජන් රත්නායක හා සොනාලි ලොකුබාලසූරිය යන අය වැඩිදුර විමර්ශන සිදුකරති.
සමන්ත ප්‍රදීප් විල්තෙර