පාරිභෝගිකයා සතුටු කිරීම සඳහා විවිධ පෞද්ගලික ආයතනවලින් ලබාදෙන තෑගි වරම් අපමණය. සමහර ආයතනවලින් කෝටි ගණන් මුදල්ය. සමහර ආයතනවලින් විදෙස් සංචාර ය. තවත් ආයතනවලින් යානවාහන ය. මේ නිසා පාරිභෝගිකයෝ මන්මත් වී ඒ තෑගිබෝග ගැනීම සඳහා නොයෙකුත් උත්සාහයන් දරති. එපමණක් නොව එම ආයතනද තමන් වෙත පාරිභෝගිකයන් අද්දවා ගැනීම සඳහා එලව එලවා තෑගි බෝග දෙයි.
මේ කියන්නට යන්නේ අපගේ පාඨකයකු වන පෙදරේරැවකු විසින් අප වෙත දැන්වූ සිද්ධි දෙකක් ගැනය. මේ සිද්ධියෙන් එක් සිද්ධියක් මීට මාස හය හතකට කලින් සිදුවී ඇති අතර අනෙක ඊයේ පෙරේදා සිදුවීමකි. අපි කතාව මාස හයක අතීත සිද්ධියෙන්ම පටන් ගනිමු.
දිනක් හිතවත් පාඨකයාගේ ජංගම දුරකථනය නාද විය. නොහඳුනන, එහෙත් එකම අංක හැඩයක හුරැවක් තියෙන අංක පෙළකි.
හලෝ මහත්මයා, ඔබ.... අප සමාගමේ පාරිභෝගිකයෙක්. දැන් මහත්මයා වසර කීයක් මේ සිම්පත භාවිතා කරනවද? එම නිලධාරියා ඇසීය.
වසර හතක්
ඔව් මහත්මයා... අපිට ඔබතුමාගේ තොරතුරැ සහතික කරගන්න පුළුවන්ද?
ඔව්, කියන්න....
මහත්මයාගේ නම, ලිපිනය, හැඳුනුම්පත් අංකය.. ඒ සියල්ල ඇසිණි. ඒවාට පෙදරේරු මහතා නිවැරදි පිළිතුරු ලබාදුණි.
ඔව් ස්තූතියි මහත්මයා.... ඔබට සතුටු හිතෙන ආරංචියක් දැනුම්දෙන්න කතා කළේ නිලධාරියා කීය.
ඔව් කියන්න...
මහත්මයා... අපේ ආයතනය විසින් සිදුකරපු පාරිභෝගික තුණ්ඩු ඇදීමකදී ඔබතුමා ජයග්‍රාහකයෙක් වෙලා තියෙනව කියලා කියන්න සතුටුයි... පෙදරේරු මහතාට උන් හිටිතැන් අමතක වූයේ ඔහුගේ පණිවිඩයක් සමඟය. එනම් ත්‍යාගයක් ලෙස ලැබෙන්නේ මරැටි කාර් රථයක් වීම නිසාය.
මෙහෙමයි මහත්මයා... මහත්මයාට අපි දවසක් දැනුම් දෙනවා. එදාට උත්සවයක් තියලා තමයි ඒක ලබාදෙන්නේ.
හා... හරි... පෙදරේරු මහතාගේ පිළිතුර විය.
හරි මහත්මයාට පොඩි දෙයක් මේ වෙනුවෙන් කරන්න තියෙනවා. ඒ මේ වාහනය ලබාදෙන්න අවශ්‍ය ලියකියවිලි සඳහා අපි පුංචි මුදලක් අයකරනවා... යැයි හිතවත් වූ නිලධාරියා කීය.
හරි කීයක් විතරද?
රුපියල් 25,000ක විතර මුදලක් අපි ලබාගන්නවා. ඒ මුදල ඔබතුමාට නැවත රක්ෂණයක් හැටියට ලබාදෙනවා අපි...
25,000ක් යනු මෝටර් රථයක් හැටියට සුළු මුදලකි. එය නැවත තමන් වෙතද ලැබෙන අතර ඒ නිසා එම මුදල අපතේ යන්නේ නැත. තප්පර ගණනක් සිතූ පෙදරේරු මහතා එම මුදල් ගෙවිය යුත්තේ කෙසේද යන්නත් ඇසීය.
මහත්මයා මේ මුදල් හෙටම ලබාදෙන්න අවශ්‍යයි. ලබාදෙන්න නොහැකි වුණොත් මෝටර් රථය අපි නැවත තරගයට ඉදිරිපත් කරනවා... යැයි එම නිලධාරියා කීය. සතේ අතේ නැත. එහෙත් 25,000ක් නිසා මෝටර් රථය අත්හළ නොහැක. කෙසේ හෝ එය ලබාගත යුතුය. ඒ නිසාම මුදල් ලබාදෙන අයුරු විමසීය.
මහත්මයා සාමාන්‍යයෙන් මේ මුදල් අපේ මූලස්ථානයට ගෙවන්න ඕනේ. ඒත් මේ අවස්ථාවේ ඔබට පැමිණ මුදල් ගෙවන්න ප්‍රමාද වෙනවා. ඒ නිසා අපගේ සමාගමේ ගිණුම් අංකයට මේ මුදල ඊසී කෑෂ් කරන්න. ඒක ලේසියි. ඒ අනුව දුරකථන අංකයක් ලබාදුන් අතර එයට මුදල් බැරකරන ලෙස ඔහු කීය. එසේම මුදල් බැරකර ඇමතුමක් ලබාදෙන ලෙසද ඔහු කීය.
පෙදරේරු මහතා ඊට පසුදින අදාළ මුදලද හිතවතෙකු මාර්ගයෙන් ණයට ලබාගත්තේය. ඒ වනවිටත් ඔහුගේ අංකයට සිංග්ලිෂ්වලින් කෙටි පණිවිඩයක් සිය ජයග්‍රණයට සුබපතා එවා තිබුණි. ඒ අනුව ඊට පසුදින උදෑසනම රුපියල් 25000 ඊසී කෑෂ් කළේය. මඳ වේලාවක් ගිය පසු ඇමතුමක් ලබාගත්තේය. ඇමතුම ලබාගත් අංකය ආවරණ කලාපයෙන් බැහැරව ඇතැයි කීය. ඇමතුම් කිහිපයක් ගත්තත් දුරකථනය ආවරණ කලාපයේ තිබුණේ නැත.
පෙදරේරු මහතාගේ ඉහෙන් කනින් දාඩිය පිටවෙන්නට පටන් ගත්තේය. කුමක් සිදුවී ඇත්දැයි ඔහුට සිතාගත නොහැකි විය. කාට කියන්නදැයි කල්පනා නොවීය. ඔහු හිටිහැටියේ හසුවුණේ වංචාකාරයෙක්ටයැයි ඒ වනවිටත් ඔහුට සිතුණේය. ඔහු කෙතරම් අසරණ වීද යත් අද වනතෙක් ඒ ගැන පැමිණිල්ලක් දැමීම හෝ එරෙහිව කුමන ක්‍රියාමාර්ගයක්වත් ගත්තේ නැත. ඒ ලජ්ජාව නිසාය.
මේ සිද්ධියට මුහුණ පෑ ඔහුටම පසුගිය සතියේ නැවත ඇමතුමක් ලැබුණේය. ඒ තවත් දුරකථන සිම්පත් සමාගමකින්යැයි කියාගන්නා තැනකින්ය. එවර ඔහුට මිලියනයක මුදල් ත්‍යාගයක් ඇති බවත් එය ලබාගැනීමට පැමිණෙන ලෙසත් දැන්වීය. ඊට පෙර රුපියල් 10,000ක තැන්පතුවක් අත්‍යවශ්‍ය බව ඔවුන් කීය. එහෙත් මීට පෙර මෙවැනි රුවටීමකට හසුවූ නිසා ඔහු ඊට මුදල් යෙදුවේ නැත. මේ නිසා දවස් තුනක් ඔවුන් ඇමතුම් ලබාදෙමින් පවසා ඇත්තේ තමන්ගේ මිලියනයක මුදල නැවත සමාගම සතු කරගන්නා බවය. එහෙත් ඔවුන් මුදල් ලබා නොදුන් නිසා අවසානයේ ඔවුන් ඇමතුම් ලබාදුන්නේ නැත.
කෙසේ වෙතත් පොලීසිය පවසන ආකාරයට මෙවැනි රැවටීම් අප්‍රමාණව ඇත. එක්වරක් එක්තරා දුරකථන සමාගමක අංක දිනුම් ඇදීමකට අදාළව ඔබ සතු අංක යැයි පවසා අංක පහක් එවා ඇත. එම දිනුම් ඇදීම ඊට පසු දින රාත්‍රියේ කරන බව දන්වාය. අවසානයේ ඊට පසුදින රාත්‍රියේ ඇමතුමක් ලැබී ඇත. ඔහු ජයග්‍රාහකයකු බවත් ඔවුන් පවසන අංක කෙටි පණිවිඩයක් හරහා මීට පෙර ලැබී ඇත්දැයි බලන ලෙසත් ඉල්ලා ඇත. අවසානයේ එම අංක එකකට එකක් සමාන නිසා ඔහු ජයග්‍රාහයකුයැයි සිතා ඇත. ඒ සඳහා 10,000ක මුදලක් තැන්පතු කරන ලෙස ඉල්ලා මුදල් වංචාකර ඇත. කෙසේ වෙතත් පොලීසියෙන් කළ විමසුමකදී ඔවුන් සඳහන් කර සිටියේ මෙය සංවිධානාත්මක කල්ලියක් විසින් සිදුකරන බවය. ඒ සඳහා එළියේ මෙන්ම බන්ධනාගාරය තුළ පිරිසක්ද හවුල් බවයි. විශේෂයෙන් ඇමතුම් ලබාදෙන්නේ එම පිරිස බව පොලීසිය පවසයි.
ඇතැම් විට එම ඇමතුම් පරීක්ෂා කිරීමේදි එම අංක බන්ධනාගාරය තුළ සිට ක්‍රියාත්මක වන බව පැහැදිලිවම තහවුරැ වී ඇත. එසේම එම අංක පරීක්ෂා කිරීමේදී එහි හිමිකරැවන් එක්කෝ මියගොස්ය. නැතහොත් මියගිය අයකුගේ හැඳුනුම්පතකට ලබාගෙන ඇත. මේ නිසා නීතිය ක්‍රියාත්මක කිරිමේදී අන්ත අසරණ වන බව පොලීසිය සඳහන් කරයි. ඒ නිසා යම් සමාගමකින් මුදල් හෝ වෙනත් ත්‍යාගයක් ලබාදෙන බව පවසන්නේ නම් ඒ ගැන අදාළ සමාගමෙන් විමසන ලෙස සඳහන් කරයි. එසේම යම් ත්‍යාග මුදලක් හෝ වෙනත් යමක් ඇත්නම් ඒ සඳහා පාරිභෝගිකයා මුදල්දීම අවශ්‍ය නොවන බවත් පොලීසිය පෙන්වා දෙයි. යම් අයකු මුදල් ඉල්ලන්නේ නම් ඒ සම්පූර්ණයෙන් වංචාවක් බව පොලීසිය පවසයි. ඒ නිසා එවැනි ඇමතුම්වලට කිසිදු වෙලාවක තම පෞද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙසද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අසංක කළුබෝවිල