2019 ජනවාරි 26 වන සෙනසුරාදා

රටම කන සේනා දළඹුවා

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 269

කලින් කලට අප රටට එන වසංගත අලුත් දෙයක් නොවේ. මේ වනවිට ලංකාවට අලුත් වසංගතයක් පැමිණ තිබේ. ඒ සේනා දළඹුවායි. කිලෝ මීටර් 100ක් පමණ දුර එකදිගට පියාඹා යා හැකි සළඹයකු විසින් බෝ කරනු ලබන බව කියන මෙම දළඹුවාට මුළු රටම ග්‍රහණයට ගැනීමට ගතවූයේ මාස දෙකකටත් අඩු කාලයකි. මේ වනවිට මෙම දළඹුවා බහුල ලෙසට ව්‍යාප්ත වී ඇත්තේ අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල, අම්පාර, කුරුණෑගල, මඩකලපුව, කෑගල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලය.

මෙම සේනා දළඹුවා ව්‍යාප්ත වූයේ බඩඉරිඟු වගාවටය. මේ වනවිට බඩඉරිඟු හෙක්ටයාර් 40000කට පමණ හානි කර තිබෙන අතර එය වාර්ෂික බඩඉරිඟු වගාවෙන් 30%ක් පමණ වන බව ගණන් බලා තිබේ.

සේනා දළඹුවා මෙරට ගොවිබිම්වලින් හඳුනා ගැනීමට ලැබී ඉමහත් කෙටි කාලයකි. එහෙත් මේ පණුවාගේ ව්‍යාප්තිය අතිශයින් වේගවත් වී ඇත. මෙහිදී වගාවට හානිකර මෙම දළඹුවා මර්දනය කිරීම සඳහා යොදාගත හැකි දිගුකාලීන හා කෙටි කාලීන ක්‍රම පිළිබඳව බලධාරීන්ගේ වැඩි අවධානයක් යොමු වී තිබේ.

බඩඉරිඟු වගාව ඔස්සේ පැතිර යන මෙම දළඹු උවදුරට විවිධ පලිබෝධ නාශක නිර්දේශ කර ඇතත් වසංගතය තවමත් නිමාවට පත්වී නැත. බඩඉරිඟු වගාවෙන් ව්‍යාප්ත වූ මෙහි වඩාත් භයානක තත්ත්වය වන්නේ වී වගාවට හා එළවළු වගාවට ද බෝවිය හැකි බවට අනතුරු අඟවා තිබීමය. වී වගාව අපේ ආහාර භෝග වගාවේ අංක එක වන අතර එය විනාශ වුවහොත් දරුණු ආහාර අර්බුදයක් මතුවනු ඇත. එළවළු වගාව ද වී වගාව තරමටම වැදගත්ය. මේ අනුසාරයෙන් බලනවිට පෙනී යන්නේ කෘෂිකර්මය පිළිබඳ මහා අනතුරක් අප ඉදිරියේ ඇති බවය.

ලෝකයේ ජනප්‍රිය වගාවන් පාලනය කරන මාෆියා සංවිධාන ඇති බව කවුරුත් දනිති. මේ සංවිධාන ඇතැම් රටවලට පළිබෝධ නාශක හඳුන්වා දෙන්නේ වගාවට රෝග ඇතුළත් කිරීමෙන් පසුවය. ඇතැම් රටවල වගාව විනාශ කොට තවත් රටවල වගාව වර්ධනය කිරීමට ද ඔවුහු පියවර ගනිති. බිබිලේ පැණි දොඩම් වගාව විනාශ වූයේ එබඳු උපාය මාර්ගයක් නිසා යැයි කියති. අද බිබිලේ පැණි දොඩම් නැත. එහෙත් පිටරට පැණි දොඩම් ඇත. වගාවන් ගැනද, ඒවාට යොදන පොහොර හා කෘමි නාශක ගැන ද නිරන්තැ පරික්ෂාවක් අවශ්‍ය වෙයි. එහෙත් අපේ රටේ එය සිදුවන්නේ නැත. ඒ අනුව ඉතා පහසුවෙන් රෝගවලට පැතිර යා හැකිය.

සේනා දළඹුවා ඇතිවීමට මූලික හේතුව තවමත් සොයාගෙන නැත. එහෙත් කඩින් කඩ සිදු කරන බඩඉරිඟු වගාව නිසා රෝගය මර්දනය කිරීම අපහසු වී ඇති බවද එහි ව්‍යාප්තිය වේගවත් වී ඇති බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ගොවියා එක යායක එක කාලයක වගාව ආරම්භ කරන්නේ නම් පලිබෝධ නාශක යෙදීමට ද පහසු වෙයි. එහෙත් විවිධ හේතු නිසා ගොවීන් කඩින් කඩ වගාවට යොමුවන බව පෙනී යයි. ගොවියාගේ පැත්තෙන් බලන විට ඊට සාධාරණ හේතු තිබෙන්නට පුළුවන. එහෙත් අර්බුදකාරී අවස්ථාවක රජයේ උපදේශන අකුරටම පිළිපදින්නට ඕනෑම ගොවියකු සූදානම් විය යුතුය.

රජය මේ රෝගය මර්දනය කිරීම සඳහා මුළු අවධානය යොමු කර ඇති බවක් පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයා පවා ඊට මැදිහත් වීමෙන් ඒ බව සනාථ වෙයි. පසුගිය 16 වැනිදා සිට ශ්‍රම නිලධාරී මට්ටමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම සේනා දළඹු උවදුර මැඩලීමට විශේෂ වැඩසටහන් ආරම්භ කර ඇත. ගොවියා දැනුවත් කිරීම සියල්ලටම ප්‍රථම කළ යුතුය. දෙවනුව මෙම රෝගකාරක අස්වැන්න මුළුමනින්ම විනාශ කළ යුතුය. තෙවනුව ගොවිබිම් පරික්ෂා කළ යුතුය. නිර්දේශිත පළිබෝධ නාශක පහසුවෙන් ලබාගත හැකි ක්‍රමයක් ද තිබිය යුතුය.

සේනා දළඹු උවදුර පසුගිය වසරේ විදෙස් රටවලින් ආනයනය කළ බඩඉරිඟු බීජවලින් මෙරටට ව්‍යාප්ත වී ඇති බවට මේ වනවිට සමාජය පුරාවටම කතාබහක් ද ඇති වී තිබේ. එහි ඇත්ත නැත්ත තවම පැහැදිලි නැත.

මේ උවදුර පිළිබඳව රටේ කෘෂිකර්මයට සම්බන්ධ පාර්ශව කිහිපයකින් අපි විමසීමක් කළෙමු.

මර්දනයට නිසි පිළියම් තාම සොයාගෙන නෑ
කෘෂිකර්ම  අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන්

“විශේෂයෙන්ම කියන්න ඕන මේ සේනා දළඹුවා මෙරටට පැමිණ ඇත්තේ විදේශවලින් ආනයනය කළ බඩඉරිඟු බීජවලින් නොවන බවයි. බොහෝ විට ඊසාන දිග මෝසම් සුළඟත් සමඟ මෙරටට පැමිණෙන්නට ඇති බව විශ්වාස කරනවා. මොකද මේ සේනා (සළඹයාට) එක රැයකට කිලෝ මීටර් 100ක පමණ දුරක් පියඹා යෑමේ හැකියාවක් පවතිනවා. එමෙන්ම මේ ව්‍යසනය මේ වනවිට හෙක්ටයාර 45000ක් පමණ බඩඉරිඟු වගාවන් විනාශ කරලා තියෙනවා. එය සමස්ත දේශීය බව ඉරිඟු වගාවෙන් 30%ක් පමණ වෙනවා.

ඒ වගේම මෙම සේනා ආක්‍රමණය සිදුවිය හැකි වෙනත් බෝග වර්ග 80ක් පමණ තියෙනවා. අමෙරිකාව, අප්‍රිකාව, බංගලාදේශය, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් සේනා දළඹු උවදුනේ කරදර විඳිනවා. මෙය සම්පූර්ණයෙන් මර්දනය කළ රටක් නැහැ. මේ වනවිට කෘමිනාශක වර්ග 5ක් අප මෙම උවදුර සඳහා හඳුන්වා දී තිබෙනවා. නමුත් මා ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉරිඟු කරල ඇතුළට මේ කෘමිනාශක යොදන්න එපා කියලා. එයින් මෙයට වඩා විශාල ව්‍යවසනයක් ඇතිවෙන්න පුළුවන්. දැනට දේශීව බඩඉරිඟු අස්වැන්න නෙළමින් සිටිනවා. මේ අස්වනු නෙළන ගොවීන් පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් කරනවා. මෙහිදී අනාවරණය වෙලා තියෙනවා එම අස්වනුවලට බරපතළ හානි සිදුවෙලා නැහැ කියලා.

සේනා දළඹු වර්ග දෙකක් ලෝකයේ පවතිනවා. R වර්ගය හෙවත් වී වගාවට බලපෑම් කරන සහ M වර්ගය හෙවත් ඉරිඟු සඳහා බලපෑම් කරන වර්ගයයි. මෙයින් ලංකාවේ පැතිරිලා ඇත්තේ M වර්ගයයි. බොහෝ දෙනකු දළඹුවෙක් දුටුවිට කලබල වෙනවා සේනා දළඹුවෙක් කියලා. නමුත් එකවර එසේ කළබල විය යුතු නැහැ. තවමත් මේ සේනා මර්දනයට නිසි ක්‍රමවේදයක් සොයාගෙන නැහැ. අපි මේ සම්බන්ධව අදාළ පියවර මේ වනවිට ගනිමින් ඉන්නවා.”

ඉක්මනින්ම තුරන් කිරීමට සියලු උත්සාහ දරනවා
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි සංරක්ෂණ අංශයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය දයානි පෙරේරා

“සේනා දළඹුවා ගැන අපි මුල සිටම අවධානයෙන් සිටියේ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ මග පෙන්වීම මත මේ වනවිට මෙම දළඹුවා ඉන්දියාවේ වගාවන්ට  හානි කරන්නට ගත් නිසා අපි ලංකාවට පැමිණියේ යැයි අනුමාන කළා. යම්කිසි වෙලාවක මෙම දළඹුවා ලංකාවට පැමිණීමට අවස්ථාව තිබූ නිසා ඒ වෙනුවෙන් අපි අපේ කෘෂිකර්ම උපදේශකවරුන් ඇතුළු නිලධාරීන් දැනුවත් කළා. අපට වාර්තා වූ සේනා දළඹුවා සාමාන්‍ය දළඹුවාට 99%ක්ම සමානයි. එම නිසා ගොවි ජනතාව මේ පිළිබඳ වඩාත් විමසිල්ලෙන් පසුවිය යුතුයි. මේ වනවිට අපි කීට විද්‍යාඥයන් කාර්ය සාධන බලකායක් ලෙස තමයි මෙම උවදුර මර්දනය කරන්න කටයුතු කරන්නේ. කෘමි නාශක යොදනවානම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 2015 පළිබෝධ නිර්දේශය අනුව කො. ඩෙස්ටර් විශේෂය භාවිත කරන්න පුළුවන්. මේ වනවිට අපි රසායනික ද්‍රව්‍යය භාවිතය අඩු කරලා ජෛව විද්‍යාත්මක ක්‍රම භාවිතා කරලා මෙම සේනා දළඹුවා මුළු දිවයිනෙන්ම තුරන් කරන්න කටයුතු කරනවා. ඒ අනුව හැකි ඉක්මනින් මේ දළඹු උවදුර මඩින්නට අපි සියලු උත්සාහයන් දරනවා.

කෘෂි රසායන භාවිතයේ ප්‍රතිඵල භයානකයි
මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය

මේ දළඹුවා මර්දනයට කෘමිනාශක යෙදීම තුළින් දිගුකාලීන සෞඛ්‍යය ගැටලු ඇතිවෙන්න පුළුවන්. ඇතැම් ගොවියන් බඩඉරිඟු කඳට, කරලේ මුලට මේ කෘමිනාශක යොදනවා. ඒ වගේම සමහර ගොවියෝ විවිධ රසායනික ද්‍රව්‍යය සංයෝග කරලා වගාවට ඉහිනවා. මේ නිසා මේ කාලය තුළ වෙළෙඳපොළට එන බඩඉරිඟුවල අධික කෘෂි රසායන සංයුතියක් තියන බව අනාවරණය වෙලා තියෙනවා. නිශ්චිත කෘෂි රසායන නැති වුණාම කෘෂි රසායන ද්‍රව්‍ය මිශ්‍ර කරලා යොදනවා. එතකොට ඒවා ශාකයට අවශෝෂණය වෙලා සෞඛ්‍යයට බලපෑම් ඇති කරනවා.

විෂ නොවෙන විදිහට රසායනික යෙදීමේ උපදෙස් ලබාදුන්නා
පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් වෛද්‍ය සුමිත් ජයකොඩි

වගාවට ඕනෑම කාලයකදී ඒ දළඹුවා එන්න පුළුවන්. ඒ නිසා අපි කියලා කියනවා කෘමිනාශක ප්‍රතිකර්මය වගාවට තුන්හතර වරක්වත් යොදන්න කියලා. වගාවට විශාල හානියක් වූ කාලයක් නිසා අපි කෘමිනාශක හඳුන්වලා දීලා තියෙනවා. පළමුවර රසායනයට දළඹුවා මර්දනයට නොවෙනවානම් දෙවැනි වර රසායන වර්ගය වෙනස් කරලා දාන්න කියලා අපි කියලා තියෙනවා. රසායනික වර්ගය අනුව අස්වැන්න හෙළා ගැනීමට දින නියම කරලා තියෙනවා. රසායනික වර්ගය අනුව අස්වැන්න නෙළා ගැනීමට දින නියම කරලා තියෙනවා. මේ රසායන වර්ගය එතරම් විෂ නෑ. ඒ නිසා හානිදායක නොවන මට්ටමට විද්‍යාත්මකව නිර්දේශ කරලා තියෙනවා. මේ නිසා මිනිසාට කෙටි කාලීන හෝ දිගු කාලීන බලපෑමක් ඇතිවන්නේ නැහැ. මේ රසායන සියල්ලම පෙර අස්වනු කාලයේ තියෙන දේවල්. ඉතාමත් අඩු විෂ සහිත රසායනික ද්‍රව්‍යය තමයි මේවා ඒවා ලෝක සම්මත ක්‍රමවේදය අනුව තමයි නිර්දේශ කරලා තියෙන්නේ මේවා මිනිස්සුන්ට විෂ නැති වුණාට සතාට විෂයි. ගොවි මහත්තුරු කලබල වුණාම අධික විෂ සහිත ඒවා භාවිතා කරනවා. අපි ඒවා වළක්වන්න උපදෙස් දෙනවා.

තවම නිසි වැඩපිළිවෙළක් නෑ
ප්‍රගතිශීලී ගොවිජන සමිතියේ සභාපති කවුඩුල්ලේ ජයතිස්ස

බහුජාතික සමාගම් විසින් නිර්දේශ කරන කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීමට ගොවීන්ට රජය උපදෙස් ලබාදීම නිසා මේ බව ඉරිඟුවල විස තැන්පත් වෙලා තියෙනවා. නමුත් මේ දළඹුවා මර්දනය වීමක් සිදුවන්නෙත් නැහැ. රජය විසින් පර්යේෂණ පවත්වා මේ උවදුර නැති කිරීමට නිසි වැඩපිළිවෙළක් සිදුකළ යුතුයි. නමුත් දැන් රජය එහෙම කරන්නේ නැතුව කරන්නේ විවිධ බහුජාතික සමාගම්වල ඕනා එපාකම් පිරිමැසීමක්. ඒ වගේම තමයි රජය මේ විවිධ වර්ගයේ පලිබෝධ නාශකවලට මුල් නොවී මෙම දළඹුවා විනාශ කිරීමට ජෛව විද්‍යාත්මක ක්‍රම හඳුන්වා දිය යුතුයි.

ජාතික ප්‍රශ්නයක් තරමට වැඩේ බරපතළයි
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න

ලෝකයේ රටවල් 44ක මෙම සේනා දළඹුවා ව්‍යාප්ත වෙලා තියනවා. 2017 වසරේ තමයි මේ දළඹුවා ඉන්දියාවෙන් හමුවෙන්නේ. මේ දළඹුවා මුළු ජීවිත කාලයේ බිත්තර 1500කට වඩා දානවා. ඒ වගේම මේ දළඹුවා නොනිමෙන බඩගින්නකින් පෙළෙන සතෙක් බවට දැනට හඳනාගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ දළඹුවා විවිධ කෘෂි රසායනවලට අනුවර්තනය වෙන සතෙක්. ඉතාමත් බරපතළ හානියක් මේ දළඹුවාගෙන් සිදු වෙනවා. ඒ වගේම තමයි මේ දළඹුවා පැතිරුණු ප්‍රදේශ විශේෂ අපදාවට ලක්වුණු ප්‍රදේශ ලෙසට ආණ්ඩුව නම් කළ යුතුයි. ගොවි ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයි මේක රටේම ජාතික ප්‍රශ්නයක්. ආණ්ඩුව වහාම මේ ප්‍රශ්නය විසඳීමට පියවර ගත යුතුයි.

මර්දනයට අපි සූදානම්
අතුරලියේ රතන හිමි

සේනා දළඹුවා පිළිබඳ ලොකු ව්‍යාකූල තත්ත්වයක් රටේ ඇතිවෙලා තියෙනවා. ඉන්දියාවෙන් තමයි මේ දළඹු උවදුර ලංකාව ආක්‍රමණය කරලා තියෙන්නේ. තවමත් මෙය මර්දනය කරන්න වැඩපිළිවෙළක් ආණ්ඩුව ප්‍රකාශයට පත් කරලා නැහැ. අපිට විශ්වාසෙන් කියන්න පුළුවන් අපිට මේ දළඹුවා මර්දනය කරන අභියෝගය බාරගන්න පුළුවන් කියලා. මොකද මේ සඳහා විවිධ මර්දන ක්‍රමයන් සොයාගත්ත පිරිස් අපිත් සමඟ ඉන්නවා. 

රජයේ පාර්ශවයන්ට අපි මේ පිළිබඳ දැනුම්දීලත් තියනවා.

 සටහන - හසිත් අංජන