
මුදල් නෝට්ටු සහ කාසි අලුතෙන් නිකුත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජකාරියක් වේ. මුදල් නෝට්ටු අලුතෙන් මුද්‍රණය කිරීම පිළිබඳ මහ බැංකුවේ එක්තරා නීතිමය රාමුවක් තිබේ. අතින් අත යන මුදල් නෝට්ටු දුර්වර්ණ වූ විට ඒවා මහ බැංකුවේ රඳවාගෙන ඒ වෙනුවට අලුත් නෝට්ටු නිකුත් කිරීම සිදුකෙරේ. එසේම පළුදු වූ ඉරීගිය හා විකෘති කළ (නොයෙක් දේවල් නෝට්ටුව මතුපිට ලියා) මුදල් නෝට්ටු වෙනුවටද අලුත් නෝට්ටු නිකුත් කිරීමේ සම්ප්‍රදායක් පවතී.
ඇතැම් අය චෝදනා කරන්නේ රටේ මුදල් අහේනියක් ඇතිවූ විට ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් නෝට්ටු අච්චුගසන බවටය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යාපාර මුදල් දෙපාර්තමේන්තුව පවසන්නේ එලෙස අවිධිමත් ලෙස මුදල් මුද්‍රණය කිරීමක් කිසිවිටෙකත් ශ්‍රී ලංකා මහ බැංකුව සිදුනොකරන බවය. මුදල් මුද්‍රණය කිරීමක් කිසිවිටෙකත් ශ්‍රී ලංකා මහ බැංකුව සිදුනොකරන බවය. මුදල් මුද්‍රණය කරන්නේ බැංකුවේ පවතින නිර්නයක පදනම් කරගෙන නිසා එයට කිසිවකුටවත් බලපෑම් කිරීමට නොහැකි බව ඔහු කියයි.
මුදල් නෝට්ටු හැරුණුවිට මහ බැංකුව කාසිද නිකුත් කරයි. මෙලෙස කාසි නිකුත් කිරීම වර්ග දෙකකට අනුව සිදුකෙරේ. එක් වර්ගයක් වන්නේ සැමරුම් කාසිය. ජාතික හා ආගමික වශයෙන් වැදගත් අවස්ථා සනිටුහන් කිරීමට මහ බැංකුව සමරු කාසි නිකුත් කරයි. 2500 බුද්ධ ජයන්ති උත්සවය, 5 වැනි නොබැඳි ජාතීන්ගේ සම්මේලනය, 1 වන විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සැමරුම, මහවැලි යෝජනා ක්‍රමය, මහ බැංකුවේ 60 වන සංවත්සරය, 5 වන සාග් ක්‍රීඩා උළෙල, යුද්ධ හමුදාවේ 60 වන සංවත්සර උළෙල ආදිය මේ පිළිබඳ උදාහරණ වේ. මෙම මුදල් කාසි සංසරණය සඳහා නිකුත් නොකරන අතර සැමරුම් සඳහා ළඟ තබාගැනීම පමණක් සිදුවේ.
මහ බැංකුව මුලදී නිකුත් කළ කාසි වර්ග ද කාලයාගේ ඇවෑමෙන් ජනතා ව්‍යවහාරයෙන් ඈත්වෙයි. මුල් කාලයේදී පැවැති ශතයේ සිට ඉහළට වූ ශත 2, ශත 5, 10, 25, 50 ආදී කාසි මේ වනවිට ව්‍යවහාරයෙන් දුරස්ව ගොස් ඇත. දැනට කාසි වශයෙන් භාවිතාවෙන්නේ රුපියලේ සිට ඉහළට රුපියල් 2, 5, 10 යන කාසිවේ. පසුගිය කාලයේ ව්‍යවහාර කාසිවල හිඟයක් ඇතිවූ බව වාර්තාවීම නිසා ශ්‍රී ලංකා මහ බැංකුවට වැඩිපුර කාසි නිකුත් කිරීමට සිදුවිය. මෙයට හේතුව වශයෙන් පැවසුවේ බොහෝ කාසි ව්‍යවහාරයෙන් බැහැරව තැන්පත්වී තිබීමය. විශේෂයෙන් දේවාලවල, පූජ්‍ය ස්ථානවල, විහාරස්ථානවල පඬුරු පෙට්ටිවලට වැටෙන කාසි දීර්ඝකාලයක් ව්‍යවහාරයට එක්නොවී තිබීම මෙලෙස කාසි හිඟයක් ඇතිවීමට හේතුවී තිබිණ.
කෙසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා ප්‍රථමවරට සුවිශේෂ කාසි වර්ගයක් මහජනතාවට හඳුන්වා දුන්නේය. ඒවා ව්‍යවහාර කාසි විශේෂයකි. මෙහි විශේෂත්වය වන්නේ ඒවා දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට හඳුනාගැනීමට පහසු ලෙස තනා තිබීමය. එම කාසිය ස්පර්ෂ කර ඒවායේ වටිනාකම හඳුනාගැනීමට ආබාධිත පුද්ගලයාට පහසුවේ. මෙලෙස නිකුත්කර ඇත්තේ රුපියල් 10, 5, 2 හා 01 යන වටිනාකමෙන් යුතු කාසිවර්ග හතරකි. ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ නිෂ්පාදන පිරිවැය අඩුකිරීම, කල්පැවැත්ම, පහසුවෙන් රැගෙන යා හැකි පරිදි සැහැල්ලුවීම සහ දෘශ්‍යාබාධිත අයට පහසුවෙන් කාසි වර්ග වෙන්කර හඳුනාගැනීමට හැකිවන පරිදි මේවා නිෂ්පාදනය කර මේ වනවිට මහජනතාවට නිකුත් කර ඇති බවය. 2018 දෙසැම්බර් 03 වන දින මෙම කාසි හතර වර්ගය බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා පුද්ගල සංසරණයට නිකුත් කර ඇති බව ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට රටේ ඕනෑම වාණිජ බැංකු ශාඛාවකින් මෙම කාසි කිසිදු හිඟයකින් තොරව ජනතාවට ලබාගත හැකිවේ.
මෙම කාසි නිෂ්පාදනය කර ඇත්තේ අනෙක් කාසි නිෂ්පාදනය කර ඇති ලෝහවලට වඩා අඩු වටිනාකමකින් යුතු සැහැල්ලු වානේ වර්ගයකිනි. මෙම ලෝහ වර්ගය කල්පවතින අතර මලනොබැදෙන වානේ විශේෂයක් වෙයි. කාසිවල ඝනකම සහ කාසිවල විෂ්කම්භය කාසියේ වටිනාකම අනුව ක්‍රමයෙන් වැඩිවන අනුපිළිවෙළට නිෂ්පාදනය කර තිබේ. කාසිවල බර සෙසු කාසිවලට වඩා අඩු නිසා පහසුවෙන් සාක්කුවේ හෝ පොකැට්ටුවේ ගෙනයා හැකිවේ.
කාසි වර්ග හතරම වටකුරු හැඩයෙන් යුක්ත වේ. ඒවායේ ඝනකම හා විෂ්කම්භය මෙසේය.
රුපියල් 10 කාසිය - ඝනකම මිලි මීටර් 1.80 - විෂ්කම්භය මි.මි. 26.4
රුපියල් 5 කාසිය - ඝනකම මිලි මීටර් 1.80 - විෂ්කම්භය මි.මි. 23.5
රුපියල් 2 කාසිය - ඝනකම මිලි මීටර් 1.75 - විෂ්කම්භය මි.මි. 22.0
රුපියල් 1 කාසිය - ඝනකම මිලි මීටර් 1.75 - විෂ්කම්භය මි.මි. 20.5
මෙලෙස කාසියේ ප්‍රමාණය වෙනස් වීම නිසා සාමාන්‍ය පුද්ගලයන්ට වුවද පරිහරණයේදී පහසුව සැලසේ.
තවද නව කාසි කාණ්ඩයේ සුවිශේෂ ලක්ෂණය වන්නේ දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන්ට පහසුවෙන් හඳුනාගත හැකිවන පරිදි කාසිවල දාර සකස්කර තිබීමය. ඒ අනුව රුපියල් 10 කාසිවල දාරය කට්ට 11කින් යුක්තය. රුපියල් 5 කාසියේ කාසි දාරයේ කට්ට සාමාන්‍ය ලෙස ඇතුළත් කර තිබේ. රුපියල් 2 වටිනාකමෙන් යුතු කාසියේ දාර ගැඹුරු කට්ට සහිතව නිපදවා ඇත. රුපියල් 1 කාසියේ දාර දුරින් දුරට ඇති කට්ටවලින් සමන්විත වේ. මේ නිසා ස්පර්ෂ කිරීමෙන් මෙම කාසිවල වටිනාකම හඳුනාගැනීමට පහසුවෙයි.
මෙයට පෙර රුපියල් 10, 5, 2 සහ වටිනාකමෙන් යුතු කාසි නිකුත් කර ඇත්තේ 2016 වසරේදීය. එහෙත් ඒවා මෙවැනි සුවිශේෂ ලක්ෂණවලින් සමන්විතවී නැත.
යසවර්ධන රුද්රිගු