මෙරටට එන සහ මෙරටින් පිටවන ඉක්මන්ම සහ හොඳම තැන ගුවන්තොටුපළයි. ඒ නිසාම ගුවන්තොටුපළකට ජාත්‍යන්තර සහතිකයක් ලබාදෙන්නේ එහි ගුණාත්මක බව තහවුරු කිරීම සඳහාය. භෞතික දෑ සිට සජීවි දේ තුළ පවා ගුණාත්මක බවක් නියත වශයෙන්ම තිබීම ඒ ගුවන්තොටුපළට අදාළ ගුණාත්මක බවට හේතුවන සාධකය.
කෙසේ වෙතත් මේ කියන්නට යන කතාව ජාත්‍යන්තර ගුවන්තොටුපළකට තබා සූදු පොළකටවත් නුසුදුසු ක්‍රියාවක් ගැනය. ප්‍රථමයෙන්ම කිව යුත්තේ මෙයට එක්තරා සීමිත කල්ලියක් පමණක් සම්බන්ධ වී ඇති නිසා මේ කතාව ඔවුන්ට පමණක් අදාළ වන බවය. ඒ නිසා මෙයට හැකි ඉක්මනින් පියවරක් ගැනීම බලධාරීන් සතු වගකීමකි. මේ කතාව ලියුම්කරුගේ මිතුරියකට පසුගියදා සිදුවූ අකරතැබ්බයකි.
මා මිතුරිය යුරෝපයේ ජීවත්වන අතර ඇයට එම රටෙහි පුරවැසිභාවය හිමි කතකි. ඈ පසුගිය දවසක මෙරටට පැමිණියේ හදිසි රාජකාරී වැඩකටයුත්තක් සඳහාය. ඈ නිතර ලංකාවට එන යන කාන්තාවක් නිසා ඇයට මෙවර ගමන ද එතරම් විශේෂ වූයේ නැත.
ඈ සුපුරුදු පරිදි ගුවන් යානයෙන් බැස මෙරටට අවශ්‍ය වීසා ලබා ගැනීමෙන් අනතුරුව අදාළ ලියකියවිලි පරීක්ෂා කරමින් සිටියාය. එකවරම ඇය අසලට පැමිණි තරැණයෙක් "මිස් බඩු ගත්තද?” යැයි ඇසුවේය.
ඈ ඔහු දෙස බලා ඔහු පැවසූ දේ ඇයට වැටහුණු නිසාත් නෑ තවම ගත්තේ නෑ යනුවෙන් කීය.
“හරි එන්න මිස් මා එක්ක යමු. මම වැඩ ටික කරලා දෙන්නම්, මිස් තනියමනේ" එම තරුණයා කීවේය. ඇය ඔහුව තඹයකට මායිම් නොකර ඔහුගේ උදව් ප්‍රතික්ෂේප කළාය.
එවිට එම තරැණයාගේ කතා විලාසය සම්පූර්ණයෙන් වෙනස් වී ගමේ රස්තියාදුකාර භාෂාවෙන් ඇයව ආමන්ත්රයණය කරන්න පටන් ගෙන ඇත.
“අක්කේ මිඩ්ලීස් ඉඳන් ආවා කියලා අපි දන්නවා. අපිට ලොකුකම් පෙන්නන්න එපා. එන්න යන්න අපි එක්ක" යැයි එම තරැණයා පවසා ඇත.
තත්ත්වය තේරුම්ගත් ඇය කුමන හේතුවක් නිසා තමා ඔහුත් සමඟ භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍යදැයි විමසා ඇත. එවිට ඔහුගේ පිළිතුර අපූරුය.
“ඔයාට තියෙන්නේ මං විස්කි බෝතල් දෙකක් අරන් දෙන්නම්, ඒක එළියට ගිහින් දෙන්න"
මා මිතුරියට යක්ෂාවේශ වී ඇත්තේ ඔහුගේ අරමුණ කියූ පසුවය.
“පිස්සුද මනුස්සයෝ ගෑනුන්ට කියලා විස්කි අදින්නේ එළියට? පිරිමි නේද? ලැජ්ජ නැද්ද මේ කරන වැඩ. රට ඉඳන් එන ගෑනු එන්නේ තමුන්ලට අරක්කු අදින්නද?" ඇය තරමක් සැරෙන් විමසා ඇත. එවිට එම තරැණයාගේ පිළිතුර තර්ජනයක් බවට පත්ව ඇත.
“වැඩිය සද්ද එපා. එළියට ඔයා යනවද නැද්ද කියලා තීරණය කරන්නේ අපි. හරිද?* යැයි එම තරැණයා පවසා ඇත.
මේ අතරතුර ඇය ආරක්ෂක අංශය වෙත පැමිණෙමින් සිට ඇති අතර, ඔහුද ඈ පසුපසින් පැමිණ ඇත. පසුව ආරක්ෂක නිලධාරින් ඇගේ ගමන් බලපත්‍රය පරීක්ෂා කරන විට ඈ යුරෝපයේ පුරවැසිභාවය හිමි වෘත්තීයවේදිනියක බව දැනගෙන ඇත. එවිට ඉහත කී තරැණයාට උන්හිටි තැන් අමතකව ඈ පසුපසින් පැමිණ සමාව ඉල්ලා ඇත්තේ දහස් වාරයක් වැඳ වැටෙමිනි.
“අනේ මිස් සමාවෙන්න. මම හිතුවේ මිඩ්ලීස් ඉඳලා එන කෙනෙක් කියලා. අනේ කම්ප්ලේන් කරන්න එපා මං ගැන. මගේ රස්සාව නැති වෙයි." යැයි කියමින් ඔහු හඬා වැලපී ඇත. එවිට මා මිතුරිය ඔහුට ලුණු ඇඹුල් ඇතිව පවසා ඇත්තේ කිසි දිනෙක අමාරැවෙන් රස්සා කර මෙරටට පැමිණෙන කාන්තාවන්ට මෙවැනි දෑ සිදු නොකරන ලෙස අවවාද කරමිනි. ඔහු ඊට එකඟව සමාව අයැද පිටව ගොස් ඇත.
පසුව ඇය භාණ්ඩ ගැනීම සඳහා කඩ සාප්පු වෙත යන අවස්ථාවේ තනියම පැමිණි කාන්තාවන් පසුපස ඉහත කී තරැණයන් පොලීමේ පැමිණෙමින් විවිධ භාණ්ඩ ගැනීම සඳහා යෝජනා කරන අයුරැ දැක ගැනීමට ඇයට හැකිව ඇත. ඇතැම් කාන්තාවන් කැමැත්තෙන් මෙන්ම බලහත්කාරකම නිසාම භාණ්ඩ ලබාගන්නා අවස්ථා දැක ගැනීමට ලැබී තිබේ. පසුව ඇය පිටුපසින් පැමිණ ඔවුන් විස්කි බෝතල් දෙක ලබා ගන්නා අයුරැ ඇයට ඇස් දෙකෙන් දැක ගැනීමට හැකිව ඇත.
කෙසේ වෙතත් මේ පිළිබඳව අප ගුවන්තොටුපළ බලධාරියකුගෙන් විමසීමක් කළ විට ඔහු සඳහන් කළේ එවැනි පැමිණිලි නොලැබුණත් එවැනි සිද්ධීන් පිළිබඳ තොරතුරු දැනගන්නට ලැබී ඇති බවය. එවැනි අපහසුතාවයන්ට ලක්වන්නේ නම් අදාළ ආරක්ෂක අංශ දැනුවත් කිරීම අවශ්‍ය බවද ඔහු කීය.
ඒ මහතා එසේ කීවද ඇත්තමනම් මේ වැඩේ පසුපස ආරක්ෂක අංශ නිලධාරීන් කිහිපදෙනකු ද සිටින බවයි. ඔවුන් මේ සිදුවීම් දැන දැනම දැක්කා නොදැක්කා සේ සිටීමට පුරැදු වී ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව ඔවුන්ට ද එයින් ගාණක් කැපෙන නිසාය. ඒ නිසා මෙය ගජරාමෙට සිදුකරගෙන යන ජාවාරමක් බවට පත්ව තිබේ. මේ ආකාරයෙන් එළියට ගෙනන විස්කි වෙළෙඳපොළට වඩා අඩු මුදලට බාහිර පුද්ගලයන්ට විකිණීම මේ ජාවාරම්කරැවන්ගේ අරමුණ වී ඇත.
කෙසේ වෙතත් ජීවත් වීම සඳහා කරන මෙම නීති විරෝධී ක්‍රියාවන් හේතුවෙ අපකීර්තියට පත්වන්නේ ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතුය. එය විදේශීය සංචාරකයන් දැනගතහොත් රටේ සංචාරක ව්‍යාපාරයට ද විශාල කළු පැල්ලමක් ඇති විය හැකිය. ඒ නිසා දැන්වත් මෙය නතර කොට ජාවාරම්කරුවන් මර්දනය කිරීම බලධාරින් සතු වගකීමක් නොවේද? තම ඥාතීන් බැලීමට එන කාන්තාවන්ට මගදී තර්ජනය කොට ඇයව බියවද්දා, හඬවා රට තුළට ගන්නවා නම් ඒ ගැන මීට වඩා බැරෑරුම්ව බැලිය යුතු නොවේද? බලධාරිනී මේ ඔබේ අවධානය පිණිසයි.
අසංක කළුබෝවිල