කටුකම්බි වැටකට උස් වූ තාප්පයකට හා තට්ටු ගොඩනැගිල්ලකට මායිම් වූ ඒ මැද පිහිටි තරමක විශාල හිස් බිමකි. සිවිල් ඇඳුමින් සැරසුණු විශාල පිරිසක් එහි රැස්ව සිටිති. කාකි ඇඳුමින් සැරසුණු බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් එතැනට කඩා පනින්නේ සෑම අයකුගේම අත පොලු මුගුරු සහිතවය. සිවිල් ඇඳුමින් සිටි පිරිස බන්ධනාගාර රැඳවියන් බව පැහැදිලිය. කඩාවැදුණු නිලධාරීහු පොලු මුගුරුවලින් එකපිට එක රැඳවියන්ට පහර දෙති. දෑත් උස්සන්නට අණ කරති. ඇතැම් පිරිසක් දණ ගස්සවති. යළිත් පහර පිට පහර දෙති.
නිරායුධ රැඳවියන්ට පහර දෙන්නේ අමානුෂික ලෙසය. වේදනාවෙන් කෑගසන, පහර නොදෙන්නැයි ඉල්ලන රැඳවියන්ට තව තවත් පහර දෙන්නට අණකරන බන්ධනාගාර අධිකාරීවරයා සිවිල් ඇඳුමක් ඇඟලාගෙන බන්ධනාගාර නිලධාරීන් අතරය. මේ සියල්ල ඉතා පැහැදිලිව බන්ධනාගාර ගොඩනැගිල්ලට සවිකර තිබූ රහසිගත කැමරාවක පටිගත වී තිබුණේ කිසිවකුටත් සිදුවීම අසත්‍ය බව කියන්නට බැරි ලෙසය.
ඉකුත් නොවැම්බර් 22 පෙරවරුවේ මෙම පහරදීම අගුණකොළපැලැස්ස බන්ධනාගාර පරිශ්‍රයේදී සිදුවූවකි. වීඩියෝ දර්ශනයට අනුව ප්‍රහාරය සඳහා බන්ධනාගාර අධිකාරීවරයා ඇතුළු බන්ධනාගාර නියාමකවරුන් රැසක් සම්බන්ධ බවට සාක්ෂි සහිතය. අගුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරීවරයාට එරෙහිව රැඳවියන් ඒකරාශි වී විරෝධතාවයක් පැවැත්වීම නිසා ඊට පළිගැනීමක් වශයෙන් මෙසේ රැඳවියන්ට අමානුෂික ලෙස පහරදෙමින් වදහිංසාවට ලක්කර තිබෙන බව දැනගන්නට තිබේ. මෙසේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් රැඳවියන් පිරිසකට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරුකීමේ කමිටුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇතැයි එම කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පැවසීය. ඊට අමතරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මියටත් පැමිණිලි කළ බව සේනක පෙරේරා මහතා සඳහන් කළේය.
මත්කුඩු හා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් රැසක් බන්ධනාගාරගත වී සිටිති. එහෙත් කුඩු ජාවාරමේ මහමොළකරුවන් කිසිවෙක් අදටත් අත්අඩංගුවට පත්ව නැත. බන්ධනාගාරගත වී සිටින ඇතැම් රැඳවියන්ගේ මෙහෙයවීම මත බන්ධනාගාරවලින් පිටත කුඩු ජාවාරම සිදුකරන බවත් ඇතැම්විට කුඩු බන්ධනාගාර තුළට ගෙන ඒමට. මේ අයුරින් බන්ධනාගාර රැඳවියන් විසින් මත්කුඩු ජාවාරම මෙහෙයවනවා නම් එය බන්ධනාගාර පරිපාලනයේ ඇති බරපතළ දුර්වලතාවයකි. මෙවැනි පරිසරයක් තුළදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන බවය. ඒ සමඟම පැන නැගුණු අර්බුද හේතුවෙන් රුඳවියන් බැලීමට යන එන පිටස්තර පුද්ගලයන් සෝදිසි කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීම සිදුකෙරිණි.
මෙය යම් ආරක්ෂිත ක්‍රමවේදයක් වුවද එතැන් සිට රැඳවියන් බැලීමට පැමිණෙන ඥාතීන්, හිතවතුන් රැඳවියන්ට රැගෙන එන සියලු ආහාර ද්‍රව්‍ය පරීක්ෂාවද සිදුකෙරිණ. මෙහිදී රැඳවියන් චෝදනා කර තිබුණේ ඔවුන්ට රැගෙන එන බත් පැකැට්ටුව පරීක්ෂාව සඳහා යොමුකරන ක්‍රමවේදය නිසා එය ආහාරයට ගැනීමට නොහැකි වී ඇති බවකි. මේ අතර දුරබැහැරක සිට රැඳවියකු බැලීමට පැමිණි කාන්තාවක ආරක්ෂක අංශ මගින් නිරුවත් කර පරීක්ෂාවකට ලක්කළ බවද කියැවිණ. මේ තොරතුරු රැඳවියන්ට දන්වා ඥාතීන් කියා ඇත්තේ තවදුරටත් ඔවුන් බැලීමට පැමිණීම කළ නොහැකි බවය.
මේ කරුණු හේතුවෙන් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඥාතීන් පරීක්ෂා කිරීමට විරැද්ධත්වය ප්‍රකාශ කළ රැඳවියන් ඊට එරෙහිව ප්‍රතිචාර දක්වන්නට පියවර ගෙන ඇත. ඒ අනුව වතුර ටැංකියකට නැගි රැඳවියන් බන්ධනාගාර අධිකාරීවරයාට එරෙහි විරෝධතාවයක නියැලී තිබුණි. මෙහිදී රැඳවියන් බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණේ අගුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරීවරයාට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙසය.
මේ නිසා රැඳවියන්ට වරින්වර විවිධ හිරිහැර හා අන්තේට්ටම් විඳීමට සිදුවූ බව රැඳවියන් ප්‍රකාශ කර තිබුණි. එසේ බරපතළ ලෙස පහරදෙමින් රැඳවියන් පීඩාවට පත්කළ අවස්ථාව පසුගිය නොවැම්බර් 21 දින සිදුවූ බවට සී.සී.ටී.වී. කැමරා දත්ත පෙන්වා දෙයි. ඊට පෙර ඔක්තෝබර් 22 පැවැත්වූ විරෝධතාවයේදී රැඳවියන් ඉල්ලා තිබුණේ බන්ධනාගාරය තුළ ඇති සුබසාධන ආපනශාලාවද ඉවත් කරන ලෙසය. ඊට ප්‍රධාන හේතුවක් වී තිබුණේ රැඳවියන්ට අවශ්‍ය යමක් නිලධාරීන් වෙතින් ගෙන්වා ගැනීමකදී නියමිත මුදලට වඩා වැඩි මුදලක් ඔවුන්ට සන්තෝසම් ගෙවීමට සිදුව තිබීමය.
මේ කිසිදු ඉල්ලීමකට ඇහුම්කන් නොදුන් බන්ධනාගාර නිලධාරීන් සිදුකර ඇත්තේ රුඳවියන්ට පහරදීම පමණි. රැඳවියන් සතු ගැටලු යම් පමණකට හෝ සොයා බලා විසඳුවේ නම් මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාරයක් සිදුනොවනු ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ අදහසය.
මීට ඉහතදී අවස්ථා ගණනාවකදී වැලිකඩ, කුරුවිට, බිඳුණුවැව යන බන්ධනාගාර තුළ රැඳවියන්ට පහරදීම සහ ඝාතනය කිරීම් ඇතුළු සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබිණ. බන්ධනාගාරය තුළ රැඳවියන් පුනරුත්ථාපනය කළ යුතු වුවද මෙවැනි සිදුවීම් තුළින් එවැන්නක් සිදුවන බව පෙනෙන්නට නැත. පැහැදිලි වන්නේ බන්ධනාගාර නිලධාරීන් පුනරුත්ථාපනය කළ යුතු බව යැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපතිවරයා කියයි.
වරදකරුවන්ට සැලකීම සම්බන්ධයෙන් අවම ප්‍රමිති ඇතුළත් අන්තර්ජාතික ප්‍රඥප්තිවලට රටක් වශයෙන් ශ්‍රී ලංකාව අත්සන් තබා තිබියදී රිමාන්ඩ් බාරයේ පසුවන රැඳවියන් මෙසේ ප්‍රහාරයකට ලක්වීම බරපතළ ගැටලුවකි.
යම් අපරාධයක් හෙළිකිරීම හෝ ඊට අවශ්‍ය තොරතුරු සැපයීම ජනතාවගේ යුතුකමකි. එහෙත් මෙම ප්‍රහාරය සඳහන් වීඩියෝපටය පිටකළේ කවුරුන්දැයි සෙවීමට බලධාරීන් දැන් වෙහෙසෙමින් සිටිති. එබැවින් වරදකරුවන්ට දඬුවම් දීම විනා අපරාධය හෙළිකර පිරිසට එරෙහිවීම හා නීතිය ක්‍රියාත්මක කිරීමද ගැටලුවකි.
සිදුවීම පිළිබඳ සෙවීම සඳහා කමිටුවක් පත්කර ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරාළ මහත්මිය පැවසීය. ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රධාන කමිටුවට අමතරව ජනාධිපති කාර්යාල නියෝජිතයෙක්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නියෝජිතයෙක් හා අධිකරණ අමාත්‍යාංශ නියෝජිතයෙක් ඇතුළත්ය.
කෙසේ වෙතත් අදාළ කමිටුවට බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්, සාමාජිකයන් වශයෙන් පත්කිරීම වින්දිත පාර්ශ්වයට අසාධාරණයක් බව සිරකරු අයිතිවාසිකම් සුරුකීමේ කමිටුව ප්‍රකාශ කරයි.
මේ අතර අමාත්‍යවරිය ප්‍රකාශ කළේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කැමරා පද්ධතිය මේ වනවිට මුද්‍රා තබා ඇති බවත් එම දත්ත එළියට ගිය ආකාරය පිළිබඳව විමර්ශනය කෙරෙන බවත්ය.
සමන්ත ප්‍රදීප් විල්තෙර