මැලේසියානු දූපතක් වන පෙනැන්ග්හී බටහිරට වන්නට පිහිටි කොඩිකන්ද දෙසට වැටුණු දුෂ්කර මාර්ගය ඔස්සෙ ඇවිදයන දෙගොඩහරි වයසේ හාදයෙකි. උසට සරිලන මහතින් යුතු ඔහු කොළ පැහැති ටී ෂර්ටයකින් හා සැහැල්ලු ජීන්ස් කලිසමකින් සැරුසී ක්‍රීඩා සපත්තු යුවළක් පැළඳ සිටියේ වැඩි ආටෝපයකින් තොරවය. අරැමෝසම් භාණ්ඩයකට ඔහු අතවූයේ කැමරාවකි. මේ වනගත දුෂ්කර මඟ වැටී තිබුණේ කඳුවළල්ල මැද පිහිටා ඇති කාමර 30කින් යුත් යටත් විජිත යුගයට අයත් මන්දිරයක් වෙතටය. මේ සාමාන්‍ය මැලේ ජාතිකයකු ලෙස බැලූ බැල්මට පෙනෙන තැනැත්තා මෙයට වසර 03කට පෙර වනමැද හුදෙකලා වූ ඉපැරණි මන්දිරය මිලට ගෙන මනාව නවීකරණය කර තිබුණි. ඔහුගේ පැමිණීම බලාපොරොත්තුව මේ වනගත මැදුරේ ඊට පෙරදා සිට රුය පහන් කළ අමුත්තෙකි. හේ තරුණ භික්ෂූවකි. හේ ථෙරවාද උපසම්පදාව ලබා තරැණ වියේදීම සියලු යසඉසුරු අතහැර තවත් 60 නමක් සමඟ වනවැදී භාවනාවට හිත යොමුකළ අපූරැ තැනැත්තෙකි. ගිහිගෙය හැර නොආවා නම් මේ වනවිට මේ තරැණ හිමිනමට මැලේසියාවේ දෙවැනි ප්‍රකෝටිපතියාගේ මෙන්ම ලෝකයේ 89 වෙනි ධනවතාගේ රැපියල් බිලියන 1745ක මහා බූදලයට හිමිකම් කියන්නට හැකිව තිබුණි. ගෞරවනීය අජාන් ශ්‍රී පඤ්ඤෝ නමැති මේ තරුණ හිමිනම උඩුගුවනටත් සිය ව්‍යාපාරික අධිරාජ්‍යයේ අණසක ඒ වනවිටත් ව්‍යාප්ත කර සිටි මහා ධනකුවේරයාගේ එකම පුත්‍රයාය. අර ඈත කැලෑබද කඳුකර මඟේ කැමරාවක්ද එල්ලාගෙන සාමාන්‍ය සංචාරකයෙක් මෙන් එමින් සිටියේ ඔය කියන ප්‍රකෝටිපති තාත්තාය.
ඔහු වැඩි කළඑළියට කැමැති තැනැත්තෙක් නොවේ. එසේ වුවද සෙසු ලෝකයා ඔහු ගැන දැන සිටියේ මලයාසියානු ප්‍රකෝටිපති ටට්ප්‍රනාන්දම් ආනන්ද ක්‍රිෂ්ණන් හැටියටය. ඔහු පරම්පරාවෙන් ලාංකිකයෙකි. දමිළ ජාතිකයෙකු වූ ඔහු බෞද්ධයෙකි. සාමාන්‍ය පුද්ගලයකු ලෙස නිදහසේ ඉන්නට කැමති ප්‍රසිද්ධියේ කළඑළියට එන්නට අකමැති හාදයෙකි.
ටට්ප්‍රනාන්දම් ආනන්ද ක්‍රිෂ්ණන් නැතිනම් ළඟ මිතුරන් අමතන ආකාරයට AK, නැතිනම් TAK, ක්වාලාලාම්පූර් නුවර බ්‍රික්ෆීල්ඩ්වල උපන්නේ සාමාන්‍ය පවුලකය. ශ්‍රී ලංකාවේ යාපනයේ සිට යටත් විජිත පාලකයන් විසින් මේ පවුලේ ආතා මැලේසියාවට රුගෙන විත් තිබුණි. තුන්වැනි පරපුර නියෝජනය කරන ආනන්ද ක්‍රිෂ්ණන්හට කොළඹ ක්‍රමය යටතේ අධ්‍යාපන ශිෂ්‍යත්වයක් හිමිවීමත් සමඟ ඔහුගේ ජිවිතය මුළුමනින්ම වෙනස් විය. ඔහුට කිසිදා ළං වන්නටවත් සිතාගත නොහැකි මෙල්බර්න් විශ්වවිද්‍යාලයට යාමටත් එතැනින් එම්.බී.ඒ. උපාධිය සඳහා හාවර්ඩ් වෙත යාමටත් වාසනාව උදාවිය. අදටත් ඔහු අධ්‍යාපනය කෙනෙකුගේ ජීවිතය මුළුමනින් වෙනස් කරනා බව විශ්වාස කරන අතර තමන්ට ලැබුණු ශිෂ්‍යාධාරය ස්තුතිපූර්වකව මතකයට නංවයි. එතැනින් නොනැවතී ඔහු සිය ආදායමෙන් වැඩි කොටසක් අධ්‍යාපන පහසුකම් සඳහා ආධාර ලෙස ලබාදී තිබේ. මැලේසියා ප්‍රජා අධ්‍යාපන පදනම ඒ සඳහා කැපවී ඇති අතර ආනන්ද ක්‍රිෂ්ණන්ගේ Usaha Tegas ආයතනය 1990දී ඩොලර් මිලියන 8ක් එයට වෙන් කර තිබේ. මැලේසියාවේ ඇති 500ක් වන දමිළ පාසල්වල දක්ෂ, එහෙත් දුප්පත් දරැවන්ට මෙන්ම අනෙක් සංක්‍රමණික දරැවන්ට උපාධි මට්ටම දක්වා ආධාර ලබාදීම සිදුවෙයි. ඔහු සතු Maxis, කොටස් ආදායමෙන් මිලියන 26ක් ඔහුගේ පුණ්‍ය ආයතනයක් වන Usaha Tegas මගින් ආරම්භ කළ Harapan Nusantara අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩපිළිවෙළට ලබාදීමට කටයුතු කර ඇත. 2004 සිට මැලේසියානු පෞද්ගලික සරසවි සඳහා සිසුන් 100 දෙනකුහට වාර්ෂිකව ආධාර ලබාදෙයි. Usaha Tegas අරඹා ඇති Yu Cai අධ්‍යාපන පදනම චීන සිසුන් සඳහාය. ඒ සඳහා ඩොලර් මිලියන 6.6 වෙන්කර ඇත. මැලේසියාවේ ජීවත්වන ප්‍රධාන ජනවර්ග තුනටම අයත් සිසුන් සඳහා විශේෂ ආධාර පදනම් 3ක් මගින් උපකාර ලබාදෙයි. ඔහුගේ Astro චන්ද්‍රිකා සමාගම මැලේසියාවේ ජනමාධ්‍ය සහ ගුවන්විදුලි අංශයේ පුහුණුව ලබන සිසුන්ට වාර්ෂිකව ඩොලර් 2300-44000 දක්වා ආධාර ලබාදෙයි. අධ්‍යක්ෂණය, පිටපත් රචනය, රඟපෑම වැනි අංශවල සිසුන් 48කට වාර්ෂිකව ආධාර ලබාදීම සිදුකරයි.
ආනන්ද ක්‍රිෂ්ණන් මුලින් අත ගැසුවේ තෙල් ජාවාරමටය. “Exoil Trading” නමින් එය පවත්වා ගෙන ගිය අතර පසුව ව්‍යාපාර ගණනාවකට අත පෙවීය. සූදුව සහ අශ්ව ගොවිපළ මෙන්ම කාටූන් ස්ටුඩියෝවක්ද පවත්වාගෙන ගිය පසු ඔහු කෝටිපතියන් අතර පෙරමුණට ගෙන එන්නට සමත් වූ සෙල් කොම්පැණිය “Maxis Communications” ඇරඹුවේය. මැලේසියාවේ ප්‍රමුඛතම සෙල් කොම්පැණිය වන එය සතුව මිලියන 11කට අධික දායක පිරිසක් වෙති. ඉඩකඩම් ගොඩනැගිලි, ලොතරුයි, සූදු සහ විනෝදාස්වාද සේවා, බලශක්ති නිපැයුම්, සන්නිවේදන සහ විදුලි සංදේශ, මාධ්‍ය මෙන්ම චන්ද්‍රිකා සන්නිවේදන ජාල දක්වා ඔහු සිය ව්‍යාපාර ව්‍යාප්ත කර තිබේ. ඔහු සතු චන්ද්‍රිකා 03ක් මේ වනවිටත් මහ පොළොව වටා යයි.
ටට්ප්‍රනාන්දම් ආනන්ද ක්‍රිෂ්ණන් සතුව ක්වාලාලම්පූර් නගරයේ පැවති ජාලන් අම්පාන්ග් නමැති බිම් කොටසේ ඔහු මැලේසියාවේ නිවුන් කුලුණු ගොඩනැගිල්ල තැනුවේය. ඉන් එක් කුලුණක් “Petronas” ව්‍යාපාරයට විකුණා කුලුණු දෙක හදන්නට ගිය මුළු වියදමත් ඉඩමේ වටිනාකමත් මෙන් දෙගුණයක් මුදල් සාක්කුවේ දමා ගත්තේය. ජර්මනියේ ඔහු සතුව තිබූ වසරකට ලක්ෂ 13ක් සංචාරකයන් පැමිණෙන නිවාඩු නිකේතනයක් යුරෝ මිලියන 226කට විකුණා දැමුවේය. වර්ග මීටර 100,000ක ඉඩකඩ සහිත පැරුණි ගුවන් යානා රඳවනයක් වන එතැන ඔහු මිලදී ගෙන තිබුණේ යුරෝ ලක්ෂ 175ක මුදලකටය. ඔහු එහි පොල් රැප්පාවක් සහිත මුහුදු වෙරළක්, සෝනා ස්පා පහසුකම්, ජර්මනියේ උසැතිම ජල ක්‍රීඩා කුලුණ සහ ඝර්ම කලාපීය වැසි වනාන්තරයක් සහිතව ලොව විශාලතම ගෘහස්ත විවේකාගාරය තනා තිබුණි.
ආනන්ද ක්‍රිෂ්ණන්ගේ Brickfields වල පිහිටි පැරැණි නිවස ඔහු වඩාත් ප්‍රියකරන තැනකි. ලී තහඩු සහ දඬු බහුලව භාවිතා කර සියලු ෆෙන්ග් ෂූයි උපක්‍රම යොදා නිමවා ඇති මෙහි ඇත්තේ ධනාත්මක පරිසරයකි. එහි දකුණු පසින් “ක්ලාන්ග්” ගංගාව ගලා බසී. ඔහු සතුව ඕස්ට්‍රේලියාවේ ඇති කෝටිපති බංගලාව 2006 දී වසරේ හොඳම නිවෙස හැටියට සම්මානයටද ලක්විය. සිඩ්නි නුවර සිට කිලෝමීටර 330ක් ඈත ගම්බද ටවුමක් වන ස්කෝන් ආශ්‍රිතව පිහිටා ඇති හෙක්ටයාර 1800ක් පුරා පැතිර ඇති විවෘත පුළුල් භු දර්ශන වලට බාධා නොවන සේ නවීන ගෘහනිර්මාණ හාස්කම් සහිතව ගොඩනැගූවකි. උණුවතුර තටාකයක්, විශාල විවෘත ආලින්දයක් සහිත විශාල මන්දිරය වටා මනාව සකසන ලද දේශීය ගස්කොළන් පිරුණු උද්‍යානයකි. "Kia Ora” නම් ලද මෙය ඩොලර් මිලියන ගණනක් වටිනා මන්දිරයකි. මේ හැර ලන්ඩන්, ක්වාලාලාම්පූර් සහ ප්‍රංශයේද තවත් මන්දිර ඔහු සතුය. ඔහු සතු ඉස්තරම් මුහුදු විනෝද යාත්‍රාවේ නැගී මසුන් දඩයමේ යාම ජීවිතයේ ප්‍රියතම අංගයකි.
ඔහු සතු සාමාන්‍ය වේගයත් නොට් 460ක් වන Gulfstream IV, ජෙට් යානය පෙට්‍රෝනාස්වලටද සම අයිතිය ඇති සුඛෝපභෝගී යානයකි. ඒ තුළ 19 දෙනකු හට ගමන් පහසුව පවතී. එය ඔහු මහතීර් මොහොමඩ් සමඟ හවුලේ භාවිතා කරන යානයකි. මහතීර්ගේ ළඟම විශ්වාසවන්තයා ලෙස සැලකෙන ආනන්දන්හට විශාල මුදලක් රටින් පිට කිරීමටත් ඒ මුදල ඉන්දියාවේ ආයෝජනයටත් මහතීර් ඉඩ ලබාදුන් බව වාර්තාගතය. Maxis-Aircel වංචාව හැටියට එම අලකලංචිය ප්‍රසිද්ධ විය. කෙසේ වුවද මේ අපැහැදිලි ආයෝජනය හේතුවෙන් ඉන්දිය රජයද ආනන්දන් පසුපස නීති දැල එලුවේය. එවකට මැලේසියානු රජයේ අගමැති නජීබ් රසාක්ගේ රාජ්‍ය තාන්ත්‍රික බලපෑම නොවන්නට ඔහුට ඉන්දියානු මහඋළු ගෙදර කල්දෙරම් බත හිමිවන්නට තිබුණි. එයට හිලව් ලෙස මහතීර්හටද ප්‍රශ්නකාරී ගනුදෙනුවක් බවට පසුව පත් වු 1MDB සදහා බිලියන දෙකක් මැලේසියානු මුදල් ආනන්දන් ණය හැටියට ලබාදුන් බවටද වාර්තා පවතී. මේ කියන කාලයේ ඔහු ආසියාවේ කෝටිපතියන් අතර 06වෙනියා ලෙස සැලකිනි. ඒ අන්දමට ඔහු එරට රාජ්‍ය යන්ත්‍රය තුළ මෙන්ම අග්නිදිග ආසියා කලාපය තුළද ප්‍රබල භූමිකාවක් දරන තැනැත්තෙකි.
සුගත් පී. කුලතුංගආරච්චි