2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

වැලිකෙළියට එරෙහි වූ නාවිකයන්ට බැටදුන් මැරයෝ

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 234

නීති විරෝධී වැලි ජාවාරම දෙවැනි වන්නේ මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමට පමණක් බව මුසාවක් නොවිය හැකිය. කාලයක් පුරාවට සිදුකරන අනවසර වැලි ගොඩදැමීම ලංකාවේ වාරි සිතියම වෙනස් කරන්නට පවා සමත්ව තිබේ. ඉවක් බවක් නැති වැලි ගොඩදැමීම දැනටමත් බරපතළ පාරිසරික හා සාමාජික ගැටලු රාශියක් නිර්මාණය කොට අවසන්ය.

ත්‍රිකුණාමලය කන්දක්කාඩු ප්‍රදේශයේදී මහවැලි ගඟේ ඉවුරට හා රක්ෂිත වෘක්ෂලතාවලට හානි කරමින් සිදුකරන වැලි ජාවාරම මේ වනවිටත් පරිසරයට සිදුකළ හානිය සුලුපටු නැත. වැලි හෑරීම නිසා ගං පතුල මුහුදු මට්ටමට වඩා ගැඹුරුවීමෙන් මුහුදු වතුර ගඟ දිගේ රට මැදට පැමිණීම අවදානම්ය. දැනටමත් සිදුව ඇත්තේද එයයි. එමගින් භූගත ජලයට කරදිය කලවම් වීමත් උල්පත් දියේ ලුණු කලවම් වීමත් නිසා ගොවිජනතාවගේ වගාවන් විනාශ වීමත් බරපතළ ගැටලුවකි.

මේ ආකාරයට කාලයක සිට මහවැලි ගඟේ කන්දක්කාඩු, කලුදවේලු හා චිත්තම්ෂෙට්ටි ප්‍රදේශවල සිදුකෙරෙන අනවසර වැලි ගොඩදැමිම නිසා සිදුවන පරිසර හානිය පිළිබඳව පරිසර සංවිධාන, පොලීසිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය අවධානයෙන් සිට ඇත. අනවසර වැලි ජාවාරම මැඩලීම සඳහා අවස්ථා කීපයකදී ක්‍රියාමාර්ග ගැනුණද ඒවා අසාර්ථක වීම නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඉල්ලීමට මහවැලි ගඟ ආශ්‍රිතව සිදුකරන නීති විරෝධී වැලි ජාවාරම සහ දූෂණ මැඩපැවැත්වීමට ඒකාබද්ධ මෙහෙයුමකට පොලිස් විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව, ගුවන් හමුදාව, යුද හමුදාව හා පොලීසිය එක්ව සිටියහ. ඔවුන්ට නාවික හමුදාව මගින් පිරිස් බලය ලබාදී තිබුණි.

ඒ අනුව පසුගිය සති කීපයේදී ඒකාබද්ධ මෙහෙයුම් කීපයක් ක්‍රියාත්මක කර තිබූ අතර. ඒවා කන්දකාඩුව, කලුදවේලු සහ චිත්තම්ෂෙට්ටි ප්‍රදේශවල ක්‍රියාත්මක විය. මෙහිදී පසුගිය 28 වැනිදා කන්දකාඩු ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුර මහවැලි ගඟේ අනවසර වැලි ගොඩදැමීමේ නිරතව තිබූ බෝට්ටු හයක් නාවික හමුදා බාරයට ගෙන ඇත. ඊට අමතරව ජනවාරි 24 සහ 25 දින දෙකේදී සිදුකළ වැටලිම්වලදී කන්දකාඩු ප්‍රදේශයේ පුද්ගලයන් 10 දෙනකු සමඟ රථවාහන කීපයක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය. එම වැටලීමේම තවත් දිගුවක් වශයෙන් සිදුකළ මෙහෙයුමේදී පසුගිය 29 වැනිදා අළුයම් කාලයේදී වැලි ජාවාරමේ නිරත වූ ලොරි රථ දෙකක් නාවික හමුදා භාරයට ගෙන තිබුණි. ඒ අනුව එම දින දෙකේදී පුද්ගලයන් 7 දෙනකු ඇතුළුව 17 දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණ. නාවික හමුදා පිරිස් බලයෙන් වැටලීම සිදුකළද ඉන් අනතුරුව නීතිමය පියවර ගැනීමේ බලය ඇත්තේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට සහ පොලීසියටය. ඒ අනුව පිරිස පළමු අවස්ථාවේදීම පොලීසියට බාර කිරීම නාවික හමුදාව විසින් සිදුකර ඇත.

29 වැනිදා අළුයම ලැබුණු තොරතුරක් මත නාවික නිලධාරීන් පිරිස කන්දකාඩු ප්‍රදේශයට ගොස් තිබුණේ හදිසි වැටලීමකටය. එහිදී වැලි ගොඩදැමීමේ නිරත ප්‍රධාන ජාවාරම්කරුවන් කීප දෙනකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව දැඩි විරෝධතාවයක් ප්‍රකාශ කළේය. නමුත් නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේදී නිලධාරීන් යටකරගෙන පලායන්නට පැමිණි වැලි පටවාගත් ලොරි රථයකි. ඒත් සමඟ එය වැළැක්වීමේ අරමුණෙන් නාවික භටයෙක් අහසට වෙඩි දෙකක් තබා තිබුණේ තත්ත්වය පාලනය කර ගැනීමටය. ඒ මොහොතේ වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයන් තිදෙනකු ගඟට පැන පලා යන්නට උත්සාහ ගෙන තිබුණි.

ඒ අවස්ථාවෙන් පසුව ජාවාරම්කරුවන් ප්‍රදේශවාසීන්ට කියා ඇත්තේ නාවික හමුදාව පැමිණ වැලිගොඩ දමමින් සිටි අයට වෙඩි තබා ගඟට දැමූ බවකි. ඒත් සමඟ කුපිත වූ ප්‍රදේශවාසී ජනතාව 200ක් පමණ ඒකරාශි වී ගල්මුල් හා බාල්දි රැගෙන නාවික නිලධාරීන් පිරිසට පහරදී තිබුණි. නිලධාරීන් පිරිසක් ගම්වාසීන්ගේ ග්‍රහණයට නතු වී සිටියදී ඔවුන් මුදාගැනීමට තවත් නාවික හමුදා ආධාරක කණ්ඩායම් කැඳවා තිබුණි. තත්ත්වය පාලනය කිරීම දුෂ්කර වූයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් ගෙන්වා ගැණින. මේ අතර නාවික යාත්‍රා යොදවා ගඟට පැන අතුරුදන් වූවන් සෙවීමට උත්සාහ කළද ගම්මුන්ගේ ප්‍රහාර නිසා එය ව්‍යර්ථ වී තිබිණ. එහිදී නිලධාරීන්ට හා යාත්‍රාවලට ජනතාව ගල්මුල් ප්‍රහාර එල්ලකර තිබුණි. ඒ අතර තවදුරටත් ප්‍රකෝප වූ ගම්වාසීන් එක් නාවික හමුදා නිලධාරියෙක් ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ගඟේ ගිල්ලවීමට උත්සාහ දරා තිබුණි. එහිදී විශේෂ කාර්ය බලකා නිලධාරීන් මැදිහත් වී නාවික සෙබළා මුදාගෙන තිබූ අතර නාවික සෙබළා මහත් පරිශ්‍රමයකින් සිය ගිනි අවිය ආරක්ෂා කරගෙන සිට ඇත. මෙම විරෝධතාවය අතරතුර හටගත් කලහකාරී බව පැය හතරක පමණ කාලයක් පැවති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම ගැටුමක් බවට පත්වූයෙන් ගම්වාසීන්ගේ පහරදීම නිසා නාවික සෙබළු 12 දෙනකු තුවාල ලබා තිබුණි. ඉන් සිව්දෙනකුගේ තත්ත්වය තරමක් බරපතළ බව ප්‍රකාශ කෙරිණ. සියලුම තුවාල ලැබූ පිරිස් ත්‍රිකුණාමලය මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව නාවික නිලධාරීන් තිදෙනෙක් නාවික රෝහලට ඇතුළත් කරනු ලැබීය. මේ අතර පොලීසිය සඳහන් කළේ ගැටුම හේතුවෙන් ඊට මැදිහත් වූ ගම්වාසීන් කීපදෙනෙකුම තුවාල ලබා සිටින බවය.

ගැටුම පැවති අවස්ථාව වනවිට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් රැසක්ද එහි ඒකරාශි වී සිට ඇත. මේ අනුව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ වැලි ජාවාරමේ නිරත පිරිස් විසින් සංවිධානාත්මක ලෙස යම් පිරිසක් හසුරුවා මෙම ප්‍රහාරය සිදුකර ඇති බවය. ඒ සඳහා ක්‍රමානුකූලව ගම්වාසීන් එක්කාසු කරගෙන තිබුණේද ජාවාරම්කරුවන්ගේ මැදිහත්වීමෙන් බව ඒ මහතා සඳහන් කරයි.
මෙම ප්‍රහාරය දියත් කර ඇත්තේ වැලිජාවාරමට එරෙහි වැටලීම හා අත්අඩංගුවට ගැනීම වළක්වන අටියෙන් බව පැහැදිලිය. ඒ සඳහා ප්‍රදේශයේ ජනතාව උසිගන්වා ඔවුන්ට වාසියක් ලබාගැනීමට උත්සාහ කර තිබෙන බවද පැවසිය යුතුය. මෙවැනි ජාවාරම්වලින් සිදුවන පරිසර විනාශය පිළිබඳ ඔවුනට වගක් නැත. දවස් පඩිය ලබන කම්කරුවන්ට ඒ පිළිබඳ අවබෝධයක් ඇත්තේ නැත. ජාවාරම හරහා ලාභ උපයන්නේ කීපදෙනකු පමණි. මේ පසුපස ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයන් කීපදෙනකු සිටින බවටද තොරතුරු වාර්තා වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරන පරිදි මෙම වැලිගොඩ දැමීමේ ස්ථාන සඳහා කිසිදු අවසරයක් නැත. ප්‍රදේශය ඒ සඳහා තහනම් කලාපයකි. විශේෂයෙන් එය සංරක්ෂිත කලාපයකි. ඒ අනුව සිදුකර ඇත්තේ අනවසර නීතිවිරෝධී වැලිගොඩ දැමීමක් බව පැහැදිලියි. කෙසේ වෙතත් 29 වැනිදා වැටලීම අතරතුර පලා යන්නට උත්සාහ කර දියේ ගිලීමෙන් මියගිය මොහොමඩ් රෂික් පාරීස් (22) යන අයගේ සිරැර 29 වැනිදා පස්වරු 4.30ට පමණ සොයාගැණුනු අතර බසීර් මොහොමදු රමීස් (19) යන අයගේ සිරුර 30 වැනිදා පස්වරුවේ සොයාගත් බව කින්නියා පොලිස් ස්ථානය වාර්තා කළේය. 

මෙවැනි වැටලීම් සඳහා දායක වන්නැයි ජනාධිපතිවරයාගේ නියෝග ලැබී ඇති බැවින් ඉදිරියටත් ඕනෑම තත්ත්වයක් මත අවශ්‍ය වැටලීම් සඳහා නාවික හමුදාව දායක වන බවත් නාවික හමුදාවේ වගකීම එලෙසින්ම ඉටුකරන බවත් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීමට අවශ්‍ය කටයුතු සඳහා දායකවන්නට අපේක්ෂාවෙන් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබංඩාර මහතා පැවසීය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:05