2019 ජනවාරි 12 වන සෙනසුරාදා

ලංකාවේ සිසුන්ට ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් විකුණන හොර උපාධි කඩ

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 292

අද කාලයේ මෙරට විදෙස් විශ්ව විද්‍යාල එමටය. ඇතැම් ඒවා ඒ රටෙත් නැති විශ්ව විද්‍යාලය. එහෙත් කළු කඩ දමමින් විශ්ව විද්‍යාල සඳහා වරම් ලබාදෙන බවත් එකී විශ්ව විද්‍යාලයේ සහතිකයක් ස්ථිරව ලබාදිය හැකි බවත්  සඳහන් කරමින් විදෙස් විශ්ව විද්‍යාලවල ශාඛා අහුරු ගණනට මෙරට පවත්වාගෙන යයි. ඒ පිළිබඳ අධීක්ෂණය කරන්නට, සොයා බලන්නට මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ හෝ වෙනත් බලයලත් ආයතනයක කිසිදු නිලධාරියෙක් නැත. ඒ නිසා අන්ත හොරැන්ට මෙරට විදෙස් අධ්‍යාපනය අපේක්ෂා කරන දරු දැරියෝ බුරුතු පිටින් හසුවෙති.  

බොහොමයක් මෙරට විදෙස් විශ්ව විද්‍යාලවල සුලබව සඳහන් කරන දසුනක් ඇත. එනම් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ක්‍රේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ හාවර්ඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ වශයෙන් සඳහන් කර තිබීමය. මේ නිසා බොහෝ දෙනා මෙකී වචනයට රැවටී ඔක්ස්ෆර්ඩ්, ක්‍රේම්බ්‍රිජ්, හාර්වර්ඩ් විශ්ව විද්‍යාලවල උපාධිය අපේක්ෂාවෙන් එම විශ්ව විද්‍යාල කඩවලට මුදල් දහස් ගණනින් ගෙවමින් ඇතුළු වෙති. එහෙත් අවසානයේ හිමිවන්නේ කිසිදු වටිනාකමක් නැති සහතිකයක් පමණි. ඒ නිසා මේ කතාව කියන්නට පටන් ගන්නේ එවැනි කළු කඩකාරයන්ට නොරුවටෙන ලෙසය.

ලියම්කරුගේ මිත්‍රයකු වැඩිදුර අධ්‍යාපනය සඳහා විදෙස් විශ්ව විද්‍යාලයක් සොයාගැනීමේ අරමුණින් පහුගිය කාලයේ නොගත්‍ත උත්සහයක් නැත. විශාල මුදලක් දැරිය නොහැකි නිසා ඔහු ඒ සඳහා තෝරාගත්තේ මෙරට පිහිටි විදෙස් විශ්ව විද්‍යාලයක ශාඛාවකි. ඔහු එය අන්තර්ජාලය හරහා සොයාගත් අතර ඒ තොරතුරැ මටත් එක් අවස්ථාවක දැනුම් දුන්නේය.

ඔහු පැවසු පරිදි මෙම විශ්ව විද්‍යාලය එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්‍ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයක් බව සඳහන් කර තිබේ. එම ආයතනයේ ප්‍රධාන ශාඛාව මැලේසියාවේ ක්‍රියාත්මක වන බවත් එහි ශාඛාවක් ලෙස මෙම ආයතනය ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන බවත් සඳහන් කළ බව මා මිත්‍රයා සඳහන් කළේය. මේ නිසා ඔහු අදාළ විශ්ව විද්‍යලය සඳහා වසරකට ලක්ෂ 2.5ක් ගෙවීමට තීරණය කර තිබුණි.

ඔහු ප්‍රකාශ කළ පරිදි එහි ගැටලු කිහිපයක් ඇත. එනම් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ විශ්ව විද්‍යාල ලෝකය පුරා තිබේද යන්නය. මේ නිසාම මම මිත්‍රයා හරහා එම විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවියට ඇතුළු වූයෙමි. ඔවුන් වචනයෙන් නොව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ රෑප සහ සහතික ද ඇතුළු කර තිබිණි. එහෙත් ඔවුන්ගේ සහතිකවල රූපයක් හෝ තිබුණේ නැත. ඒ නිසාම එම ස්ථානයේදීම මම ඇමතුමක් ගත්තෙමි. 

“ආයුබෝවන් මම නුවරින් කතා කරන්නේ.. මට පුළුවන්ද ඔයාලගේ කැම්පස් එකට ජොයින් වෙන්න විදිහක් දැනගන්න?" 

“ආයුබෝවන් සර්. අපේ විශ්ව විද්‍යාල ජාලයක එක් ශාඛාවක්. ඔබ අසා තිබෙනවද ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය? තරැණියක් ඇසීය.

මම තරමක් කල්පනා කොට රැසියාවේ එකනේ යැයි කීවෙමි.

“නෑ සර්.. මේක පවතින්නේ එංගලන්තයේ. අපේ අතීතයේ දේශපාලනඥයෝ රැසක් මේ විශ්ව විද්‍යාලයෙන් ඉගෙනගන තියෙනවා. සාමාන්‍යයෙන් මේකට ඇතුළු වෙන්න අමාරුයි. ඒත් අපි ලෙහෙසියෙන් ඔබව ඇතුළු කරනවා. ඉතාම සීමිත ප්‍රමාණයයි ගන්නේ" ඈ කීවාය.

“කීයක් යනවද?”  ඇසීමි.

“මුල් අවුරුද්දට ලක්ෂ දෙකහමාරක් ගන්නවා. අනෙක් අවුරැදුවල ගාණ වෙනස් වෙනවා"  

මම මඳක් වේලාවක් කල්පනා කර "ඔක්ස්ෆර්ඩ් ඉන්ෆොමේෂන් සෙන්ටර් එකෙන් ඇහුවොත් මේ කැම්පස් එක ගැන තොරතුරු ගන්න පුළුවන් නේද? ඇසුවෙමි.

එය පැවසීමත් සමඟ ඈ කලබල වූවාය.

“නෑ සර්... එතනින් ගන්න බෑ. ගන්නවා නම් අපෙන් ගන්න ඕනේ. අපි දැනුම් දීලා තියෙනවා දෙන්න එපා කියලා"

“එහෙම කොහොමද තොරතුරු හංඟන්නේ? ඔයාලට සල්ලි දෙනවා නම් අපිට විස්තර ගන්න බැරි ඇයි "මම තරමක් සැරෙන් ඇසුවෙමි.

 එවිට කලබල වුණු ඈ "ඔබතුමා කාර්යාලයට එන්නකෝ. ඇවිත් කතා කරන්න. සුබ දවසක්* යැයි කියමින් දුරකථනය විසන්ධි කළාය.

මෙය එන්න එන්නටම සැක සහිත නිසා අප ඔක්ස්ෆර්ඩ් වෙබ් අඩවියටත් ඔවුන්ගේ තොරතුරු ඇතුළත් ස්ථානයටත් ගොස් විස්තර සෙවීමට තීරණය කෙළෙමු. ඒ සඳහා මිතුරා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඊමේල් ලිපියක් යොමු කරන බව දැන්වීය. 
දින දෙකක් ගතවිය. මම මිත්‍රයාට ඇමතුමක් දුන්නෙමි.

“මම ඔක්ස්ෆර්ඩ් එකට දාපු මේල් එකට රිප්ලයි ආවා. එයාලා කියනවා එයාලගේ නමින් ශාඛාවක් තියා අනුබද්ධ අායතනයක්වත් නෑ. ඒවා ව්‍යාජ ඒවා කියලා" ඔහු කීය

මා හැකි ඉක්මනින් එම ඇමතුම විසන්ධි කොට එම විදෙස් විශ්ව විද්‍යාල ආයතනයට ඇමතුමක් ලබා ගත්තෙමි.

“ආයුබෝවන්. මට කියන්න පුළුවන්ද ඔයාලගේ කැම්පස් එක ඔක්ස්ෆර්ඩ් එකට සම්බන්ධද කියලා"

“ඔව් සර් අපි ඒකට අනුබද්ධයි. සර්ට ලබාදෙන සහතිකයත් ඇතුළුව" තරුණිය කීවාය.

“ඒත් මම ඔක්ස්ෆර්ඩ් එකට මේල් එකක් දාලා ඇහුවා ඔයාලා සම්බන්ධද කියලා. එයාලා එහෙම නෑ කියලා කිව්වා" මම පැවැසුවෙමි

එම තරුණිය ගොත ගසමින් "නෑ.. නෑ..

එහෙම වෙන්න බෑ සර්. සර්ගේ නොම්බරේ මේකද? ඉන්න අපේ සර්ට කොල් එකක් ගන්න කියන්නම් ඈ කීවාය.

“නෑ එයාගේ නොම්බරේ දෙන්නකෝ. මම කතා කරන්නම්. මේක අමු බොරුවක්නේ" මම කීවෙමි.

සර් මේ වෙලාවේ ක්ලාස් එකක ඉන්නේ. ඔබතුමාගේ නොම්බරේ දෙන්නකෝ. යැයි ඈ කීවාය. මම මගේ අංකය ලබා දුන්නෙමි.

පැය කිහිපයක් ගතවන විට ඇමතුමක් ආවේය.

“මම.... ආයතනයෙන් කතා කරන්නේ. ඔබතුමාට මාව අමතන්න ඕනේ කියලා තිබ්බා" ඔහු කීය.

“ඔබතුමා හිමිකරැ නේද? ඇයි මේ ඔක්ස්ෆර්ඩ් සහතික දෙනවා කියලා බොරැ දාන්නේ. ඒක වැරදියිනේ" මම කීවෙමි. 

“සමාවෙන්න මහත්මයා. මේ අපේ අයගේ අත් වැරදීමක්. මේක වෙබ් අඩවියට දාලා තියෙන්නේ වැරදි විදිහට. අපිට කියන්න ඕනෙ වුණේ ඔක්ස්ෆර්ඩ් ඇදුරු මඬුල්ලක පාඨමාලාවක් කියලා. ඊට සමාන සහතිකයක් කියලා. අනේ මේක වෙනස් කරන්න කිව්වා කිව්වා අහන්නේ නෑ. මිනිස්සුත් පව්නේ" ඔහු ඇඟට පතට නොදැනී කීවේය.

 “ඔයාලා මාර අයනේ. මේක සුළුවෙන් තකන්න බෑ. මේක වංචාවක්නේ පැහැදිලිවම"

 “ඔව්.... ඔව්... අනේ මේක අත්වැරදීමක්.. ඉක්මනින් වෙනස් කරනවා. සමාවෙන්න එහෙනම්. වෙනත් තොරතුරක් නෑනේ. තියන්නම් එහෙනම්.

ඔහු එසේ කියමින් ඇමතුම විසන්ධි කළේය.

පුදුමය නම් ඔහු ඇඟට පතට නොදැනී එය වැරැද්දක් බව පිළිගැනීමය. එසේ අත්වැරදීමක් කියා ගැලවිය හැකිද? අහිංසක සිසුන් විධිමත් අධ්‍යාපනයක් සඳහා විදෙස් විශ්ව විද්‍යාලයක් කෙරෙහි හීන මවන විට මේ අකාරයෙන් කළු කඩ මුදලාලිලා විසින් ඔවුන් රවටන නාඩගම සුළුපටු නැත.

එකක් මේ දරුවන්ගේ හෝ කාගේ හෝ අනාගතයයි. අනෙක් කරුණ නම් අමාරැවෙන් සොයා ගන්නා මුදල්ය. මේ සියල්ල වතුරේ යන්නේ මේ කළුකඩ නිසාය. කෙසේ වෙතත් මේ පිළිබඳව සොයා බලා නිසි රජයේ මැදිහත්වීමෙන් කළ යුතු වුවත් අද වෙනතෙක් කළ දෙයක් නැත. එන්න එන්නට හතු පිපෙනවා සේ මෙවැනි ආයතන බිහිවූවත් ඒවා අධීක්ෂණය කරන්න කෙනකු නැත. දැන්වත් මේ පිළිබඳව සොයා බලා විදෙස් විශ්ව විද්‍යාලවල නාමය භාවිත කිරීමේ නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතුය. එසේ නොමැති වුවහොත් තව තවත් මෙවැනි විදෙස් උපාධි කළු කඩ රටේ ඉදිවනු ඇත.

 අසංක කළුබෝවිල