2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

එස්.ටී.එෆ්. දැලේ පැටලෙන කුඩුකාරයෝ...

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 289

ලෝකයේ ආණ්ඩු පෙරළීමට මෙන්ම දේශපාලනඥයන් විනාශ කිරීමට තරම් බලයක් ඇති මත්ද්‍රව්‍ය හා ජාවාරම්කරුවන් සුළුකොට තැකිය නොහැකි භයානක පිරිසක් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. එබැවින් ඊට එරෙහිව මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය හා පාලනයට රාජ්‍ය ප්‍රත්පත්තිය තුළ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද කියා තිබිණ. පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පවතින වර්තමානයේදී ඉතිහාසයේ නොවූ තරම් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.

දින ගණනාවක සිට ජනමාධ්‍යවලින් පුවත් සිරස්තල නිර්මාණය කෙරෙන්නේ ප්‍රබල පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම ඔවුන්ගේ ගෝලබාලයන් කොටුකර ගැනීම සහ තොග පිටින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් පිළිබඳවය. මේ සඳහා ශ්‍රී ලංකා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය මූලික කොට ගනිමින් ත්‍රිවිද හමුදාව ආරක්ෂක අංශ, සුරාබදු දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ මගින් සිදුකරන මෙහෙවර විශිෂ්ටය. මත්ද්‍රව්‍ය පාලනය හා නිවාරණය කිරීමේ අරමුණෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විවිධ උපක්‍රම හා ක්‍රියාමාර්ග දියත් කරමින් සිටින පසුබිමක පොලිස්ථාන මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන වැටලීම් ප්‍රමාණය ඉහළය.

එවැනි මත්ද්‍රව්‍ය වැටලීමක නිරත වූ පොලිස් නිලධාරියකු සමඟ සැකකරුවෙක් පොර බැඳීම නිසා නිලධාරියා සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් එම නිලධාරියාගේ අතට වෙඩි වැදී තුවාල වූ සිදුවීමක් ඉකුත් 14 වැනිදා පස්වරුවේ වාර්තා විය. හෙරොයින් සන්තකයේ තබාගෙන සිටින බවට ලද ඔත්තුවක් මත ක්‍රියාත්මක වූ කඩවත පොලීසියේ නිලධාරීන් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පිටත්ව ගොස් තිබුණි. ඒ කඩවත පොලීසියට නුදුරින් ඇති නගර මධ්‍යයේ පිහිටි බෝධිය ආසන්නයටය. තොරතුර ලද ආකාරයට මත්කුඩු සමඟ සිටි පුද්ගලයා ත්‍රිරෝද රථයක නැගී සිට ඇත. උපක්‍රමශීලීව ඔහු අසළට ගිය නිලධාරීන් සැකකරු හා ත්‍රිරෝද රථය පොලීසිය වෙත රැගෙන යාමට උත්සාහ කිරීමේදී සැකකරු පැනයාමට උත්සාහ දරමින් නිලධාරියකු සමඟ පොර බදා තිබිණ. ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වූ ගිනි අවියෙන් පිට වූ උණ්ඩයක් පොලිස් නිලධාරියාගේ අතකට බරපතළ හානි සිදු කළ බවට වාර්තා කෙරිණි. කෙසේ වෙතත් අත්අඩංගුවට පත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10ක් සොයාගෙන තිබූ අතර සැකකරු කඩවත ඉහළ බියන්විල පදිංචි අවුරුදු 22ක් වන තරුණයෙකි.

සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය වැටලීම් තරකර තිබියදී පසුගියදා මාකඳුරේ මධූෂ් නැමැති පාතාල නායකයා අත්අඩංගුවට පත්වීමෙන් පසුව මෙතෙක් කල් වාර්තා වූ කප්පම් ගැනීම් සම්පූර්ණයෙන්ම නැවතී ඇති බවට වාර්තා වී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය, අපරාධ අංශය හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා සඳහන් කළේය.

පසුගිය 9 සහ 10 දිනවලදී තංගල්ල කොට්ටාශ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ වැටලීමකින් මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයන් දෙදෙනෙක් හෙරොයින් සහ ගිනි අවි කීපයක් සමඟ කොටු කරගෙන තිබිණ. එසේ අත්අඩංගුවට පත්ව තිබුණේ අසේල එරංග නොහොත් හේෂා සහ මැදවත්තේ නාලක නැමැත්තෙකි. නාලකට එරෙහිව ඊට පෙර හෙරොයින් සම්බන්ධ වරෙන්තු දෙකක් තිබූ අයෙකි.

මාකඳුරේ මධූෂ සමඟ ඩුබායි සිටියදී කොටු වූ සැකකරුවන් 31 දෙනා අතර සිටි රංගන ශිල්පී රයන් වෑන්රොයන් භාවිතා කළ මෝටර් රථය වැලිගම මිරිස්ස ප්‍රදේශයේ තිබියදී පරික්ෂාවට ලක්කර තිබුණි. එහි සඟවා තිබූ ගංජා මිලිග්‍රෑම් 5000ක් සොයා ගැනුණේ එම විමර්ශනයේදීය.

මේ අතර කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙක් පසුගිය 8 වැනිදා අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුගේ ගමන් මල්ලේ තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා කොකේන් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 5ක් අත්අඩංගුවට ගත් අතර ඔහු ඉන්දියාවේ නාගලන්ත ප්‍රාන්තයේ පදිංචිකරුවෙක් බවට තහවුරු කර ගැණිනි.

පසුගිය 7 වැනිදා ඉතාලි හා ඊශ්‍රායල් ජාතික පුද්ගලයන් දෙදෙනෙක් කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90යි මිලිග්‍රෑම් 79ක් සන්තකයේ තබා සිටියදී කඳාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ සිටිති. බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වැටලීම සිදු කළේය. එහිදී අනාවරණය වී තිබුණේ මෙරට රැඳී සිටින විදේශිකයන් රැස් වී “අස්වන්” නැමැති සාදය පවත්වන බවය. දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙරළ ආශ්‍රිතව පවත්වන එම සාදවලදී හෙරොයින් අලෙවි කරන බවද ඊට ඉහතදී සැකකරුවන් එසේ අලෙවිකර තිබෙන බවද පවසා තිබුණි.

පොලිස් විශේෂ කාර්ය බළකාය පසුගිය 6 වැනිදා සිදුකළ වැටලීමක් අතරතුරදී කඳාන ප්‍රදේශයේදී සැකකරුවන් තිදෙනකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60ක් සමඟ අත්අඩංගුවට පත්ව තිබුණි. සැකකරුවන් පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ ගෝලයන් බවට හඳුනාගෙන ඇත. මධූෂ්ගේ කල්ලියට එකතු වීමට පෙර ඔවුන් තිදෙනා මංජු නැමැති පාතාල නායකයා යටතේ කටයුතු කර ඇති අය බවට ද හඳුනාගෙන ඇත.

මොරටුව අවට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහැරි ප්‍රධානම ජාවාරම්කරු බව කියන රත්මලානේ රොහා නැමැති පාතාල නායකයාගේ සමීපතමයෙක් බව කියන අයෙක් රුපියල් කෝටියකට අධික වටිනා හෙරොයින් කිලෝවක් සමඟ පසගිය 5 වැනිදා රාවතාවත්ත ප්‍රදේශයේදී කොටු කර ගැණින. ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදීය.

පෙබරවාරි මාසයේ අත්අඩංගුවට පත් විශාලතම හෙරොයින් තොගය වූ රුපියල් කෝටි 110ක් ඉක්මවූ හෙරොයින් කිලෝ 100ක් සැකකරුවන් තිදෙනකු සමඟ සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් පසුගිය 5 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. ඒ වැල්ලවත්ත හා පිළියන්දල ප්‍රදේශවලදීය. හෙරොයින් තොගය පාකිස්ථානයේ සිට මුහුදු මාර්ගයෙන් ගෙන්වා ඇති බවත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටින ජාවාරම්කරුවකු එහි හිමිකරු බවද හඳුනාගෙන තිබුණි.

සුරාබදු නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත හෙරොයින් ග්‍රෑම් 10ක් සමඟ දෙදෙනකු වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හෙළි කර ගත් තොරතුරු අනුව වැටලීම සිදුකර තිබුණි.
ජනවාරි 30 වැනිදා පස්වරුවේ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ වැටලීමකදී රුපියල් තුන්කෝටි හැට ලක්ෂයකට අධික වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පොලිස් කොස්තාපල්වරයෙක් හා ඔහුගේ බිරිය කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට පත් කොස්තාපල්වරයා කැලණිය කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්ත අයෙකි.

රැපියල් කෝටි ගණනක් වටිනා හෙරොයින් තොගයක් සමඟ දින කිහිපයකට ඉහතදී බංගලාදේශ ජාතිකයන් කීපදෙනකු දෙහිවල අත්තිඩියේදී අත්අඩංගුවට ගැණින. ඔවුන් සමඟත් මෙම සැකකරු සබඳතා පවත්වා ඇති බවද හෙළි වී තිබේ. ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් අනුව පළමුව කාන්තාවක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇගේ නිවස සෝදිසි කර තිබෙන අතර සැකකාර කොස්තාපල්වරයා ඇගේ සැමියා වන බවත් හඳුනාගෙන ඔහු අත්අඩංගුවට පත්ව තිබුණේ නිවසේ සිටියදීය.

මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ හෙරොයින් ජාවාරම පසුපස බස්නාහිර පළාතේ උසස් පොලිස් නිලධාරියෙක් සිටින බවත් ඔහුද ජාවාරමට සම්බන්ධතාවයක් ඇති බවටත් චෝදනා එල්ලවී ඇත. වැඩිදුරටත් වාර්තා වන්නේ පසුගියදා මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය මගින් පොලිස් නිලධාරීන්ට මත්ද්‍රව්‍ය වැටලීම්වලට සැපයූ දායකත්වය උදෙසා සම්මාන පිරිනැමීමට සුදුසු නම් යෝජනා කර ඇත්තේ ද එම නිලධාරියාගේ මූලිකත්වයෙන් බවටය.

ඒ අනුව පොලිස් නිලධාරීන්ට පිරිනැමුණු සම්මාන පිළිබඳව ඇත්තේ ද ගැටලුවකි. එය මත්ද්‍රව්‍ය නිවාරණය හා පාලනය සඳහා අවංකව සේවය සපයන නිලධාරීන්ට සිදුකරන නිගාවක් බවද සඳහන් කරමු.

  සමන්ත ප්‍රදීප් විල්තෙර

දවස් 12ට වැටලීම් 37ක්
ගතවූ ජනවාරි 31 වැනිදා සිට පෙබරවාරි 12 වැනිදා තෙක් සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් 37කින් සැකකරුවන් 50 දෙනකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සහ එෆ්.ටී.එෆ්. බලකාය සමත් වී සිටී. ජනවාරි 1 වැනිදා සිට 24 වැනිදා තෙක් සිදුකළ වැටලීම් 2891කදී සැකකරුවන් 2895 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය ඒකකය වාර්තා කරයි.