2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 86

ඔබත් මමත් පතන්නේ අපිට විතරක් නෙමෙයි අපේ අනාගත පරපුරට  පවා ජීවත් වෙලා ඉන්න පුළුවන් රටක්. හැම මොහොතකම අපි දේශපාලනඥයන්ට ඡන්දය ලබා දෙන්නෙත් ඒ අරමුණෙන්. ඒත් අපි හිතන අරමුණට අපි තවම ළඟා වෙලා තියෙනවද? නෑ හිතලවත් නෑ.

දැන් හිතන්න හිතුවක්කාරී බල හුවමාරුවක් නිසා අද රට වැටිලා තියෙන තැන. මහා අපායකට. ඒත් එක්කෙනෙක් හිතනවද මේකෙන් ගොඩ එන්න ක්‍රමයක්. නෑ. ඒ හැම වෙලාවක ඔවුන් රටට වඩා හිතන්නේ තමන්ගේ බලය ගැන. ඒක මේ 225ට තියෙන රෝගයක්. එක එක ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ලේබල් ගැහුවට ඔවුන් කිසිම වෙලාවක මානුෂයවාදී නෑ. ඔවුන් සියල්ල ආත්මාර්ථකාමී. හැබැයි ඒ අයගේ සමාජය ඇතුළේ ඒ අය පුදුම එකමතුකමක් තියෙන්නේ.

හිතන්නකෝ පාර්ලිමේන්තුව ඇතුළේ මරාගන්න පංචස්කන්ධවල් වෙත අපේ පාක්ෂිකයෝ පුදුම විදිහට ඇලුම් කරනවා.. මේ නිසා අපේ ලොක්කා වෙනුවෙන් අපි මැරෙන්න ඕන කියන තැනට පාක්ෂිකයා ඉබේටම කැඳවෙනවා. අන්තිමට සභාවේ රණ්ඩුව ඇදිලා එන්නේ එළියට. ඒක පාක්ෂිකයෝ අතර බෙදීමකට පෙර‍ළෙනවා.
එක දේශපාලනඥයෙක් කියනවද පාක්ෂිකයෝ මරා ගන්න එපා. හැමෝම හොඳින් ඉන්න කියලා. නෑ. කිසිම කෙනෙක් කියන්නෙ නෑ. ඒ අය රණ්ඩු වෙනවා මරාගන්නවා කියලා පෙන්නනවා. හැබැයි ඒ අය අභ්‍යන්තරයෙන් සාමකාමී.

කෝම වුණත් මේ ආත්මාර්ථකාමී දේශපාලනය ඇතුළේ ඡන්දදායකයා වෙන අපි විශාල වශයෙන් භාවිත වෙනවා. අපි හැම මොහොතෙම උත්සාහ ගන්නේ අපේ පක්ෂය දිනන්න. ඒක තමයි හීනේ. ඇත්‍තටම හීනය සැබෑ වුණාම රතිඤ්ඤා දාලා උපරිම ඒක විඳිනවා. ඒ විතරක්ද කිරිබතුත් කනවා. මේ හැමදේම ජයග්‍රණයේ උන්මාද. ඒත් මේ ජයග්‍රහණය එක්තරා සලකුණක සහ එක්තරා කණ්ඩායමක ජයක් විතරයි. ඇත්තටම කිරිබත් කන්න ඕනේ රතිඤ්ඤා දාලා විනෝද වෙන්න ඕනේ පක්ෂයක් කණ්ඩායමක් දින්න දවසට නෙමෙයි. එහෙම කරන්න ඕනේ අපි රටක් වශයෙන් ණය බරෙන් මිදිච්ච දවසට. අපි ණය ගන්නේ නැති දවසට. එහෙම නැතිව පක්ෂයක් දින්න පලියට සතුටු වෙන තැනට පත් වෙන්න එපා. හිතන්න ඒවගේ පටු විදිහට හිතන තැනට පත් කළේ මේ රටේ දේශපාලන පක්ෂ. ඒ ඔවුන්ගේ අරමුණු ඉෂ්ඨ කරන්න. ඒ අරමුණු වෙනුවෙන් ඔබෙත් මගෙත් ජීවිතය කැප කරන්න එපා. අපේ ජීවිත කැප කරන්න ඕනේ යහපත් රටක් උදෙසා මිසක් කිසිම ප්‍රතිපත්තියක් නැති නායකයෝ ඉන්න පක්ෂයක් වෙනුවෙන් නෙමෙයි.

අද වෙනකොට මේ රට විනාශ කරලා තියෙන්නේ සම්පූර්ණයෙන් පෞද්ගලික න්‍යාය නිසා මිසක් වෙන දෙයක්  නිසා නෙමෙයි. ඒ නිසා පෞද්ගලික පටු තීරණ වෙනුවෙන් ඔබ කාලය වැය කරන්න එපා. හැම මොහොතෙම රට වෙනුවෙන් පොදු ප්‍රතිපත්ති වෙනුවෙන් සටන් කරන්න. ආත්මාර්ථකාමී දේශපාලනඥයන්ගෙන් ඈත් වන්න. ඒක ඔබට වගේම රටට යහපතක්.

මම
බ්‍රෝ්